Friday, June 21, 2024

මැතිවරණ කල්දමන දේශපාලනය හරහා හතර වන පරම්පරාවත් බිලි දෙමුද? – රංජිත් හේනායකආරච්චි

ඡායාරූපය: 1982 ජේආර්ගේ මැතිවරණ කල් දැමූ ජනමතවරණයේ  ජේආර්ගේ ලාංචනය වූයේ ලාම්පුවයි!

මිනීමැරීමට ප්‍රචණ්ඩත්වයට අපි විරුද්ධ වෙමු. අප සමාජයේ වැඩි දෙනාද එසේ මය. නමුත් ප්‍රශ්නය නැගෙන්නේ එසේ විරුද්ධ වීම හිත තුල පමණක් පවත්වා ගැනීම ප්‍රමාණවත්ද යන්නය. නැත. සමාජය තුල නිධන් ගත රෝගයක් බවට පත්ව ඇති මේ ම්ලේච්ච ප්‍රචන්ඩත්වයට අප සමාජයක් ලෙස එරෙහිවිය යුතුය. ප්‍රචණ්ඩත්වය අප සමාජයෙන් තුරන් කිරීමට නම් සමාජයක් වශයෙන් අප එක්ව ප්‍රචණ්ඩත්වයට විරුද්ධව නැගී සිටිය යුතු බව මගේ වැටහීමයි.

ගහපිය, කොටපිය, මරපිය සාමාන්‍ය වීම

අප දියුණු, නූතන සමාජයක සභ්‍යත්වයට ගමන් කළ සමාජයක ජීවත් වන්නේයැයි  අපි කල්පනා කරමු. නමුත් කණගාටුවට මෙන් අප තාම මනුෂ්‍යත්වයට, දියුණු මිනිස් බවට වඩා ළං ව සිටින්නේ වානර යුගයට බව බොහෝ විට අපම  ඔප්පු කරමින් සිටිමු. ගහපිය, මරපිය යන වචන අප භාවිත කරන්නේ කමු, බොමු කියන්නාක් වැනි සරල බවකිනි. එසේම එවැනි ක්‍රියවන්ද අප සමාජයට සරල දේ බවට පත්ව ඇත. නිදහසින් පසු අප රටෙහි තරුණ තරුණියන් ලක්ෂ ගණනින් මරා දමා ඇත. සමහර අවදි වලදී අප තරඟයට මෙන් මිනිසුන් මැරූ රටකි.

ප්‍රභූ ප්‍රචණ්ඩත්වය

නිදහසින් පසු ලංකාවේ සමාජයට ප්‍රචණ්ඩත්වය දේශපාලනයත් සමඟ ම ආදේශ වී ඇත. දේශපාලන බලය සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් තම අතට ලැබුණු ලංකාවේ ප්‍රභූ පැලැන්තිය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කාරණා සමග එකඟ වූවා විය හැක. නමුත් ‍ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සමාජගත වීම සමග එකඟ නොවූ බව ඔවුන් රට මෙම තත්වයට ගෙන ඒමේ ක්‍රියාදාමය තුළින් පැහැදිලි වේ.

නිදහසින් පසු පල වෙනි පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්නා ‍ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් තුළින් ඒම දේශපාලන නායකයින් පළමුවෙන්ම  කළේ රටෙහි  ප්‍රධාන ආදායම් මාර්ගයක් ව පැවැත්වුණු වැවිලි කර්මාන්තයේ ශ්‍රමික ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයාගේ පුරවැසිභාවය අහිමි කිරීමයි.

1956 ‍ප්‍රජාතන්ත්‍ර විරෝධී සිංහල පමණක් පනත සම්මත කිරීම තුළින් තවත් වතාවක් රටෙහි ප්‍රභූ පන්තිය පැහැදිලි කරන්නේ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව ට එකඟ නැති බවයි.

