Friday, April 26, 2024

රට ගොඩ නැගීමට සාධාරණ සමාජයෙන් යෝජනාවලියක්!

ඡායාරූපය: ශ්‍රී ලංකාවේ දේශපාලනය පිරිමි භුක්තියක් බැවින් සාධාරණ සමාජයේ වැඩ පිළිවෙල සාකච්ජා කරන ලද්දේද පිරිමි කණ්ඩායමක් විසිනි.

ලෝකයා හමුවේ රටත් ජනතාවත් ඉතාමත්ම අසරණ තත්ත්වයට පත්ව ඇති අවස්ථාවක, නැවත නැවතත් අප හඬ නගා පවසන්නේ යුක්රේන ජාතිකයින් මෙන් අත්වැල් බැඳගෙන ජාතික සමගි වැඩපිළිවෙලකට එක්වන ලෙසයි.

ඉන්ධන හා විදුලි අර්බුදය නිසා ජන ජීවිතය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබේ. කෘෂිකර්මය ඇතුළු මුළු ආර්ථිකය ම විනාශ වී ඇත. රාජ්‍ය තන්ත්‍රය තුළ එක් මතයක් නොමැති නිසා ඉක්මන් විසඳුමක් නොපෙනේ. තවත් රජයේ විවිධ පාර්ශව නොයෙක් මත ඉදිරිපත් කරමින් සිටී. එය රට තවත් අවුල් කිරීමක්.

රටත් ජාතියත් කිසිදාක මුහුණ නොදුන් මෙවන් මහා ආපදාවකදී තාවකාලික හෝ ජාතික එකමුතුවක් හැර වෙන මාවතක් නොපෙනේ. එය ගොඩනැගිය හැක්කේ රජය මිත්‍රත්වයේ හස්තය දිගු කළ හොත් පමණි.

මෙම කරුණු ගැන අවධානය යොමු කරමින්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වැඩපිළිවෙළක් එළිදක්වන ලදී. කීර්තිමත් විද්වතෙකු වූ රොහාන් සමරජීව මහතාගේ ප්‍රධානත්වයෙන් දේශීය හා විදේශීය උගතුන් ගේ සහායෙන්  මෙම යෝජනාවලිය සකස් කෙරිණ.

(එම යොජනා කෙටුම්පත මෙම සටහන මෙහි කියවිය හැක: අර්බුදයට මුහුණ දීමට අවම වැඩ පිළිවෙලක් REV)

මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ ප්‍රධාන පෙළේ දේශපාලන නියෝජිතයින් අතිබහුතරයක් මෙම යෝජනා  මූලික සාකච්ඡාවට සුදුසු බව දන්වා ඇත. එමෙන්ම ආගමික හා සිවිල් සමාජ නායකයින්ගෙන් ද ලැබුණේ සුබවාදී ප්‍රතිචාරයකි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද උනන්දුව දැක්වීම විශේෂත්වයකි.

සතියේ ඉදිරි දින කිහිපය තුළ “අර්බුදයට මුහුණදීමට අවම පොදු වැඩපිළිවෙළක්” නමින් පොදු සාකච්ඡාව යොමු වනු ඇත. ඉන්පසු විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන යෝජනා ද ඇතුළත් කර ජාතික යෝජනාවලියක් රටට ඉදිරිපත් කිරීමට අදහස් කරමු.

කරුණු මෙසේ තිබිය දී ජනතාව මුහුණ දෙන අනේක විද දුක් කම්කටුලු වලට රජය වහා පියවර ගත යුතුයි. වහාම විසඳිය යුත්තේ ගමනාගමනය හා විදුලිය සැපයීමයි. විදුලි සැපයුම යතා තත්වයට පත් කිරිම පහසුවෙන්ම විදුලිබල මණ්ඩලයට කළ හැකියි. දුම්රිය සේවය හා බස් සේවය බිඳ වැටුණහොත් මුළු රටම මුළුමනින්ම අකර්මණ්‍ය වනු ඇත.

මෙහිදී අප සඳහන් කරන්නේ මුළු රාජ්‍ය තන්ත්‍රය ම එක් මතයක සිට පියවර නොගෙන විවිධ මත ප්‍රකාශ කිරීම නිසා වැඩකටයුතු අවුල් වෙමින් තිබෙන බවයි. ඉන්දන සැපයුම ගැන ජනාධිපතිවරයා, මුදල් ඇමතිවරයා, මහබැංකු අධිපතිවරයා හා (PUSL) ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය ද මේ දිනවල එකිනෙකාට වෙනස් අදහස් ප්‍රකාශ කරමින් සිටී.

එමෙන්ම ජනතාවට සහනයක් වශයෙන් විදුලි විසන්ධි කිරීම සඳහා දැනට නියම කාල සීමාව නොදන්වා දීර්ඝ වේලා පරාසයක් දීම වෙනුවට එම කොට්ඨාසය තුළ බලපැවැත්වෙන ස්ථිර වෙලාවක් හඳුන්වාදීම තුළින් ජනතාවට තම වැඩකටයුතු සැලසුම් කර ගත හැක.

ගොයම් අස්වනු නෙලන මෙම කාලයේදී ඩීසල් නොමැතිකම නිසා ගොවි ජනතාව පීඩා විඳින ආකාරය මාධ්‍යයෙන් වටහා ගත හැකිය. එම දුක්ගැනවිලි හද කකියන සුළුය. රට තුළ විශාල ඖෂධ හිඟයක් ද පවතී. මෙය භයානක ප්‍රවණතාවයක්.

