Sunday, September 25, 2022

නොනිමි සහ අහිමි ණය- ජයශ්‍රී ප්‍රියලාල්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ආධාර ලබා ගැනීමට අයිතියක් ඇති බවට ප්‍රකාශ කරමින් කලින් පැවති රජයන් පවා දශක කිහිපයක්ම දහසය වතාවක් ආධාර ලබාගෙන ඇති නිසා ශ්‍රී ලංකාවේ දැනට හීනවී ඇති විදේශ වත්කම් සංචිත ගොඩනගා ගැනීමට ආධාර ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව රජය ප්‍රකාශ කර සිටි. ඒ සඳහා රට දැනට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කෙරුනු මාණ්ඩලික මට්ටමේ සාකච්ඡා සාර්ථක වී ඇති බව නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය රාජාසන කතාවේදී ප්‍රකාශ කලේය.
අරගලයට පණ පොවන ලද නව සහශ්‍රයේ තරුණ කැල හඬ නඟා ඉල්ලන පද්ධතිමය වෙනස අනිවාර්යෙන්ම සිදුවිය යුතු අතර, අපේක්ෂිත නව ආර්ථික, දේශපාලන ක්‍රමවේදය කුමක්ද යන්න පිලිබදව නිරවුල් කථිකාවක් තවම ඇරඹී නැත.
මෙම විශේෂාංග ලිපිය මගින් සාකච්ඡා  කරනුයේ මුල්‍ය අරමුදලේ ආධාර මත දියුණුවෙමින් පවතින රටවල් අත්පත් කරගත් සංවර්ධනය සහ ප්‍රගතිය විචාරාත්මකව විමසා බැලීමය. ඊට අනුරූපව කෝවිඩ් වසංගතයෙන් සහ දැනට සීඝ්‍රයෙන් ඉහල යන උද්ධමනකාරී ආර්ථික අවපාතයට ශ්‍රී ලංකාව සිය ආර්ථික ප්‍රතිපත්ති සකස් කරගැනීම සඳහා තෝරාගතයුතු වැඩපිලිවෙල කුමක්ද යන්න සාකච්ඡා කිරීමටය.

දියුණුවෙමින් පවතින රටවල රජයන් තම රටවල ආර්ථික කළමනාකරණය පැහදිලි දර්ශනයක් ඔස්සේ හැසිරවීම තම මුලික වගකීම බවට ප්‍රමාද වී හෝ වටහා ගත යුතුව ඇත. නමුත් ශ්‍රී ලංකාව දැන් මුහුණ දෙන තත්වය පාලනය කර ආර්ථිකය වර්ධන මාවතකට යොමු කරවීම හැකි විගස ඇරඹිය යුතුව ඇත. මීට සමගාමී සමාජ දේශපාලන වෙනස්කම් රාශියක්ද අනිවාර්යේන්ම සිදුවිය යුතුව ඇත.

නව ලෝක රටාවට පටහැනිව කටයුතු කිරීම පහසු නොවුවද දැනට ක්‍රියාත්මක වන එකපාර්ශ්වික ලෝක වෙළද රටාව අනුව කටයුතු කරමින් දිළිදුකම තුරන් කළ නොහැකි බවට වගකිව යුත්තන් තේරුම් ගෙන සිටිත්ද? දුකට පත් ලෝක ප්‍රජාව ජීවත්විය යුත්තේ සමාජීය අවශ්‍යතාවන් ඉටුවන සමාජයක මිස ගෝලීයකරණය වන වෙළෙදපළක නොවන බව අප තේරුම් ගත යුතුව ඇත. මේ සඳහා ඇති කදිම ආදර්ශය මහජන චීනයෙන් ලබා ගත හැක. නව ලිබරල්වාදී අර්ථ ක්‍රමයකට කොටු නොවී ධනවාදී රාමුව තුල සිටිමින් මිලියන 800 ක ජනගහණයක් අන්ත දිළිඳු බවෙන් මුදවාගත්හ.

