Saturday, April 20, 2024

රාජපක්ෂ හෙංචෝ මානව හිමිකම් කොමිසමේ ගොම හලති; මෙන්න හෙංචන්ගේ පැටිකිරිය

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මියට එරෙහිව පැමිණිලි කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ කොමසාරිස්වරුන් තිදෙනෙකු රනිල් රාජපක්ෂගෙන් වේලාවක් ඉල්ලා තිබේ.
මේ තිදෙනාගෙන් දෙදෙනෙකු රාජපක්ෂ පවුලේ දේශපාලන හෙංචයියන් වන අතර අයකු ජෙහාන් පෙරේරාගේ සගයකුව සිටි අයකු වේ.
සභාපතිනි මාරසිංහ අනෙකුත් කොමසාරිස්වරුන්ගේ අදහස්වලට ඇහුම්කන් නොදී තම අභිමතය පරිදි තීරණ ගන්නා බවට ඔවුන් සිය ලිපියෙන් චෝදනා කර ඇත.

අත ඊසොප්ගේ වුවත් හඬ ජාකොප්ගේ

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මානව හිමිකම් කොමිසම හමුවට කැඳවීමේ සිද්ධිය ඔවුන්ගේ සිත් පාරවා ඇති එක් උදාහරණයක් ලෙස ලිපියෙහි දක්වා තිබේ.
එයින්ම පෙනෙන්නේ අත ඊසොප්ගේ වුවත් හඬ ජාකොප්ගේ බවයි.
සභාපතිනිය තමන්ට ඇහුම්කන් නොදෙන්නේ නම් ඉදිරියේදී තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී නොවන බවට තිදෙනා තර්ජනය කර ඇත.
සභාපතිවරයාට එරෙහිව පැමිණිලි කර ඇති කොමසාරිස්වරුන් තිදෙනා වන්නේ ආචාර්ය   විජිත නානායක්කාර, ආචාර්ය නිමල් කරුණාසිරි, පූජ්‍ය කළුපහන පියරතන හිමි යන අයයි. ඔවුන් සියල්ලෝම අඩු වැඩි වශයෙන් දේශපාලන වශයෙන් රාජපක්ෂ පවුලට සම්බන්ධ අය වෙති.
2019 නොවැම්බරයේදී විජිත නානායක්කාර ගෝටාභයගේ ජනපති මැතිවරණ   රැස්වීමක් අමතයි

පැටිකිරි මෙන්න

වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරයකු වන අතර ශ්‍රී ලංකා රාජපක්ෂ හිතවාදී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ද විය. ඔහු නව කොරෝනා වයිරසයට පිළියමක් ලෙස රාජපක්ෂවරුන් විසින් ඔසවා තැබූ ව්‍යාජ  “දම්මික පැණිය” ද ප්‍රවර්ධනය කළේය. 2020 මහ මැතිවරණයේදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බුද්ධි සංවිධානය වූ “වියත් මග” ට සහය දුන් අතර රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (SLPP) කුරුණෑගල දිස්ත්‍රික්කයට නාම යෝජනා ලබා ගැනීමට උත්සාහ කළේය.
ආචාර්ය විජිත නානායක්කාර වෘත්තියෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකි. ඔහු 2010 මහ මැතිවරණයේ දී රාජපක්ෂ ප්‍රමුඛ එජනිසයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරඟ කර පරාජයට පත් විය. මහ මැතිවරණයෙන් ඉක්බිතිව ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස පත් කරන ලදී. 2020 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඔහු රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සක්‍රීයව සහයෝගය දැක්වීය. 2019 දී ඔහු තමාගේම දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට ඉල්ලුම් කළේය.
කළුපහන පියරතන හිමි පත්වන විට ආචාර්ය ජෙහාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික සාම මණ්ඩලයේ පාලක සභාවේ සාමාජිකයෙක් විය. ඒ වන විට අපකීර්තියට පත් ගෝඨාභය රාජපක්ෂ රජය සමඟ සංවාදයක් ආරම්භ කිරීමට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් මෙහෙයවමින් සිටියේ ආචාර්ය ජෙහාන් පෙරේරාය. එය මූලිකත්වය ගෝඨාභයගේ මර්දනකාරී පාලනයට ආවරණයක් දීමට ඇති කළ ක්‍රියාවලියකි. විය යුතු පරිදිම ශ්‍රී ලංකා රජය ජිනීවා මානව හිමිකම් වෙත වාර්තා කර ඇත්තේ ජෙහාන් පෙරේරා ප්‍රමුඛ කණ්ඩායම සමඟ පැවති සංවාදය සිවිල් සමාජය සමඟ රජය කර ගෙන යන සංවාදයක් ලෙසය.
ඇමති රාජපක්ෂ හමුවට ගිය ජෙහාන් පෙරේරා
ජෙහාන් පෙරේරා රාජපක්ෂ ආණ්ඩුවේ දුෂ්ඨතම පනතක් වන ත්‍රස්ත විරෝධී පනතට සහාය දැක්වීමේ සාකච්ඡාවකට පසුගිය දා ඇමති රාජපක්ෂ හමු වී තිබුණි.
ගෝඨාභය රාජපක්ෂ විසින් මානව හිමිකම් කොමිසමට පත් කරන ලද තවත් රාජපක්ෂ ඇම්බැට්ටයකු වූත් එල්ටීටීඊට මුදල් දීමට සහාය වූත් හර්ෂ කුමාර නවරත්න කැනඩාවේ මහා කොමසාරිස් ලෙස පත් කිරීමෙන් මානව හිමිකම් කොමිසමේ පුරප්පාඩුවක් ඇති විය.

