Thursday, November 21, 2024

උගස් කළ රන් භාණ්ඩ සින්න වීම සහ බැංකු ක්ෂේත්‍රයේ අර්බුදය

බැංකු හා මූල්‍ය ආයතනවලට උගස් තබන රත්තරන් භාණ්ඩ උගස්කරුවන් විසින් බේරා නොගනු ලැබීම නිසා ඒවා බැංකු හා මූල්‍ය ආයතනවලට සින්නවීමේ ප්‍රවණතාව සියයට දහයකටත් (10%) වඩා ඉහළ ගොස් තිබෙන බව අනාවරණය වී තිබේ.

උගසට කල් පිරුණු පසු උගස් තබා ගත් මුදලත් ඊට අදාළ පොලියත් ගෙවා උගස් කළ භාණ්ඩ බේරා ගැනීම උගස්කරුවන්ගේ සිරිතයි. එසේ බේරා ගැනීමට හැකියාවක් නැති විට පොලිය පමණක් ගෙවා උගස අලුත් කරයි. එහෙත් දැන් රත්තරන් මිල ඉහළ ගොස් තිබෙන නිසා අවශ්‍ය කෙනකුට උගසට කල්පිරුණු පසු උගස් තබා ගත් මුදල සහ පොලියට අමතරව තවත් මුදලක් ද අතට ගෙන උගස අලුත් කළ හැකිය. එසේ කළ හැකිව තිබෙන්නේ රත්තරන් මිල වේගයෙන් ඉහළ ගිය නිසාය.

උගස් තැබූ රන් භාණ්ඩ සින්නවීම් ප්‍රවණතාව සියයට දහයකටත් වැඩියෙන් ඉහළ ගොස් තිබෙන්නේ ඉහත කී හැකියාව තිබියදීය. එනම් උගස් කළ රන් භාණ්ඩ සින්නවීමට නොදී අමතරව තවත් මුදලක් අතට ගැනීමට හැකියාව තිබියදීය. ඒ හැකියාව තිබියදී රන් භාණ්ඩ බේරා නොගැනීමෙන් රටේ ජනතාව ආර්ථිකමය වශයෙන් වැටී සිටින තරම අවබෝධ කරගත හැකි බව බැංකුකරුවන්ගේ මතයයි. මෙවැනි තත්ත්වයක් ඉතිහාසයේ කිසි දිනෙක නොපැවැති බව ඔවුන්ගේ අදහසයි.

රන් භාණ්ඩ උගස් ගැනීමට වැඩියෙන්ම යොමුවී සිටින්නේ පෞද්ගලික බැංකු දෙකක් සහ එක් රාජ්‍ය බැංකුවකි. ඒ බැංකු තුනේ සමස්ත ණයවලින් සියයට 20ක් පමණම රන් භාණ්ඩ උගසට තබාගෙන දෙන ණයයි. එය ඉහළ අගයක් බව ඒ බැංකුකරුවන්ගේ මතයයි. ඉතා ඉහළ ජනප්‍රසාදයක් අත්කරගෙන සිටින පෞද්ගලික බැංකුවක් දිගුකලක් රන් භාණ්ඩ උගසට ගෙන ණය නොදුන්නත් දැන් ඒ පිළිවෙතින් බැහැරව ඒ බැංකුවද රන් භාණ්ඩ උගසට ගෙන ණය දෙයි. ඒ නිසා ඒ බැංකුවෙන් දී තිබෙන සමස්ත ණයවලින් රන් භාණ්ඩ උගසට ගෙන දෙන ණය ප්‍රමාණය සියයට පහක් පමණ දක්වා වර්ධනය වී තිබේ. ඒ කෙටි කාලයකදී අත්කරගත් ප්‍රතිඵලයකි. රන් භාණ්ඩ උගසට ගෙන ණය දීමට බැංකු මැලිනොවන්නේ ඒ ක්‍රමයෙහි පවතින අඩු අවදානම නිසාය. උගස් කළ භාණ්ඩ බේරා නොගත්තත් ඒ රන් භාණ්ඩ අලෙවියෙන් දුන් ණය මුදල හා පොලිය පියවාගත හැකි නිසාය. ඇතැම් විට ඊටත් වැඩි මුදලක් උපයාගත හැකි බැවිනි.

