Thursday, March 28, 2024

රෝයල් පාක් ඝාතකයා නිදහස් කිරීම, රතන හිමි මූලික වූ අල්ලස සහ සිරිසේන අල්ලස් කොමිසමට වාර්තා නොකිරීම.

කුප්‍රකට දේශපාලන බයිලාකාරයකු වන මෛත්‍රීපාල සිරිසේන අලුත්ම බයිලාවක් ගායනය කර තිබේ. එනම් රොයල් පාක් ඝාතකයා නිදහස් කිරීමට නිදහසට කරුණූ දක්වමිනි.

එම බයිලාවට පෙර සිරිසේන ගායනා කළේ රට බාර ගැනීමට තමන් සූදානම්ය යන  බයිලාවයි. රොයල් පාක් ඝාතකයා නිදිහස් කිරීම ගැන දැන සිරිසේන ගයන බයිලාව අනුව ඔහුබොර දිය යුත්තේ රට නොව මහ උලු ගෙදර කල්දේරම් බත් ඉවීමය.

මෙම නවතම බයිලාවට අනුව ඝාතකයා වූ ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනිට ජනාදිපති සමාව දී තිබෙන්නේ එවකට ජනාධිපති වූ සිරිසේන නොවේ. සිරිසේනගේ උපදේශකයකු වූ අතන මෙතන රතන හිමිය.

සිරිසේන “අද දෙරණ”ට කියා ඇත්තේ එම ඝාතකයා නිදහස් කරන ලෙස තමාට පෙරැත්ත කළේ රතන හිමි බවයි. රතන හිමි යළි යළි එම පවුලේ උදවිය සමඟ පැමිණ තමා හමුවී ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බවයි.

වඩාම වැදගත් බයිලාව එය නොවේ. එම ඝාතකයා නිදහස් කිරීම වෙනුවෙන් තමා රුපියල් කෝටි 5ක සිට 800ක මුදලක් ලබා ගත් බවට කතා පැතිරුණ බවත් සිරිසේන කියයි. බොහෝ අය කියන්නේ සිරිසේනගේ ප්‍රුත්‍රයාට කොළඹින් සුඛොපභෝගී නිවසක් ලැබුණේ එම මුදලින් බවයි.

සිරිසේන අනතුරුව කියන්නේ තමා මේ පිළිබඳ සෙවීමට සීඅයිඩීයේ මහත්වරුන්ට කී බවත් ඇත්ත වශයෙන්ම එම ධනවත් පවුල එලෙස සිය පුත්‍රයා නිදහස් කර ගැනීමට මුදලක් ලබා දී තිබූ බව ඔවුන් සොයා ගත් බවත්ය.

එම මුදල ලබා ගන්නට ඇත්තේ රතන හිමි බවට ඔහු කෙලින්ම ඉඟි කරයි.

දැන් මෙම වැල් බයිලාවෙන් පැන නගින සිරිසේන පිළිතුරු දිය යුතු වැදගත්ම ප්‍රශ්ණ මේවාය.

  • සිරිසේන මෙම පරීක්ෂණය බාර දෙන ලද අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කවුරුන්ද?

  • මෙම පරීක්ෂණය ගැන එවකට අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානීන් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වූ ශානි අබේසේකර දැන සිටියේද?

  • එම පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන ලද්දේ කුමන නිලධාරියාටද?

  • එම අල්ලස් දීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිළි කරන ලද්දේද? නොඑසේ නම් ඒ ඇයි?

  • පරීක්ෂන වාර්තාව අනුව දෙන ලද අල්ලස කොතරම්ද?

මෙරට අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණ දඩුවම නියම කරන ලද පුද්ගලයකු නිදහස් කරන ලද්දේ අල්ලස් ගැනීමෙන් පසුව බව ජනාධිපතිවරයා දැන ගත්තේ නම් ඒ පිළිබඳ නිසි පියවර නො ගැනීම ද අපරාධයකි.

අද කියන කතාවට ‍0වෙනස් කතාවක්කි යමින් 2019 ඔක්තොම්බර්  20දා  මෙම ඝාතකයා නිදහස් කිරීම සිරිසේන සාධාරණ කලේ මෙසේය:

“ඉවසීම නැතිවුණ තැන සිද්ධ වන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. මම හිතනවා ඔබතුමන්ලාට මතක ඇති කියලා මීට වසර ගණනකට කලින් රෝයල් පාක් නිවාස සංකීර්ණයේ සිද්ධිය. ඒ තරුණයාට එතකොට වයස අවුරුදු 19යි. ඔහු තරුණිය සමඟ වාදයක පැටලිලා අවසානේ ඇයව ඝාතනය කළා. ඔහු මේ වන විට ආචාර්ය උපාධියකුත් සම්පූර්ණ කරලා තියෙනවා, මම හිතන්නේ දැන් ඔහුට වයස 32ක්.”

