Thursday, November 21, 2024

ජයග්‍රාහී ගුරු අරගලයේ ස්ත්‍රී භූමිකාව සහ වාර්ගික බෙදුම් ජයගත් හැටි – බණ්ඩාර මැණිකේ

සාධාරණ ඉල්ලීම් මුල් කර ගනිමින් මාස ගණනාවක් පැවති  ගුරු අරගලය වීදියේ ඕනෑම පින්තූරයක් දෙස බලන්න. එහි බහුතරය ස්ත්‍රීන් බව එක වරම ඔබට පෙනෙනු ඇත.

2021 ගුරු සටන මෙරට  බහුජන අරගල ඉතිහාසයේ හැරවුම් ලක්ෂණයක් වන්නේ ද සමස්ත සහභාගිත්වය සහ එය ලද අතිමහත් දරා ගැනීමේ ශක්තියයි.

මෙරට ගුරු වෘත්තියේ අති බහුතරය ස්ත්‍රීන්ය. ඔවුන්ගේ සක්‍රීය දායකත්වයෙන් තොරව එම අරගලය ඉදිරියට යෑමට අවකාශයක් තිබුණේම නැත.

මෙහි පළවන්නේ ගුරු සටනේ තීරණාත්මක සාධකයක්  වූ ස්ත්‍රී භූමිකාව පිළිබඳ හුදෙක් කටු සටහනක් පමණි. මේ වනාහි ලිපි ගණනාවකට තරම් වටිනා මැයකි.

“අප නායකත්වය අත්දැකීමෙන් ඉගෙන ගත්ත”

මුගනේෂ්වරී ඩෙන්සිල්

“අපේ වෘත්තීය සමිති වල නායකයින් අත් අඩංගුවට ගත්තට පස්සෙ මාධ්‍යය  තොරතුරු දැන ගන්න අපව සොයා ගෙන ආව. අපට ඒ අවස්ථාවට මුහුණ දෙන්නම තිබුණ.

එතකොට ජනමාධ්‍යයට කතා කරන්න තිබු බය නැතිව ගියා. මාධ්‍යට මා කළ  කතාව හැමෝටම වැදුණ.” මෙසේ පැවසුවේ ලංකා ගරු සංගමයේ මධ්‍ය විධායක සභාවේ සාමාජිකා මුගනේෂ්වරී ඩෙන්සිල්ය.

මුගනේශවරී මා සමඟ එක පාසැලේ ඉගැන්වූ ගුරුවරියකි.

අවස්ථාව ලබා දෙන්නේ නම් ස්ත්‍රියට නායකත්ව භූමිකාව රඟ පෑ හැකි බවට එය කදිම සරල නිදසුනකි. එම අවස්ථාව නොලැබුණේ නම් මේ කතාව අපට අසන්නට ලැබෙන්නේ නැත.

“උතුරු නැගෙනහිර ගුරු විදුහල්පති සහය ලබාගන්නෙ කොහොමද කියල අපි දිගටම  සාකච්ඡා කරමින් හිටියෙ. ඔවුන්ගෙන් සහය ඉල්ලු මුල් අවස්ථාවෙ ඔවුන් අපට කිව්ව මෙහෙම. ‘අපේ දරුවො මැරුව. පැහැරගෙන ගියා. අතුරුදහන් කළා. අපට කිසිම සාධාරණයක් ඉටු වුනේ නැහැ. දකුණෙ අය ඒ ගැන නිහඬව ඉඳලා දැන් අපෙන් සහය ඉල්ලන්නේ ඇයි’?.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා  ඉවත් කිරීම, දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කිරීම, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත අහෝසි කිරීම යන ඉල්ලීම් ඉදිරිපත් කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් 2021 ජූලි මස 12 වෙනි දින ආරම්භ කළ අරගලය  අවසන් වුයේ 2021 නොවැම්බර් මස 10 වෙනි දිනය.

පුරා දින 120 ක් ඉක්ම වු මෙම ගුරු අරගලය ලංකා ඉතිහාසයේ මෙන්ම දකුණු ආසියාවේ දියත් වු දීර්ඝතම ගුරු අරගලය ලෙස හැඳින්විය හැකිය.

