Saturday, November 23, 2024

ළමා සාගින්න පිළිබඳ පුවතක් නිසා ශ්‍රී ලංකාව සිවිල් සේවකයින්ට සමාජ මාධ්‍ය තහනම් කරයි!

රටේ දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් පාසල් සිසුන් ආහාර හිඟයෙන් ක්ලාන්ත වන බව ඇතැම් නිලධාරීන් ප්‍රකාශ කිරීමෙන් පසු සමාජ මාධ්‍යවල අදහස් ප්‍රකාශ නොකරන ලෙස ශ්‍රී ලංකාව බදාදා සිවිල් සේවකයින්ට නියෝග කළ බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.

රාජ්‍ය සේවකයින් මිලියන 1.5 කට නව නියෝගයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය පැවසුවේ වාර්තාකරුවන්ට  අදහස් දැක්වීම සම්බන්ධයෙන් දිගුකාලීනව ස්ථාපිත කර ඇති තහනම දැන් සමාජ මාධ්‍ය පෝස්ට් දක්වා දිගු කරන බවයි.

“රාජ්‍ය නිලධාරියෙකු විසින් සමාජ මාධ්‍යවල අදහස් ප්‍රකාශ කිරීම… විනය ක්‍රියාමාර්ග ගැනීමට හේතු වන වරදක් විය යුතුය” යනුවෙන් නියෝගයේ සඳහන් වේ.

ආහාර නොමැතිකම හේතුවෙන් දුසිම් ගනනක් සිසුන් පාසල්වල ක්ලාන්ත වන බවට පළාත් සෞඛ්‍ය නිලධාරීන් සහ ගුරුවරුන් විසින් කරන ලද ප්‍රකාශයන්ගෙන් පසුව මෙම තහනම පනවන ලදී.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කුඩා ළමුන්ගේ මන්දපෝෂණය පිළිබඳ ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේය. “දේශපාලන අභිප්‍රේරිත” මහජන සෞඛ්‍ය සේවකයින් තත්වය අතිශයෝක්තියට නංවන බවට ඔහු චෝදනා කළේය.

කෙසේ වෙතත්, ලෝක ආහාර වැඩසටහන සිය නවතම වාර්තාවේ සඳහන් කළේ දිවයිනේ ජනගහනයෙන් තුනෙන් එකකට ආසන්න ශ්‍රී ලාංකිකයන් මිලියන හයක් “ආහාර අනාරක්ෂිත බවත් මානුෂීය ආධාර අවශ්‍ය” බවත්ය.

රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා වූ රනිල් වික්‍රමසිංහ ආන්ඩු විරෝධී විරෝධතාකරුවන් මර්දනය කර අගනුවර බොහෝ ප්‍රදේශවල පෙළපාලි තහනම් කර ඇත.

මේ මාසයේදී ඔහුගේ ආන්ඩුව ඩොලර් බිලියන 2.9 ක ඇපදීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කොන්දේසි සහිත ගිවිසුමකට එළැඹීය.

ජීවන තත්වය රඳා පවතින්නේ කොළඹ ඩොලර් බිලියන 51 ක පමණ වූ බාහිර ණය කන්ද ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ ගනුදෙනුවකට එළඹීම මත ය.

එහි විශාලතම ණයහිමියා වන චීනය, හිඟ ණය සඳහා කප්පාදුවක් ගැනීම වෙනුවට තවත් ණය ලබා දීමේ යෝජනාවෙන් ප්‍රසිද්ධියේ මාරු වී නැත.

පුංශ පුවත් සේවයේ වාර්තාවක් ඇසුරුණි.

මේ අතර සිය ෆේස ්බුක් පිටුවෙහි මේ සම්බන්ධයෙන් දීර්ඝ සටහනක් තබන තරිදු උඩුවරගෙදර මෙසේ සඳහන් කරයි

මායාදුන්නේට වැඩ වරදී! නඩු වැටෙන්න නියමිතයි!

