Thursday, April 25, 2024

රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමට එක්වෙමු – එක්සත් වාමාංශික පෙරමුණ

ජූලි මස 20 දින පවත්වන ජනාධිපති නිලවරණයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නොව රාජපක්ෂ පවුලේ අපේක්ෂකයා සහ ගැලවුම්කරු ලෙසය. රාජපක්ෂ පවුල සහ එහි  මූල්‍ය ආධාරකරුවන් දැනටම මන්ත්‍රීවරු බිලි බෑම අරාම්භ කර ඇත.

වැඩබලන ජනාධිපති ලෙස පත්වූ වහාම රනිල් සිය සැබෑ ස්වරූපය මනා ලෙස පෙන්නුම් කළේය. විරෝධතාකරුවන් බියගැන්වීමට හෙලිකොප්ටර් අහසේ සැරිසැරූහ. සන්නද්ධ රථ දැන් පාරේ සංසරණය වෙයි. අරගලකරුවන්ව ඔහු හඳුන්වන්නේ “පැසිස්ට්වාදීන්” ලෙසය. ඇත්තෙන්ම පැසිස්ට් මාදිලියේ තර්ජනය එන්නේ රනිල් ගෙනි.

වත්මන් අර්බුදය විසඳීමට අත්‍යාවශ්‍ය සර්ව-පාක්ෂික ආණ්ඩුවක් රනිල්ගේ නායකත්වයෙන් ගොඩ නැඟිය නොහැක. පොහොට්ටු පක්ෂයේ සිටින ඔහුට එරෙහි කොටස් හෝ ඔහුගේ නායකත්වය නොපිළිගනු ඇත. සමස්ත ජනතාව ඉල්ලා සිටින්නේ රනිල්ද ගෙදර යන ලෙසය.

රනිල් ජනාධිපති වීම වැළැක්වීමට කල හැකි සැම දෙයක්ම කල යුතුය. ඔහුට සහාය නොදෙන කොටස් සියල්ල පොදු වැඩපිළිවෙලක් මත එක්වී තනි අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය එක්සත් වාමාංශික පෙරමුණ අවධාරණය කර සිටී. වත්මන් අර්බුදය විසඳීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ, සමාජයේ දුබල කොටස් වලට ඇතිවෙන බලපෑම අවම කිරීමට අවශ්‍ය සමාජ ආරක්ෂණ ජාලය, ක්ෂණික කටයුත්තක් ලෙස 19 වන සංශෝධනයේ ප්‍රතිපාදන තවත් ශක්තිමත් කර ගෙන ඒම සහ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිලිබඳ එකඟත්වයක් ඇතිකර ගැනීම යන කරුණු එම අවම වැඩ පිළිවෙලට ඇතුලත්වීම අත්‍යවශ්‍යය.

ඇතිවිය හැකි තත්ත්වයේ භයානකකම හඳුනාගෙන රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමට සියලු දෙනා එක්වීමේ අවශ්‍යතාවය නැවත නැවතත් අවධාරණය කර සිටිමු.

කීර්ති කාරියවසම්, ප්‍රධාන ලේකම්, එක්සත් වාමාංශික පෙරමුණ

Archive

Latest news

Related news