Friday, April 26, 2024

රටින් පිට කරපු ණය අර්බුදයට වඩා විශාලයි- වෘත්තිය සමිති නායකයෝ කියති

පසුගිය වසර 15 තුළ රටින් අනීතිකව පිට කළ විදේශ විනිමය රටේ සමස්ත විදේශ ණය අර්බුදයට වඩා විශාල බවත්, රටේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව එය බවත්, රජය මේ මොහොතේ ජනතාව මත බර පටවමින් ගෙන යන මර්දනකාරී ආර්ථික පිළිවෙත මෙම ගැටලුවට පිළියමක් නොවන බවත් වෘත්තිය සමිති කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ විය.

ලොව පිළිගත් කීර්තිමත් ආර්ථික විද්‍යාඥයන් ඇතුළු විද්වතුන් ප්‍රකාශයක් නිකුත් කරමින් මේ පිළිබඳ පවසා ඇති බවත්, ආණ්ඩුව මුදල් නොමැති බව ප්‍රකාශ කරමින් සිටියත් මෙලෙස රටින් පැන්නූ මුදල් නැවත ගෙන්වාගතහොත් ආණ්ඩුවට මුදල් සොයාගත හැකි බවත් එහිදී ප්‍රකාශ කරනු ලැබීය.

වෘත්තිය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව ජනවාරි 19 වැනිදා කොළඹදී පැවැත්වූ එම මාධ්‍ය හමුවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්, ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල, එක්සත් කම්කරු සම්මේලනයේ ලේකම් ස්වස්ථිකා ආරුලිංගම් යන අය එහිදී අදහස් දැක්වීය.

එම අදහස් දැක්වීම් මෙසේය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් 

‘අද ලංකාවේ ජනතාව බරපතල අර්බුදයක ඉන්නේ. සියලුදෙනා පීඩාවට පත්වෙලා ඉන්නේ. එහෙම අවස්ථාවක අපි දැක්කා ඊයේ දවසේ භාණ්ඩාගාර ලේකම්, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු සියලුදෙනා මාධ්‍ය ආයතන කැඳවලා. ඔවුන් කියන ප්‍රධාන කාරණය අත්‍යවශ්‍ය වියදම් පියවාගන්නවත් භාණ්ඩාගාරයේ සල්ලි නැහැලු. භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන කියන්නේ.

භාණ්ඩාගාරය හිස් කියලා කියන්න ආණ්ඩුවක් ඕනෑද?

රනිල් කතා කළොත් කියන්නේ සල්ලි නෑ කියලා. අවුරුද්ද අවසාන වෙනකල් ඉන්නලු. බන්දුල ගුණවර්ධන නිරන්තරයෙන් කියන්නේ සල්ලි නෑ. අපි ඉවසන්න ඕනෑලු. නිලධාරීන් සෙට් එකක් දාලා, ඒගොල්ලොත් කියනවා සල්ලි නෑලු.

සල්ලි නැත්නම් ආණ්ඩුව ගෙදර යන්න.

මේ රටේ ජනතාවට ජීවත්වෙන්න බැරි තත්වයක් නම් තියෙන්නේ, ජීවත් කරවන්නත් බැරිනම් කරන්න පුලුවන් කෙනෙක්ට රට දීලා ආණ්ඩුව ගෙදර යන්න.

දැන් කරන්නේ සල්ලි නැහැ කියමින් ජනතාව තව තවත් පීඩාවට පත් කිරීම.

අවසාන කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ලබාදීමේදී විධායක නිලධාරීණ්ගේ වැටුප ප්‍රමාද කර ලබා දීමට. ඒක ප්‍රකාශ කරන්නේ කොහොමද, දින එකක් වෙන්නත් පුළුවන් තුනක් වෙන්නත් පුළුවන් සතියක් වෙන්නත් පුළුවන්. මොකක්ද මේ විහිළුව.