සමාජ මාධ්‍යවල අදහස් පළකරන රාජ්‍ය සේවකයන්ට වැඩ වරදී කියලා ලංකාදීප, හිරු ඇතුළු මාධ්‍ය මහ ඉහළින් වාර්තා කරපු ප්‍රවෘත්තියක් තිබුණා. ඒ ප්‍රවෘත්තියේ තිබුණේ 04/2022 කියන අංකයෙන් සැප්තැම්බර් 27 වැනිදා නිකුත් කරපු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්.පී.කේ. මායාදුන්නේගේ Puකේ චක්‍රලේඛය ගැන.

චක්‍රලේඛය ගහපු මායාදුන්නේ මහතාට මෙන්ම, මේක ක්‍රියාත්මක කරන්න යම්කිසි ආයතන ප්‍රධානියෙක් උත්සාහ කළොත් ඒ අයට විරුද්ධවත් අධිකරණයේදී සටන් කිරීමේ හැකියාව තියෙනවා. ඒක ක්‍රියාත්මක කළොත්, අනිවාර්යයෙන්ම නඩු වැටේවි.

මේ චක්‍රලේඛයේ දෙවැනි වගන්තියෙන් කරලා තියෙන්නේ ආයතන සංග්‍රහයේ තියෙන විධිවිධාන අනුගමනය නොකර ‘රජයේ නිලධරයෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම‘ විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව. හැබැයි එක් පැත්තකින් ආයතන සංග්‍රහයේ පවා ඒක තියෙන්නේ පාසලක ගුරුවරයෙක්, ජනාධිපතිට විරුද්ධව පෝස්ට් එකක් ෂෙයා කරන එක වළක්වන්නට නෙවෙයි. ඒකේ පැහැදිලිව තියෙන විදියට ආයතනයට සම්බන්ධ ප්‍රවෘත්ති, දුක් ගැනවිලි සහ එවැනි දේවල් මාධ්‍යවලට ලබාදීම ගැන තමයි මේක හදලා තියෙන්නේ.

හැබැයි, ඒක පවා පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අභියෝගයට ලක් වුණා. රූපවාහිනී මාධ්‍යවලට තමන්ගේ ආයතනයේදී වෙච්ච අසාධාරණයක් කියපු ගුරුවරියකට දුන්න නඩු තීන්දුවක් තියෙනවා. ඒක ගැන අපි පැහැදිලි කරන්නම්. පොයින්ට් එක තමයි ආයතන සංග්‍රහයේ පැහැදිලි වචනවලින් තිබුණු වගන්ති පවා උල්ලංඝනය කරමින් කතා කරපු ගුරුවරියකට, මූලික අයිතිවාසිකම් අනුව එහෙම කතා කරන්න අයිතිය තියෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියා තියෙනවා.
ඉතින්, ඒකේ කිසිසේත් සඳහන් නොවිච්චි සමාජ මාධ්‍ය අදහස් දැක්වීම් කරන්න සීමා දාන්නෙ කොහොමද?

ඒත් ඊටත් වඩා ආයතන සංග්‍රහයේ මේ තියන වගන්ති මාධ්‍යවලට අදාල වගන්ති. සමාජ මාධ්‍ය සහ මාධ්‍ය එකිනෙකට සමාන නෑ. සෝෂල් මීඩියා එකක් කියන්නේ යම් මනුස්සයෙකුගේ පෞද්ගලික අවකාශයක්. එයා සමාජ මාධ්‍යවල පලකරන අදහස් සීමා කරන්නට මේ වගන්ති පාවිච්චි කරන්න කොහොමත් බෑ.

