Thursday, April 25, 2024

කඳුරට දෙමළ ජනයාට නොනැවත කැරෙන විශම සැළකීම: සමාව ගැනීමට සහ නිවැරදි කිරීමට කාලයයි. – රංජිත් හේනායකආරච්චි

ඡායාරූපය: වතුකර දෙමළ ස්ත්‍රියක්.

පරාක්‍රම කොඩිතුවක්කු කවියා එම ප්‍රජාව හැඳින් වූයේ දෙවියන්ගේ මිනිසුන් ලෙසය. පසුගිය සියවස් දෙකක කාලයක් ලංකාවේ ආර්ථිකය ගොඩ නැගීමට උර දුන්නේ ඔවුන්ය. සියවස් දෙකක් මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය වූයේ ඔවුන්ය. එහෙත් අප සමාජය අබමල් රේණුවක් තරම්වත් වටිනාකමක් ඔවුනට දුන්නේද?

ඉන්දියාවෙන් රැගෙන විති කඳු කරයේ වතු වල වැඩ කිරීමට පැමිණි දෙමළ ජනයා මෙරටට රැගෙනවිත් වසර

දෙසීයක් ගත වන මේ මොහොතේත් ලිපිනයක් නැති මිනිසුන් ලෙස ජීවත් වීමට ඔවුනට සිදුවී ඇත. වසර සියයකට වැඩි පැරණි ලයින් පේළිවල අදටත් ඔවුන් විශාල ප්‍රමානයක් ජීවත් වෙන ආකාරය දුටු විට පැහැදිලි වන්නේ මනුෂ්‍යත්වය ඇති සමාජයක් ලෙස ලෝකයට අප අපව හුවා දැක්වූවත් අපි අපේ ම රටේ ජීවත්වෙන සහෝදර ජනයා මිනිසුන් ලෙසවත් නොසලකන බව නොවේද?

දෙසිය වසරක නූතන වහල ජීවිතයක

වසර දෙසියක ඉතිහාසයක් ඇති ඔවුන් අප රටෙහි තේ රබර් පොල් අර්ථිකයන්හි ප්‍රධාන ශ්‍රමික ශ්‍රමිකාවන්  ය. තේ වතු, පොල් වතු හෝ රබර් වතු ගොඩනැගෙන්නේ ඔවුන්ගේ ශ්‍රමයෙනි. දැනට ටික කලකට ඉහත මුළු රටේම ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ මෙම නිර්යතයන්ය. අද වන විටත් රටෙහි ආර්ථිකයේ ප්‍රධාන කොටසක් මෙම තේ රබර් පොල් ආර්ථිකය දරනු ලබයි.

සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් 1948 නිදහස ලබා ලංකාවෙහි ප්‍රභූ පන්තිය අතට බලය මාරු කල වහාම පාර්ලිමේන්තුව තුළින් ගෙන ආ පනතකින්, ඒ වන විට මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වන තේ රබර් පොල් වතු වල වැඩ කළ ජනතාවගේ, ඒ වන විට මේ රටෙහි පුරවැසිභාවය හිමිව සිටි ජනතාවගේ, පුරවැසිභාවය අහිමි කරනු ලැබුවේය. එය අපරාධයකි.

එම අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ මෙම පනත සම්මත කිරීමට එරෙහිව රට තුළ කතිකාවක් ඇති නොවුණ තරම්ය. ඇත්ත වශයෙන් ම රටෙහි සහෝදර ජන කණ්ඩායමක පුරවැසි අයිතිය අහෝසි කර දැමීම නින්දිත සාප සහගත ක්‍රියාවකි.

ඡන්ද බලය අහිමි කිරීම අපරාධයකි

එනමුත් ලංකා ආණ්ඩුව පනතක් තුළින් මේ සාපරාධී ක්‍රියාව කරන අවස්ථාවේ එයට විරුද්ධ වූවා නම් විරුද්ධ වූයේ ඉතා සුළු ප්‍රමාණයකි. රටෙහි බහුතර ජනතාව සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ලන්ම මෙහිදී මුනිවත රැකීමෙන් එම අපරාධයේ  කොටස්කරුවන් විය.

ඇත්තෙන්ම සිංහල සමාජය තුළ නම් මෙම ජනතාව ගැන අබමල් රේණුවක සිතිවිල්ලක් වත් වැය කරන මට්ටමක් ගොඩනැගී නොතිබුණි.

