Saturday, April 20, 2024

රනිල් වික්‍රමසිංහ, මානව නිදහස සහ යුක්‍රේන යුද්ධය – සුනන්ද දේශප්‍රිය

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය කරන සාධාරණ කරන තවත් ක්ෂමාලාපයකයකු බවට පත්ව තිබේ. සිරස රුපවාහිනිය සමඟ කරන සාකච්ජාවකදී ඔහු සම්පුර්ණයෙන්ම වරද පටවන්නේ ය්‍රක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි වෙතය.

යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය පිළිබඳ කේන්ද්‍රීය ප්‍රශ්නය නම් බලවත් රටකට කුඩා රටක් ආක්‍රමණය කර අල්ලා ගැනීමට අයිතියක් ඇත්තේද යන්නය. අන් සියලු කරුණු ද්විතීයකය. වික්‍රමසිංහට එම කාරණය අදාළ නැති බව සාකච්ඡාව පුරාම පෙනේ.

රුසියාව “සමාජවාදී” රටක් යැයි මොහොතකට සිතුවද එයට අන් රටක් ආක්‍රමණය කිරීමට අයිතියක් නැත.

වික්‍රමසිංහ මෙම සාකච්ජාවෙහිදී කොතරම් බාල තත්වයකට ඇද වැටෙන්නේ ද යත් ඔහු ජේ.ආර්. ජයවර්ධන සහ සෙලෙන්ස්කි   සංසන්දනය කරමින් කියන්නේ එය රාජ්‍ය තන්ත්‍රය සහ රඟපෑම අතර වෙනසක්  බවයි.

මේ වනාහී වික්‍රමසිංහගේ තර්කයක් නොවේ. සෙලෙන්සකිට විරුද්ධව රුසියානු යුද ප්‍රචාරකයන් විසින් දමා ගසන මළකඩ කෑ ආයුධයකි.

එසේ නමුත් ඇත්ත යථාර්තය නම් ජේ.ආර්. ජයවර්ධන මෙරට විනාශ මුඛයට ගෙන ගිය දේශපාලනඥයකු ලෙස ඉතිහාස ගතවී ඇති අතර සෙලෙන්සි  වීරයකු බවට පත්ව ඇති බවය.  ඇමෙරිකානු ජනාධිපතිවරයකු වූ රොනල්ඩ් රීගන්, තමිල් නාඩුව හෙබ වූ එම්.ජී. රාමචන්ද්‍රන් වැනි දේශපාලනඥයින් බවට පත් රංගන ශිල්පීන් ලොවෙහි අඩුවක් නැත.

ඉන්දු ලංකා ගිවිසුම ගැන මුසාවාද

වික්‍රමසිංහ කියන්නේ ජේ.ආර්. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ බලය බෙදා හැරීම මගින් දෙමළ ජනයාට දේශපාලන විසදුමක් දීමට නොව  ඉන්දියාව එල්ටීටීඊය සමඟ යුද්ධයට යැවීමට බවයි. එය අමූලික බොරුවකි. ඒල්ටීටීඊ සංවිධානය ගිවිසුම පිළිගත්තේ නම් ප්‍රභාකරන්ට ඒකාබද්ධ කරන ලද උතුරු නැගෙනහිර පලාතේ මහ ඇමැතිවීමට ඉඩ තිබුණි.

1987 වර්ශයේ ශ්‍රී ලංකාවේ තිබූ තත්වය සහ අද යුක්‍රේනයේ ඇති තත්වය අහසට පොළොව මෙන් වෙනස්ය. ඒ කෙසේ වෙතත් ඉන්දු ලංකා ගිවිසුම දකුණු ශ්‍රී ලංකාවෙහිද සිවිල් යුද්ධයකට මඟ පැදු බව වික්‍රමසිංහ දැන සිටිය යුතුය.

බල දේශපාලනයට යටත් වෙමුද?

මෙම සාකච්ඡාව තුළ දැකිය හැකි වික්‍රමසිංහගේ පිළිවෙත නම් බල දේශපාලනයට කුඩා රටවල් යටත් විය යූතුය යන්නයි. රුසියානු හමුදාව අපරාජිත හමුදාවක් ලෙස වර්ණනා මුඛයෙන් කතා කරන ඔහු කියන්නේ යුක්‍රේනයට එවැනි හමුදාවක් සමඟ සටන් කළ නොහැකි බවය. ඇප්ගනිස්ථානයේ දී රුසියානු හමුදාව පරාජය වූ බව ඔහුට අමතක වෙයි.