රන් භාණ්ඩ උගස 

රන් භාණ්ඩ උගසට ගෙන ණය දීමට බැංකු වැඩි වැඩියෙන් පෙළඹෙන්නේ එවැනි උගසක් නැතිව දෙන ණය අයකර ගැනීමට යාමේදී ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න හේතුවෙනි. සරලව කිවහොත් උගසක් නැතිව දෙන ණය ආපසු අයකර ගැනීමේ ඉහළ අවදානම නිසාය. ඒ අවදානම වර්තමානයේ ඉතා ඉහළ මට්ටමක පවතින බව බැංකු කරුවන්ගේ තක්සේරුවයි. බැංකු එසේ අවදානමක සිටියදී පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නඩත්තුව ඇතුළු රජයේ වෙනත් වියදම් සඳහා ආණ්ඩුව බැංකුවලින් මහා පරිමාණයෙන් ණය ගනියි. ආණ්ඩුව ගන්නා ඒ ණයවලින් ධනය ඉපයීමක් නොවෙයි. අයෝජනයක් නොවෙයි.

ණය ලෙස ගන්නා ඒ සල්ලි තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය හා එයාර් ලංකා ගුවන් සමාගම වැනි මකර කටවලට යන බව සමාජයේ පොදු පිළිගැනීමයි. ආණ්ඩුව දේශීය බැංකුවලින්  එසේ අසීමාන්තිකව ණය ගැනීම නිසා රටේ සමස්ත බැංකු පද්ධතියම රුපියල් බිලියන 900ක් හෙවත් රුපියල් කෝටි 90,000ක ද්‍රවශීලතාවකට නොහොත් මුදල් හිඟයකට (Liquidity Shortfall) ගොදුරු වී සිටියි. ඒ නිසාම දැන් බැංකුවක් තවත් බැංකුවකින් ගන්නා ණය (Inter Bank Lending) සඳහා අයකරන පොලිය ද සියයට 26ක් දක්වා ඉහළ ගොසිනි. බැංකු අතර සිදුවන ණය සඳහා මහ බැංකුවෙන් අනුමත පොලිය සියයට 15කි. එහෙත් ප්‍රායෝගිකව එය දැන් සියයට 26කි. බැංකු බැංකු අතරත් එසේ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ සැක සංකා ඇති වී තිබෙන්නේ ආණ්ඩුවේ කළමනාකරණයෙහි මහිමයෙනි.

ද්‍රවශීලතාවට වැඩියෙන්ම මුහුණ දී සිටින්නේ රාජ්‍ය බැංකුය. රටේ අපනයනකරුවන් වැඩිදෙනා ගනුදෙනු කරන්නේ ප්‍රමුඛ පෞද්ගලික බැංකු දෙකක් සමගය. ඒ නිසා ඒ බැංකු දෙකට අවශ්‍ය තරමට ඩොලර් තිබේ. රාජ්‍ය බැංකු වැඩි වැඩියෙන් ණය ගන්නේ ඒ පෞද්ගලික බැංකු දෙකෙනි. රාජ්‍ය බැංකු එසේ පෞද්ගලික බැංකුවලින් ගන්නා ණය දෙන්නේ දෙන්නේ මහා භාණ්ඩාගාරයටය. භාණ්ඩාගාරය ඒ සල්ලි පොම්පකරන්නේ අකාර්යක්ෂම හා ඵලදායිතාවෙන් තොර රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයට සහ රාජ්‍ය ව්‍යාපාර නමින්  පවත්වාගෙන යන මකර කටවලටය.

ආණ්ඩුවේ මේ පිළිවෙත නිසා බැංකු මුහුණ දී සිටින ප්‍රශ්න හේතුවෙන් දිගු කාලයක් තිස්සේ රටේ සංවර්ධන කටයුතුවලට ණය දුන් එක් පෞද්ගලික බැංකුවක් දැන් ණය දීම නවතා දමා තිබේ. එක් රාජ්‍ය බැංකුවක් තම සේවකයන්ට ණය දීමත් (Staff Loan) අත්හිටුවා තිබේ. ආණ්ඩුවට හා රාජ්‍ය ව්‍යාපෘතිවලට වැඩි වැඩියෙන් ණය දෙන්නේ ඒ බැංකුවෙනි. ඊට අමතරව සෑම බැංකුවක්ම පාහේ පෞද්ගලික ණය දීම අධෛර්යවත් කරයි. පසුගිය සිකුරාදා එනම් 2022 දෙසැම්බර් 23 වැනිදා වන විට බැංකු තම ප්‍රමුඛ ගනුදෙනුකරුවන්ට දෙන ණය සඳහා අය කරන පොලිය (Prime Lending Rate-P.L.R.) සියයට 28.5ක් විය.