ඔහු මෙසේ කීවේ එසේ මෙසේ තැනකදී නොව කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතමිනි.

සිරිසේන මෙසේ ද කීවේය:

“මේ සිද්ධිය සම්බන්ධයෙන් සිරගත වෙලා ඉන්න ළමයාගේ පාර්ශවයෙන් මට ඉල්ලීමක් ආවා ජනාධිපති සමාව යටතේ ඔහුව නිදහස් කර දෙන්න කියලා. සිරගෙදර දී ඔහු යහපත් කල් ක්‍රියාවෙන් සිටි නිසා මම මේ ඉල්ලීම ගැන සලකා බලනවා. ඉවසීම නැති නිසා වූ සිද්ධියක් මත සිරගත වෙනකොට ඔහුට වයස 19යි” (බීබීසී සිංහල)

දැන් සිරිසේන ගයන්නේ අලුත්ම බයිලාවකි. එනම් එම ඝාතකයා නිදහස් කිරීමට බලපෑවේ රතන හිමි අල්ලස් ගැනීම නිසා විය හැකි බවයි.

ස්වීඩන් ජාතික පියෙකු හා ශ්‍රී ලාංකික මවකගේ දියණියක වූ ඉවොන් ජොන්සන් සිද්ධිය වූ දින ඇඟලා සිටි ඇඳුමකින් ගෙල සිර කර තිබූ අතර, හිස සිමෙන්ති පොළොවේ ගැසීමෙන් හිස් කබලේ බිඳීම් 64ක් තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වීය. එම අපරාධය කරන ලද්දේ ජූඩ් සමන්ත විසිනි.

මෙම ඝාතනය  ඇයගේ පවුලේ ජීවිත උඩි යටිකුරු කරන ලදී.

“මගේ සහෝදරිය සාහසික ලෙස මරා දැමීමෙන් පසු අපේ ලෝකය උඩු යටිකුරු වුණා කිව්වොත් එය ඌන ප්‍රකාශයක්. මළගෙදර ආපු හැමෝම දැක්කා ඇයගේ දේහය පොළොව යටට යනවා, නමුත් එයත් සමඟ මමත් වැළලී ගියා. ඒ වගේම මගේ අම්මා සහ තාත්තාත්. අපේ ජීවිත නැවත ගොඩනගා ගන්න අපි සෑහෙන උත්සහයක් ගත්තා. නමුත් වසර 15කට පස්සේත් අපි තාම යුක්තිය වෙනුවෙන් සටන් කරනවා.

“අවාසනාවට අපිට දැන් සූදානම් වෙන්න වෙලා තියෙන්නේ මෙතෙක් වුණ අතිශය නරකම සිද්ධියට මුහුණ දෙන්නයි. ඒ මගේ සහෝදරියගේ මිනීමරුවාට සමාව දීමයි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා යුක්තිය ජය ගනියි කියලා…,” යැයි ඇයගේ සහෝදරිය තැබූ සටහනක සඳහන් විය.

ශ්‍රී ලංකාව යනු යුක්තියක් නැති දේශයක් බව යළි යළි සනාථ වන්නේ අපේ ඇස් පනා පිටය.

දැන් මෙම අල්ලස ගැනීම ගැන තමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වාර්තාවක් ලබා දී තිබියදී එම අපරාධය ගැන ඉදිරි කටයතු සඳහා අල්ලස් කොමිසමට වාර්තා නොකිරීම ගැන සිරිසේනට විරුද්ධව කවරකු විසින් හෝ පැමිණිළි කල යුතුය.

සිරිසේන මෙම අලල්ස ගැන මේ තාක් කටක් නොඇර සිටියේ ඇයිද යන්න ඔහුද මෙම අපරාධයේ කොටසුකරුවකුද යන්න පිලිබද මහත් සැකයක් ඇති කරයි.

රතන හිමි සිරිසේනගේ මෙම ප්‍රකාශය ගැන තවම කිසිවක් කියා නැත.

සේ. පියවර්ධන

Archive

Latest news

Related news