Friday, April 19, 2024

ගොටාගෝගමට පහරදීම ගැන විමර්ශන කරන සේ නීතිපති, සීඅයිඩී ලොක්කාට යැවූ දේශපාලක නම් ලැයිස්තුව අදාළ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ ලිපිය

ඡායාරූපය: මාරන්තික ලෙස පහර දිය හැකි යකඩ මුඟුරක් අතැතිව  අරලිය ගහ මන්දිරයේ සිට පැමිණි සිටින මෙම පුද්ගලයා මිරිහාන සහ තවත් උද්ඝෝෂන අවස්ථාවන්හි කළහ ඇති කළ අයකු බව කියනු ලැබේ.

පසුගිය 09 දා ගාලු මුවදොර ගෝටා ගෝ ගමට පහරදීම සම්බන්දයෙන් පරීක්ෂන කරන සේ ඉල්ලා   නීතිපති විසින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ඩබ්. තිලකරත්න වෙක යවන ලද ලිපියේ නම් සඳහන් දේශපාලනඥයින් සහ අනෙක් අය මෙසේය.

එම ලිපිය පිටු තුනකින් සමන්විත බව කියනු ලැබේ.

එම ලිපියේ හතරවැනි ඡේදයේ මෙසේ සඳහන් වේ. (සිංහල පරිවර්තනයකි)

මේ සිදුවීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ සීමිත සමකාලීන පටිගත කිරීම් මත එම සිද්ධියට සම්බන්ධයැයි පහත පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කරගෙන ඇත.

1)      නාලක විජේසිංහ නොහොත් සතා
2)      පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක
3)      බන්දුල ජයමාන්න
4)      දිනෙත් ගීතක
5)      සමන්ලාල් ප්‍රනාන්දු
6)      පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත
7)      ඒ වසන්ත
8)      ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
9)      දෙහිවල නගර සභාවේ සුදේශ්
10)   අමල් සිල්වා
11)   සමීර චතුරංග ආරියරත්න
12)   රුවන්වැල්ල රමනි
13)   තුසිත රණබාහු
14)   සජිත් සාරංග
15)   මහින්ද කහදගම
16)   ඩෑන් ප්‍රියසාද්
17)   පුෂ්පලාල් කුමාරසිංහ
18)   පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න
19)   පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු
20)   නිශාන්ත මෙන්ඩිස්
21)   හිටපු හමුදා සාමාජික පුෂ්පකුමාර
22)   ශවින් ප්‍රනාන්දු

පස් වැනි ඡේදය (සිංහල පරිවර්ථනය) – සෘජු, වක්‍ර හා සමකාලීන තාක්ෂණික දත්ත භාවිත කර බී වාර්තාවේ සහ වැඩිදුර වාර්තාවේ සඳහන් අපරාධමය වැරදි එකකට හෝ වැඩි ගණනකට මෙම පුද්ලයන් සම්බන්ධයැයි සාධාරණ සැකයක් මතුවනවාදැයි තහවුරු කර ගන්න.

හය වැනි ඡේදය (සිංහල පරිවර්ථනය) – මොවුන් අපරාධ වැරදිවලට සම්බන්ධයැයි සාධාරණ සැකයක් මතුවේ නම් අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න.

මෙම පිරිසට අමතරව ගුවන් ගමන් තහනම් පැනවූ සෙසු පිරිස හෝ වෙනත් පිරිස් සම්බන්ධයෙන් ද සාක්කි අනාවරණය වන්නේ නම් ඔවුන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

සාමාන්‍යයෙන් මෙවැනි ලිපියකින් පසු (මෙම සිදුවීමේදී සාක්කි ඇතිතරම් ඇති නිසා සහ එම සාක්කි ඇතැම් ඒවා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති නිසා) කළ යුත්තේ ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන්කරගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග කියයි.

මෙම ලිපිය CID DIG වෙත යොමු කර ඇත්තේ අද උදෑසනය.

( වට්ස් ඇප් හරහා ටී.ජේ. විසින් බෙදා ගන්නා ලද පුවතකි.)