මරා දැමීමේ සහ සිරගත කිරීමේ  දේශපාලනය

ඔවුන්ගේ එවැනි ක්‍රියා නිසා ඇතිවන කැරලි උද්ඝෝෂණවලදී මිනිසුන් මරා දැමීම සහ සිරගත කිරීම අපේ දේශපාලනයේ භාවිතාවයි.

ඉන් පසුව දිගින් දිගටම රටෙහි කුඩා ජන කණ්ඩායම් වල අයිතීන් පාගා දැමීම මෙන්ම බුද්ධාගමට පමණක් ප්‍රධාන තැනක් දෙමින් කරන ‍ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනය අද දක්වාම ගමන් කරයි. අප රට බහු සංස්කෘතික බහු ආගමික රටක් බව ඔවුන් අමතක කරයි.

1971 එකේදි රටෙහි දකුණේ සිංහල තරුණයන් තරුණියන් කැරලි ගැසූහ. මේ නිදහසින් පසුව වසර විසි තුනක් ගත වන විටයි.  ඊට  එරෙහි  මර්දනයේ හස්තය දියත් වන්නේ අමු අමුවේ මිනී මරමින් ස්ත්‍රී දුෂණ සහ ගෙවල් ගිනි දැමීම් තුළින් නිර්දය යටපත් කිරීම සමාජය මත මුදා හරිමිනි.

ජාති ප්‍රේමය, ආගම් ප්‍රේමය ජාවාරමක් කර ගැනීම 

ඉන්පසු උතුරුකරයේ ජනයා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අයිතීන් ඉල්ලා කළ සාමකාමී උද්ඝෝෂණ වලට සත්‍යග්‍රහ වලට ප්‍රචණ්ඩ මර්දනයේ හස්තය දියත් කිරීම තුළින් එම ජන කණ්ඩායම් වල තරුණ පිරිස් කැරලි ගසන මට්ටමකට තල්ලු කර දමන ලදී. එම මර්දනය ලක්ෂ ගණනක් ජන ජීවිත බිලි ගන්නා අතර රටෙහි සියලුම සම්පත් ජාවාරම්කරුවන් අතට ගැනීමට අවශ්‍ය ඉඩ රටෙහි දේශපාලනය තුලින් ඇතිවෙයි. දේශප්‍රේමය, ජාති ප්‍රේමය, ආගම් ප්‍රේමය ඔවුන්ගේ ජාවාරම්  කර ගැනීමට ඉදිරියට දමන මෙවලම්ය.

88-90 අනුව ඊළඟ දකුණේ තරුණ නැගිටීම් වඩා ප්‍රචණ්ඩත්වය ආකාරයකින් මතු වන අතර එදා සමාජය මත දියත් වූ ප්‍රචණ්ඩත්වය අදටත් සමාජ මනස තුළ කම්පනයක් ඉතිරි කර තිබේ. දහස් ගණනින් තරුණ තරුණියන් අතුරුදහන් කිරීම ඒ යුගයේ භයානක ලකුණ විය. ප්‍රචණ්ඩත්වය දියත් කල කළමණාකරුවන් කිසිදු ගැහැටකින් තොරව අදටත් රටේ දේශපාලනයේ ඉහළම තනතුරු දරති.

පාඩම් ඉගෙන නොගත් රනිල්

අද රනිල් වික්‍රමසිංහ කරගෙන යන දේශපාලනය තුළ පෙන්නුම් කරන්නේ නිදහසින් පසු ඉතිහාසයේ ලංකා දේශපාලන බලය හෙබවූ අය කළ වැරදි වලින් පාඩම් ඉගෙන නොගෙන එම ඉතිහාසයම නැවත වතාවක් එසේ නිර්මාණය කිරීමට සැරසෙන බවයි.

ව්‍යවස්ථා වෙට්ටුවකින් කුමන්ත්‍රණකාරී ලෙස බලයට එන වික්‍රමසිංහ ක්‍රියාත්මකවීම ඇරඹෙන්නේම තමාට නොලැබුණු ජනවරමක් තමාට ලැබුණා යයි ඉහටත් උඩින් පිළිගත් මහන්තත්ත්වයකින් හිස උදුම්මාගෙන බව ඔහු විටින් විට කරන ප්‍රකාශ තුළින් ගම්‍ය වේ.