පසු ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකාවේ විවිධ ඉල්ලීම් පෙරටු කොට ගනිමින් දියත් වු උතුරේ අතුරුදහන් වුවන්ගේ මව්වරුන්ගේ අරගලය, ක්ෂුද්‍ර මුල්‍ය ණය පිළිබඳ අරගලය, නිදහස් වෙළඳ කලාපයේ කම්කරු ස්ත්‍රී අරගල, වතුකම්කරු වැටුප් අරගලය යන ස්ත්‍රීන් බහුතර දායකත්වය දැක් වූ  අරගල අතරට වැඩි ප්‍රතිශතයක් ස්ත්‍රීන් සේවය කරන ගුරු අරගලය ද නිසගයෙන් එක් වෙයි.

මෙරට රජයේ පාසල් වල සේවය කරන දෙලක්ෂ හතලිස් තුන් දහසක් වු ගුරු පිරිසෙන් 75% ක් පමණ ගුරුවරියන්ය. මමද වසර තිහක් පුරා එම ගුරුවරියන් අතරින් අයකුද ලංකා ගුරු සංගමයේ සාමාජිකාවද වීමි.

“ආණ්ඩුවේ මර්දනය අපට ශක්තියක් වුණා”

ලංකා ගුරු සංගමයේ උප සභාපතිනිය රසිකා හඳපාන්ගොඩය. “ බාධක මැද ගුරු අරගලය ඉදිරියට ආවෙ කොහොමද? “ යැයි මම ඇයගෙන් ඇසීමි.

රසිකා හඳපාන්ගොඩ

“ මුලින්ම එකතු වී සිටියෙ ගුරු සංගම් 8 ක් පමණයි. ආණ්ඩුව මර්ධනය පටන් ගත් පසු ගුරු විදුහල්පති සංගම් 30 ක් පමණ එකතු වුනා. ඇත්තටම ගුරු සටන ඉදිරියට ගෙන ආවෙ ආණ්ඩුවේ මර්දනය විසින්. මර්දනය එන්න එන්න සටන ශක්තිමත් වුනා. ආණ්ඩුව මර්දනීය පියවර රාශියක් ගත්ත. අත්අඩංගුවට ගැනීම්, බිය වැද්දීම්, අවලාද නැගීම් , තර්ජනය කිරීම් , ජාතිවාදය ඇවිස්සිීම්, පාසල් බලෙන් විවෘත කිරීම්, උද්ඝෝෂණය කළ දෙමාපියන් බිය වැද්දීම ආදී කඩාකප්පල් ක්‍රියා හැකි තරම් සිදු කළා.

“මුලින්ම  රටම දැන ගත්ත සිදුවීම බත්තරමුල්ල ගුරු විදුහල්පති උද්ඝෝෂණය. සාමකාමිව කළ එම උද්ඝෝෂණයට  පොලීසිය කඩා පැන්න. ලංකා ගුරු සංගමයෙ ලේකම් ජෝශෆ් ස්ටාලින් සහෝදරය ඇතුලු 17 දෙනෙක් අත්අඩංගුවට අර ගත්තේ එතනදි. අරගෙන ගිහින් ඈත මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රැඳෙව්ව. ආණ්ඩුව එය කළේ නිරෝධායනය මුවාවෙන්. ඒක බොරුවක් බව හැමෝටම තේරුණා.

“එතැන ගුරුවරියන් තුන් දෙනෙක් හිටිය. මේ අත්අඩංගුවට ගත් පිරිස ගුවන් හමුදා කඳවුරෙත් උද්ඝෝෂණය අත්හැරියෙ නැහැ. ඒ නිසා අනෙක් අය තව තවත් ධෛර්යමත් වුනා.

“ එතකොට රට පුරාම ගුරු අරගලයට සහයෝගය ගොඩ නැගෙන්න පටන් ගත්ත.