රාජ්‍ය සේවයේ සේවා වර්ගීකරණයක් තියෙනවා. විධායක පඩිය කල් දැම්මාට පස්සේ, ඉදිරියේදී අනෙක් අයට එනවා. මේ මුට්ටය දාලා බලන්නේ. ආණ්ඩුවට ආර්ථිකය පවත්වාගෙන යන්න බෑ. මුදල් නෑ. කප්පාදුවකට ඇවිල්ලා තියෙන්නේ. මේක බරපතල ප්‍රකාශයක්.

බන්දුල ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට පඩිය පරක්කු කරන බව ලැජ්ජා නැතිව කියනවා. මේක කියන්නේ ජනතාවට.

ආණ්ඩුව කරන්න බැරි නම් මොකටද මේක පවත්වගෙන යන්නේ.

අද බරපතල අර්බුදය ඇවිල්ලා තියෙන්නේ සුභසාධන ලබාගන්නා ක්ෂේත්‍රවලට. අධ්‍යපනය, සෞඛ්‍ය බරපතල අර්බුදයකට ලක් වෙලා තියෙන්නේ.

ඒ විතරක් නෙවෙයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී කියනවා, ඕලෙවල් ඒලෙවල් ළමයින්ට හැඳුනුම්පත් ගන්නකොට කාඩ් එක වෙනුවට කොළයක් දෙනවාලු. ළමයෙකුට විභාගයක් කරන්න හැඳුනුම්පතක්වත් දීගන්න බෑ. ලැජ්ජා නැතිව නිලධාරීන් පාරට ඇවිල්ලා ඒක කියනවා. පාසල් වාරය මාර්තුවේ අවසන් වෙනවා, අප්‍රේල්වල පළමු පාසල් වාරය පටන්ගනන්වා. පොත් දීගන්න බෑ.

පොත් වර්ග 446ක් තියෙනවා. විශාල පොත් සංඛ්‍යාවක් අච්චු ගහන්න තියෙනවා. මිලියන 16,000කට වැඩියි ඒ වියදම. පෞද්ගලික අංශයේ පොත් ලබාගන්නා තැන්වලට මුදල් ගෙවලා නෑ. අධ්‍යපන ඇමති කීවේ පොත් ගහන්න ප්‍රශ්නයක් නෑ, ඉන්දියාවෙන් කොළ හම්බවෙනවා කියලා. ඒ ප්‍රශ්නය ඉවරයි කීවා. ඒත් අපි කිව්වා පෙළපොත් අර්බුදයක් එන බව. දැන් තව මාසයයි. පොත් ටික ගහලා දෙන්න පුළුවන්ද? මොකද්ද ආණ්ඩුවට පොත් ටික දෙන එක ගැන දැක්ම?

ළමයින්ගේ රෙදි ලබාදීමේදී චීනයෙන් නැවක් පිළිගත්තා. ඒත් සීයට 70යි හම්බවෙලා තියෙන්නේ. ඉතිරි සීයට 30ට කරන දේ නෑ. ගිය අවුරුද්දේ පළමු වසරට ආපු ළමයින්ට රෙද්දක්වත් දීලා නෑ.

ළමයි සම්බන්ධයෙන් සම්පූර්ණ කටයුතු මඟහරිමින් යන්නේ.

සුරක්ෂා රක්ෂණාවරණයට මුදල් ගෙවන්නේ නෑ. ඒක සම්පූර්ණයෙන් මැරෙන්න හැරලා තියෙන්නේ. ළමයින්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් කිසිම කතාවක් නෑ. වැඩපිළිවෙලකුත් නෑ.

සියල්ල කරගන්න බැරිවෙලා ඉන්නේ. දෙමාපියන්ටත් ඒ බර දරන්න බෑ. පාසල් උපකරණ මිල තුන් ගුණයකින් වැඩිවෙලා. මේ විශාල අර්බුදයක් තියෙද්දී, විසඳුම් දෙන්න බැරි ආණ්ඩුවක් ඉන්නේ.

ආණ්ඩුව කැබිනට් ධුර දෙකක් දෙනවා. පවිත්‍රා වන්නිආරච්චි, ජීවන් තොණ්ඩමාන් කියන දෙන්නාට. තව 12ක් දෙන්න තියෙනවා. මොකක්ද මේ විහිළුව. කැබිනට් අමාත්‍යධුර දෙකක් නැතිව ආණ්ඩුව යන්න බැරිද? මේ යස අගේට ජනතාව පීඩාවට පත් කරමින් යන්නේ.

