Tuesday, July 16, 2024

මර්වින් සිල්වා සහ දානිෂ් අලී: රූපවාහිනියට කඩාවැදීමේ ‘අවනීතිය’

2007 දෙසැම්බර් 27වැනිදා එවකට මහින්ද රාජපක්ෂලාගේ ලොකුම සුරතලෙක් වූ මර්වින් සිල්වා නම් දේශපාලන ද්‍රෝණකාකයා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට කඩාපැන්නේ ය.

තනිව නොවේ. සිය ආරක්ෂකයන්ය යි හැඳින්වූ අපරාධකාරයන්, මත්දුව්‍ය ජාවාරම්කාරයන් ඇතුළු හැත්ත බුරුත්තක් සමගිනි.

එසේ ආයතනයට බලහත්කාරයෙන් කඩාපැන්න ඔහු තමන්ගේ කතාවක් තමන්ට අවශ්‍ය පරිදි පරිදි විකාශනය නොකළේය යි රූපවාහිනියේ එවකට ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ව සිටි ටී එම් ජී චන්ද්‍රසේකරට පහරදුන්නේ ය.

මේ පාදඩ දේශපාලනකයාට එරෙහිව එදා ජාතික රූපවාහිනියේ සේවය කළ සේවක සහෝදර සහෝදරියෝ එකාවන්ව නැගීසිටියහ. රාජපක්ෂලාගේ නීච සුරතලෙක් වුවත් මේ දේශපාලන ද්‍රෝණකාකයාට සාමාන්‍ය මිනිසුන් අතර තිබුණේ තදබල අප්‍රසාදයකි.

සේවක සේවිකාවන් විසින් පැය ගණනක් රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ ‘සිරකරගෙන’ තබාගෙන සිටි මර්වින්ට ආයතනයෙන් පිටව යන්නට ලැබුණේ, තත්ත්වය සාමකාමීව විසඳාගැනීමට මැදිහත් වන්නැයි රූපවාහිනී පාලනාධිකාරයෙන් පවා ආ ඉල්ලීම් මත සිදුකළ, එදා ක්‍රියාශීලීව සිටි අප මාධ්‍ය සංවිධානවල ද මැදිහත් වීමෙන්, විශාල පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ ය. එහෙත් පිටව යන මොහොතේ ඔහුට සායම් මුසු මුත්‍රා බාල්දියකින් නාගන්නට සිදුවිය.

මේ සිදුවීම එක් හුදෙකලා සිද්ධියක් පමණක් නොවී ය. එතැන් පටන් මර්වින් සිල්වා තවත් අපරාධ වැලක් මෙහෙයවූයේ ය. එදා තමන්ට එරෙහි වීය යි ඔහු සිතූ රූපවාහිනී සේවක සේවිකාවන් ගණනාවකට ඔහුගේ මෙහෙයවීමෙන් වරින් වර ප්‍රහාර එල්ලවිය.

මේ ලියන මා ද ඔහුගේ පළිගැනීම් ලයිස්තුවේ ඉහළින්ම සිටියත්, මට එරෙහිව කිසිවක් කරගන්නට මර්වින්ට නොහැකි විය.

මහින්ද ආණ්ඩුවේ සැලකිය යුතු තනතුරක්ද, ඊට අමතරව රාජපක්ෂලාගේ ඕනෑම කුණුගොඩකට වගකියන දේශපාලන කසලශෝදකයෙක්ද වී සිටි මර්වින් සිල්වාට එරෙහිව මේ සිද්ධිය හෝ ඊට පසු සිදුවූ අපරාධ මාලාව සම්බන්ධයෙන් එදා මෙදා තුර කිසිදු නීතිමය පියවරක් ගැනී නැත.

ඉන් වසර 15කට පසු මර්වින් සිල්වාගේ එදා මහා නායකයන් වූ රාජපක්ෂලාගේ කෙරුවාව හේතුවෙන් බිහිවූ ‘අරගලකරුවෝ’ පිරිසක් ජාතික රූපවාහිනියට ‘බලහත්කාරයෙන්’ ඇතුළුවූහ. සජීව විකාශනයකට ද සහභාගී වූහ.

එතැන සිදුවූ දේ මා ඔබට කිවයුතු නැත. ඔබ මට වඩා කදිමට ඒ ගැන දන්නෝ ය.

ඒ ‘අරගලයේ නියෝජිත කණ්ඩායම’ අතර සිටි දානිෂ් අලී නැමැත්තා අද ඉතාම බලහත්කාරී අන්දමකට ගුවන්යානයක අසුන්ගෙන සිටියදී අත්අඩංගුවට ගැනිණි.