අරගලයට පණ පොවන ලද නව සහශ්‍රයේ තරුණ කැල හඬ නඟා ඉල්ලන පද්ධතිමය වෙනස අනිවාර්යෙන්ම සිදුවිය යුතු අතර, අපේක්ෂිත නව ආර්ථික, දේශපාලන ක්‍රමවේදය කුමක්ද යන්න පිලිබදව නිරවුල් කථිකාවක් තවම ඇරඹී නැත. යල් පැණගිය අධිරාජ්‍යවාදී බෙදා වෙන්කර පාලනය පහසු කරවීමට යොදාගත් පරිපාලනමය ව්‍යුහය ප්‍රථිස්ථාපනය කල යුතුවේ. රාජ්‍ය පරිපාලනය නව සහශ්‍රයේ සංඛථ තාක්ෂණයට අනුගත සුහුරු මේවලම් ඔස්සේ කාර්යක්ෂමව මෙහෙයවීමට හැකි වනසේ හසුරුවා ගැනීම අරගලය අපේක්ෂා කරන පද්ධතිමය වෙනසේ මූලික සංඝටකය වියයුතුව ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු තුන්වෙනි ලෝකයේ රටවල් මුල්‍ය අරමුදලේ හෝ අනෙක් ණය ආධාර සපයන සංවිධානවල කොන්දේසි ඒ ආකාරයටම පිළිපැදීමට එකඟ  වී නැති බව ප්‍රකාශ කළද එම රටවල් තම ආර්ථික කළමනාකරණ වැඩ පිළිවෙල බටහිර රටවල බහුජතික සමාගම් වලට හිතකර ගෝලීයකරණ වූ වෙළෙදපලක්  සුදානම් කර ඇත. බොහෝ රටවල් ගෝලීයකරණය වන වෙළෙදපල ගැන සිහින මැවුවද , ගෝලීයකරණය වන ආර්ථිකයක් නොමැති බව වටහා ගෙන නැත.

නව ලිබරල් ආර්ථික ක්‍රමවේදය කෝකටත් තෛලය ලෙස බටහිර වෙළඳ පොල කාරක බලවේගයන් දියුණු වන රටවල් මත පටවන ලදි. කෙසේ වෙතත් ධනවත් යැයි සිතා සිටි රටවල් වර්තමානයේ මුහුණ දෙමින් සිටිනුයේද නව ලිබරල් ආර්ථික ක්‍රමවේදයේ අනපේක්ෂිත අතුරු ප්‍රතික්‍රියාවන් වලටය. අති ධාවනකාරී පාරිභෝජන රටාව තුලින් සියළු සමාජ ස්ථර වල යහපැවැත්ම සහ සංවර්ධනය ඉබේම ඇතිවෙනු ඇතැයි යන මිත්‍යාව ඔස්සේ නව ලිබරල් රටාව ගොඩනැඟී ඇත.
ක්ෂණික ආයෝජන ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සුපිරි ලාභ ඉපයීමට මෙතෙක් පැවැති මූල්‍ය වෙලදපොල වෙනත් විකල්ප කරා අනිවාර්යෙන්ම යොමුවෙන රටාවක් නව තාක්ෂණික උපාංග සහ මේවලම් හෙළිපෙහෙලි කර ඇත. හුදෙක් ණය පත පදනම් අර්ථ ක්‍රම තව දුරටත් සාර්ථකව පවත්වාගෙන යාමේ අවදානමකට ලෝකවාසී සියළු දෙනාම දැන් මුහුණ දෙමින් සිටී.
එහි අවසාන ප්‍රථිඵලය සියළුම ආර්ථිකයන් කරවටටම ණය වීමය. එය ක්‍රමාණුකූලව සිදුවුයේ ඒක පුද්ගල පෞද්ගලික ණය, පළමුව පොදු සමාජයේම මූල්‍ය සමාගම් සහ බැංකුවල බොල් ණය ලෙසට පරිවර්තනය වීමෙනි. දෙවනුව එකී බොල් ණය දැන් මහා බැංකුවල ගාල් වෙමින් මූල්‍ය අධිකාරිය හරහා ස්වෛරීය ණය ලෙසට පරිවර්තනය වී ඇත.
මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට බටහිර වෙළඳ පොල ගැන විශ්වාස කරන රටවල් කරනුයේ ද අනෙකක් නොව ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යාම උත්ප්‍රෙරණයට මුදල් අච්චු ගැසීමය. විසි වෙනි ශත වර්ෂයේ ප්‍රාග්ධනය සතුවූ අද්විතීය ක්‍රය ශක්තිය විසිඑක්වෙනි සියවසේ හුදෙක් විවිධ ණය උපකරණ මගින් විස්ථාපනය කර ඇත. ඓතිහාසිකව ප්‍රාග්ධණය සතුවූ විශේෂිත ආර්ථික ජවය මේවන විට ක්ෂය වෙමින් පවතින අතර ධනවාදය පෙරටුකරගෙන යන වෙළඳ පල සංවර්ධන රටාව පවත්වාගෙන යාම පහසු නොවනු ඇත.

