Saturday, April 20, 2024

පැමිණලි හමස් පෙට්ටියට නොදා එළඹෙන තීරණාත්මක දිනවල මාධ්‍ය සහ පුරවැසි වාර්තාකරණ අයිතිය සුරකිනු! – තරුණ ජනමාධ්‍යවේදීයෝ හිමිකම් කොමිමට ලියති.

ඉදිරි දින කිහිපය අතිශයින්ම තීරණාත්මක උද්ඝෝෂණ රැසක් ක්‍රියාත්මක වන දින කිහිපයක් බැවින්  එම සිදුවීම් ආවරණය කිරීමට ජනමාධ්‍යවේදීන්ට අවස්ථාව තිබිය යුතු බවත් එවැනි වාර්තාකරණයන්හි නියුතු ජනමාධ්‍යවේදීන්ට ආරක්ෂාව ද තිබිය යුතු බවත් පෙන්වා දෙන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කර තිබේ.

එම ඉල්ලීම් මෙසේය:

1) හැකි ඉක්මනින් පොලිස්පති, හමුදාපති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, හමුදා මාධ්‍ය ප්‍රකාශක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්, නීතිය හා මහජන සාමය අමාත්‍යංශයේ ලේකම් සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කැඳවා, ජනමාධ්‍යවේදීන්ට බාධාවකින් තොරව රාජකාරි කිරීමට අවශ්‍ය අවස්ථාව සලසන ලෙස ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සියලුම සාමාජිකයන් දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලෙසට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.

2) මෙතෙක් සිදුවී ඇති සියලුම සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර, ජනමාධ්‍යවේදීන්ට රාජකාරි කටයුතුවලදී බාධා කළ පිරිසට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග සහ විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.

3) සිදුවීම් ආවරණය කිරීමේදී ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ආරක්ෂක අංශවල සියලුම සාමාජිකයන්ට දැනුම් දෙන්නැයි නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.

4) ඕනෑම පුරවැසියෙකු යම් සිදුවීමක් සම්බන්ධයෙන් ඡායාරූප ලබාගන්නේ නම්, වීඩියෝ කරන්නේ නම් හෝ සජීවී ව සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කරන්නේ නම් හෝ ඔවුන්ට බාධා නොකරන ලෙස ආරක්ෂක අංශවලට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.

මානව හිමිකම් කොමිසම වෙක යවන ලද සම්පූර්ණ ලිපය පහත දැක්වේ.

1) කළුපහන පියරතන හිමි
2) එම්.එම්. නිමල් කරුණාසිරි
3) විජිත නානායක්කාර
4) අනුසුයා ශම්මුගනාදන්
කොමසාරිස්වරුන්,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.

ජනමාධ්‍යවේදීන්ට දිගින්-දිගටම එල්ල වන බාධා සම්බන්ධවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් රට පුරා සිදු වන විරෝධතා ආවරණය කිරීමේදී ආරක්ෂක අංශවලින් ජනමාධ්‍යවේදීන්ට දිගින්-දිගටම බාධා එල්ලවීම ගැන අවස්ථා කිහිපයකදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස ඔබ කොමිෂන් සභාවට පැමිණිලි කළෙමු.

ඊට අදාළ ආසන්නතම සිදුවීම ඊයේ (06) වාර්තා විය. ජනාධිපති නිල නිවස අසල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් සාමකාමීව විරෝධය දැක්වීම වාර්තා කිරීම සඳහා ගිය ජනමාධ්‍යවේදීන්ට දිගින්-දිගටම බාධා කිරීම් සිදු විය. එම ස්ථානයට යෑමට ජනමාධ්‍යවේදීන්ට අවස්ථාව ලබාදුන්නේ නැත. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව දැනුම්වත් කළ ද, ඵලක් නොවීය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක දැනුම්වත් කළ විට, ඔහු ප්‍රකාශ කළේ ඒ සඳහා මැදිහත්වීමට තමන්ට බලයක් නැති බවයි. ඉන් අනතුරුව ඔබ කොමිෂන් සභාව දැනුම්වත් කළෙමු. ඊට අමතරව මේ ගැන දැනුම්වත් කිරීමට පොලිස්පතිවරයාගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ඇමතීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළ ද, ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

පොලිසිය සහ හමුදාව එම සිදුවීම ආවරණය කිරීමට ජනමාධ්‍ය වෙත ඉඩ ලබානොදීම නිසා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගන්නා අවස්ථාව ආවරණය කිරීමට ජනමාධ්‍යයට හැකි වූයේ නැත.

ඇය අත්අඩංගුවට ගෙන, රැගෙන එන ආකාරය ආවරණය කරමින් සිටි සිරස රූපවාහිනියේ මාධ්‍යවේදීන්ට ආරක්ෂක අංශයේ යැයි පැවසූ සිවිල් ඇඳුමින් සිටි පිරිසකගෙන් බාධා එල්ල විය.