“රජයේ මැති ඇමතිවරු එක් එක් අවස්ථා වලදි ගුරුවරුන්ට අපහාස වන ලෙස අදහස් ඉදිරිපත් කළා. එක් ඇමතිවරයෙක් ගුරුවරු කාලකණ්නි කිව්ව. තව ඇමතිවරයෙක් මුලු රටටම එක් ගුරුවරයෙක් ඇති කිව්ව. තව ඇමති වරයෙක් මාධ්‍ය ඉදිරියට පැමිණ ගුරුවරුන්ට තර්ජනය කළා. මේ සියල්ලෙන් ආණ්ඩුව ගැන සාමාන්‍ය ජනතාවත් කලකිරුණ.

“සමාජය ගුරුවරුන්ට දැක්වු සහයෝගය වැඩි වුනා. ආණ්ඩුවේ හිතවතුන් පාසල්වලට බලහත්කාරයෙන් ඇතුල් වී ගුරුවරු බිය ගැන්වුවා. දෙමාපියන්ගෙ උද්ඝෝෂණ වලට ප්‍රාදේශීය මන්ත්‍රීවරු කඩා පැනල සටන් පුවරු උදුර ගනිමින් තර්ජනය කළා. ප්‍රාදේශීය වෘත්තීය සමිති නායකයින් ගණනාවක් අත්අඩංගුවට ගත්ත.

“අපට  තිබුණ ලොකුම බාධකය වුනේ කෝවිඩ් වසංගතය. ගුරු උද්ඝෝෂණ නිසා කෝවිඩ් පැතිරෙන බවට ආණ්ඩුව ප්‍රචාරයක් ගෙන ගියා. කෝවිඩ් වලින් ගුරුවරු මැරෙනව කිව්ව. ඒත් එහෙම වුනේ නැහැ. ගුරු අරගලය තිබුණ කාලෙ එක ගුරුවරයෙක්වත් කෝවිඩ් වලින් මැරුණෙ නැහැ. වෙනත් රෝගාබාධ තිබුන අය කීප දෙනෙක් මිය ගියා පමණයි.

“ මේ අරගලයෙදි ගුරුවරියන්ගෙ සහභාගිත්වය වෙනදට වඩා වැඩි වුනේ කොහොමද?”  යැයි මම අනතුරුව ඇසීමි.

“අරගලය ආශ්වාද ජනක බවට පත්වුණා”

“ගුරු සංගම් නායකයො අත්අඩංගුවට ගත් පසු ඉතිරි වුන අපි, ඒ කියන්නේ නායකත්ව මට්ටමේ සිටි ගුරුවරියන් රට පුරා ගුරු සංගම් කමිටු හරහා සාකච්ඡා පවත්වමින් තොරතුරු බෙදාහරිමින් සම්බන්ධීකරණය පවත්වා ගත්ත. ස්ත්‍රීන් අරගල වලට එන්නෙ නෑ කියල මතයක් තිබුණ. ඒ මතය දුරු කරල පස්සට වී ඉන්නෙ නැතුව අප සක්‍රියව අරගලයට දායක වුනා. වෘත්තීය සමිති නායකයො අත්අඩංගුවට පත් වෙද්දි මාධ්‍ය වලට අදහස් ඉදිරිපත් කරන්න, රැස්වීම් සාකච්ඡා සංවිධානය කරන්න අපට අවස්ථාව ලැබුණ. අත්අඩංගුවට ගත් පිරිස උසාවියට ඉදිරිපත් කළ දවසෙ විශාල පිරිසක් උසාවිය ඉදිරිපිටට ආව. එතනදි මාධ්‍යයට අදහස් දක්වන්න ගුරුවරියන්ට අවස්ථාව ලැබුණ. ඒ කතා හුඟක් හැඟීම්බර වුනා කියල බොහෝ දෙනෙක් කිව්ව. මේ නිසා පුරුෂයින්ගෙන්, දරුවන්ගෙන්  සහ දෙමාපියන්ගෙන් යම් යම් අවස්ථාවලදි ගුරුවරියන් හැමෝටම වාගෙ එල්ල වුන විරෝධතා නොතකා  ඔවුන් පාරට ආව.