“වැඩ වර්ජන බැහැ, පෙලපාලි බෑ, උද්ඝෝෂණ බෑ. මේ රට අරාජික කරන්න මම ඉඩ දෙන්නේ නෑ” වැනි රනිල්ගේ උද්දච්ච කතාවලින් ඔහු පෙන්වන්නේ ‍ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අබ මල් රේණුවක තැකීමක් ඔහු තුළ නැති බවයි. ආඥාදායකයකු ගේ එසේ නැතිනම් ඒකාධිපතියකු ගේ අධිපතිවාදී වාග් මාලාවක් ඔහු තුළින් මතු වේ.

කටුකන කසකරුවෝ

ඔහුගේ කසකරුවන් ලියන කාරණා දෙස බලන විට එය තවත් හොඳින් වටහා ගත හැක. ඔවුන් එක දිගටම ලියන්නේ අපට කොමිෂන් වලින් වැඩක් නැත. ස්වාධීන කොමිෂන් වලින් සිදුවන්නේ ජනාධිපතිවරයාට කිරීමට කියන වැඩ වලට බාධා ඇතිවීමයි. මැතිවරණ කොමිසම හෝ වෙනත් කොමිෂන් පිළිබඳව රනිල් වික්‍රමසිංහ ගේ මතය ඊටත් එහා ගෙන යමින් එක් කසකරුවකු ලියන අන්දම “හොරාට පෙර කෙහෙල්කැන වැට පනින” ආකාරයක් පෙන්වයි.

ඉතාලියානු ජාතික පැසිස්ට් දර්ශනවාදියකු වූ (Julius Evola) ජූලියස් එවෝලා ඔහුගේ ප්‍රසිද්ධ “කොටියා පිට පැදීම- නැත්නම් කොටියා පිට යාම” (Cavalcare la Tigre) යන පොතෙන් ඔහු ඉදිරිපත් කරන්නේ ‍පැසිස්ට්වාදීන් කල යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය මතින් බලය ලබා ගෙන එය තෙහෙට්ටුවට පත් කිරීමේ දේශපාලන ක්‍රියාදාමයක යෙදීම තුල අවසානයේ දී පැසිස්ට් ඒකාධිපති බලයක් සඳහා සමාජය සකස් වන බවයි.

ඒකාධිපතියකු සදහා පාර කපා ගැනීම

අද ලංකාව තුළ ලියන ඉහත කී කසකරුවන්  ‍ප්‍රජාතන්ත්‍රවාදය තුල ඇති දුර්වලකම් අපහසුතාවයන් දක්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා නොව ඔවුන්ගේ උවමනාව වන බලවත් ඒකාධිපතියකු ගේ පාලනයක් රටට අවශ්‍යයි යන්න ව්‍යංගයෙන් ගම්‍ය කිරීමටයි.

ඔවුන් හඬගා ඉදිරිපත් කරන ඊළඟ මතය වන්නේ මේ ආර්ථික අර්බුදයෙන් හිර වී තිබෙන රටට මේ මොහොතේ ඡන්දයක් අවශ්‍ය නැති බවයි. පලමුව ආර්ථික ප්‍රශ්න විසඳා දෙවනුව ඡන්ද ගැන බලමු කියයි. ඡන්දය තුළින් ගම්‍ය වන්නේ ජනතාවගේ ‍ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තහවුරු වීමයි. ඡන්දය වැළැක්වීමෙන් සිදුවන්නේ ජනතාවගේ අයිතිය උල්ලංගනය කිරීමේ වැරදි ආදර්ශයක් ලබා දීමයි.