ඉන් අනතුරුව ගොවීන් පිරිසක් සහ දේශපාලනඥයන් පිරිසක් ද විරෝධතාවක් පැවැත්වූ අතර, ඊට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදී එය ආවරණය කරමින් සිටි ජනමාධ්‍යවේදීන්ට ද පොලිසිය බාධා එල්ල කළේය. එවැනි සිදුවීම්වලදී පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් කඩකරන ආකාරය ගැන සාක්ෂි ඉතිරි වන්නේ ජනමාධ්‍යවේදීන් හෝ සාමාන්‍ය පුරවැසියකු හෝ එම අවස්ථාව වීඩියෝ ගතකළහොත් පමණක් වන අතර, පොලිසිය එම අවස්ථාව ඇහිරීමට දිගින්-දිගටම උත්සාහ කරන ආකාරය දක්නට ලැබේ.

මාර්තු 31දා මිරිහාන සිදුවීමේදී ද ජනමාධ්‍යයට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට වාර්තාකරණයේදී දැඩි ලෙස බාධා එල්ල වූ අතර, ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන පහරදීම පවා සිදුවිය. ඊට පසු දින, එනම් අප්‍රේල් 01දා එම සිදුවීම වූ ස්ථානයේ තොරතුරු සොයාබැලීමට ගිය ජනමාධ්‍යවේදීන්ට ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයකු ඇතුළු පිරිසකගෙන් බාධා එල්ල වූ අතර, මරණ තර්ජන ද කළේය. ඒ සම්බන්ධයෙන් එදින ම මිරිහාන පොලිසියට සී/අයි/බී/2/283/300 අංකයෙන් පැමිණිලි කළ ද, අද වනතුරු විමර්ශනයක් සිදු කර නැත. මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඔබ කොමිෂන් සභාවට ද පැමිණිලි කර තිබේ.

ඉන්පසුව ද, අවස්ථා ගණනාවකදී ජනමාධ්‍යවේදීන්ට සහ සිද්ධිය ආවරණය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට බාධා එල්ලවූ අතර, ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අවස්ථා රැසක් ද වාර්තා විය. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට සහ ඇතැම් අවස්ථාවල තොරතුරු දැනගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇමතීමට උත්සාහ කළ ද, එවැනි තීරණාත්මක අවස්ථාවල ඔවුන් දුරකතනයට ප්‍රතිචාර දක්වන්නේ ද නැත. ඒ ගැන ද ඔබ කොමිෂන් සභාවට ලිඛිත දැනුම්දීමක් කර තිබේ.

ජනමාධ්‍යවේදීන්ගේ රාජකාරිවලට බාධා කිරීම සහ ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අප්‍රේල් 24දා සී/අයි/බී/1/15/159 අංකයෙන් කොළඹ – කොටුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ද මෙතෙක් විමර්ශනයක් සිදු කර නැත.

ඉදිරි දින කිහිපය අතිශයින්ම තීරණාත්මක උද්ඝෝෂණ රැසක් ක්‍රියාත්මක වන දින කිහිපයකි. එබැවින් එම සිදුවීම් ආවරණය කිරීමට ජනමාධ්‍යවේදීන්ට අවස්ථාව තිබිය යුතු අතර, ජනමාධ්‍යවේදීන්ට ආරක්ෂාව ද තිබිය යුතුය. එසේ හෙයින් පහත ඉල්ලීම් සිදු කරමු.

1) හැකි ඉක්මනින් පොලිස්පති, හමුදාපති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, හමුදා මාධ්‍ය ප්‍රකාශක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්, නීතිය හා මහජන සාමය අමාත්‍යංශයේ ලේකම් සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කැඳවා, ජනමාධ්‍යවේදීන්ට බාධාවකින් තොරව රාජකාරි කිරීමට අවශ්‍ය අවස්ථාව සලසන ලෙස ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සියලුම සාමාජිකයන් දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලෙසට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.

2) මෙතෙක් සිදුවී ඇති සියලුම සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර, ජනමාධ්‍යවේදීන්ට රාජකාරි කටයුතුවලදී බාධා කළ පිරිසට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග සහ විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.

3) සිදුවීම් ආවරණය කිරීමේදී ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ආරක්ෂක අංශවල සියලුම සාමාජිකයන්ට දැනුම් දෙන්නැයි නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.

4) ඕනෑම පුරවැසියෙකු යම් සිදුවීමක් සම්බන්ධයෙන් ඡායාරූප ලබාගන්නේ නම්, වීඩියෝ කරන්නේ නම් හෝ සජීවී ව සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කරන්නේ නම් හෝ ඔවුන්ට බාධා නොකරන ලෙස ආරක්ෂක අංශවලට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට විශ්වාසී,

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

පිටපත් –
1) සුලාරි ලියනගම, විමර්ශන අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.
2) ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, සභාපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමය.
3) විධායක කමිටුව, තරුණ නීතිඥ සංගමය.
4) තානාපති කාර්යාල.
5) මානව හිමිකම් සංවිධාන සහ ජනමාධ්‍ය.

Archive

Latest news

Related news