“උතුරු නැගෙනහිර පමණක් නොවෙයි,  රට මැද නුවරඑළිය, බදුල්ල  වැනි දෙමළ භාෂාව කතා කරන ගුරු විදුහල්පති කණ්ඩායම්ද මාවනැල්ල වැනි ප්‍රදේශ වල  මුස්ලිම්  කණ්ඩායම්ද ඒ අයුරින්ම සම්බන්ධ කර ගත හැකි වුනා.  අපි කිහිප දෙනෙක්  මුලු දවස පුරාම දෙමළ මුස්ලිම් ගුරුවරු සහ ගුරුවරියන් සමඟ දුරකතනය ඔස්සේ පෞද්ගලිකවම කතා කළා.”

“ 2021 අගෝස්තු 5 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට ආ රථ පෙළපාලියට ගුරුවරියන් විශාල පිරිසක් යතුරුපැදි වලින් සහභාගි වුනා. පිට පළාත් වලින් කොළඹට එදින ආ පිරිස්  ආපසු යන අතරමගදි මග රැක සිටි පොලීසිය විසින්  ගුරුවරු ගුරුවරියන් 44 ක් අත්අඩංගුවට ගත්ත. එයින් 16 ක්ම ගුරුවරියන්. දරුවන්ට කිරිදෙන අම්මලා එතන හිටිය. පොලීසිය අම්මල කියල බැලුවෙ නැහැ. මේව හරි සංවේදී කාරණා වුනා. කොළඹ වරාය පොලීසියෙ පැය 24 කටත් වැඩි වේලාවක් ඔවුන්ව රඳවා ගත්ත. කිසිවෙකුටත් බලන්න නොදී, මාරුකර ගන්නට ඇඳුමක් පවා නොමැතිව, කුසගිනි ඉවසාගෙන ඔවුන් ශක්තිමත්ව අඬන්නෙවත් දොඩන්නෙවත් නැතුව හිටිය. පසු දින සවස 2 ත් පසු වී උසාවි දැමීම ප්‍රමාද වු නිසා දිවා ආහාරය වර්ජනය කරමින් ඔවුන් උසාවියට ඉදිරිපත් කරන ලෙස පොලීසියට බලපෑම් කළා.

“ ඇත්තටම කියනව නම් අරගලය හරිම ආශ්වාද ජනක දෙයක් බවට පත් වුණා”

මුගනේෂ්වරී ඩෙන්සිල් ලංකාගුරු සංගමයේ මධ්‍ය විධායක සභාවේ සාමාජිකාවකි. ඇය  සිය කටහඬ අවධි කළේ මෙසේය.

“අපි  දෙමළ වට්ස්ඇප් කණ්ඩායම් හැදුව. සිංහලෙන් පවත්වන සියලුම රැස්වීම් වල දෙමළ පරිවර්තන ඒවට දැම්ම. ඒවා දිනපතා යාවත්කාලීන කළා. මම රැස්වීම් වලට යන විට ජංගම දුරකතන දෙකක් අරං ගියා. එකකින් රෙකෝඩ් කරල පරිවර්තනය කරන ගමන් අනිකෙන් පණිවිඩ යැව්ව.”

උතුරේ ගුරුවරියන් අහපු ප්‍රශ්ණ

“ ගුරු අරගලය කඩාකප්පල් කරන්න ආණ්ඩුව ජාතිවාදී මතයක් ප්‍රචාරය කළා. එනම්, උතුරේ දෙමළ පාසල් වල ළමයි ඉගෙන ගන්නව. සිංහල ගුරුවරු තමයි වර්ජනය කරන්නෙ කිව්ව.

“උතුරු නැගෙනහිර ගුරු විදුහල්පති සහය ලබාගන්නෙ කොහොමද කියල අපි දිගටම  සාකච්ඡා කරමින් හිටියෙ. ඔවුන්ගෙන් සහය ඉල්ලු මුල් අවස්ථාවෙ ඔවුන් අපට කිව්ව මෙහෙම. ‘අපේ දරුවො මැරුව. පැහැරගෙන ගියා. අතුරුදහන් කළා. අපට කිසිම සාධාරණයක් ඉටු වුනේ නැහැ. දකුණෙ අය ඒ ගැන නිහඬව ඉඳලා දැන් අපෙන් සහය ඉල්ලන්නේ ඇයි’?.