වික්‍රමසිංහ 2002 වර්ශයේදී ඒල්ටීටීඊය සමඟ අත්සන් කරන ලද ගිවිසුමෙහිද වූයේ  හුදෙක් බලය සමඟ ගනුදෙනු කිරීමේ පිළිවෙතය. එය අත්සන් කිරීමේදී ඔහු අඩුම වශයෙන් ජනාධිපතිනිය හෝ දැනුවත් කළේ නැත. එකළම පවා මෙම ලේඛකයාද ඇතුළත් වූ සාම සහයෝගිතා කණ්ඩායම (PSG) සටන් විරාම ගිවිසුමෙහි වු මෙම දෝශ පෙන්වා දෙන ලදී. වික්‍රමසිංහගේ දේශපාලනය තුළ මහා ජනයා යැයි සාධකයක් නැත.

එනයින්ම සාකච්ඡාව පුරා රනිල් වික්‍රමසිංහ කතා නොකරන තහනම් මාතෘකාවක් තිබේ. එනම්  මානව නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදයයි. මෙම වචන දෙක එකම තැන හෝ වික්‍රමසිංහ සඳහන් කරන්නේ නැත. ඔහුගේ සමීකරණයේ ඇත්තේ රුසියානු හමුදාව සහ යුක්‍රේනයේ හමුදාව පමණි. මාස දෙක තුනකින් රුසියාව කිව් අගනුවර අල්ලා ගත් පසු ඒහි ජනයා ජනාධිපති සෙලෙන්ස්කිට දොස් පවරනු ඇතැයි එම සාකච්ජාවෙහිදී වික්‍රමසිංහ කියන්නේ මහා ජනයා ගැන ඔහුට කිසිම හැගීමක් හෝ අවබෝධයක් හෝ නැති නිසාය.

 

එකම තැනකදී වික්‍රමසිංහ යුක්‍රේනය මර්දනකාරී ආණ්ඩුවක් බව පෙන්වීමට කියන්නේ මෑතදි එරට මාධ්‍යවේදියකු අත්අඅංඟුවට ගත් බවයි. රුසියාව තුළ මේ වන විට යුද විරෝධී පිරිස් දස දහසකට වඩා අත් අඩංගුවට ගෙන ඇති බවත් එරට ජනප්‍රියම විපක්ෂ නායකයා වන ඇලෙක්සි නොවානි බොරු චෝදනා මත සිරගත කර සිටින බවත් වික්‍රමසිංහට අමතකය. වත්මන් රුසියාවෙහි නිදහස් ජන මාධ්‍යයක් නැත.

යුද්ධයට විරුද්ධවවූ රෙන් ටීවී මාධ්‍්‍යවේදිනියක්

එපමණක් නොව පුටින් රුසියාවෙහි සියලු සමාජ ජාල තහනම් කර තිබේ. පසුගියදා එරට පැවැති අවසාන ස්වාධීන මාධ්‍ය ආයතනය වූ TV Rain හි මාධ්‍යවේදී කණ්ඩායම සිය ආයතනය වසා දමමින් එහි අවසන් ප්‍රචාරය අවසන් කලේ “ යුද්ධය එපා” යන සටන් පාඨය සමඟය.

වික්‍රමසිංහට අනුව යුක්‍රේනය වනාහී සොවියට් සංගමයට අයත්ව තිබී කැඩී ගිය රටකි. ඔහුට අමතක වන්නේ යුක්‍රේනය සාර් අධිරාජ්‍ය විසින් යටත් කරගෙන තිබූ බවත් පුටින්ම කියා ඇති පරිදි ඔහුගේ අරමුණ එම අධිරාජ්‍ය යටතේ තිබූ යුක්‍රේනය යළි ඇදා ගැනීම බවත්ය. යුක්‍රේනය නමින් සෛවරී රාජ්‍යයක් තමන් පිළි නොගන්නා බව පුටින් කියයි. එනමුත් යුක්‍රේනය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගෙන ඇති ලොව පුරා තමන්ගේම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති නුතන රාජ්‍යකි.

වික්‍රමසිංහ එය පිළිනොගන්නවා පමණක් නොව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ රටවල් 141ක් විසින් සම්මත කරන ලද රුසියානු ආක්‍රමණයට විරුද්ධ යුක්‍රේනයට පක්ෂ යෝජනාව වැඩකට නැති එකක් බව කියයි. ඔහු කියන්නේ මෙම යුද්ධයේ දී තනි වී ඇත්තේ බටහිර බවයි.

