Sunday, May 19, 2024

ආයතන සංග්‍රහයෙන් මූලික අයිතිවාසිකම් මැඬලිය නොහැක! භාෂණයේ නිදහසට එරෙහි චක්‍රලේඛය වහා අහෝසි කරනු! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

රජයේ නිලධාරීන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 2022-09-27 දාතමින් නිකුත් කර ඇති, 04/2022 දරන චක්‍රලේඛය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ පිළිබඳව පළ වෙමින් තිබෙන විරෝධය නොසලකා මුරණ්ඩු
පිළිවෙතක පිහිටා ක්‍රිියා කිරීම සම්බන්ධයෙන් රජය කෙරෙහි දැඩි අප්‍රසාදය පළ කරයි.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙන් ප්‍රමුඛ මානව අයිතිවාසිකමක් ලෙස මෙන්ම, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකමක් ලෙසද පිළිගෙන ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය, රාජ්‍ය සේවකයන් සඳහා බලපවත්වන ආයතන සංග්‍රහයේ විධිවිධාන අභිභවා බලාත්මක වන බව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහවුරු කර තිබෙන කාරණයකි. ජනමාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගත් විනය ක්‍රියාමාර්ගයකට එරෙහිව ගුරුවරියක විසින් ගොනු කළ SCFR 76/2012 දරන මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවෙන් ඒ බව පැහැදිලිව අවධාරණය කෙරිණි.

එමෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතියද මූලික අයිතියක් ලෙස පිළිගෙන ඇති හා අකටයුතු නාදනයේ (whistle blowing ) හිමිකමද ඒ යටතේ ආරක්ෂා කර ඇති පසුබිමක යල් පිනූ ආයතන සංග්‍රහයේ සීමාවන් තවදුරටත් කරපින්නාගෙන යෑම ජනතාව විසින් දිනාගත් අයිතිවාසිකම්වලට පසුපස හැරවීමකි. මෑතකදී මේ ආකාරයටම මාධ්‍යයට අදහස් පළ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා විසින් ආයතන සංග්‍රහය හුවාදක්වමින් චක්‍රලේඛයක් නිකුත් කළ අවස්ථාවේද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණ කළේ නව සන්දර්භයට ගැළපෙන පරිදි ආයතන සංග්‍රහය සංශෝධනය විය යුතු බවයි.

සියලු ආකාරයේ මානව අයිතීන්ගේ පැවැත්ම සඳහා මූලික කොන්දේසියක් වන භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය ආරක්ෂා කිරීම හා පුළුල් කිරීම වෙනුවෙන් තරයේ පෙනී සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එම අයිතිය වගකීම්සහගතව පරිහරණය කළ යුතු බව නිරන්තරයෙන් අවධාරණය කරන සංවිධානයකි. එය මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් මෙන්ම
රාජ්‍ය සේවකයින් ඇතුළු පොදු ජනයා සම්බන්ධයෙන්ද අදාළ ය. රාජ්‍ය සේවකයන් සිය අදහස් පළ කිරීමේදී යම් විශේෂ සීමාවන්ට යටත් විය යුතු අවස්ථා තිබිය හැකි බව ද ප්‍රතික්ෂේප නොකරමු.

එසේ වුවද එවැනි සීමාවන් නිර්ණය විය යුත්තේ මේ වන විට නීත්‍යානුකූලව පිළිගෙන ඇති අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන ඉදිරිගාමී ප්‍රවේශයකින් මිස ඊට පසුපසින් ඇති යල් පිනූ නීති යළි ඔප දැමීමෙන් නොවේ. විශේෂයෙන්ම දැවැන්ත මහජන නැගිටීමක් ඔස්සේ සමස්ත ක්‍රමයේ විප්ලවීය වෙනසක් ඉල්ලා සිටි සමාජයක් දෙසට මෙවැනි මොට අවි එසවීම හෙළා දැකිය යුතු තත්ත්වයකි.

එබැවින් මෙම චක්‍රලේඛය වහා ඉවත් කරගන්නා ලෙසත්, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියට හරස් වන ආයතන සංග්‍රහය ඇතුළු යල් පිනූ නීති සංශෝධයනට පියවර ගන්නා ලෙසත් අපි රජයට බල කර කියා සිටිමු.

Archive

Latest news

Related news