“එම අඩු පාඩුව පිළිගනිමින් වෘත්තීය සමිති නායක නායිකාවන් මාසයක් පමණ කාලය තුළ ඔවුන් සමඟ සාකච්ඡා පවත්වමින් කරුණු පැහැදිලි කළා. මා ඇතුලු දෙමළ කතාකරන කීප දෙනෙක්ම මෙම සාකච්ඡා වලට සම්බන්ධ වුන නිසා ඔවුන් හා සංවාදය පහසු වුනා. අපි  දෙමළ වට්ස්ඇප් කණ්ඩායම් හැදුව. සිංහලෙන් පවත්වන සියලුම රැස්වීම් වල දෙමළ පරිවර්තන ඒවට දැම්ම. ඒවා දිනපතා යාවත්කාලීන කළා. මම රැස්වීම් වලට යන විට ජංගම දුරකතන දෙකක් අරං ගියා. එකකින් රෙකෝඩ් කරල පරිවර්තනය කරන ගමන් අනිකෙන් පණිවිඩ යැව්ව.

“උතුරු නැගෙනහිර පමණක් නොවෙයි,  රට මැද නුවරඑළිය, බදුල්ල  වැනි දෙමළ භාෂාව කතා කරන ගුරු විදුහල්පති කණ්ඩායම්ද මාවනැල්ල වැනි ප්‍රදේශ වල  මුස්ලිම්  කණ්ඩායම්ද ඒ අයුරින්ම සම්බන්ධ කර ගත හැකි වුනා.  අපි කිහිප දෙනෙක්  මුලු දවස පුරාම දෙමළ මුස්ලිම් ගුරුවරු සහ ගුරුවරියන් සමඟ දුරකතනය ඔස්සේ පෞද්ගලිකවම කතා කළා. ලංකා ගුරු සංගමයෙ ප්‍රාදේශීය ලේකම් වරුන්ගෙත් සහායෙන් උතුර, නැගෙනහිර, රට මැද දෙමළ සහ මුස්ලිම් ගුරු විදුහල්පති වරුන් සහ විදුහල්පතිවරියන්ගේ හොඳ සම්බන්ධයක් නිර්මාණය වුනා.

“අරගලය පැවති කාලය පුරාම මම කාර්යාල  කාමරයේ පරිගණකය ළඟ දවස පුරාම ගත කළා. ඉන් පසු දෙමළ පරිවර්තන කරන්නත් දෙමළ පෝස්ටර් ලියන්නත් කණ්ඩායම් දෙකක් හැදුව. කෝවිඩ් හැදෙයි කියා බයට මට එළියට යන්න එපා කියල මල්ලි කෙනෙක් ගේට්ටුවට යතුරු දැම්ම. මගෙ ගෙදර අයත් බයෙන් තමා හිටියෙ. ඒත් අප අපේ කාර්ය භාරය ඉෂ්ඨ කළා.

“ඔක්තෝබර් 21, 22 දින වල පාසල් විවෘත කිරීමට ආණ්ඩුව නියෝග කළත්, ගුරු සංගම් තීරණය කර තිබුණෙ එදාට පාසල් වර්ජනය කරන්නයි. වර්ජනය අතිශයින්ම සාර්ථක වුනේ යාපනේ, මුතූර් ඇතුලු උතුරු නැගෙනහිර ප්‍රදේශ වල. මේ අරගලය තුළ අප අපේ හැකියාවන් අතින් වර්ධනය වුනා. අපේ භාෂා දැනුම පවා වැඩි වුනා.”

චිත්‍රා අයිරාංගනී

කොළඹ කන්නන්ගර ජාතික පාසලේ  සේවය කරන ගුරුවරියක වන චිත්‍රා අයිරාංගනී ද සාකච්ජාවට එක් විය.

