Saturday, April 20, 2024

රනිල් රාජපක්ෂගේ සර්ව පාක්ෂික සමුළුව: දෙමළ සන්ධානය කඩේ ගියාද? යැව්වාද? – සුනන්ද දේශප්‍රිය

එළඹෙන 75 වන ‍නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැට‍ළුවට විසඳුමක් ලබා දීම සඳහා යැයි රනිල් රාජපක්ෂ  පසුගිය 13 වන දින සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලදී. වෙනත් වචනයෙන් කියන්නේ නම් රනිල් රාජපක්ෂ ගේ පොරොන්දුව නම් වසර 75ක ප්‍රශ්නයක් දවස් 75කින් විසඳීමටය.

දෙමළ සන්ධානය කෑ ලණුව

මෙම අතාර්ථික පොරොන්දුව හිස් මුදුනින් පිළිගත් දෙමළ ජාතික සන්ධානය රනිල් රාජපක්ෂගේ ජන විරෝධී සහ නව ලිබරල්වාදී අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේ පවා නැත. ස්වකීය අයිතිය ලබා ගැනීමට ප්‍රතිපත්ති අතහැර දැමීම මගින් දෙමළ ජාතික සන්ධානය පෙන්වූයේ එක්තරා අන්දමක යටත් වීමකි.

සමුළුව අමතමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් කියා සිටියේ ඉඩම්, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන් වූවන් සඳහා යුක්තිය ඉටු කිරීමේ යාන්ත්‍රණය  සහ  සහ බලය බෙදීම යන ප්‍රශ්න තුනම සමාන්තරව ක්‍රියාත්මක කළ යුතු බවයි. එය දෙමළ පක්ෂ පහක එකඟතාවය බව ඔහු කීවේය.

තවදුරටත් කතා කරමින් සුමන්දිරන් කීවේ ඉඩම් ප්‍රශ්ණය විසඳන තුරු බලය බෙදීම සම්බන්ධ නීති සම්මත කිරීමට සිටිය යුතු නැති බවයි. එමෙන්ම රනිල් වික්‍රමසංහ අගමැති ලෙස සිටි 2015-2019 කාලය තුළ සකස් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත ක්‍රියාක්ම කිරීමට කාලය පැමින නැත්දැයි ඔහු රනිල් රාජපක්ෂගෙන් විමසා සිටියේය.

රනිල්-සබ්‍රි-විජේදාස ගේම

රනිල් රාජපක්ෂ ඊට එකඟ වූයේ නැත.

සර්ව පාක්ෂික සමුලුවට රනිල්-සබ්‍රි-විජේදාස ත්‍රිත්වය ඉදිරිපත් කළ අදහස් අනුව පෙනී ගියේ ගෝඨාභයගේ රැවටිලිකාරී පිළිවෙතම රනිල් රාජපක්ෂද ඉදිරිපත් කරන බවයි.

සර්ව පාක්ෂික සමුළුව ආරම්භ කමින් රනිල් රාජපක්ෂ කියා සිටියේ  සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට පැමිණිය යුතු බවය. එසේ නමුත් එහිදී ඉදිරිපත් වූ අදහස් ආඩි හත් දෙනාගේ කැඳ හැලියක් බවට පත් විය.

කෝඳුරු තෙල් හත් පට්ටයක්

සෑම දෙනාම එකඟ විය යුතු යැයි කීම කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකක සොයා ගත යුතු යැයි කීම වැනිය.

රටේ ජාතික ප්‍රශ්නය පිළිබඳ  උතුරේ මන්ත්‍රීවරු සාකච්ඡා කර තිබෙන බව රනිල් රාජපක්ෂ ප්‍රකාශ කළ නමුත් එම පක්ෂ එකඟ වූ කාරණා මොනවාදැයි සඳහන් කළේ නැත. වැදගත්ම කරුණ වන්නේ දේශපාලන විසඳුම සන්ධීය රාජ්‍ය (පෙඩරල්) විසඳුමක් විය යුතු බවට එම දෙමළ පක්ෂ එළඹි එකඟතාවයයි.

ප්‍රථමයෙන් අවශ්‍ය වන්නේ අතුරුදන්වූවන් සඳහා වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සහ  ත්‍රස්තවාදය වැළැක්විමේ පනත සහ ඉඩම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම බව රනිල් රාජපක්ෂ කීවේය.

දෙවනුව බලය බෙදීම සම්බන්ධව නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ඔහු කීවේය.