මේ තමන්ගේ පැවැත්ම සහතික කරගෙන ගමනක් යන්නේ. ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පැවැත්ම. දැන් පෙබරවාරි 04 නිදහස් උත්සවයක්. අත්‍යවශ්‍ය වියදම් පියවාගන්න සල්ලි නෑ කියන අතරේ නිදහස් උත්සවයට මිලියන 200ක්. ලොකු උත්සව තියලා, විශාල ප්‍රචාරක ව්‍යාපෘති දාලා මොන නිදහසක්ද?

මේවාට සල්ලි තියෙනවා. හැබැයි ළමයාගේ බඩගින්න නිවන්න සල්ලි නෑ. මේකයි විහිළුව. ඒ නිසා රනිල් රාජපක්ෂ ආණ්ඩුව කුමන්ත්‍රණකාරී විදියට ඉස්සරහට යන්න ලෑස්ති වෙන්නේ. රනිල්ගේ ජනාධිපති තනතුර ආරක්ෂා කරනවා පොහොට්ටුව. මේකට තියෙන ප්‍රධාන බාධකය ජනතා නැගිටීම.

ඒක මර්දනයට පුනරුත්ථාපන පනත ගේනවා. ත්‍රස්ත පනත තියාගන්නවා. වසන්ත ඇතුළේ තියාගෙන ඉන්නවා. ඊයේ පුනරුත්ථාපන කාර්යාංශ පනත සම්මත කළා. හාස්‍යජනක දේ තමයි විරුද්ධව ඡන්ද 6යි. විපක්ෂයේ කීයක් ඉන්නවාද? විරුද්ධව 6යි. සජබ, ජවිපෙ විරුද්ධයිලු. කෝ ශක්තිමත් විරෝධයක්. පුනරුත්ථාපන පනතට මෙයාලා යටින් කැමතිද? මේකේ එක පැත්තකින් තියෙනවා මත්ද්‍රව්‍ය සම්බන්ධ අය තමයි කරන්නේ කියලා. හැබැයි ඔවුන් පුනරුත්ථාපනයට දැනටමත් නීති තියෙනවා. මේකේ අරගලකරුවන් කියලා කලින් තිබුණ එක සංශෝධනය කළාට, පැහැදිලිවම මත්ද්‍රව්‍ය සම්බන්ධ අය සහ වෙනත් තැනැත්තන් කියලා පුනරුත්ථාපනයට ලක් වෙන අය ගැන පනතේ සඳහන් වෙලා තියෙනවා. කවුද වෙනත් තැනැත්තන්? ඕනෑ නම් මේකට තව සංශෝධනයක් ගේන්න තිබුණා.

හදිසියේ පුනරුත්ථාපන පනතක් ගෙනාවේ ඇයි? මෙච්චර විපක්ෂයක් සිටියදී 6 දෙනෙකු පමණක් අවශ්‍ය ඇයි.

මේකෙන් පැහැදිලි වෙන්නේ මර්දනය ගෙනියන්න කවුරුත් කැමතියි. මේ පනත විශාල ප්‍රශ්නයක්. මේ වෙද්දී බැංකුවල ණය ගත්ත අයගේ පොලී වැඩි කිරීම, වැටුප් කප්පාදුව, බදු වැඩි කිරීම ආදිය සිද්ධවෙනවා. විශ්‍රාම වැටුප් ලබන අය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. විශ්‍රාම වැටුප් ප්‍රමාද වෙද්දී පරිගණක පද්ධතියේ ප්‍රශ්නයක් කියලා ෂෙහාන් සේමසිංහ අමාත්‍යවරයා කීවා. හැබැයි ඇත්තටම වුණේ දිනයක් ප්‍රමාද කිරීම. මේ අය කොකා පෙන්වලා තමයි යන්නේ. මෙයාලාගේ මර්දන යාන්ත්‍රණය තමයි මේ හදමින් ඉන්නේ. පුනරුත්ථාපන පනත, ත්‍රස්ත පනත සම්මත කරලා පොලීසිය යොදමින්. පොලීසියට ජීප් රථ 500ක් ගෙනාවා. මොකටද? මර්දනයට.