තුන්වැනි වගන්තියේ තියෙන්නේ දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධාරීන් ගැන. ඒ කියන්නේ ආයතන සංග්‍රහයේ තියෙන ‘අධිකරණ නිලධාරියෙකු, සන්නද්ධ සේවාවල නිලධරයෙකු, පොලිස් නිලධාරියෙකු හෝ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ පොලිස් කටයුතු සිදුකරන වෙනත් සාම නිලධාරියෙකු, බන්ධනාගාර නිලධාරියෙකු, රාජ්‍ය සේවයේ මාණ්ඩලික හෝ අධීක්ෂණ නිලධාරියෙකු හෝ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු කියන අය දේශපාලන අයිතිවාසිකම් නොමැති අය විදියට හඳුන්වනවා. මේ අයට මැතිවරණවලදී ඡන්දය දීම හැරුණාම මැතිවරණ අපේක්ෂකයන්ට ආධාර කිරීමයි මැතිවරණවලට ඉදිරිපත් වීමයි සීමා කරනවා. ඒ අනුව එවැනි අයට සමාජ මාධ්‍යවලින්වත්, මාධ්‍යවලින්වත් පක්ෂවලට කඩේ යන්න බැහැ. ඒත්, එතැනින් එහාට ඒ අයට පවා තමන්ගේ තනතුර මත ප්‍රකාශනයේ අයිතිවාසිකම් තියෙනවා.

මේ ගැන අපි කරපු විමසීමකදී කරුණු පෙන්වාදෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මෙහෙම කීවා.

‘ආයතන සංග්‍රහයේ මාධ්‍යවලට අදහස් දක්වන්න බැහැ කියලා තියෙනවා. එහෙත් ඒ ප්‍රතිපාදන පවා අභියෝගයට ලක් කරමින් ලබාදුන් 76/2012 කියන ඓතිහාසික ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් තියෙනවා. ඒ නඩුව මහානාම විද්‍යාලයේ ගුරුවරියක් මාධ්‍යවලට අදහස් දැක්වුවා කියලා ආයතන සංග්‍රහය අනුව ඇයට එරෙහිව ගත් පියවර බලරහිත කළ තීන්දුවක්. ඒකෙන් තහවුරු වුණා රාජ්‍ය සේවකයන්ට සමහර කාරණාවලදී මාධ්‍යවලට අදහස් දක්වන්න අයිතිය තියෙනවා කියලා. මෙයට එරෙහිව අධිකරණයට යෑමට අපි බලාපොරොත්තු වෙනවා.‘

ඒ අනුව ස්ටාලින් මහතා මීට කලින් ලබා දී ඇති නඩු තීන්දුව අපට කියවීම සඳහා ලබා දුන්නා.

මීට කලින් 76/2012 කියන මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවෙන් ඔය වගේ මිනිසුන්ගෙ ප්‍රකාශන අයිතිය සීමා කරන්න ගිය අයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකින්, රුපියල් ලක්ෂය ගාණේ වන්දි ගෙවන්න නියම වුණා.
ඒක වුණේ මෙහෙමයි.

2011 නොවැම්බර් 11 වැනිදා සිරස විමර්ශන වැඩසටහනට සමන්ති පැලකැටිය ගුරුවරිය සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නා. ඒ සාකච්ඡාව ඇය දුන්නේ, ඇයට එරෙහිව සිදු වූ අසාධාරණයන් බොහොමයකට යුක්තිය ඉටු නොවූ තැන. ඒ ඉන්ටවීව් එකේදී ඇය තන්ට සිදු වූ අසාධාරණයන් ගැන කෙළින්ම කතා කළා.

ඊට පස්සේ ඔය වගේම ආයතන සංග්‍රහය උස්සාගෙන ඇවිත්, ඇයට එරෙහිව පියවර ගත්තා. ඒකට එරෙහිව තමයි ඒ ගුරුවරිය සහ ඇය වෙනුවෙන් ලංකාවේ හිටපු කීර්තිමත්ම ජනාධිපති නීතිඥවරයෙකු වන ජේ.සී. වැලිඅමුණ ශ්‍රේෂ්ඨාධිකරණය ඉස්සරහට ගිහින්, ඓතිහාසික නඩු තීන්දුවක් ලබා ගත්තේ. මේ නඩුවට සම්පූර්ණ මැදිහත්වීම කළේ ලංකා ගුරු සංගමයත්, එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුළු නායකයනුත්.