අතුරුදන්වූවන් පිළිබඳවත්, දේශපාලන සිරකරුවන් පිළිබඳවත් වාර්තාවක් ලබාදීමට  බලාපොරොත්තු වන බව කී ඔහු ඉන් පසුව  බලය බෙදීම ගැන කතා කළ හැකි බවත් කීවේය.

සුමන්දිරන් පිළිතුරු දුන්නේ රනිල් රාජපක්ෂගේ අදියර දෙකේ කතාවටය.

ගෝටා වෙනුවෙන් සබ්‍රි

බළලා මල්ලෙන් එළියට පැන්නේ අතුරුදහන්වූවන් පිලිබඳ ප්‍රශ්ණයට දෙන විසදුම ගැන රනිල් රාජපක්ෂ කළ අදහස් දැක්වීමේදීය.

එ් අතුරුදන්වූවන් පිළිබඳව සහ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාවතව සතියකින් පමණ මුද්‍රණය කෙරන බවත්. එම වාර්තාවේ යෝජනා ගණනාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරෙත්තු වන බවත් රනිල් රාජපක්ෂ කී විටය.

තවම එම වාර්තාව ප්‍රසිද්ධ කර නැත.

මෙම නවාස් කොමිසම යනු ගෝඨාභය රාජපක්ෂ, අන්තර් ජාතික බලපෑම් හමුවේ කල් ගැනීමට පත් කරන ලද උපායකි. එහි කාරිය වූයේ මෙම ප්‍රශ්ණ සම්බන්ධයෙන් ඊට පෙර පත් කරන ලද කොමිෂන් සභාවල යෝජනා යළි ඉදිරිපත් කිරීමය. එය හුදෙක් කාර්යාලීය කටයුත්තකි.

දැන් රනිල් රාජපක්ෂ පිහිට පතන්නේ ගෝටා කල් ගැනීමට පත් කළ කොමිසමකිනි. නවාස් කොමිසම දෙමළ සමාජය හෝ අන්තර් ජාතික ප්‍රජාව විසින් හෝ පිළිගෙන නැත.

එමෙන්ම රාජපක්ෂවරුන් විසින් පත් කරන ලද සියළුම කොමිෂන් වාර්තා මෙරට දෙමළ සමාජය පිළිගෙන නැත.

අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නය හාන්සි කිරීම

රනිල් රාජපක්ෂට හූ මිටි තබමින් දැන් උග්‍ර රනිල්වාදියකු බවට පත්ව සිටින ගෝටාගේ නීතඥයා වන විදේශ අමාත්‍ය   අලි සබ්රි මෙසේ කීවේය.

“හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  තමයි, නවාස් කොමිසම පත් කළේ. එම කොමිසම මගින් සිදුවුණේ ,පසුගිය කොමිසන් සභාවල යෝජනාත් ඇතුළත් කර ගනිමින්, ‍මේ සඳහා විසඳුම් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමයි. ඒ අනුව මෙම යාන්ත්‍රණය ගෙන ඒමට අපට වගවීමක් තිබෙනවා”

දැන් ක්‍රියාත්මක වීමට යන්නේ ගෝටාගේ වැඩපිළිවෙළ බවට තවත් සාක්ෂි අවශ්‍යද?

“ආරක්ෂක අංශ පවා මෙම යාන්ත්‍රණය ගෙන ඒම පිළිබඳ, කැමැත්ත පළ කර තිබෙනවා” යැයි අලි සබ්රි තවදුරටත් කිවේ ආරක්ෂ හමුදාවන්ට සිය නම පිරිසිදු කර ගැනීමට අවශ්‍ය බව කියමිනි.

අවශ්‍ය විසඳුම් දීම නොව යුද හමුදාවන්හි නම පිරිසිදු කර ගැනීමය!

අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ කියා සිටියේ අතුරුදහන් අතුරුදහන්වුවන්ගේ කාර්යාලයෙහි තිබෙන සියලු ලිපි ගොනු ලබන වසරේ දෙසැම්බර් 31 වනදා වන විට අවසන් කිරීමට  බලාපොරොත්තු වන බවයි.

උතුරේ දෙමළ සමාජය අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ කටයුතු පිළිගෙන නැත. එහි සභාපතිවරයා මෑතදී කීවේ අතුරුදහන්වූවන් යැයි කියන අය විදේශයන්හි ජීවත්වන බවත් නැත්නම් ඒල්ටීටීඊය විසින් පැහැර ගන්නා ලද අය බවත්ය.

