Saturday, April 20, 2024

ශෂී වීරවංශ නඩුව: විමල් ගේ කීමට නීතිය නැමූ  හිටපු ගමන් බලපත්‍ර ප්‍රධානීන්ට එරෙහිව පියවර

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ වෙනත් ලියකියවිලි ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට උදව් කිරීමට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ කර තිබේ.

සංක්‍රමණික හා විගමන පනත යටතේ අපරාධයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු වූ ශෂී වීරවංශට වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් සිකුරාදා නියම කෙරිණි. දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවමක් නියම කරන ලෙසද මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියෝග කළාය.

වීරවංශ මහත්මියට රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ව්‍යාජ ලියකියවිලි යොදා ගැනීමට ඇතැම් රාජ්‍ය නිලධාරීන් තම බලතල අයුතු ලෙස භාවිත කර ඇති බව නඩු විභාගයේදී පැහැදිලි වූ බව මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුවේ සඳහන් කළේය. ඒ නිසා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට පරීක්ෂණයක් ආරම්භ කර එවැනි නිලධාරීන්ට එරෙහිව නිසි පියවර ගන්නා ලෙස අධිකරණය නිර්දේශ කර තිබේ.

එවකට ආගමන විගමන පාලක ජනරාල් ජගත් පී විජේවීර සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් චූලානන්ද පෙරේරා යන මහත්වරුන්ගේ ක්‍රියාකලාපය විශේෂයෙන් අධිකරණයේ අවධානයට ලක් විය. නඩු විභාගයේදී සාක්ෂි ලබාදෙමින් නිලධාරීන් දෙදෙනාම සාක්‍ෂි දෙමින් කියා සිටියේ එවකට අමාත්‍ය විමල් වීරවංශ තමන්ට දුරකථන ඇමතුමක් දී තම බිරිඳ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට සහ ඇයට සහාය වීමට පැමිණෙන බව දැනුම් දුන් බවයි.

මෙමගින් පෙනී යන්නේ දේශපාලන බලධාරීන් හමුවේ රටෙහි ඉහළම නිලධාරීන් පවා නීතිය හමස් පෙට්ටියට දමා අවනීතිිය රජ කරවා ඇති සැටිය.

ඒ අනුව ශෂි වීරවංශ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ එක්දින සේවය හරහාය.

ශෂි වීරවංශ  සතුව ඒ වන විටත් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් තිබුණි. මෙම විදේශ ගමන් බලපත්‍රයට අනුව ඇය ඉපදී ඇත්තේ 1967 වර්ෂයේදීය.කෙසේ වෙතත් ඇය ලබාගත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයේ ඇය ඉපදී ඇත්තේ 1971 බව සඳහන්ව ඇත.මේ අතර ඇයගේ දරුවන්ගේ උප්පැන්න සහතිකවල ඇය ඉපදී ඇත්තේ 1977 වසරේ බවය.  මේ සියල්ලෙන් පෙනී යන්නේ චුදිතයා සිතාමතාම මෙම වරද කර ඇති බව අධිකරණය තීන්දු කළේය.

රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස්  අධිකරණයට දන්වා සිටියේය.

ශෂි වීරවංශ  වෙන්වෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු  කියා සිටියේ තම සේවාදායකයා අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවත්, අභියාචනය තෙක් ඇය ඇප මත මුදා හරින ලෙසත්ය. ඇප ඉල්ලා ගොනු කර ඇති අභියාචනය මැයි මස 30 වැනිදා කැඳවන බව අධිකරණය ප්‍රකාශ කරන ලදී.

 

Archive

Latest news

Related news