වික්‍රමසිංහගේ නමින් ඇසෙන්නේ ඒකධිපති පුටින්ගේ හඬය. ඔහුට අනුව රුසියාව ලද ඡන්ද 2ට විරුද්ධව ජන්ද 141ක් ලද ඒක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යෝජනාව වැඩකට නැත. එසේ නම් ඒම මණ්ඩලය කුමකටද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී 32ට 02ක් ලෙස සම්මත වූ යෝජනාව මගින් රුසියානු ආක්‍රමණය හෙළා දැක යුද අපරාධ විමර්ශනය කිරීමට හදිසි යාන්ත්‍රණයක් පිහිටුවීමට තීරණය කිරීමද වික්‍රමසිංහ නොසළකා හරියි. එම යෝජනාවට  චීනය පවා විරුද්ධ වූයේ නැත.

යුද්ධය ආරම්භ කිරීමට පුටින් ඉක්මන් වූවා වැඩිද යන ප්‍රශ්නයට වික්‍රමසිංහ එක එල්ලේම පිළිතුරු දෙන්නේ “ නැහැ” කියාය. තවද ඔහු කියන්නේ පුටින් උපක්‍රමිකව නිවැරදි බවයි.

අද රුසියානු රූබලය සියයට 50කින් අවප්‍රමාණ වී තිබේ. එනමුත් වික්‍රමසිංහ කියන්නේ බටහිර රටවල් විසින් පණවන ලද සම්බාධක ගණන් නොගෙන කටයුතු කිරීමට පුටින්ට හැකි බවයි.

යුද්ධය ආරම්භ කිරීමට පුටින් ඉක්මන් වූවා වැඩිද යන ප්‍රශ්නයට වික්‍රමසිංහ එක එල්ලේම පිළිතුරු දෙන්නේ “ නැහැ” කියාය. තවද ඔහු කියන්නේ පුටින් උපක්‍රමිකව නිවැරදි බවයි. වසර 25ක් පුරා නායකයාව සිට එක්සත් ජාතික පක්ෂය වළපල්ලටම යැවූ වික්‍රමසිංහ කෙටියෙන් කියන්නේ මෙම ආක්‍රමණය දියත් කිරීම නිවැරදි බවයි.

සාකච්ඡාවෙහි දී වික්‍රමසිංහ  කියන්නේ සෙලෙන්ස්කි කළ යුතුව තිබුණේ පුටින් හමු වී මෙම ප්‍රශ්නය විසඳා ගත යුතුව තිබූ බවයි.

යුද්ධයකින් තොරව යුක්‍රේන ප්‍රශ්නය විසදා ගැනීම පිනිස පසුගිය ජනවාරියේදී  ජිනීවාහි  ඇමෙරිකානු සහ රුසියානු නියෝජිතයින් අතර සාකච්ඡා කරන ලදී. ප්‍රංශ සහ ජර්මානු රාජ්‍ය නායකයින් මොස්කව් බලා ගොස් පුටින් සමඟ සාකච්ඡා කරන ලදි. මෙම සෑම සාකච්ඡාවකදීම පුටින් කියා සිටියේ තමන් යුක්‍රේනය ආක්‍රමණය නොකරන බවයි.

“සෙලෙන්ස්කි නියෝජනය කරන්නේ 2004-2005 හි එරට ඇවිල ගොස් ජයග්‍රාහී වූ ප්‍රජාතන්ත්‍රවාදී තැඹිලි වර්ණ විප්ලවයේ උරුමයයි. යුක්‍රේන ජනයා සටන් කරන්නේ එම ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව නිදහසේ උරුමය රැක ගැනිමටය.”

මෙම යුද්ධය වික්‍රමසිංහට අනුව රටවල් දෙකක් අතර යුද්ධයක් නොවේ. එය බටහිර සහ රුසියාව අතර යුද්ධයකි. තවද ඔහු කියන්නේ බටහිර මෙම යුද්ධයෙන් පරාජය වී ඇත බවයි. රුසියානු ආක්‍රමණය දැනටමත් ජය ගෙන ඇතැයි වික්‍රමසිංහ උපකල්පනය කරයි. එය යථාර්තය නොවේ.

ලක්ෂය ඉක්මවු රුසියානු හමුදාවක් ආක්‍රමණයේ යෙදී සිටිති.