මෙමගින් අදහස් කරන්නේ අතුරුදහන්වූන් පිළිබඳ ප්‍රශ්ණය සම්පූර්ණයෙන්ම යට ගැසීමටය.

තවද රාජපක්ෂවරුන්ගේ මතවාදය ප්‍රතිරාව කරමින් රනිල් රාජපක්ෂ කීවේ යළි යුද්ධයක් ඇතිවනු ඇතැයි සිංහල සමාජය බියෙන් පසුවන බවයි. එවැනි මතයක් සිංහල සමාජය තුල ඇතැයි කිමට සාක්ෂි කිසිවක් රනිල් රාජපක්ෂ ඉදිරිපත් කළේ ද නැත. එය දෙමළ පක්ෂ බිය ගැන්වීමට රනිල් රාජපක්ෂ විසින් ගොතන ලද අමූලික බොරුවකි.

පෙබරවාරි 04ට කලින් පුළුවන් – විග්නේශවරන්

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂරන් තදබල කතාවක් කළේය.

උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවට වසර 3,000 කට වැඩි ඉතිහාසයක් ඇති බවත් ඔවුන්ට තමන්ගේම වාස භූමියක් ඇති බවත් ඒ වගේම  භාෂාවක් සහ සංස්කෘතියක් තිබෙන බවත් කී ඔහු එම අයිතීන් ලබා දියයුතු බවත් කීය.

ඔහු කියා සිටියේද ලබන පෙබරවාරි 04වන දිනට පෙර ඉඩම්, දේශපාලන සිරකරුවන්, 13වන සංසෝධනයෙන් පටන් ගෙන බලය බෙදීම යන ප්‍රශ්න විසඳිය යුතු බවයි.

චම්පික පෙරළු බාල්දිය

මේ අදහස්වලට පිළිතුරු දුන්නේ 43වන බලකායේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකය.

ඔහු කෙටියෙන් කීවේ  පලාත් සභා ක්‍රමය සංශෝධනය කළ යුතු බවයි. 13 වන සංසෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ඔහු විරුද්ධ විය. පලාත් සභා දැනට තිබෙන පරිදි මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට ද ඔහු පක්ෂ විය.

ඉඩම් පිළිබඳ ප්‍රශ්ණයේ වැදගත් කරුණක් වන පරිසර සංරක්ෂණ ප්‍රදේශ හා පුරාවිද්‍යා ප්‍රදේශ ලංකාවේ පවතින නීතියට යටත් විය යුතු බවත් නීති සම්පාදනය පාර්ලිමේන්තුවෙන් සිදු විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

එය දෙමළ පක්ෂ ඉදිරිපත් කළ අදහස්වලට සම්පූර්ණයෙන්ම වෙනස් අදහසකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කීවේ සියල්ල පටලවාගන්න ගියත් ලොකු ප්‍රශ්නයක් වන බැවින් දැනට අත්අඩංගුවේ ඉන්න සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කර, සත්‍ය කොමිසමක් හරහා ඉදිරි වැඩකටයුතු කරගෙන යාමයි වැදගත් බවයි. එසේ සිදුවන්නේ නම් පමණක් තමන් සහයෝගය දෙන බව ද ඔහු කීය.

චම්පිකට හකීම් දුන් පිළිතුර

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් කීවේ  75 වන නිදහස් සමරුවට පෙර, අවම වශයෙන් ආරම්භක පියවරක් ලෙස, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා තීරණයක් ගත යුතුව තිබෙන බවයි.

වන ජිවී සංරක්ෂණ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් අත්පත් කරගෙන තිබීම. මුස්ලිම් ප්‍රජාවට පමණක් නොව, සිංහල ප්‍රජාවටත් ගැටළුවක් බව ඔහු කීය.

එය චම්පික රණවකට දෙන ලද පිළිතුරක් වැනි විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඉල්ලා සිටියේ යුද්ධය සමඟ කැලෑවට ගොස් තිබෙන මුස්ලිම් ජනයාගේ ගෙවල් දොරවල් බේරා දෙන ලෙසය. දැන් එම අපේ ඉඩම්, වනජීවී දෙපාර්තමේන්තුව මඟින් රක්ෂිත බවට පත්කර තිබෙන බවත් ඔහු කීය.