36% පොලියක්

ප්‍රමුඛ ගනුදෙනුකරුවන්  නොවන අයට ණය දෙන්නේ ඒ සියයට 28.5ට තවත් සියයට 2 සිට 6 අතර ප්‍රතිශතයක් එකතු කරමිනි. දැන් ප්‍රමුඛ පෞද්ගලික බැංකුවක් අයිරා (Overdraft) සඳහා අය කරන පොලිය සියයට 30කි. තාවකාලික අයිරා (Temporary Overdraft-T.O.D) සඳහා අය කරන පොලිය සියයට 34කි. හදිසි අතමාරු සඳහා අය කරන පොලිය සියයට 36කි. බොහෝ බැංකුවල දැන් පවතින්නේ ඊට සමානුපාත පොලී ප්‍රතිශත ය. මේ නිසා දැන් රටේ පවතින්නේ ආයෝජන අධෛර්යවත් කරන පරිසරයකි. වාතාවරණයකි. කාටත් පැවැත්ම පිළිබඳ අවදානමක් පවතින පරිසරයකි. එය බැංකුවලටත් පොදු තත්ත්වයකි.

රටේ පවතින ආර්ථික අර්බුද නිසා බැංකුවල ලාබ ද අඩුවී තිබේ. ඒ බව අවබෝධ කරගැනීම සඳහා 2021 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස නවයක කාලයක් 2022 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු කිහිපයක බදු ගෙවීමට පෙර ලාබය දෙස හැරෙමු. 2021 ට සාපේක්ෂව 2022 දී එක් ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක බදුවලට පෙර ලාබය සියයට 22.7කින් අඩුවී තිබේ. ඒ බැංකුවේ 2021 මුල් මාස නවයේ බදුවලට පෙර ලාබය රුපියල් බිලියන 35.565කි. 2022 මුල් මාස නවයේ  බදුවලට පෙර ලාබය රුපියල් බිලියන 27.479කි. තවත් රාජ්‍ය බැංකුවක පසුගිය 2021 වසරේ බදුවලට පෙර ලාබය රුපියල් බිලියන 18.584කි. 2022 මුල් මාස නවයේදී එය රුපියල් බිලියන 16.973කි. ඒ බැංකුවේ ලාබය අඩුවී තිබෙන්නේ සියයට 8.7කිනි. තවත් රාජ්‍ය බැංකුවක ලාබය සියයට 75.9කින් අඩුවී තිබේ.

පහළ වැටෙන බැංකු ලාභ

ඉතා ඉහළින් සිටින පෞද්ගලික බැංකුවක ලාබය සියයට 15.5කින්ද තවත් ප්‍රමුඛ පෞද්ගලික බැංකුවක ලාබය සියයට 16.1කින්ද වෙනත් බැංකුවක ලාබය සියයට 27.4කින්ද පහළ ගොසිනි. රටේ සංවර්ධන ව්‍යාපෘති සඳහා දිගු කාලීන ණය දුන් පෞද්ගලික බැංකු දෙකක ලාබය අදහාගත නොහැකි ලෙස පහත වැටී තිබේ. ඒ එක් බැංකුවක ලාබය සියයට 65.4කින්ද අනෙක් බැංකුවේ ලාබය සියයට 99.6කින්ද පහත වැටී තිබේ. 2021 දී ඒ බැංකුවේ ලාබය රුපියල් මිලියන 7,258ක් වුවත් 2022 දී එය රුපියල් මිලියන 26කි. එසේම තවත් එක් රාජ්‍ය බැංකුවල ලාබය 2021 සාපේක්ෂව 2022 දී සියයට 75.9කින් පහළ ගොසිනි.