ගෙහාන් ගුණතිලන වෙනුවට කළුපහන පියරතන

පාර්ලිමේන්තු විපක්‍ෂය විසින් පුරප්පාඩුව පිරවීමට ආචාර්ය ගෙහාන් ගුණතිලක යෝජනා කළ නමුත් ගෝඨාභය විසින්  සාම සම්මේලනය යෝජනා කළ කළුපහන පියරතන හිමියන් තෝරා ගත්තේය.
කළුපහන පියරත්න මානව හිමිකම් කොමිසමේ රැස්වීම් වලට සහභාගි වන්නේ මසකට එක්වරක් පමණක් වන අතර ඇල්ම දක්වන්නේ විදේශ සංචාරයන්හි යෙදීමටය.

සභාපති කළ ජගත් බාලසුරිය

මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස රාජපක්ෂ පවුලේ දේශපාලන හිතවතකු වූ ආචාර්ය ජගත් බාලසූරිය සභාපතිවරයා ලෙස ගෝඨාභය මුලින්ම පත් කළේය. ඔහු දශක ගණනාවක් පුරා පූර්ණ කාලීන දේශපාලනඥයෙක් විය. 1977 සිට ඔහු ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ අතර විවිධ මැතිවරණවලට තරඟ කළේය. ඔහු 1989-2000 දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය; උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස (අගෝස්තු 2003 – නොවැම්බර් 2006) සහ මහින්ද රාජපක්ෂගේ  දේශපාලන පක්ෂය නියෝජනය කරමින් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස (2010 – 2015) සේවය කළේය. ඔහුගේ බිරිඳ කුමාරි බාලසූරිය රාජපක්ෂ රජය යටතේ දකුණු පළාතේ ආණ්ඩුකාරවරිය ලෙසද කටයුතු කළාය. සිය සැමියා මානව හිමිකම් කොමිසමේ පත්වීම් ලබන විට ඇය සිය අමාත්‍ය පුත් තාරක බාලසූරියගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළාය. හිටපු ආණ්ඩුකාරවරියක් හුදු ලේකම්වරියක වීම ගරාණාව පිළිබඳ කාරණයක් මිස වෙනකක් නොවේ.
ගෝඨාභය රාජපක්ෂ මානව හිමිකම් කොමිසම දේශපාලන කොමිසමක් බවට පත් කළේ එසේය. දැන් එහි ඉතිරි වී සිටින රාජපක්ෂ හෙංචයියන්ට දරා ගැනීමට බැරි වී තිබෙන්නේ මෙරට ජනයාගේ මානව හිමිකම් රැකදීමට එහි සභාපතිනිය දරන ප්‍රශස්ත වෑයමයි.
2021 නොවැම්බර් මාසයේදී ජගත් බාලසූරිය සෞඛ්‍ය හේතූන් මත ඉල්ලා අස්වීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රෝහිණී මාරසිංහ සභාපතිනිය ලෙස පත් කරන ලද්දේ ඒ වෙනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තත්වයෙන් පහත හෙළ තිබූ මානව හිමිකම් කොමිසමට ආභරණයක් වන පරිදිය.
විනිසුරු රෝහිණී මාරසිහ දුෂ්කරම යුගයක කොමිසම බැබලවූ සභාපතිනියකි.
එතැන් සිට ඇය ශ්‍රී ලංකාව අත්දුටු වඩාත්ම අස්ථාවර දේශපාලන තත්වයකදී මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා කොමිසමට නායකත්වය දුන්නාය. විරෝධතා දැක්වීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනාදිය ආරක්ෂා කිරීමට මානව හිමිකම් කොමිසම පසුගිය කාලය පුරා  ක්‍රියාකාරී වූයේ ඇය නිසා පමණය.
දැන් රනිල් රාජපක්ෂ විසින් ස්වාධීන කොමිෂන් සභාවන්ට එරෙහිව මුදා හැර ඇති ප්‍රහාරය මුවාවක් කරගෙන රාජපක්ෂ  හෙංචයියන් වන කොමසාරිස්වරු තිදෙනෙකු ගොම තලියක් අනා ගෙන කෑමට පටන් ගෙන තිබේි. මෙහි අරමුණ වන්නේ ව්‍යවස්ථා සභාව විසින් නව කොමිෂන් සභාවක් පත් කරන විට විනිසුරු රෝහිනී මාරසිංහට යළි එම තනතුරු නොදීමට අංචි ඇදීමයි.