එයද චම්පික රණවක සමඟ ගැටුමකට යාමක් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මේ වෙනකොට නීතිය හදාරන සිසුන්ට තමන්ගේ මව් භාෂාවෙන් නීතිය හදාරන්නට ඇති අයිතිය අහෝසි වෙමින් පවතින බවත් එවැනි තත්ත්වයක් තුළ  විසඳුම් සොයා ගත හැකි දැයි ප්‍රශ්න කළේය.

පලාත් සභා බලය නැතිව මුකුත් බෑ – මනෝ

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් කීවේද පළාත් සභා ඡන්දය වහාම පවත්වන ලෙසත් පළාත් සභාවල බලතල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවයි. සංහිදියාව ආරම්භ කළ හැක්කේ එමගින් බව ඔහුගේ අදහස් විය.

රනිල් මුට්ටිය දමා බලයි

මේ අතරවාරයේ තම නව ලිබරල්වාදී ආර්ථික පිළිවෙත ක්‍රියාත්මක කිරීමට සියලු පක්ෂ සහයෝගය දිය යුතු බව කී රනිල් රාජපක්ෂ එසේ නොවන්නේ නම් ප්‍රශ්ණයක් ඇතිවන බව කීවේය. තමන් ලෝක බැංකුව සහ ජත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කරන සාකච්ජා සියලු පක්ෂ පිළිගත යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව අප ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අවධානයෙන් ඉන්නා බවට අනතුරු හැඟවීමක් ද කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  දේශපාලන විසදුම සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත අදහස් ඉදිරිපත් කළේ නැත.

ජාතිවාදයට විරුද්ධව නීති ගෙන ආ යුතු බව කී ඔහු කීවේ මෙවැනි අදහසකි.

අපේ රටේ ජන සමාජය තුළ විවිධ ජන කොටස් එක හා සමාන ලෙස ජීවත් වෙනවා. ඒ නිසා දේශපාලන ක්‍රමය තුළ කුලය ආගම යොදා නොගත යුතුයි. ජාතිය ආගම භාවිතා කර දේශපාලනය කරන පිරිස් අපි ඉවත් කළ යුතුයි. එමගින් අපිට සංහිඳියාව ඇති කළ හැකියි. ජාතිවාදය සමාජයෙන් ඉවත් කිරීම සඳහා නීතිරීති ගෙන ආ යුතුයි .

අපේ දේශීය යාන්ත්‍රණයක් තුළ මෙම ප්‍රශ්න විසඳාගත හැකියි.

දිනිත්, සුමන්දිරන් වාරණය කරයි

දෙමළ ජාතික සන්ධානය මෙම  සර්ව පාක්ෂික සමුලුවට ඉදිරිපත් කළ අදහස් ජනාධිපති මාධ්‍ය අංශයේ සිංහල වෙබ් පිටුව විසින් වාරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ඇතුළු සියලුම ජනාධිපති මාධ්‍ය හසුරුවන්නේ රාජ්‍ය මාධ්‍ය ප්‍රධානී දිනිත් කරුනාරත්න විසිනි. රනිල් රාජපක්ෂගේ බිරිඳ හැරුණ විට සෑම දිනකම දෙවරක් ඔහු හමුවන්නේ තමා පමණක් බවට ඔහු පාරම්බාන බව කියනු ලැබේ.

ජනතා විමුක්ති පෙරමුණද ඊට සහභාගි වූවේද නැත්ද යන්න දැන ගන්නට නැත.

මෙම සර්ව පාක්ෂික සමුළුව මීළගට රැස්වන්නේ ජනවාර් 10දාය. එවිට පෙබරවාරි 04 වන දිනට පෙර දෙමළ දේශපාලනස පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්ණ වලට විසඳුම් ලෙස ක්‍රියාත්මක කළ හැකි වැඩ පිළිවෙළකට සියලු පක්ෂ එකඟ වනු ඇතැයි සිතීම ඉබ්බන්ගෙන් පිහාටු පැතීම වැනිය.

දැන් රනිල් රාජපක්ෂට කඩේ ගිය නැත්නම් රනිල් රාජපක්ෂ විසින් කඩේ යැවූ දෙමළ සන්ධානය ඉන්නේ ගලේ රිවූ බළලාගේ තත්වයේ ය.

සුනන්ද දේශප්‍රිය. 21.12.22

(මෙම ලිපිය සකස් කරන ලද්දේ ඉංග්‍රිසි බසින් සහ සිංහල බසින් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් පළ කරන ලද ලිපි අසුරිනි. ඉංග්‍රිසි සහ සිංහල භාෂා ලිපි එක හා සමාන නැත.)

Archive

Latest news

Related news