මේ සියලු අර්බුදයන් එන්න ප්‍රධාන හේතුව තමයි ආනයන, අපනයනයේදී පසුගිය අවුරුදු 12ක් තිස්සේ වෙච්ච වංචාවන්. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමති දෙසැම්බර් මාසයේදී කීවා වංචාවන්ගෙන් ඩොලර් බිලියන 53ක් වංචා වෙලා තියෙනවා කියලා. ඔහු ඒ සඳහා රජය ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද?

කවුද මේකේ ඉන්නේ? රාජපක්ෂ පවුලේ දායකත්වය මොකක්ද? ඒවා ගැන ක්‍රියාමාර්ග මොනවාද? ඔවුන් තමන්ගේ පැවැත්ම විතරයි හිතන්නේ. අවශ්‍ය නම් මේ සල්ලි ගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් මහබැංකු අධිපති ඇතුළු හැමෝම කතා කරනවා. ඒත් කිසිම ප්‍රකාශයක් නෑ.

ජනවාරි 08 වැනිදා ලෝකප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයන් 182ක් අත්සන් කරලා ආර්ථික අර්බුදය ගැන ප්‍රකාශයක් අත්සන් කළා. කෝ ඒ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ගය. ඔවුන් මේ වාර්තාවේ සඳහන් කළ ප්‍රධාන කාරණයක් තමයි මෙවර අයවැයේ ආදායම් ලබාගැනීම සඳහා තියෙන ඇස්තමේන්තු උපයාගන්න බැහැ කියලා. අපේක්ෂිත ආදායම කිසිවිටක උපයාගත නොහැකි ආදායමක් කියලයි කියන්නේ. ඇස්තමේන්තුව කිසිලෙසකින් ලබාගන්න බැහැ කියලා ලෝකය පුරා ඉන්න විශේෂඥයන් කියනවා. සියල්ල විකුණමින් යනවා කියලාත් තියෙනවා. කරන්න එපා කියලාත් තියෙනවා.

ආණ්ඩුව තමන්ට ලැබිය යුතු වත්කම් ලබාගන්න උත්සාහයක් නෑ. හොරකම් කරපු රාජපක්ෂ පවුලයි ඒ ගේම ඉන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැහැදිලිව කීවා, ලංකාවේ ආර්ථික අපරාධ කළා කියලා. රාජපක්ෂවරු කරපු හොරකම් සහ ආනයන අපනයන වංචා තමයි ඒ ආර්ථික අපරාධ. ඔවුන් තාම බලයේ ඉන්නවා.

ජනතාවට පටි තද කරගන්නලු. මේ සෙල්ලම හරියන්නේ නෑ.

දැන් පීඩාවට පත්වෙන්නේ සෞඛ්‍ය ප්‍රතිලාභ, අධ්‍යාපන ප්‍රතිලාභ ලබන ජනතාව. අපි ආණ්ඩුවට කියන්නේ ගෙදර යන්න. නැත්නම් අපි ජනතාව එක්ක ඉදිරියට එනවා.‘

ආර්ථික විශ්ලේෂක ධනූෂ පතිරණ  

‘මේ මොහොතේ ලංකාව ආර්ථිකය ඉතිහාසයේ උග්‍රම විදේශ විනිමය අර්බුදයට මුහුණදීලා තියෙනවා. මේකට හේතුව දිගින් දිගටම ආනයන සහ අපනයනකරුවන් කරන දූෂිත ක්‍රියාවලිය හරහා ලංකාවේ විදේශ විනිමය ඩොලර් බිලියන ගණනින් පිටවීම සහ ආදායම නැවත රැගෙන නොඒම කියන කාරණය බව අප දිගින් දිගටම ලිඛිතව මහ බැංකුව දැනුවත් කළා.