ඒ තීන්දුවේ ඉතා පැහැදිලිව තියෙනවා ‘ආයතන සංග්‍රහයේ වගන්ති ඉදිරිපත් කරමින් මූලික අයිතිවාසිකම් සීමා කිරීමේ හැකියාවක්‘ නොමැති බව. අයිතිවාසිකම් සීමා කළ හැක්කේ ජාතික ආරක්ෂාව, මහජන සාමය, මහජන සෞඛ්‍ය රැකගැනීම ආදී නිශ්චිත කාරණා කිහිපයකදී පමණක් බවත් එහි තියෙනවා.

ඔය ආයතන සංග්‍රහ උස්සාගෙන ඇවිත්, දේශපාලුවන්ගේ බලය රකින්න රෙදි නැතිව කඩේ යන මායාදුන්නේ වගේ නින්දිත රාජ්‍ය නිලධාරීන්ගේ වුවමනා මත හිතුමතේට මිනිසුන්ගේ ප්‍රකාශන නිදහස සීමා කරන්නට හැකියාවක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පැහැලිව තීන්දු කරලා තියෙනවා.

ඒ වගේම උක්ත තීන්දුවේ තවදුරටත් සඳහන් වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ මනා පැවැත්ම සඳහා ප්‍රකාශනයේ නිදහස අත්‍යවශ්‍ය වන බව. මහජන අදහස් නූතන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අත්‍යවශය නිසා ඒ නිදහස ඉතා වැදගත්කමක් උසුලන බවත් තීන්දුවේ සඳහන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(අ) යටතේ එන අදහස් ප්‍රකාශනයේ නිදහස පිළිබඳ මූලික අයිතිවාසිකම පදනම් වී ඇත්තේ ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය සහ ඉන්දීය ව්‍යවස්ථාවේ 19(1) මත බවත් හිටපු අගවිනිසුරු ෂර්වානන්දගේ ‘ෆන්ඩමෙන්ටල් රයිට්ස් ඉන් ශ්‍රී ලංකා‘ කියන කෘතියේ 212 පිටුව උපුටා දක්වමින් උක්ත නඩු තීන්දුව පෙන්වා දෙනවා.

ඒ සංකල්පය ඔස්සේ යමින් ඉන්දියාවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නඩු තීන්දු කිහිපයකුත් මෙම තීන්දුවේදී උපුටා දක්වා තිබුණා.

ඒ අනුව ඔස්ටින් එදිරිව කීල් කියන 1971 ඇමෙරිකානු නඩු තීන්දුවත් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය උපුටා දක්වා තියෙනවා. එහි සඳහන් වන්නේ රජයට එරෙහි විවෙචනය කිරීමේ මූලික අයිතිවාසිකම ‘වගකීම් සහගත‘ සහ ‘කරුණුවලින් සමන්විත‘ විවේචනවලට පමක් සීමා නොවන බව. ඒ අයිතිය තව කෙනෙකුට හානියක් නොවන තාක් කල් කිසිම පාලනයක් නැති, ‘මෝඩ පහේ‘ විවේචනවලට පවා හිමිවන බව තීන්දුවේ සඳහන්. ඒ කියන්නේ අපි සෝෂල් මීඩියාවල කාටහරි බැණලා හදපු සරල මීම් එකක් ෂෙයා කළත් ඒ අයිතිය තියෙනවා.

නිව්යෝක් ටයිම්ස් එදිරිව සුලිවින් කියන 1964 නඩු තීන්දුවේ කොටසක්ද ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී උපුටා දක්වනවා. එහිදී ඇමෙරිකානු උපරිමාධිකරණය කියා තිබුණේ පොදු සමාජ සිදුවීම් පිළිබඳ විවාදවලදී කරනු ලබන අදහස් දැක්වීම් කිසිදු සීමාවකට යටත් නොවන, ප්‍රබල සහ විවෘත විය යුතු බවත්, එහිදී ඉතා තියුණු විදියට රජය විවේචනය කරන, හැඟීම්බර, තදබල, අපහාසාත්මක සහ අප්‍රසන්න වචන පාවිච්චි කරමින් රජයට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව කතා කළ හැකි බවත්.

