Wednesday, April 24, 2024

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ එහි ක්‍රියාකාරීන් ඉලක්ක කොට කැරෙන ආණ්ඩුවේ මර්දනය දිගටම

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ එහි ක්‍රියාකාරීන් ඉලක්ක කොට සිදුකරන ආණ්ඩුවේ මර්දනය සම්බන්ධවයි.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යනු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා නිරන්තරයෙන් මැදිහත් වන ස්වේච්ඡා ක්‍රියාකාරීන් රැසකගෙන් සැදුම්ලත් සංවිධානයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය මගින් තහවුරු කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කිරීමේ ආණ්ඩුවේ අනීතික ක්‍රියාවලියට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීම සංගමයේ එක් නිශ්චිත අරමුණකි.
(එවැනි අනීතික සිදුවීම්වලට එරෙහිව සංගමය ආසන්න කාලයේදී පමණක් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ සාරාංශයක් පහතින් අමුණා ඇත.)

මර්දනයට එරෙහි සංගමයේ ක්‍රියාකාරී මැදිහත්වීම නිසා ආණ්ඩුව පාර්ශ්වයෙන්, පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු එහි බලය හසුරුවන ආයතන යොදාගනිමින් සංගමය ඉලක්ක කොට මර්දනය මුදාහරිමින් සිටී. මේ හේතුවෙන් සංගමයේ ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිත බව පිළිබඳ අවදානමක් මතුව ඇත.

එහි ආසන්නතම සිදුවීම් 02ක් වන්නේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන සහ සංගමයේ විධායක කමිටු සාමාජික තරිඳු උඩුවරගෙදර ඉලක්ක කොට සිදුකරන ක්‍රියාවලියයි.

01.තරිඳු ජයවර්ධන සිදුවීම

ලබන 14දා ඔහු ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ. ඊට හේතුව ලෙස දැනුම් දී ඇත්තේ ඔහු විසින් සිය ෆේස්බුක් පිටුවේ පළකරන ලද්දකි. පසුගිය ඔක්තෝබර් 09දා කොළඹදී පැවති සාමකාමී විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා අනීතික ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප එම පළකිරීමේ සඳහන් විය. ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට සංගමය බලාපොරොත්තු වන බවත්, ඔවුන් පිළිබඳ තොරතුරු දන්නේ නම් සංගමයේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකරන ලෙසත් එහි සඳහන් විය.
සාමකාමී විරෝධතාවට එරෙහි එම අනීතික ක්‍රියාවලියට මැදිහත් වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්ට සහ සහකාර පොලිස් අධිකාරි නලීන් දිල්රුක්ට එරෙහිව තරිඳු ජයවර්ධන විසින් මේ සිදුවීම සම්බන්ධයෙන් පෞද්ගලික නඩුවක් ද ගොනුකර තිබේ. කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී එම නඩුව විභාගයට ගත් පසුගිය නොවැම්බර් 08දා නීතිපති දෙපාර්තමේන්තුව මගින් පැමිණිලිකරුට එරෙහිව චෝදනා රැසක් එල්ල කිරීමට උත්සාහ දැරූ අතර, පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත්කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවත්, ඒ සම්බන්ධයෙන් පැමිණිලිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් අවධාරණය කෙරිණි. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක ලබාගැනීම සඳහා මීට පෙර ද තරිඳු ජයවර්ධන ව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවනු ලැබිණි.
මෙම සිදුවීම් පෙළගස්වන ආකාරයට තරිඳු ජයවර්ධන අනීතික ලෙස හිරකිරීම හෝ ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හෝ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව බලය අවභාවිත කරමින් සිටින බවට අප සංගමයට බරපතළ සැකයක් මතු වේ.

02.තරිඳු උඩුවරගෙදර සිදුවීම

ඉහත සඳහන් කළ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නම් සඳහන් ෆේස්බුක් පළකිරීම තම ෆේස්බුක් පිටුවේ පළකිරීම නිසා පසුගිය නොවැම්බර් 08දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයට ඔහු කැඳවනු ලැබිණි.

මෙහි දී විමර්ශකයන් විසින් තමන්ගේ අන්තර්ජාල සම්බන්ධතා, සමාජ මාධ්‍ය ගිණුම් ඇතුළු පෞද්ගලික තොරතුරු රැසක් විමසූ බවත්, විමර්ශකයන්ගේ අවශ්‍යතාව ලෙස පෙනීගියේ සංගමය සහ එහි ක්‍රියාකාරිකයන් බියගැන්වීම බවත් ඔහු විසින් සංගමයට දැනුම් දෙන ලදි. මීට පෙර ද ඔහුගේ මාධ්‍ය ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබිණි. මෙය තවත් බරපතළ වන්නේ තරිඳු උඩුවරගෙදරගේ සමීප ඥාතීන් මුණගැසී ඔහුගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව විමසීමට ද පොලිසිය කටයුතු කර ඇතැයි තහවුරු වීම නිසා ය.
වෘත්තීය මාධ්‍යවේදීන් ලෙස විශ්වාසදායක තොරතුරු සපයන්නන් ලෙසත්, මානව හිමිකම් ආරක්ෂකයන් ලෙසත් කටයුතු කරන තරිඳු ජයවර්ධන සහ තරිඳු උඩුවරගෙදර ඉලක්ක කරමින් සිදුකරන මෙම ක්‍රියාවලිය ඔවුන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කිරීමක් ලෙසත්, මර්දනයට එරෙහි ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අඩාල කිරීමේ උත්සාහයක් ලෙසත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි විශ්වාස කරමු.