ඉහළ පොලී සෙල්ලමේ අවදානම

දැන් බැංකු ණය පොලිය සියයට 36ක් තරම් ඉහළ අගයක පවතී. එසේම බැංකු තැන්පතු සඳහා ද ඉහළ පොලියක් ගෙවයි. ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලිය සියයට 26 ක් තරම් ඉහළය. ඒ නිසා තැන්පත්කරුවන් සංඛ්‍යාව ඉහළ ගොසිනි. සල්ලි තියෙන ජනතාව ඒවා ආයෝජනය නොකර ස්ථාවර තැන්පතු දමා ඉහළ පොලියක් උපයති. 2021 දී බිලියන 2,866ක් වූ එක් රාජ්‍ය බැංකුවක තැන්පතු සංඛ්‍යාව 2022 දී බිලියන 3,314කි. එය සියයට 15.6ක වර්ධනයකි. තවත් රාජ්‍ය බැංකුවක තැන්පතු සංක්‍යාව බිලියන 2,071 සිට 2,286 ක් දක්වා සියයට 10.4කින් වර්ධනය වී තිබේ.

ප්‍රමුඛ පෞද්ගලික බැංකු දෙකක් තම තැන්පත්කරුවන් සංඛ්‍යාව පිළිවෙළින් සියයට 24.2 කින් සහ සියයට 25.1 කින් වර්ධනය කරගැනීමට සමත්ව සිටියි. බැංකු මෙසේ රැස්කර ගන්නා මුදල් ණයට දෙන්නේ ආයෝජකයන්ට නොවේ. හේතුව භාණ්ඩාගාර බැඳුම්කර සඳහා සියයට 32ක පොලියක් ගෙවීමය. දැඩි අවදානමක් සහිතව සියයට 36ක පොලියකට ජනතාවට ණය දෙනවාට වඩා ඉහළ විශ්වාසයකින් යුතුව සියයට 32 පොලියකට භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම බැංකුවල ශරීර සෞඛ්‍යයට බෙහෙවින් හිතකරය.

ඒ සාධක සියල්ල දෙස තුලනාත්මකව බලන විට ප්‍රත්‍යක්ෂ වන්නේ ආණ්ඩුව තමන්ට ණය ගැනීම සඳහාම පොලී අනුපාත තීරණය කර තිබෙන බවයි. රාජ්‍ය බැංකු පෞද්ගලික බැංකුවලින් ණය රැගෙන මහා භාණ්ඩාගාරයට සල්ලි පොම්ප කිරීම නිසා ප්‍රමුඛ පෞද්ගලික බැංකුවල ණය දීම සියයට 12කින් පමණ ඉහළ ගොසිනි. එහෙත් රාජ්‍ය බැංකුවලින් ණය දීම සියයට 1.3 සිට සියයට 2.1 අතර ප්‍රමාණයකින් අඩුවී තිබේ. පෞද්ගලික බැංකුවලින් ණය දීම් ඉහළ යාමට බැංකු බැංකු අතර ණය සේම රත්තරන් උගසට ගෙන ණය දීම ද හේතු වී තිබෙන බව බැංකුකරුවෝ පවසති.

ණය ගැනීමේ පරමාර්ථයෙන්ම සැකසී තිබෙන රාජ්‍ය ප්‍රතිපත්තිවල මහිමයෙන් දිගු කාලක සිට ආයෝජකයන්ට ණය දෙමින් රටේ භෞතික සංවර්ධනයට උර දුන් පෞද්ගලික බැංකු දෙකක් ප්‍රශ්න රැසකට මුහුණ දී සිටියි. ඉහළ ණය පොලිය නිසා ණය ගැනීමට ආයෝජකයන් ඒ බැංකු වෙත දැන් පෙර මෙන් නොපැමිණෙන අතර දැඩි අවදානම්කාරි පරිසරයක් මැද ණය දෙමින් තවත් අනතුරක නොවැටී සිටීමට ඒ බැංකු ද පරිස්සම් වෙනවා විය හැකිය. ඒ සම්බන්ධයෙන් සරලව කිව හැක්කේ යටිතල පහසුකම් දියුණු කරමින් රටේ ආර්ථික හා සමාජ සංවර්ධනයට උර දුන් බැංකු ද රාජ්‍ය ප්‍රතිපත්තිවල මහිමයෙන් ආයෝජකයන්ට දිරි නොදෙන තැනකට තල්ලු කර දමා තිබෙන බවය. එදා වේල කා බී ජීවත් වන තත්ත්වයට ආණ්ඩුව පත්ව සිටිමින් ආණ්ඩුව විසින්ම රාජ්‍ය හා පෞද්ගලික බැංකු ද එතැනට තල්ලු කරමින් සිටින බවක් බැලූ බැල්මට විද්‍යමාන වෙයි.