මා ඉහතින් සඳහන් කළ ලෙස මෙය සාප ලැබිය යුතු අපරාධයකි. එසේ අපරාධයක් වන්නේ රටක ජීවත් වන මිනිසුන් කොටසක සියලුම මානුෂික අයිතීන් අහෝසි කර දැමීම, ඇත්ත වශයෙන්ම කියන්නේ නම් ඔවුන් මිහි මත අසරණයන් කර දැමීම හිතා මතා කළ අපරාධයකි. එනිසා එම අපරාධය සිදු වූයේ මොන ආකාරයට ද සොයා බලා එහි ඇති කර ඇති නීති සම්මුති සියල්ල අහෝසි කරමින් අද ඔවුනට එම අපරාධයට වන්දියක් ගෙවමින් අපරාධය නිවැරදි කළ යුතුයි යන්න මගේ වැටහීමයි.

විදෙස්ගත ලාංකිකයින්ටත් මෙහෙම කරොත් මොකද?

මෙම කාරණයේ ඇති බැරෑරුම් කම වටහා ගැනීමට මම එක උදාහරණයක් මෙහි එක් කරමි. අද වන විට ලංකාවෙන් යුරෝපයට සහ වෙනත් විවිධ රටවලට සංක්‍රමණය වූ ලාංකික සම්භවයක් ඇති  ප්‍රමාණය මිලියන 3 ඉක්මවයි. මොවුන් මෙසේ ලංකාවෙන් පිටට සංක්‍රමණය වන්නේ වසර 70ක වැනි කාලයක සිටයි. ඉනුත් විශාල ප්‍රමාණයක් සංක්‍රමණය වෙන්නේ වසර 50 කට අඩු කාලයකදී ය.

මොවුන් යුරෝපය ඇතුළු බටහිර රටවල ඇමරිකාව කැනඩාව ඕස්ට්‍රේලියාව වැනි රටවල පුරවැසිභාවය සහ සියලූ අයිතීන් භුක්ති විදිති. යම් ආකාරයකින් අද මේ සියලුම රටවල් වල වසර 50ක් තිස්සේ පුරවැසිභාවය අයිතීන් භුක්ති විදින අයගේ පුරවැසිභාවය අහෝසි කර ඔවුන්ට නැවත ලංකාවට යන්න යයි කිව්වොත් ඇති වන තත්ත්වය කුමක්ද?

විශේෂයෙන්ම ඔවුන්ගේ දරු මුනුපුරන්ට ලංකාව ආගන්තුකය. වාසනාවකට මෙන් මොවුන් මෙසේ ජීවත් වෙන රටවල පවතින්නේ මිනිස්කම අගයන මිනිස් අයිතීන් සුරකින ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන්ය. ඔවුන් මේ රටවල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් භුක්ති විඳින හෙයින් ඔවුනට එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු නොවන බව මම දනිමි. මා මේ කාරණය මෙසේ ඉදිරිපත් කරන්නේ අප රටේ සිදුව ඇති අපරාධයේ ප්‍රමාණය වටහා ගැනීමටයි.

ඉන්දීය සම්භවයක් ඇති ජනයාගේ අයිතීන් පිළිබඳව කතා කිරීම මේ දිනවල සිදුවෙමින් පවතී. මම එහිදී ඉන්දීය සම්භවයක් යන වචනය පාවිච්චි කළා වුවත් එය වඩා නිවැරදි නො වන බව මම දනිමි. අද  පිළිගැනෙන යෙදුම නම් කදුරට දෙමළ ප්‍රජාව යන්නයි

ඉන්දියාවෙන් නාවේ කව්ද?

ඉන්දීය සම්භවයක් යන කාරණයට එන විට මා දන්නා තරමින් ලංකාවේ ජීවත් වෙන සියලුම ජන කොටස්, ඔවුන් ම කියා ගන්නා ආකාරයට, ඉන්දීය සම්භවයක් ඇති ජන කොටස් ය. සිංහලයන් පවසන්නේ ඔවුන් වසර දෙදහස් පන්සියයකට ඉහතදී ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ බවයි. සමහර සිංහල කුල කණ්ඩායම් පැමිණ ඇත්තේ වසර හය හත්සියයකට කලිනි.  දෙමළ ජනතාව ද අඩු වැඩි වශයෙන් වසර දෙදහසකට වැඩි කාලයකට ඉහත ඉන්දියාවෙන් මෙහි පැමිණි බවයි. උඩරට වතු කම්කරුවන් ලෙස වසර 200 කට ඉහත මෙරටට පැමිණි ජනයා පිළිබඳ ව පමණක් අප ඉන්දීය සම්භවයක් ඇති ජනයා ලෙස හඳුනන්නෙමු. එසේනම් ඔවුන්ට පමණක් අපි ඉන්දීය සම්භවයක් ඇති යැයි පැවසීම නිවැරදි ද?