විමර්ශනවලට බාධාවීම වැලැක්වීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරෙන් දේශබන්දු තෙන්නකෝන් කඩිනමින් ඉවත් කර ඔහුගේ වැඩතහනම් කරන්න

මේ අතර ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහරදීමේ විමර්ශන අඩපන කිරීම පිලිබඳ සවිස්තරාත්මක ලිපියක්  ඊයේ තරුණ නීතීඥ සංගමය (YLA) සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (YJA) එක්ව පොලිස්පති වෙත යවන ලදී.

එම ලිපිය පහත පළවේ.

2022.05.15
චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

පොලිස්පතිතුමනි,

ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහරදීම ගැන විමර්ශන දේශපාලන පක්ෂපාතිත්වයක් සහිත නිලධාරීන්ට බාරදීම සහ සාක්කිකරුවන්ට බලපෑම් සිදුකිරීම වැළැක්වීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙනි

1. ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී විරෝධතාකරුවන්ට සැලසුම් සහගතව පහරදීම සම්බන්ධ විමර්ශන ඔබ විසින් බාර දෙනු ලැබ ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න මහතාටය.

2. ඩබ්ලිව් තිලකරත්න යනු 2004 වසරේ සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව භාරව සිටි නිලධාරියකු වන අතර ඔහු සහ මහින්ද රාජපක්ෂ අතර දැඩි හිතවත්කමක් තිබෙන බව මුලු පොලිස් දෙපාර්තමේන්තුවම දන්නා කරුණකි.

3. 2019 වර්ෂයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්වූ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඉවත් කර එම තනතුරට ආණ්ඩුවේ ඉල්ලීම පරිදි ඔබ විසින් පත් කරනු ලැබුවේ ඩබ්ලිව් තිලකරත්න නිලධාරියා ය.

4. ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර පසුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කරනු ලැබීය. ඔහු යටතේ මයිනාගෝගමට සහ ගෝඨාගෝගමට පහරදීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම බරපතල තත්ත්වයක් වන අතර එකී විමර්ශනය පිළිබදව මහජන විශ්වාසය පළුදුවීමට ඉහත කී පසුබිම ප්‍රමාණවත් ය.

5. 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ පසු ඔබ විසින් ආණ්ඩුවේ අවශ්‍යතාවය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි අත්දැකීම් සහිත නිලධාරීන් රැසක් එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර, ආණ්ඩුවට හිතවත් මෙරිල් රංජන් ළමාහේවා (වැලිකඩ චූදිතගේ සහෝදරයා) වැනි නිලධාරීන් පත් කරනු ලැබීය. එවැනි නිලධාරීන් යටතේ මෙම විමර්ශනය සිදු කිරීම “හොරාගේ අම්මාගෙන් පේන ඇසීම” වැනි ක්‍රියාවක් වන අතර අනාගතයේදී චූදිතයන් නිදහස් වන ආකාරයට විමර්ශන කිරීම සඳහා මෙම විමර්ශනය ඔවුන් වෙත පවරනු ලැබුවේදැයි බරපතල සැකයක් පවතී.

6. එවැනි තත්වයක් තුළ ඔබ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිදුකරන විමර්ශනය සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිදවැටීම මගින් නීතිය පිළබදවත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන පිළිබදවත් විශ්වාසය බිදවැටීමට ඉඩ ඇති බව ඔබට පෙන්වාදීමට කැමැත්තෙමු.

7. තවද, මෙම විමර්ශනවල ප්‍රධානම සැකකරුවකු වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවමත් එම තනතුරේම කටයුතු කිරීමද බරපතල තත්ත්වයකි. ඔහුට එරෙහිව සාක්කි දීමට සිටින කොළඹ පොලිස් නිලධාරීහු මේ සම්බන්ධයෙන් බියට පත්වී සිටිති. තමන් සත්‍ය තොරතුරු අනාවරණය කළහොත් තමන්ගේ ප්‍රධානියා වන දේශබන්දු තෙන්නකෝන්ගෙන් බලපෑම් එල්ලවෙතියි ඔවුහු බියට පත්වී සිටිති.