දේශපාලනඥයින් මානව හිමිකම් වැනසීම

දේශපාලන කොමසාරිස්වරුන් තිදෙනෙකු විසින් එවන ලද ලිපියට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (HRCSL) සභාපති විනිසුරු රෝහිණී මාරසිංහ මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මානව හිමිකම් පිළිබඳ අඩු හෝ අවබෝධයක් නොමැති පුද්ගලයින් මානව හිමිකම් කොමසාරිස්වරුන් ලෙස පත් කිරීමෙන් මානව හිමිකම් තත්ත්වය  ඉදිරියට ගෙන යාමට ප්‍රයෝජනයක් නැති බවයි. මානව හිමිකම් පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති පිරිස් මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන් ලෙස පත් කිරීම මෙවැනි ගැටලුකාරී තත්ත්වයන්ට හේතුව බව ඇය පවසා තිබේ.
එය සම්පූර්ණයෙන්ම ඇත්තය. මානව හිමිකම් පිළිබඳ අවබෝධයක් තිබුණේ නම් රාජපක්ෂ දේශපාලනයේ ඇම්බැට්ටයින් වීමට පුලුවන්කමක් නැත.
තමන් ගත් ඇතැම් තීරණ ක්‍රියාත්මක නොවූ බවට ඉහත කී කොමසාරිස්වරුන් තිදෙනා තමන්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය පවසා ඇත්තේ “ක්‍රියාත්මක විය යුතු තීන්දු තීරණ තිබිය යුතුයි, තීරණ ගැනීමට ඔවුන් පැමිණිය යුතුයි. ඔවුන් ක්‍රියාත්මක කළ යුතු තීන්දු තීරණ ගෙන නැහැ. හිමි නම කොමිසමට පැමිණෙන්නේ මසකට වරක් පමණක් වන අතර තවත් අය සතියකට වරක් පමණයි. ඔවුන්ගෙන් කිසිම දායකත්වයක් නැහැ. ඒ ඔවුන්ට මානව හිමිකම් ගැන අවබෝධයක් නැති නිසා බව මගේ අදහසයි. 1996 අංක 21 දරන මානව හිමිකම් කොමිෂන් සභා පනතේ ම මානව හිමිකම් පිළිබඳ මනා අවබෝධයක් ඇති අය කොමිසමට පත් කළ යුතු බව සඳහන් වන නමුත් මේ අයට කිසිදු අවබෝධයක් නැහැ.”
මර්දනකාරීත්වය සහ දූෂණය අතින් අගතැන් පත් රනිල් රාජපක්ෂ හමු වී මානව හිමිකම් ආරක්ෂා කරන්නැයි ඉල්ලා සිටීම යනු, මානව හිමිකම් කොමිසමද මර්දනය කරන ලෙස ඉල්ලා සිටීමකි.
මෙය හුදෙක් රෝහිණී මාරසිංහට එල්ල කරනු ලබන ප්‍රහාරයක් නොවේ. ස්වාධීන කොමිෂන් සභා අඩපණ කොට ඒවා යළි රනිල්-රාජපක්ෂ හෙංචයියන් අතට ගැනීමේ කූඨ වෑයමකි.
ඊට එරෙහි වීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය සතු මෙහෙවරකි.

සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news