අප ආගන්තුක සත්කාරය ගැන කතා කරමු. අප බොහෝ විට උදම් අනන්නේ ආගන්තුක සත්කාරයෙන් පිරුණු මිනිස් සමාජයක් ලෙසයි. නමුත් එය ඇත්තක්ද? අපි ආගන්තුකයින්ට සලකනවා යැයි කීම අප අපවම රවටා ගැනීමක් නොවන්නේද? වතු ආශ්‍රිතව ජීවත් වෙන මේ අපේම සහෝදර මිනිසුන් ගැන හැඟීමක් නැති, සහකම්පනයක් නැති අපි ආගන්තුකයින්ට සත්කාර කරයිද?

කැරපොතු සුද්දෝ

සංචාරකයින් පැමිණෙන විට අපි ඔවුන් සාදරයෙන් පිළිගනිමු. ඒ ඔවුන් අපට ඩොලර් ගෙනෙන හෙයිනි.  නමුත් හිත යටින් ඔවුනට  කියන්නේ කැරපොතු සුද්දන් සහ සුද්දියන් ලෙසය.

අපේ රටේ ආගන්තුක සත්කාරය සැබෑ ලෙස හඳුනා ගැනීමට නම් දැනට වසර දෙක තුනකට උඩදී රෝහින්‍යා සරණාගතයන් 35 දෙනෙකු ලංකාවට පැමිණි අවස්ථාව දෙස බැලිය යුතුය. සරණාගතයින් රඳවා සිටි නිවාස වටකර දවස් ගණන් මිනිසුන් පහරදෙමින් කෑගසමින් අපගේ ආගන්තුක සත්කාරයේ සැබෑ ස්වරූපය පැහැදිලිව පෙන්නුම් කළේය.

කොවිඩ් වසංගතය සමයෙහි මෙරට නීත්‍යනුකූලව එක්සත් ජාතීන් යටතේ සරණාගතව සිටි පකිස්ථාන සුලුතර ආගමික කණ්ඩායමකට ද ගම්පහ දිසාවෙහි ජනයා සැළකුවේ එළෙසය.

අවසානයේ දී ඔවුන් රැක ගැනීමට ඔවුන්ගේ ජීවිත රැක ගැනීමට පොලිසියට හෝ හමුදාවට ඔවුන් හමුදා කඳවුරුවලට ගෙන ගොස් ආරක්ෂා කරන්න සිදුවිය.

රටේ දි එහෙමයි පිටරට දි මෙහෙමයි

මෙන්න මේ වැනි  ආගන්තුක අසත්කාරයක් ඇති අප අපේ රටෙන් වෙන රටවලට සංක්‍රමණය වූ මිලියන ගණනක් මිනිසුන් ඒ රටවල් වල පවතින ආගන්තුක සත්කාරයෙහි මිනිස්කමෙහි අගය භුක්ති විඳින බව අමතක නොකල යුතුය.

ඇත්ත වශයෙන් ලක්ෂ ගණනක් ජනතාව ගේ පුරවැසි අයිතිවාසිකම් අහෝසි කිරීම යනු ඔවුන් මේ ලොව කිසිවක් නැති කිසිවකට අයිති නැති සතුන් කණ්ඩායමක් බවට නීතිමය වශයෙන් පත් කර දැමීමයි. එය අපරාධයකි. එයට එරෙහි නොවීම තුල ලංකාවේ රාජ්‍ය පමණක් නොව ජනතාව එම අපරාධයේ කොටස්කරුවන් බවට පත්වේ.

එසේ නම් එම අපරාධයේ කොටස්කරුවන් වූ අප ජනතාව අදවත් මේ විසි එක්වෙනි සියවසේ ලෝකය වෙනත් ආකාරයකින් මනුෂ්‍යත්වය දෙස බලන අවදියේ මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීමට එම සිදු වූ වරද නිවැරදි කිරීමට,  සිදු වූ වැරදිවලට සමාව ඉල්ලමින් එම වැරැද්ද නිවැරදි කිරීමෙහි කාර්යයට අද අත තැබිය යුතුය.

කඳුරට ජනයා වැඩට ගෙනියන්නේ මෙලෙසය

එම ජන කණ්ඩායම මෙම රටට පැමිණ වසර දෙසීයක් ගත වන මේ මොහොත එයට අවස්ථාව කර ගනිමින් කළ වැරැද්ද නිවැරදි කර ගැනීමේ අඩිතාලම දැමීමට, ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට, අප ඔවුනට කළ වැරැද්දට සමාව ඉල්ලීමට අවස්ථාව කර ගත යුතුය. ඒ සඳහා සියලු සිවිල් සමාජ කණ්ඩායම් එකට එක් වී මෙම කාර්යයට අත ගැසිය යුතුය යන්න අපගේ වැටහීමයි.