පහුගිය සුමාන කිහිපය ඇතුළේ ලංකාවේ අපනයන ව්‍යාපාරිකයන් අපට උත්තර දීලා තියෙනවා. ඔවුන් කියන කාරණයන්වල සාවද්‍යභාවය ගැන කතා කිරීම තමයි මෙම මාධ්‍ය සාකච්ඡාවේ මූලිකම කාරණය. ඊට අමතරව මෙම ඇතිවෙලා තියෙන විදේශ විනිමය ශ්‍රී ලංකාව තුළින් පිටවීම කියන කාරණය කතා කරනවා.

ආනයන සහ අපනයන ක්ෂේත්‍රයේ ඉන්න ව්‍යාපාරික ප්‍රභූන් හරහා සිදුවෙන ක්‍රියාවලීන්ගෙන් විදේශ විනිමය පිටවීම කොහොමද ලංකාවේ ණය උගුලට බලපාලා තියෙන්නේ. මේවාට ව්‍යාපාරිකයන් දීලා තියෙන පිළිතුරු මොනවාද? ඒවා පිළිගන්න පුළුවන්ද?

උදාහරණයක් විදියට රොහාන් මාසකෝරාල රබර් අපනකරුවන්ගේ සංවිධානයේ අධ්‍යක්ෂ ධුරය දරනවා. ඔහුගේ පිළිතුරේදී කියන දෙයක්, ඔව් තමන් ප්‍රාග්ධනය පිටතට අරගෙන ගිහිල්ලා තියෙනවා තමයි, තමන් ඒක නීතියට අනුව කළේ මොකක්ද ඒකේ වැරැද්ද කියලා.

අපි අහන්නේ මේ සාවද්‍ය ඉන්වොයිසිකරණය මොන නීතියට අනුවද කළේ කියලා. මේ සාවද්‍ය ඉන්වොයිසිකරණය හෙවත් ආනයන අධිඉන්වොයිසිකරණය සහ අපනයන අවඉන්වොයිසිකරණය ගැන පැහැදිලි වාර්තා තියෙනවා.

දෙවනුවට ඇඟලුම් අපනයනකරුවන් කියන කාරණයක් තමයි අපනයන ආදායම රටට ගෙන නොඒම කියන කාරණය. මහ බැංකුව ඇඟලුම් ආනයනකරුවන්ට කියනවා ඔවුන්ගේ ආදායමෙන් සීයට 50ක් ලංකාවට ගේන්න ඕනෑ බව.

අපනයනකරුවන් තමන්ගේ ආදායම් ගෙන නොඒමට නිදහසට කරුණක් විදියට කියනවා ලංකාව ඇතුළේ කරන නිෂ්පාදනවලට ඩොලර්වලින් පියවීම් කළා කියලා. විශේෂයෙන් තෙල් මිලදී ගන්න ඩොලර් පාවිච්චි කළ නිසාලු ආදායම් නොගෙනාවේ. මේක සාවද්‍ය කතාවක්. විදේශ විනිමයෙන් පියවීම කළත් අවසානයේදී ඒක මූලික සීයට 50 හෙවත් වියදම්වලට අයිති වෙන්න ඕනෑ. ඔවුන් සැපයුම්කරුවන්ට විදේශ විනිමයෙන් ගෙව්වත්, සමස්ත ක්ෂේත්‍රයේ අගය එකතු කිරීම සීයට 50 මට්ටමේ තියෙන්න ඕනෑ.

අපනයන ආදායමෙන් මූලිකව සීයට 14ක් විතරයි ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. සීයට 50ක් ගේන්න ඕනෑ වුණත්. ඔවුන් සීයට 36ක්ම ගෙනාවේ නැත්තේ, තෙල්වලට ගෙවන්නලු. ඒ සීයට 36 කියන්නේ 2022 පළමු මාස 11 තුළ ඩොලර් බිලියන 2ක් පමණ. ඒත් 2022 පළවැනි මාස 11 රටේමි සමස්ත තෙල් ආනයන වියදමත් ඩොලර් බිලියන 4යි. එතකොට ඒකෙන් බාගයක් විතර වැය කළේ ඇඟලුම් අපනයනකරුවන්ටද? මෙතැනින් වැටහෙනවා ඔවුන් කියන බොරුව.