8. ඔහු යටතේ තිබෙන පොලිසිවලට මේවන විටත් ඔහු සැකකරුවකු කරමින් පැමිණිලි ගොනුවී තිබේ. (කොටුව පොලිසිය CIB ii 18/67)

9. මෙම සිදුවීමට පොලිස්පති ලෙස ඔබද සෘජුවම වගකිවයුතු බවට සඳහන් පැමිණිල්ලක් ද මේ වන විට ඔබ යටතේම ඇති ටෙල් අයිජීපී ඒකකයට සහ කොටුව පොලිසියට යොමු කර තිබේ. (කොටුව පොලිසිය CIB ii 18/67)

10. ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහරදුන් මැර පිරිසට කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස ඔබ එදින උදෑසන උපදෙස් දුන් බවට පොලිස් නිලධාරීන් සටහන් පවා දමා ඇති තත්ත්වයක, තවදුරටත් ඔබ පොලිස්පති තනතුරේ සිටීම බරපතල තත්ත්වයකි. එමගින් සෘජුවම විමර්ශනවලට බාධා සිදුවිය හැකි අතර සාක්කිකරුවන්ටද බලපෑම් එල්ල විය හැකිය.

11. 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු දේශපාලනඥන් විසින් ලබාදුන් ලිපිවලට පොලිස් ස්ථානාධිපතිකම් ලබාදිම සිදු විය. ඒබව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන අපසතුව ඇත. ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහරදීමෙන් පසු දිවයින පුරා සිදුවූ සිදුවීම් විමර්ශනය කරීමට ඔබ විසින් උපදෙස් දී ඇත්තේ අදාල පොලිසිවලටමය. දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවය අනුව පත් කළ ස්ථානාධිපතිවරුන් මෙම විමර්ශන නිසි ආකාරව සිදු කරනු ඇතැයි කිසිසේත් සිතිය නොහැකිය.

12. කරුණු මෙසේ හෙයින් ඉහත කී මැර ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබදව අපට පිළිගත හැකි ස්වාධීනබවක්, විනිවිදභාවයක් සහ/හෝ විශ්වාසයක් නොමැත.

13. කරුණු මෙසේ හෙයින් පහත සඳහන් ඉල්ලීම් කඩිනමින් ඉටු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

I. වහාම මෙම විමර්ශන දේශපාලන පක්ෂපාතකම් නැති ස්වාධීන, දක්ෂ විමර්ශන කණ්ඩායමකට බාර දෙන්න.

II. පළමු ප්‍රහාරයෙන් පසු දිවයිනේ සෑම තැනම සිදුවූ සිදුවීම්වල අපරාධ වගකීම පළමු සිදුවීමේ සැකකරුවන්ට ඇති බැවින් එම විමර්ශන ද ඉහත විමර්ශන කණ්ඩායමටම ලබා දෙන්න.

III. විමර්ශනවලට බාධාවීම වැලැක්වීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරෙන් දේශබන්දු තෙන්නකෝන් කඩිනමින් ඉවත් කර ඔහුගේ වැඩතහනම් කරන්න.

IV. ඔබ පොලිස්පති ධුරයේ සිටියදී ඔබ යටතේ සිටින නිලධාරීන්ට ඔබට එරෙහිව විමර්ශන කිරීම ගැටලුසහගත බැවින් කඩිනමින් තනතුරෙන් ඉවත්වී විමර්ශනවලට සහාය දක්වන්න.

V. තවද මයිනාගෝගමට සහ ගෝඨාගෝගමට පහරදීමෙන් පසු ජනතාව කුපිත කිරීම් හරහා සිදුවූ යම් යම් සිද්ධි පදනම් කරගෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් රාජ්‍ය මර්දනයක ස්වභාවයකින් දියත් වන බැවින් ඒ තත්ත්වය වහාම පාලනය කරන ලෙස අපි දන්වා සිටිමු.

ස්තුතියි,
මෙයට විශ්වාසී,

තරුණ නීතීඥ සංගමය (YLA)
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (YJA)

 

පිටපත්

1) සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

2) සභාපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමය

Archive

Latest news

Related news