එසේ ම මේ හරහා සංගමයේ ක්‍රියාකාරිත්වය අඩාල කරමින්, සංගමය ජනතාව අතර අප්‍රසාදයට පත්කිරීමේ උත්සාහයක් ද ක්‍රියාත්මක වන බවට අප වෙත තොරතුරු ලැබී තිබේ.

මේ නිසා ආණ්ඩුවේ අනීතික මර්දනයට එරෙහිව සියලු පාර්ශ්ව එක්වීමේ වැදගත්කම අපි, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස යළි-යළිත් අවධාරණය කර සිටිමු.
ස්තූතියි.
මෙයට,
විශ්වාසී,

එම්. එෆ්. එම්. ෆසීර් – ලේකම්
ශාලික විමලසේන – කැඳවුම්කරු
විධායක කමිටුව වෙනුවෙන්,

ඇමුණුම 01

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආසන්න කාලයේදී පමණක් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ සාරාංශයක් 

* පසුගිය මාර්තු 31 එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස අසල පැවති සාමකාමී විරෝධතාවට පහරදීමට සහ ඊට පසු දින අදාළ ස්ථානයට ගිය මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමට එරෙහිව පොලිපතිවරයාට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම. (මීට අදාළ මානව හිමිකම් කොමිෂන් සභා විමර්ශන ක්‍රියාත්මක ය.)
* පසුගිය අප්‍රේල් 02 දින මහනුවර, ගම්පොලදී සමාජ ක්‍රියාකාරික අනුරුද්ධ බණ්ඩාර පැහැරගැනීමට එරෙහිව ක්ෂණික මැදිහත්වීම සහ එම මැදිහත්වීම නිසා මානව හිමිකම් කොමිෂන් සභාව කරන ලද හදිසි විමසීම් හේතුවෙන් ඔහු පොලිස් අත්අඩංගුවේ සිටින බව තහවුරු කරගත හැකි වීම.
* එදින ම, අත්තනෝමතික ලෙස හදිසි නීතිය පැනවීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම සහ එය ඉවත් කරන ලෙස අතුරු නියෝගයක් ලබාගත හැකි වීම.
* පසුගිය අප්‍රේල් 03 දින සමාජ මාධ්‍ය වාරණය කිරීමේ ආණ්ඩුවේ තීරණයට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු අදාළ සියලු ආයතනවලට පැමිණිලි කිරීම සහ ඊට අදාළ නීතිමය තත්ත්වය පිළිබඳ තොරතුරු සහිත සම්පූර්ණ නිවේදනයක් නිකුත් කිරීම.
* ආසන්න කාලයේදී රට පුරා සිදු වූ සියලු අනීතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම්වලට එරෙහිව උපරිම මට්ටමෙන් අදාළ ආයතන දැනුවත් කිරීම, වින්දිත පාර්ශ්වයන්ට නීති ආධාර ලබාදීමට මැදිහත් වීම සහ ඊට අදාළ සියලු තොරතුරු ජනතාව වෙත කඩිනමින් ලබාදීමට මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන සම්බන්ධීකරණය කිරීම.
* පාර්ලිමේන්තු වට රවුම ආසන්නයේදී විරෝධතාකරුවන් භීතියට පත්කිරීම සඳහා හමුදා සාමාජිකයන් යෙදවීමේ ක්‍රියාවලියට විරෝධය දැක්වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව ආණ්ඩුව පාර්ශ්වයෙන් සිදු කිරීමට සැරසුණු අත්තනෝමතික ස්ථාන මාරුකිරීම්වලට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම.
* අගමැති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාකරුවන්ට වෙඩි නොතබන බව පැවසූ යුද හමුදා බ්‍රිගේඩියර්වරයාට එරෙහිව ආණ්ඩුව පාර්ශ්වයෙන් කටයුතු කිරීමේදී, ඊට එරෙහිව පැමිණිලි කිරීම.
* රඹුක්කන වෙඩි තැබීම, ඝාතනය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම, නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීම සඳහා සක්‍රීය ව මැදිහත් වීම සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ එම විමර්ශන සඳහා සහාය ලබාදීම.
* පසුගිය අප්‍රේල් 24 දින සාමකාමී විරෝධතාකරුවන්ට බාධා කිරීම, උල් කටු සහිත මාර්ග බාධක යොදා විරෝධතාකරුවන්ට තුවාල සිදුකිරීමේ හෝ ඝාතනය කිරීමේ හෝ උත්සාහය සම්බන්ධයෙන් පොලිසියට, මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම.
* පසුගිය මැයි 09 දින සිදුවීමට පෙර, එවැනි සිදුවීමක් විය හැකි බවට පොලිස්පති සහ මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කිරීම, සිදුවීමෙන් පසු ඊට අදාළ දිවුරුම් ප්‍රකාශ, වාර්තා කොමිසමට ලබාදීම, කොමිසමේ දැනුම් දීම මත සාක්ෂි ලබා දීම.
* පසුගිය ජූලි 08 දින පොලිස්පතිවරයා විසින් අනීතික ලෙස ඇඳිරි නීතිය පැනවීමට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරිම.
* පසුගිය ජූලි 22 දින ආරක්ෂක අංශවලින් විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය අවස්ථාවේ මාධ්‍යවේදීන්ට පහර දීම, ඔවුන්ගේ උපකරණවලට අලාබහානි කිරීම පිළිබඳ පොලිස්පතිවරයාට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම.
* පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සහ එය ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාගැනීමට මැදිහත් වීම.

2022 නොවැම්බර් 12 වැනි දා

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකි.

Archive

Latest news

Related news