ගිනි පොලිය සුලු කර්මාන්ත සුණූ විසුණ තරයිද?

රජය රටේ දියුණුවක් සංවර්ධනයක් අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා පෙරට පැමිණිය යුත්තෝ ආයෝජකයෝය. එහෙත් සියයට 36ක් තරම් ගිනි පොලියකට ණය ගෙන ආයෝජනය කළ නොහැකිය. ඒ සඳහා ණය පොලිය තනි ඉලක්කමක තිබිය යුතු බව එනම් ණය පොලිය සියයට 10කට අඩු විය යුතු බව ආයෝජකයෝ පෙන්වා දෙති. ඔවුන් කියන හැටියට බැංකු තිබිය යුත්තේ ණය දීමට මිස තැන්පතු රැස් කිරීමට නොවේ. රැස්කරන තැන්පතු ද ආණ්ඩුව ඩැහැගනියි. ප්‍රමුඛ ගනුදෙනුකරුවන්  සඳහා සියයට 5.5ක පොලියකට ණය දුන් යුගයක් මෙරට පැවැති බව ආයෝජකයන් පෙන්වා දෙන්නේ සුසුම් හෙළමිනි. පෞද්ගලික බැංකු රාජ්‍ය බැංකුවලට ණය දීම නවතා දැමුවහොත් රජයට කුමක් වන්නේ දැයි ආණ්ඩුව කල්පනා කළ යුතු බව ආයෝජකයෝ කියති.

රටේ තියෙන සියලුම සල්ලි ආණ්ඩුව තම පැවැත්ම සඳහා ඇද ගැනීමෙන් දැනට ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සමාජ ව්‍යසනයක් දක්වා පරිවර්තනය විය හැකි බවට බැංකුකරුවෝද අනතුරු අඟවති. රටේ ආර්ථික සංවර්ධනයට හා දල ජාතික නිෂ්පාදනයට ඉහළ දායකත්වයක් සපයන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තය. ගිනි පොලිය හා දරාගත නොහැකි බදු බර නිසා ඒ කර්මාන්ත සුණු විසුණු විය හැකි බව බැංකුකරුවන්ගේ තක්සේරුවයි.

70% සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත!

රටේ තිබෙන සමස්ත ව්‍යාපාරවලින් සියයට 70ක්  පමණම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත බව බැංකුකරුවෝ පෙන්වා දෙති. රටේ ආර්ථිකය පණගන්වන ඒ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කඩාවැටුණහොත් එය බැංකුවල මුදල් සංචරණයට ද (Cash flow) ඍජුව බලපාන බැවින් බැංකු තවත් අමාරුවේ වැටෙන බව බැංකුකරුවන්ගේ පුරෝකතනයයි. එසේම දැනටත් ඉතා අමාරුවෙන් ඔළුව ඔසවාගෙන සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට 2023 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන නව බදු හේතුවෙන් මාරාන්තික ප්‍රහාරයක් එල්ල වන බවද බැංකුකරුවෝ පෙන්වා දෙති.

එහෙයින් බැංකු අකර්මණ්‍ය කිරීමට ඉවහල් වන පොලී හා බදු ප්‍රතිපත්ති වෙනුවට  බැංකු කර්මණ්‍ය කිරීමට ඉවහල් වන පොලී හා බදු ප්‍රතිපත්තිය හඳුන්වා දිය යුතු බව බැංකුකරුවන්ගේ නිර්දේශයයි. එහිදී ආණ්ඩුවට සේම  මහ බැංකුවලට ද විශාල වගකීමක් පැවරෙන බව ඔවුහු පෙන්වා දෙති. මුදල් හා වියදම් කිරීමකින් තොරව ප්‍රතිපත්ති තීරණ ගැනීමෙන් පමණක් රටේ ආර්ථික හා සමාජ දේහයට ඔක්සිජන් සැපයිය හැකි බව බැංකුකරුවන්ගේ ඇදහීමයි, විශ්වාසයයි.

සටහන – ගුණසිංහ හේරත්/ලංකාදීප

Archive

Latest news

Related news