අපි මේ කතා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ලංකාවේ අපනයන මිල සීයට 116කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. නමුත් අප දන්න කාරණයක් තමයි තේ වතු ක්ෂේත්‍රයේ වැඩකරන කම්කරුවන්ගේ වැටුප සත පහකින්වත් වැඩි කළේ නෑ. තේ කම්කරුවන්ගේ වැටුප් වියදම විතරක් සමස්ත වියදමෙන් සීයට 70ක් තියෙනවා. අනෙකුත් යෙදවුම්වල මිල දෙගුණ වුණත් සමස්ත වියදම සීයට 20ක් විතර තමයි වැඩි වෙන්නේ. ඒත්, ඔවුන්ගේ ලාභය නම් තුන් ගුණයකින් වැඩි වෙලා.

මුලින් මහබැංකුව කියපු දත්ත හරි කියලා පෙන්වන්න පුළුවන්. මොකද නිෂ්පාදන වියදම මේ කියන තරම් යන්නේ නැති බව විෂය දන්න අයට වැටහෙනවා.

මේ සාවද්‍ය ඉන්වොයිසිකරණය පාවිච්චි කරලා, පහුගිය වසර 15 ඇතුළේ ලංකාවෙන් පිටට ගිය විදේශ විනිමය සමස්ත ණය කන්දට වඩා විශාලයි කියලා පෙන්වලා තියෙනවා. ලෝකයේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයන් 182ක් ලංකාව පිළිබඳ නිවේදනයක් නිකුත් කළා. ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල එය පළ වුණා. ඔවුන් කියනවා මේ බව. ඒ කියන්නේ ලංකාවේ සමස්ත ණයවලට වඩා, ලංකාවෙන් පිටට පැන්නූ විදේශ විනිමය ප්‍රමාණය විශාල බව.

රටෙන් පිට වූ විදේශ විනිමය ගැන සොයා බලන්න, දැනටමත් සිදුවෙන ඒ ක්‍රියාවලිය නවත්වන්න කියලා ඒ ලෝකයේ ප්‍රමුඛ ආර්ථික විශේෂඥයන් කියනවා. ඒ මතයේ අපිත් ඉන්නවා.

මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අප අවධාරණය කරනවා පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරලා විදේශ විනිමය කොල්ලය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා. මීට සුමාන 2කට කලින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවා පාර්ලිමේන්තුවේදී මේ ගැන ප්‍රකාශයක් නිකුත් කළා. අපි කියන්නේ මේ සම්බන්ධයෙන් රජය ඍජුව ක්‍රියා කළ යුතු බව.‘

ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල  

‘මුලින්ම කියන්න ඕනෑ, ඇත්තටම අව සහ අධි ඉන්වොයිසිකරණය හරහා මේ රටෙන් පිටවෙලා තියෙන විදේශ විනිමය ප්‍රමාණය, ඒ කියන්නේ ඒ පිළිබඳ දැන් තියෙන වාර්තාවන් ගත්තාම ඩොලර් බිලියන 40ක් පමණ පිටවෙලා තියෙනවා. අධිකරණ අමාත්‍යවරයා කරපු ප්‍රකාශය ඇතුළේ තියෙනවා ඩොලර් බිලියන 53ක් රටෙන් එළියට ගියා කියලා.

අපි දන්නවා ආණ්ඩුව මේ වෙලාවේ විශාල බදු ප්‍රමාණයක් මහජනයා මත පටවලා තියෙනවා කියලා. වක්‍ර බදු සහ ඍජු බදු පනවලා තියෙනවා. රුපියල් ලක්ෂයට වඩා ආදායම් ලබන වැටුප් ලබන්නන්ට තමයි විශේෂයෙන් මේක බලපාන්නේ. ව්‍යාපාරිකයන් වියදම් එක්ක බලලා මූර්ත ආදායමට තමයි බදු ගෙවන්නේ. ඒත් වැටුප් ලබන්නන්ගේ වැටුපටයි බද්ද ගහන්නේ. දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට 11 දක්වා බදුවලින් අය කරන්නයි ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ.