ජනවාරි මස ආහාර මිල 24% ඉහළ ගොස් ඇත. මෙයට ප්‍රධාන හේතුව වනුයේ අසීමිත ලෙස මුදල් මුද්‍රණය කිරීමයි. පසුගියදා වැලිපැන්න ප්‍රදේශයේ සිව් දරු පියෙක් දින තුනක් තම දරුවනට ආහාර වේලක් ලබා දීමට නොහැකි වූ නිසා ගෙල වැළලාගත් ආකාරයත් එම බිරිඳ ගෙදර තිබූ පුටු දෙකක් විකුණා ආහාර ලබා දුන් ආකාරයත් මාධ්‍යයෙන් ප්‍රචාරය විය.

අප මෙය සඳහන් කරන්නේ ද්වේශයෙන් නොව මෙරට බොහෝ ප්‍රදේශවල මේ තත්ත්වය පවතින බව අප හොඳින් දන්නා නිසයි. මන්දපෝෂණය ශීඝ්‍ර ලෙස වැඩි වී ඇති අතර, මේ සඳහා වහා පිළියම් යෙදිය යුතුයි. රට ගෙනයෑමට අවශ්‍ය මුදල් 80% පමණ ලබා දෙන්නේ අඩු ආදායම් හා මධ්‍යම පාන්තික පවුල්වලිනි. ධනවතුන්ට විශාල බදු සහන ලබා දී තිබේ. මෙහි දැඩි සමාජ අසාධාරණයක් ඇති බව රජය වටහා ගත යුතුයි.

අප සඳහන් කළ කරුණු මෙරට බහුතර මතය බව කිව යුතුව තිබේ. එසේ හෙයින් මෙම දරුණු අවස්ථාවේ හෝ රජය නම්‍යශීලී වී සියලු දෙනාගේ සහයෝගය ලබා රට ගලවා ගැනීමේ ප්‍රයත්නයට මුල්විය යුතුය. අප දන්නා පරිදි ප්‍රතිපක්ෂ නායකයන් වගකීමෙන් කටයුතු කරනු ඇත. එම සහයෝගය ලබා ගත හැකගත හැක්කේ දේශපාලන විරුද්ධ මතධාරීන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට කැඳවා ජනාධිපති කොමිෂන් සභා හරහා පළිගැනීමෙන් නොව, සහජීවනයෙන් ක්‍රියා කිරීමෙනි.

ඒ සඳහා විශ්වාසය උපයා ගැනීම රජයේ කාර්යයකි. දේශපාලන පලිගැනීම් වල යෙදෙමින්, එක් රටක් එක් නීතියක් යනුවෙන් ජනතාවට කියමින්, එම පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. රජයේ එම ක්‍රියාදාමය ජනතාව අනුමත නොකරන බව වටහා ගත යුතුයි.

විශාල බහුතරයක් සහිතව බලයට පත්වන ආණ්ඩු සිත්හි දරා ගත යුතු කරුණක් නම්, තමා ජනතාවට හිමි රටක භාරකරු විනා එහි හිමිකාරයා නොවන බවයි. එබැවින් තමාට ජනතාව ලබාදුන් ජනවරම අත්තනෝමතික බලයක් ලෙස නොසලකා කටයුතු කළ යුතුය. එමෙන්ම, එවන් අත්තනෝමතික ගමනක් යාමට රජයේ සැබෑ හිමිකරුවන් වන ජනතාව ඉඩ නොතබනු ඇති බවද සැලකිය යුතුය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව ලක්ෂ 69ක් ඡන්ද ලැබුණත්, තවත් ලක්ෂ 62 ක ජනතාව එතුමන්ව අනුමත නොකළ බව අපි දනිමු. එබැවින්, ව්‍යවස්ථා සංශෝධනය කදී හෝ ව්‍යවස්ථා සම්පාදනයේදී සමස්ත ශ්‍රී ලංකාවට මිස, තම දේශපාලන ව්‍යාපෘතියට ගැලපෙන ව්‍යවස්ථා සම්පාදනය මඟින් සිදුවන්නේ,  තමා ද රට ද පරිහානියට යාම බව 20වන සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේ දී රජය වටහාගත යුතුව තිබිණ.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරය වන්නේ 20 වෙනි සංශෝධනය යටතේ ශ්‍රී ලංකාව තවදුරටත් නිවහල් දේශයක් නොවනු ඇති බවයි. එය නව වැඩවසම් ක්‍රමයක් වෙත ලංකාව රැගෙන යනු ඇති අතර, දරුණු දේශපාලන හා ආර්ථික අවපාතයකට මේ රට හෙළනු ඇත.

තම ජනවරම ගැන සිතා නොව, ජාතික එකඟතාවය ගැන සිතා ව්‍යවස්ථා සංශෝධන සිදු කළ යුතු බව ආණ්ඩුවට සිහි ගැන්වීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ ජාතික ආගමික සංහිදියාව සඳහා එකමුතුව කැපවී සිටී. එය ශ්‍රී ලංකාව තුළ යළිත් අඳුරු යුගයක් ඇති වීම වැළැක්වීම පිණිස යහපත් චේතනා පෙරදැරිව සිදුකරන කාර්යයකි.
හිටපු ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවේ පාර්ශව 11 ක් ඊයේ දින යෝජනාවලියක් ඉදිරිපත් කිරීම නව ප්‍රවණතාවයකි. ඔවුන්ගේ ද අදහස් අවස්ථානුකූලව අපගේ අවධානයට යොමු වේ. මේ සෑම පාර්ශවයක් පෙන්වා දෙන්නේ ජාතික එකඟත්වයේ අවශ්‍යතාවයි.

බලධාරීන් දැන්වත් යථාර්ථය වටහා ගෙන ජාත්‍යාලයෙන් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

 

 

Archive

Latest news

Related news