ලෝකය දිහා බලන්න

ලෝකය පුරා විවිධ රටවල යම් යම් ජන කණ්ඩායම් වලට සිදු වූ මෙවැනි අපරාධයන් නිවැරැදි කර ගැනීමේ ක්‍රියාදාමයන් ලෝකයේ විවිධ තැන්වල සිදුව ඇති අතර තවමත් සිදුවෙමින් පවතී.

ආරම්භයේ දී එම ව්‍යාපාර  කුඩා සිවිල් සමාජ ව්‍යාපාර විදියට මුලපිරූ නමුත් අවසානයේ දී රාජ්‍යයන් ඒවාට මැදිවන මට්ටමටම එම බලවේග ශක්තිමත්ව වැඩී තිබේ. ඒ මේ යුගය මිනිස්සුන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ගැනීම පිළිබඳව විවෘත මනසින් හිතන සමාජ බලවේග ගොඩනැගෙන අවධියක් නිසාවෙනි.

උදාහරණයකට ඇමරිකාවේ කළු ජාතීන්ගේ අයිතීන් තහවුරු කිරීම පිළිබඳ බලවේග ඒවා පිළිබඳව දිගින් දිගටම පවතින සටන් සහ ඒවාට ජනයාගෙන් ලැබෙන සහාය සඳහන් කළ හැකිය.

තවත් උදාහරණයක් වන්නේ කැනඩාවේ ආදිවාසී ජනයාගේ අයිතීන් යටපත් කර සමූල ඝාතනය කිරීම් වැනි ක්‍රියාවන්ට රාජ්‍ය මට්ටමෙන් ම සමාව ගන්නා මට්ටමක් සහ වන්දි ගෙවීමේ ක්‍රියාදාමයක් තිබීමයි.

ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් කොන් කර දමා ඔවුන්ගේ සංස්කෘතිය විනාශ කරමින් ඔවුනට කළ විනාශයට එරෙහිව සමාජය තුළ මතු වූ සිවිල් සමාජ බලවේග විසින් ඇති කළ සටන් වල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ඕස්ට්‍රේලියාවේ රජය එම ජනතාවගෙන් සමාව ඉල්ලන සහ වැරදි නිවැරදි කිරීමට වැඩ පිළිවෙලක් සකස් කිරීම කරා ගමන් කරයි.

ජර්මන් හමුදාවන් විසින් නැමීබියාවේ හරාරේ ජනයා සමූල ඝාතනය කිරීම පිළිබඳ වන්දි ගෙවමින් අද වන විට නැමීබියන් ජනතාවගෙන් ජර්මන් රජය සමාව ඉල්ලන මට්ටමකට පත් වීය.

පොඩියට හරි පටන් ගමු!

මෙවැනි විවිධ තැන්වල අතීතයේ කළ වැරදි නිවැරදි කරමින් ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදී නිවැරදි දේශපාලනයක් මතු කර ගැනීම අද වන විට ලෝකයේ විවිධ තැන්වල සිදු වෙමින් පවතී.

එසේ නම් මෙම කඳුරට දෙමළ ප්‍රජාවෙහි අයිතීන් අහෝසි කිරීම පිළිබඳ අද අප ඔවුන්ගෙන් සමාව ගත යුත්තේ ඔවුන් තවදුරටත් ජීවත් වෙන, විශම සැළකීමෙන් ඉවත් කර ඔවුන් ලාංකීය සමාජයේ සාමාන්‍ය අයිතීන් ඇති මිනිසුන් බවට පත් කිරීම පිළිබඳ විශාල සංවාදයක් සමාජගත කිරීම තුලිනි.

විශේෂයෙන්ම සිංහල ජනතාව මෙම කඳුරට දෙමළ ප්‍රජාව අපේ රටේ ජනයා ලෙස වත් පිළිගැනීමට සූදානමක් නැති හෙයින් එම වැරදි මතය නිවැරදි කිරීමේ සමාජ සංවාදයක් ඇරඹිය යුතුය. පාසැල්  අධ්‍යාපනයට එය විෂයක් ලෙස ගැනීම එක් පියවරක් විය හැකිය.  එම වැරැද්ද නිවැරදි කරන ලෙස රාජ්‍යයට බලපෑම් කිරීම කොතැනකින් හෝ පටන් ගත යුතුය.

මේ එයට හොඳම අවස්ථාවයි. ඒ ඔවුන් මෙම රටම ගෙනැවිත් දැන් වසර දෙසීයක් ගත වන මොහොත නිසාය.

රංජිත් හේනායකආරච්චි.

25.04.2023

Archive

Latest news

Related news