Thursday, April 25, 2024

“භූමිතෙල්,ගෑස්, කෑමබීම ගන්න අපි දිග පෝලිම්වල හිටියා.ඒත් රාජපක්ෂලා සැප ජීවිත ගතකරලා.”

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිල නිවසට ඇතුළුවීමට තම ජීවිත කාලය තුළ හැකිවෙතැ යි සිහිනෙන්වත් නොසිතූ බව රශ්මි කාවින්ද්‍යා පවසයි.

විශාල ජනකායක් අධිආරක්‍ෂිත ගොඩනැඟිල්ලකට බලහත්කාරයෙන් ඇතුළුවී මේ වන විට දෙදිනක් ගතවී ඇත. දැන් කාවින්ද්‍යා වැනි දහස් සංඛ්‍යාත ජනතාවක් එම පරිශ්‍රය නැරඹීමට පැමිණෙමින් සිටිති.

එය යටත්විජිත සමයේ ගෘහ නිර්මාණ ශිල්පය අනුව ආලින්ද, රැස්වීම් කාමර සහ නේවාසික ප්‍රදේශ කිහිපයකින්, පිහිනුම් තටාකයකින් සහ විශාල තණ පිටියකින් යුතුව සකසා ඇති ගොඩනැගිලි සංකීර්ණයකි. සෙනසුරාදා සිදුවූ නාටකාකාර සිදුවීම් නිසා එය අතැර පලායාමට ජනාධිපති ගෝටාභය රාජපක්ෂට සිදුවිය.

“බලන්න මෙතන තියෙන සශ්‍රීකබව සහ පොහොසත්කම,” තම දරුවන් සිව්දෙනා සමග ජනාධිපති මන්දිරයට පැමිණි කාවින්ද්‍යා පැවසුවා ය. “අපි ඉන්නේ ගමක. අපේ ගෙදර පොඩියි. මේ මන්දිරය අයිති මිනිස්සුන්ට. මේක මිනිස්සුන්ගේ සල්ලිවලින් හදපු එකක්.”

පිරිමින්, කාන්තාවන් සහ ළමුන් දහස් ගණනක් පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කරමින් සිටි අතර ඇතැම් විරෝධතා සංවිධායකයෝ සෙනඟ පාලනය කරමින් සිටියහ. ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ බලකාය මුල්ලකට වී නිහඬව ඒ දෙස බලා සිටියා පමණි.

ජනතාව කාමරයෙන් කාමරයට ඇවිද ගියහ. තේක්ක දැවයෙන් තැනූ මේස සහ සිතුවම් ඉදිරිපිට සිටත්, විසිත්ත කාමරවලත් සිට සෙල්ෆි ගනිමින් මතක සටහන් එක්කර ගැනීමට ඒ සැමට අවශ්‍ය විය.

ගොඩනැගිල්ලේ ඇතැම් ස්ථානවල කැඩුණු පුටු, ජනෙල්, භාජන, සහ වීදුරු විසිරී ඇති අතර, ඒවා ඊයේ ජනතාව බලහත්කාරයෙන් පරිශ්‍රයට ඇතුළු වූ අවස්ථාවේ පැවති ව්‍යාකූලත්වය සිහිපත් කරයි.

Damage inside the residence

ගණේමුල්ල නගරයේ ළමා විනෝද උද්‍යානයක සේවය කරන ඒ. එල්. ප්‍රේමවර්ධන පැවසුවේ “මේ වගේ මාළිගාවක් දකින්න ලැබුණු එක මට හීනයක්,” කියා ය.

“භූමිතෙල්, ගෑස්, කෑමබීම ගන්න අපි දිග පෝලිම්වල හිටියා. ඒත් රාජපක්ෂලා සැප ජීවිත ගතකරලා.”

ජනාධිපති රාජපක්ෂගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ සිය තනතුරුවලින් ඉවත්ව යන තුරු තමා ඔවුන්ගේ නිල නිවෙස්වලින් පිටව නොයන බව විරෝධතා නායකයින් දැනටමත් පවසා තිබේ.

People enter the presidential residence

තෙරපීමක අවදානම නොතකා ගොඩනැගිල්ල නැරඹීමට සෙනඟ ඉදිරියට පැමිණීමත් සමග විරෝධතා ව්‍යාපාරයේ ස්වේච්ඡා සේවකයන්ට අමුත්තන් පාලනය කරන්නට සිදුවිය. මන්ද, සන්නද්ධ භට පිරිස් සහ විශේෂ කාර්ය බලකා පොලිස් නිලධාරීන් පසෙකට වී බලාසිටි බැවිනි.

පිහිනුම් තටාකය බොහෝදෙනාගේ අවධානයට ලක්විය. මේ වන විට දුඹුරු පැහැ ජලයෙන් පිරුණු තටාකය වටා පවුල් පිටින් රැස්ව සිටියහ. සෙනසුරාදා විරෝධතාකරුවන් එහි පිහිනන ආකාරය රූගතකර තිබූ අතර, එතැන සිටි තරුණයෙකු වතුරට පැනීමත් සමග වටේ සිටියවුන් අත්පුඩි ගසමින් කෑ ගැසූහ.

වීඩියෝ ශීර්ෂ වැකිය,විරෝධතාකරුවන් ජනාධිපතිවරයාගේ තටාකයේ පිහිනන වීඩියෝවක්

“මට දුක යි,” තම යොවුන් දියණියන් දෙදෙනා සමග එම පරිශ්‍රය නැරඹීමට පැමිණි නිරෝෂා සුදර්ශිනී හචින්සන් පැවසුවා ය.

“ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ජනාධිපතිවුණු මිනිහෙකුට මේ වගේ නින්දිත විදියට යන්න වුණා. අපිට දැන් ලැජ්ජ යි එයාට ඡන්දෙ දීපු එක ගැන. මිනිස්සුන්ට ඕන උන් රටෙන් හොරා කාපු සල්ලි ආපහු දෙනවා බලන්න.”

මන්දිරයේ වඩාත් ජනප්‍රිය ස්ථානයක් ලෙස පෙනෙන්නට තිබුණේ උඩුවියනක් සහිත ඇඳකි. තරුණ පිරිසක් එය මත විඩා නිවමින් උන්හ. සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි බසින් විවිධ අය කෑ ගසන හඬ කොරිඩෝව දිගේ ඇසෙන්නට විය. අමුත්තන් අතර දැඩි උද්‍යෝගයක් පෙනෙන්නට තිබුණි.

මන්දිරයෙන් පිටත වූ හොඳින් නඩත්තු කළ තණතිල්ල මත බෞද්ධ, හින්දු, සහ ක්‍රිස්තියානුවන් සිය ගණනක් දකින්නට ලැබුණි. මීට පැය 24කට පෙර කිසිවෙකුට පැමිණීමට නොහැකිව තිබූ භූමියක සාමාන්‍ය පවුලක් ඉතා සැහැල්ලුවෙන් වාඩිවී සිටියේ ය.

ආර්ථික බිඳවැටීමට හේතුවූ නායකයින් පන්නා දැමීමත් සමග ශ්‍රී ලාංකිකයන්ට මාස ගණනාවක් පුරා පැවති විරෝධයේ තවත් එක් ජයග්‍රහණයක් ලැබී තිබේ. තම නායකයින්ගේ ජීවන රටාව දකින ඔවුහු කෝපයට පත්ව සිටිති.

(බීබීසී සිංහල)

Archive

Latest news

Related news