ඒ කියන්නේ එකල අගවිනිසුරු ශ්‍රීපවන් ඇතුළු විනිසුරු මඬුල්ල ලබා දුන් මේ තීන්දුවෙන් තහවුරු වුණේ නිකම්ම අදහස් ප්‍රකාශනයේ නිදහස නෙවෙයි. ඉන් එහා ගිහින් ඕනෑම විදියකට තියුණු විදියට, අපහාසාත්මක වචන එක්ක, හිතේ හැටියට අදහස් ප්‍රකාශනයේ නිදහස.

ඔයා ගෑණියෙක්ද, පිරිමියෙක්ද, බෞද්ධයෙක්ද, අන්‍යාගමිකයෙක්ද, උසද, කොටද, බදුල්ලේද, අම්පාරේද, රජයේ සේවයේද, නිශ්ශංක සේනාධිපතිගේ ෆේස්බුක් කුලී හමුදාවේද, ඉරාජ් වීරරත්නගේ පක්කලි සර්විස් සේනාවේද කියන ඒවා කිසිවක් අදාල නෑ. ඔබට අදහස් ප්‍රකාශනයේ නිදහස තියෙනවා.

ඒක සමහරවිට සීමා කරන්න පුළුවන් එක්කෝ දරුණු ජාතිවාදයක් ඇවිස්සුවොත්, ජාතික ආරක්ෂාවට හානි කළොත්, තවත් කෙනෙකුට සාපරාධී විදියට හානියක් කළොත් ආදී අවස්ථාවලදී. නැත්නම් ඔබ මැතිවරණ කොමිසමේ සභාපති නම්, විනිසුරුවරයෙක් නම් ඒ ඒ අයගේ වෘත්තීය සදාචාරයට සහ වෘත්තිය කාරණාවලට අදාලව යම් සීමාවන් තියෙනවා. ඒ වගේම සමහර රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවලට නැගලා පක්ෂවලට කඩේ යනවා වගේ සමහර දේවල් කරන්න බෑ.

ඒ හැරුණාම ෆේස්බුක් පෝස්ට් එකක් දාලා රජය විවේචනය කරන්නත් ඉන් එහාට ගිහින් මාධ්‍ය හරහා වුණත් ජනතාව දැනගතයුතු කරුණක් තියෙනවා නම් ඒක කියන්නත් අයිතිය අපේ ව්‍යවස්ථාවෙන් තියෙනවා. ව්‍යවස්ථාවට පදනම් වූ ලෝක ව්‍යවස්ථා සම්ප්‍රදායෙන් තියෙනවා. ඒකට අදාලව ලබා දී ඇති නඩු තීන්දුවලින් පවා ඒ නිදහස තහවුරු කරලා තියෙනවා.

ඉතින්, කොහෙවත් යන මායාදුන්නෙ කෙනෙක් කොන්දක් නැතිව කුජීත විදියට ආණ්ඩුවට කඩේ ගියා කියලා, රාජ්‍ය සේවකයන්ගේ නිදහස සීමා කරන්න බැහැ.

ඒ අනුව ඉදිරියේදී මේ චක්‍රලේඛ පාවිච්චි කරලා යම්කිසි නිලධාරියෙකුට සීමාවක් ඇති කළොත්, ඒකට විරුද්ධව නීතිමය පියවර ගන්නත්, නීති සහයෝගය දෙන්නත් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ලෑස්තිවෙලා ඉන්නවා. මීට කලින් සමන්ති පැලකැටිය ගුරුවරියට වන්දි ගෙව්වා වගේ, ඔය නීති උරුක් කරන් ආවොත් නීතිය ක්‍රියාත්මක කරනවා. නැත්නම් පීකේ මායාදුන්නේට ඔය චක්‍රලේඛ Puකේ ගහගන්න කියන්න.

Tharindu Uduwaragedara

Archive

Latest news

Related news