දින දෙක තුනකින් අවසන් කිරීමට සිතා පුටින් දියත් කළ යුද්ධයට දැන් දින 12ක් ගතවී තිබේ. රුසියානු සොල්දාදුවන් දහස් ගණනින් මිය ගොස් ඇත. යුක්‍රේන ජනයා පෙන්වන රණකාමීත්වය පුටින් අපේක්ෂා කළේ නැත.

සෙලෙන්ස්කි නියෝජනය කරන්නේ 2004-2005 හි එරට ඇවිල ගොස් ජයග්‍රාහී වූ ප්‍රජාතන්ත්‍රවාදී තැඹිලි වර්ණ විප්ලවයේ උරුමයයි. යුක්‍රේන ජනයා සටන් කරන්නේ එම ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව නිදහසේ උරුමය රැක ගැනිමටය.

ලොව පිළිගත් ඉතිහාසඥයකු වන “සේපියන්ස්” හි කතෘවන යුවල් නොහා හරිරී පෙන්වා දී ඇති පරිදි රුසයාව දැනටමත් යුද්ධයෙන් පරාද වී තිබේ.

ඔහු මෙසේ කියයි:

“රුසියානුවන්ට තවමත් මුළු යුක්‍රේනය යටත් කර ගැනීමට හැකියාව තිබේ. නමුත් යුද්ධය ජය ගැනීමට නම් රුසියානුවන්ට යුක්‍රේනය අල්ලා ගෙන සිටීමට  සිදුවනු ඇත.  ඔවුන්ට එය කළ හැක්කේ යුක්‍රේනය ජනතාව ඊට ඉඩ දුන්නොත් පමණි. වැඩි වැඩියෙන් පෙනෙන්නේ මෙය සිදු විය නොහැකි  දෙයක් බවයි.

විනාශ කරන ලද සෑම රුසියානු යුද ටැංකියක්ම සහ මිය යන සෑම රුසියානු සොල්දාදුවෙක්ම යුක්‍රේනයනියානුවන්ගේ ධෛර්යය වැඩි කරයි. තවද මරා දමනු ලබන සෑම යුක්රේන ජාතිකයෙකු විසින්ම යුක්රේනියානුවන්ගේ වෛරය ගැඹුරු කරයි.

ද්වේෂය යනු චිත්තවේගයන්ගෙන් දුෂ්ඨතම එකය. එහෙත් පීඩිත ජාතීන්ට වෛරය සැඟවුණු නිධානයකි. හදවතේ ගැඹුරට තැන්පත් වී , එමගින් පරම්පරා ගණනාවක් තිස්සේ ප්‍රතිරෝධය පවත්වා ගත හැකිය.

අවාසනාවකට මෙන්, මෙම යුද්ධය දිගු කාලයක් පවතිනු ඇත. නමුත් වඩාත්ම වැදගත් කාරණය දැනටමත් තීරණය වී අවසන්ය.  යුක්‍රේනය සැබෑ ජාතියක් බවත්, යුක්‍රේනයානුවන් සැබෑ ජනතාවක් බවත්, ඔවුන් අනිවාර්යයෙන්ම නව රුසියානු අධිරාජ්‍යයක් යටතේ ජීවත් වීමට කැමති නැති බවත් පසුගිය දින කිහිපය විසින් මුළු ලෝකයටම ඔප්පු කර ඇත.”

මහා ජනයා යැයි සාධකයක් නැති වික්‍රමසිංහට නොතේරෙන ඉතිහාසීය සත්‍යය එයයි.

වික්‍රමසිංහ යුක්‍රේනය, රුසියාවට යටත් විය යුතුව තිබුණේ යැයි කියන තර්කය සාධාරණ නම් බංගලි දේශය, පකිස්ථානුවන් සමඟද වියට්නාමට ප්‍රංශුවන් සහ ඇමෙරිකානුවන් සමඟද යුද්ධයට නොයා යුතුව තිබුණි.

ලේක ඉතිහාසය එය නොවන බව වික්‍රමසංහ නොද්දනවා නොව ඔහුගේ සාකච්ඡාවේ අරමුණ ශ්‍රී ලංකාවේ පැතිර ඇති බටහිර විරෝධය දඬමීමා කරගෙන හෝ තව ආසනයක් දෙකක් වැඩි කර ගැනීම විය හැකිය.

එනමුත් මෙරට හිටපු අගමැතිවරයකුද වන වික්‍රමසිංහගේ රුසියානු ගැති යුදවාදී මතවාදය නිකමටම අමතක වී නොයනු ඇත.

 

 

 

 

 

Archive

Latest news

Related news