Wednesday, April 24, 2024

රාජපක්ෂ ජනාධිපති දෙබෑයන්ට කැනඩාවෙන් සම්බාධක; වත්කම් සහ ව්‍යාපාර තහනම්!

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කැනඩාව සම්බාධක පනවා තිබේ. කවර රටක හෝ හිටපු ජනාධිපතිවරුන් දෙනෛකුටම විරුද්ධව බරපතල මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් සම්බාධක පනවන ලද එකම අවස්ථාව මෙය බව කියනු ලැබේ.

යළි ඇමෙරිකා එක්සත් ජනපද පුරවැසිබාවය ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ දරන උත්සාහයට  මෙම පියවර බරපතල බාධාවක් වීමටද ඉඩ තිබේ.

මෙම සම්බාධක අනුව රාජපක්ෂ දෙබෑයන් සමඟ කවර හෝ ව්‍යාපාරික ගනුදෙනුවක නිරත වීම සියලු කැනේඩියානුවන්ට තහනම් වෙයි.

රනිල් රාජපක්ෂ ආණ්ඩුව, රාජපක්ෂවරුන්ට දණ්ඩ මුක්තිය ලබා දී කිසිදු වරදකට දඬුවම් නොදීමට ගෙන ඇති පියවර අන්තර් ජාතික ප්‍රජාව පිළි නොගන්නා බව මෙම පියවර අනුව පෙනී යයි. රනිල් රාජපක්ෂ කලකට පෙර තමන්ද එකඟවූ ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනවන්ගෙන් ඉවත් වී අතිවා පමණක් නොව එම යෝජනා ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා දැඩ් උත්සාහයක්ද දරයි.

මෙම සම්බාධක පැනවීමේ පියවර ඉදිරි කාලයෙහි යුරෝපා රාජ්‍යයන් විසින්ද අනුගමනය කිරීමට බොහෝ දුරටම ඉඩ තිබේ.

ඊට අමතරව මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන හෙට්ටිආරච්චි යන දෙදෙනාටද සම්බාධක පනවා තිබේ.

කුඩා දරුවකු ඇතුළු දෙමළ ජාතිකයින් හය දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජීවිතාත්නය දක්වා දඩුවම් විදිමින් සිටි මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව දී නිදහස් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසිනි.

කැනේඩියානු රජයේ ප්‍රකාශයට අනුව,  මෙම විශේෂ ආර්ථික පියවර පනතට අනුව රෙගුලාසි යටතේ ඉලක්ක ගත සම්බාධක පනවා ඇත්තේ සන්නද්ධ ගැටුම් වලදී බරපතල සහ ක්‍රමානුකූලව මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙනි.

කැනේඩියානු රජයේ ප්‍රකාශය මෙසේ දක්වයි:

“ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේදී (1983-2009) බරපතල සහ ක්‍රමානුකූල මානව හිමිකම් කඩවීම් සිදු විය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් සඳහා  නොනැවත ක්‍රමවත්ව ලැබෙන දණ්ඩමුක්තිය, අඛණ්ඩව මූලික මානව හිමිකම් ආරක්ෂා කිරීම, පීඩාවට පත් ජනගහණයේ යුක්තිය  සහ සාමය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ අපේක්ෂාවන් අනතුරේ හෙළයි. පශ්චාත් ගැටුම් සඳහා වගවීම සහ ප්‍රතිසන්ධානය ආමන්ත්‍රණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය  සීමිත සංයුක්ත ක්‍රියාමාර්ග ගෙන ඇත. විශේෂයෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ ධුර කාලය තුළ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් යුද අපරාධවලට සම්බන්ධ වත්මන් සහ හිටපු රාජ්‍ය නිලධාරීන් රැසකට එරෙහිව තිබූ චෝදනා අත්තනෝමතික ලෙස ඉවත් කර හෝ දඬුවම් අවලංගු කර තිබේ. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා සහ කැනඩාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව මූලික මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ දණ්ඩමුක්තිය අවසන් කිරීම සඳහා නිරන්තරයෙන් පෙනී සිටිති.”

විශේෂ ආර්ථික පියවර පනතට අනුකූලව  ලැයිස්තුගත සම්බාධක පනවන ලද පුද්ගලයින් සතුව,  කැනඩාවේ  තිබිය හැකි ඕනෑම වත්කමක් තහනම් කැරෙනු ඇත.

මානව හිමිකම් උල්ලංඝණය කිරීම්වල වින්දිතයින්ට සහ දිවි ගලවා ගත් අයට යුක්තිය ඉටු විය යුතුය බවත්, අර්ථවත් වගවීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම සඳහා වන කැපවීම ඉටු කරන ලෙස කැනඩාව දිගින් දිගටම ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටි නමුත් එය තවම ක්‍රියාත්මක වී නැත.

මෙම සම්බාධක මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිදු කළ පුද්ගලයන්ට අඛණ්ඩව දණ්ඩමුක්තිය ලබා දීම කැනඩාව ඇතුළු අන්තර් ජාතික ප්‍රජාව පිළි නොගන්නා බවට පැහැදිලි පණිවිඩයක් ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සමනය කිරීම සඳහා හදිසි දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා වන ප්‍රයත්නයන්ට කැනඩාව සහාය දක්වන අතර මෙම අර්බුදය විසඳීම  පිණිස  ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කරන ලෙස  ශ්‍රී ලංකා රජයට දැඩි ලෙස දිරිමත් කරන බවද එම ප්‍රකාශනයේ දැක්වේ.

රනිල් රාජපක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කරන ලද  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායමේ කොටසක් ලෙස 51/1 යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා කැනඩාව අඛණ්ඩව පෙනී සිටින අතර දිවයිනේ වගවීම සහ සාමය ළඟා කර ගැනීම සඳහා වන ප්‍රයත්නයන්ට සහාය වනු ඇති බවත් එම ප්‍රකාශය තව දුරටත් දක්වයි.

 

Archive

Latest news

Related news