මේ ‘අරගලයේ නියෝජිතයන්’ කියන පිරිස රූපවාහිනී සංස්ථාවට ඇතුළු වූ ආකාරය හෝ එහි දී හැසිරුණු ආකාරය ගැන මගේ එකඟතාවක් නැත.

එහෙත් මර්වින් සිල්වා සිද්ධිය හා මේ සිද්ධිය සංසන්දනාත්මකව බැලුවොත් මා කියන්නේ වඩා නරක සහ නීතිය ක්‍රියාත්මක වීමේ දී වඩා ප්‍රමුඛත්වය ලැබිය යුතුව තිබූ සිද්ධිය මර්වින් සිල්වා සිද්ධිය බව ය. ‍මන්ද යත්

ඔහු එවකට ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකි.

ඔහු එහි කඩාවැදුණේ පෞද්ගලික කාරණාවක් මුල්කරගෙන ය.‍

ඔහු ආයතනයේ විධායක නිලධාරියෙකුට පහරදුන්නේ ය.

ඔහු සමග රටේ නමගිය අපරාධකාරයන් සිටි බව ඔප්පු විය.

ඒ සියල්ලන්ටමත් වැඩියෙන්, මේ සිද්ධියත් සමග ඔහුගේ මෙහෙයවීමෙන් පළිගැනීම් ලෙස තවත් අපරාධ මාලාවක් සිදුවිය.

එහෙත් මේ කිසිවකට අද මේ මොහොත දක්වා කිසිදු අන්දමකින් නීතිය ක්‍රියාත්මක වී නැත.

දානිෂ් අලීලාගේ සිද්ධියේ සන්දර්භය වෙනස් ය.

එය සාමාන්‍ය මිනිසුන් අතරින් පැනනැඟි අවිධිමත් විරෝධතා ව්‍යාපාරයක කිසියම් උද්වේගකර අවස්ථාවක සිදුවූ සාමූහික ක්‍රියාවකි.

ඒ ක්‍රියාව මෙහෙයැවෙන්නේ හුදෙක් පෞද්ගලික අරමුණකට වඩා පොදු අරමුණක උද්වේගයෙනි.එහිදී ප්‍රචණ්ඩකාරී සිදුවීම් සිදුවූ බව වාර්තාවී නැත,

ඒ පොදුජන විරෝධතා ව්‍යාපාරය මේ වනතුරුත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් දේශපාලන සමාජය හෝ නීති ප්‍රජාව හෝ පොදු ජනසමාජය තාම නිශ්චිත සම්මුතියකට පැමිණ නැත.

පාලකයා රෙජීමයේ සුරතලෙක් ද. ඊනියා ‘දේශපාලන ප්‍රභූ තත්ත්වධාරියෙක්’ ද වූ මර්වින්ට, වඩා බලවත් අපරාධයක් හා ඒ පසුපස ගිය අපරාධ වැලකට වසර පහළොවක් තිස්සේ නීතිය ක්‍රියාත්මක වී නැත‍.

‘නිර්ප්‍රභූ’ පුද්ගලයෙකුට සාමූහික ක්‍රියාවක කැපීපෙනෙන නියෝජිතයෙක් වීම හේතුවෙන් දින ගණනාවක් ඇතුළත නීතිය බලහත්කාරයෙන් ක්‍රියාවේ යොදවමින් පවතී‍.‍

මේ වූකලී, මේ කාලකණ්ණි දේශපාලුවන් විසින් ඔබටත් මටත් උරුමකර දී ඇති රටේ නීතිය ඉදිරියේ සියලු රටවැසියා සමාන වන හැටි ය.‍

එදා මේක මර්වින් සිල්වලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන රටක් වීනම් දානීෂ් අලීලාට මෙහෙම දේවල් කරන්නට සිදු නොවන්නට ඉඩතිබිණි.‍

කිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කමිටු සාමාජිකාවක වන දිලිශා අබේසුන්දර ට ලැජ්ජාව කියා එකක් නැති බව පෙන්වන පෝස්ටුවකි

මෙපමණ කුණුගඳගහන ජරාජීර්ණ අතීතයක් හිමි රටක ඉන්නා ඔබ අද දානීෂ් අලී ගුවන්යානයේ අසුනේ එල්ලී සිටිහැටි කියමින් සිනාසෙයි.

ඔබට ඔබ දෙස ම බලද්දී විලිලැජ්ජාවක් ඇතිවන්නේ නැතිද?

ඇත්තෙන්ම, ඔබ අප සියල්ලන් ද මේ ව්‍යසනයට වගකිවයුත්තෝ නොවන්නමුද?

Sanath Balasooriya මුහුණු පොතිනි.

Archive

Latest news

Related news