මෙම ආර්ථික අර්බුදය අද මතු වී ඇත්තේ දිගු කලක් තිස්සේ රටේ පැවති වැරදි දේශපාලනයක ප්‍රතිඵල ලෙසනි. ආර්ථික අර්බුදය මතුවන්නේ දේශපාලන සහ සංස්කෘතික අර්බුදය සමග අත්වැල් බැඳගෙනය. එහි මූලික වරද ඇත්තේ වැරදි දේශපාලනය තුළය.

ජනතාවගේ පරමාධිපත්‍යයට ගරු කරන දේශපාලනයක්

එසේනම් ‍ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නැති කිරීම තුළ, ඡන්දය පැවැත්වීම වැලැක්වීම තුළ ආර්ථික වශයෙන් මෙය ගොඩනැගිය නොහැකි ය. එයින් සිදුවිය හැක්කේ අර්බූදය තවත් උඝ්‍ර වීමය. එනිසා මුලින්ම සිදුවිය යුත්තේ ‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කරන මිනිස් අයිතීන් තහවුරු කරන ජනතාවගේ පරමාධිපත්‍යයට ගරු කරන දේශපාලනයක් රට තුළ ඇති වීමයි.

අද පාලක කල්ලිය සහ කසකරුවන් කැස කවන්නේ එම අර්බුදයන් මැද ඉතිරි වී ඇති ඉතා කුඩා  ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පවා ජනතාවට අහිමි කිරීමටයි. මේ ගමන කොහෙන් කෙළවර වේද යන්න සිතිය නොහැකි තරම් ය. ඒබැවින් අපට ඇසීමට සිදුවන්නේ අප යන්නේ කොයි පාරේ ද කියායි.

මා මෙහි මුලින් සඳහන් කළ පරිදි බංකොලොත් වූ රටක් ලෙස බවට පත්ව ඇත්තේ  නිදහසින් පසු ලංකාව පාලනය කළ ප්‍රභූ පංතිය මෙතෙක් කළ දේවල  ප්‍රතිඵල නිසාය. එයට අඩු වැඩි වශයෙන් ඉතිහාසය පුරා බලය හෙබවූ දේශපාලන නායකයින් නායිකාවන් වගකිව යුතුය. අද ජනාධිපති වී සිටින රනිල් වික්‍රමසිංහ මෙම වැරදිකරුවන් අතර සිටින ප්‍රධාන පුද්ගලයෙකි. එසේ නම් ඔහුගෙන් විසඳුම් බලාපොරොත්තු වෙනවා යනු “නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් සහ තවත් ටිකක්” සෙවීම වැනිය.

නමුත් ඔහුගේ දේශපාලනයෙහි මැතිවරණ මඟ ඇරීම වැනි දේවල් තුළින් ඔහු උත්සාහ කරන්නේ නැවතත් ලේ වැගිරෙන ලංකාවක් ඇති කිරීම දෙසට බව මගේ වැටහීමයි. නිදහසින් පසු ලංකාවේ පරම්පරා තුනක් ඝාතනයට සහ වධබන්ධන වලට නතු වී ඇත. නතු කර ඇත. දැන් අද මෙම බල තණ්හාවෙන් පෙළෙන අදිපතිවාදී වියරුවකින් මනස උදුම්මාගෙන ඇති වික්‍රමසිංහ සහ කල්ලිය උත්සාහ කරන්නේ හතරවන පරම්පරාවකුත් විනාස කිරීමට දැයි මට මහත් සැකයක් ඇත.

විසඳුම එකතුව පමණයි

මෙම ඒකාධිපති වියරුවට ඇති එකම බෙහෙත වන්නේ සියලුම දේශපාලන සහ සිවිල් සමාජ එකතුවකින් මෙම විනාශකාරී බල හවුල වෙනස් කිරීමයි.  එක්ව ගැලවෙමුද වෙන්ව වැනසෙමුද යන්න තවතවත් අපට තහවුරු වෙමින් පවතී.

ඒකාදිපති වියරුව පරදවමු!

රංජිත් හේනායකආරච්චි.

18.02.2023

Archive

Latest news

Related news