ක්ෂණික ආයෝජන ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සුපිරි ලාභ ඉපයීමට මෙතෙක් පැවැති මූල්‍ය වෙලදපොල වෙනත් විකල්ප කරා අනිවාර්යෙන්ම යොමුවෙන රටාවක් නව තාක්ෂණික උපාංග සහ මේවලම් හෙළිපෙහෙලි කර ඇත. හුදෙක් ණය පත පදනම් අර්ථ ක්‍රම තව දුරටත් සාර්ථකව පවත්වාගෙන යාමේ අවදානමකට ලෝකවාසී සියළු දෙනාම දැන් මුහුණ දෙමින් සිටී. නව තාක්ෂණය, අන්තර්ජාල පහසුකම් ඔස්සේ වාණිජ ක්‍රියාවලිය සහ භාණ්ඩ සහ සේවා හුවමාරුව නව හැඩතලයක් ගෙන ඇත. විසිවෙනි ශතවර්ෂයේ මූල්‍ය සහ ආර්ථික කලමණාකරන ක්‍රමවේදයන් සහ උපක්‍රම විසිඑක්වෙනි ශතවර්ෂයේ අභියෝග වලට විසඳුම් සෙවීමට අපොහොසත්ය. එවා වෙනස් විය යුතුය. එම වෙනස් කම් මොනවාද ඒවා අපරටේ අවශ්‍යතාවන් වලට සරිලන සේ උපයෝගී කරගන්නේ කෙසේද යන්න අරගලයේ කොටස් කරුවන් ගේ සාකච්ඡාවලට යොමුවිය යුතුව ඇත. ශ්‍රී ලංකාවාසී සියළු දෙනා අපේක්ෂා කරන පද්ධතිමය වෙනස සිදුවීම ඇරඹිය යුත්තේ මෙවන් බුද්ධිමය සමාජ සංවාද තුලින්ය.

කෙටි කාලින දේශපාලන උවමනා එපාකම් අනුව කටයුතු කරන දේශපාලකයන් හුදෙක් බලය වෙනුවෙන් කැපවී සිටින විට වෙළෙදපළ කුරුමානම් කාරයින් කල දුටුවිට වල ඉහ ගැනීමට පසුබට නොවෙති. මෙම ක්‍රියාවලියට හවුල් වී තම මඩිය තර කර ගැනීමට හුරුවී සිටින බලධාරීන් දැයේ දියුණුව උදෙසා වෙනත් විකල්ප වැඩ පිළිවෙලවල් ගැන සිතීම පවා නවතා දමා ඇති බව පෙනී යයි . විශේෂයෙන් ශ්‍රී ලංකික විද්වතුන් සහ වෘත්තිකයන් සහ ආර්ථික විශේෂඥයින් නිහඩ කිරීමට හැකි වාතාවරණයක් අප රට තුල නිර්මාණය වෙමින් පවතී. මේ පිළිබදව යම් හඬක් නගන අතළොස්සක් පිරිස සිය දේශපාලන මතවාද ඔස්සේ විවේචනය කලද විකල්ප වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට අපොසත්ව ඇත.