අපි බැලුවොත් 1990 දශකයේ අවසානයේ සිට මේ දක්වා සීයට 22ත් 24ත් අතර සිට සීයට 9 දක්වා බදු ආදායම කඩාවැටිලා. අවසානයේ 2019 සිට 2022 දක්වා සීඝ්‍රයෙන් පහළ වැටිලා තමයි මෙතැනට ඇවිත් තියෙන්නේ. මෙච්චර බදු ගහලා දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට 2යි ආණ්ඩුව වැඩි කරගන්න යන්නේ. මේකෙන් රටේ මුළු මහත් ජනතාවටම මේක බලපානවා. බඩු මිල ඉහළ යෑම, ණය ගෙවාගන්න බැරිවීම ආදී විශාල ගැටලු ගෙඩක් ඇතිවෙනවා. මෙච්චර ගැටලු ඇතිකරලා සීයට 2යි ආදායම වැඩි කර ගන්නේ.

මෙහෙම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම පහළ වැටීමට හේතුව බලන්න ඕනෑ. මොකක්ද හේතුව? අපනයනකරුවන්ට දුන්න විශාල බදු සහන. මේ බදු සහන විඳපු, ඒවා ලබාගෙන ඒවායින් සුඛෝපභෝගී තත්වයන්ට පත්වෙච්ච අපනයනකරුවන් කරලා තියෙන්නේ මොකක්ද? මේ රටට ගේන්න ඕනෑ විදේශ විනිමය පිටරටවල පාක් කරලා එයාලාට අවශ්‍ය දේවල් කරලා තියෙනවා.

මේ විදේශ විනිමය එළියට ගිහිල්ලා තියෙන ඒවා ගෙන්වාගැනීමෙන් පමණක්, බදු ආදායමේ ප්‍රශ්නය විසඳාගන්න සහ මහජනයා මත පැටවූ විශාල උද්ධමනය කියන එක විසඳන්න පුළුවන්.

විදේශ විනිමය අවශ්‍ය නිසා රජයේ ආයතන පෞද්ගලීකරණය කරනවා කියලා රජය කියනවා. ඔවුන් කියනවා ටෙලිකොම් එක විකුණන්න යනවා කියලා. විදුලිබල මණ්ඩලය විකුණන්න ඕනෑ කියනවා. ඛනිජතෙල් සංස්ථාව වගේම ප්‍රධාන රාජ්‍ය බැංකුවල කොටස් විකුණනවාලු. හැබැයි ඒ සියල්ල කරලා ඩොලර් බිලියන 3යි බලාපොරොත්තු වෙන්නේ. ඒත් ඩොලර් බිලියන 40ක් ලංකාවෙන් එළියට ගිහින් තියෙනවා.

අපි පැහැදිලිව කියා සිටින්නේ රටේ ආර්ථිකය කඩා වට්ටලා මිසක් වැටිලා නෑ. හැබැයි ආණ්ඩුව පොඩි ඇත්තක් කියනවා. අර්ධ සත්‍යයක්. ලංකාව පවත්වාගෙන යන්න සල්ලි නැහැලු. ඒක ඇත්තක්. මේ මොහොතේ භාණ්ඩාගාරයට සල්ලි නැහැ තමයි. හැබැයි භාණ්ඩාගාරයට සල්ලි ගන්න ඕනෑ තරම් ක්‍රම තියෙනවා. ඒ ක්‍රම අනුගමනය කරන්නේ නෑ ආණ්ඩුව.

මේ විදේශ විනිමය ගෙන්වන්න පුළුවන්. අහවල් අය කළා කියලා මේ වැරදිකරුවන් ඔප්පු කරන්න පුළුවන්. අපි ආණ්ඩුවට කියනවා මේ තියෙන මුදල් පනත් වෙනස් කරලා හෝ මේක කරන්න කියලා. මේ අර්බුදය ජනතාව පිට පටවන්න එපා. අර්බුදය ඇති කරපු පුද්ගලයන්ගෙන්, ඔවුන්ගේ ධනයේ හැටියට, සොච්චමක් අරගත්තත්, මේ අර්බුදය විසඳන්න පුළුවන්. ‘

(නිවේදනයකි)

 

 

Archive

Latest news

Related news