විෂයානුබද්ධ දැනුම් සහ අත්දැකීම් බහුල ශ්‍රී ලාංකේය විද්වතුන් විශේෂඥයින් ලොව පුරාම විසිර සිටිත්. අවාසනාවකට වර්තමාන දේශපාලන සංස්කෘතිය තුල එවන්නන්ට සාධනීය මෙහෙවරක් රට වෙනුවෙන් කල නොහැක. ඊට මූලික හේතුව විධායක ජනාධිපති පරිපාලන ක්‍රමවේදය හඳුන්වාදීමත් සමගම ශ්‍රී ලංකාවේ පැවැති විශිෂ්ඨ රාජ්‍ය සිවිල් පරිපාලනය නිර්වින්දනයකට භාජනය වීමය. විධිමත් අධ්‍යාපනයක් හෝ අදාල ක්ෂේත්‍රයන් පිලිබද කිසිම ශාස්ත්‍රාණුකූල හෝ වෘත්තීමය සුදුසුකමක් රහිත දේශපාලනඥයින් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැගෙන ඇත්තේ රටේ සංවර්ධනය වෙනුවෙන් නොව තමන්ගේ සහ තම පවුලේ සුභසිද්ධියට බව දැන් සියළු ශ්‍රී ලාංකිකයින් මෙන්ම ලෝකවාසී සියළු දෙනාම හොදින් අවබෝධ කරගෙන ඇත. රාජ්‍ය පරිපාලනයට දායක වුවන්ද වැල යන පැත්තටම මැස්ස ගැසීම නිසා ශ්‍රී ලංකාව ණය බරින් මිරිකුණු කඩාවැටීමකට ආසන්න ආර්ථිකයක් සහිත රටක් බවට පත්වී ඇත.

පසුගිය දශක කිහිපයකම මුදල් අමාත්‍යාංශය මෙහෙය වූ අමාත්‍යවරයාගේ දැනුම සහ සුදුසුකම් ගැන පසුවිපරමක් කිරීම පද්ධතිමය වෙනස ඇරඹීමට යොදාගත හැකි මූලික පියවරක් කරගත හැක. එවැනි විමර්ශනයකදී මතුවිය හැකි නිරීක්ෂණය විය හැක්කේ එම කාල සීමාවේදී මුදල් අමාත්‍යාංශයේ සිරස සහ කඳ සොලවා ඇත්තේ එකී අමාත්‍යාංශයේ වලිගය බවටය. නුසුදුසු දේශපාලන කේවට්ටයන් මත ආර්ථික ක්‍රියාවලිය දෝලනය වීමට හැරීමේ අවසාන ප්‍රතිපලය සශ්‍රික සම්පත් වලින් අනූණ දේශයක් ණය බරින් මිරිකුනු බංකොලොත් රටක් බවට පත්කිරීමය. මෙම ක්‍රමය වහාම වෙනස් විය යුතුව ඇත, එකී වෙනස ඇති කිරීමට පෙළගැසෙමු සැබෑ අනාගතයක් ගැන විශ්වාසය තබමු.

ජයශ්‍රී ප්‍රියලාල්
|ජයශ්‍රී ප්‍රියලාල් මහතා, යුනී ගෝලීය වෘත්තීය සමිති ජාලයේ ආසියා හා ශාන්තිකර කලාපයේ මූල්‍ය සහ වෘත්තීය කළමණාකරුවන්ගේ සේවාවන් අංශයේ කලාපීය අධ්‍යක්ෂකවරයා වන අතර, ඔහු ලිපි රචකයෙක් හා පර්යේෂකයෙක් ලෙසද කටයුතු කරනු ලබයි.

2022, අගෝස්තු 20

Archive

Latest news

Related news