“මීට කලින් ගුරුවරියන්ගෙ ආකල්පයක් තිබුණ. පාරෙ කෑගහන්න හොඳ නෑ. අත්අඩංගුවට ගැනීම ලැජ්ජාවට කාරණයක්. උද්ඝෝෂණ වලට ගියොත් විදුහල්පති වරු තරහ වෙයි, ආදී වශයෙන්. මේ වෙලාවෙදි ඒව ගණන් ගත්තෙ නැහැ. කලින් ඔවුන් අදහා ගෙන සිටි සේවය වෙනුවට වෘත්තීයභාවය තේරුම් ගත්ත. තමන් ලබන අසාධාරණ පඩිය ගැන දැනුවත් වුනා. විශේෂයෙන් නවක ගුරුවරුන්-ගුරුවරියන්ගේ වැටුප අඩුයි. පාසල් වසා තිබුණ නිසා වෙලාව ලැබීම ගුරුවරියන්ට ඒමට තවත් රුකුලක් වුනා. නැත්නම් රැකියාවත්, ගෙදර වැඩත් ඉවර වී ගුරුවරියන්ට සටනට එන්න වෙලාව නැහැ. “

“වෘත්තීය සමිති වල ජාතික මට්ටමේ මෙන්ම ප්‍රාදේශීය මට්ටමෙත් ගුරුවරියන් බොහෝ දෙනෙක් නායකත්වයට ආව. ඔවුන් ගෙන් ගෙට ගොස් ගුරුවරියන්ව දැනුවත් කළා. මේ අරගලයෙදි ඔවුන් වෘත්තීය ගරුත්වය ප්‍රදර්ශනය කළා පමණක් නොව තම ශ්‍රමය, මුදල් , කාලය සහ දරුවන් බැලු කාලය කැප කළා.

විජය ලක්ෂ්මි

“ අරගලය සාර්ථක වීමට හේතු මොනවද?” යි ඇසු ප්‍රශ්නයට කොළඹ ඉසිපතන ජාතික පාසලේ සේවය කරන ගුරුවරියක වන  විජයලක්ෂ්මි  පිළිතුරු  දුන්නේ මෙලෙසින්.

“ මේ අරගලයෙදි තාක්ෂණය භාවිතය ඉහළින්ම තිබුණ. ඒ නිසා ගුරු විදුහල්පති ජාල ඔස්සේ ක්ෂණිකව තොරතුරු බෙදාහැරිය හැකි වුනා. විශාල ජන සහභාගිත්වයක් තිබුණ රැළි දවසින් සංවිධානය කළා. විදුහල්පතිවරු 70 දෙනෙක් හරහා මහනුවර, බදුල්ල වැනි ප්‍රදේශ වලින් නුවරඑළියෙ රැස්වීමට විශාල ප්‍රමාණයක් ගුරුවරු  සහ ගුරුවරියන් ආව.කොළඹ විදුහල්පතිවරුන්ට පිටින් ගුරුවරු සහ ගුරුවරියන් සටනට ආවත්, පිට ප්‍රදේශවල ගුරුවරු සහ ගුරුවරියන් ආවෙ විදුහල්පතිවරු හරහායි. කවුරු හෝ සටන මඟහැර සිටියා නම් ඔහු /ඇය ගේ තොරතුරු ක්ෂණිකව අපට ලැබුණ. ඒ අය දුරකතන වලින් සම්බන්ධ කරගෙන කරුණු පැහැදිලි කළා. ඒ නිසා කිසිවෙකුට මඟහරින්න ඉඩක් තිබුණෙ නැහැ.

“සමාජ මාධ්‍ය වලින් සටනට විශාල ප්‍රචාරයක් ලැබුණ. නිරෝධායනය මුවාවෙන් පොලීසිය අත්අඩංගුවට ගත් කණ්ඩායම අතින් පයින් ඔසවාගෙන කුදලාගෙන ගිය ආකාරය සමාජ මාධ්‍ය වල නිතර ප්‍රචාරය වුනා. ගුරුවරියො දරුවො වඩාගෙන උද්ඝෝෂණ වලට සහභාගි වුන ඡායාරූප පලවුනා.  මේව සටනට එන්න හැමෝටම උත්තේජන බවට පත් වුනා.”

“විවිධ තරාතිරම් වල පිරිස් වලින් ලැබුණ සහයෝගය ඉතා ඉහළයි. සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති, ගොවි සංවිධාන, කම්කරු සංවිධාන, ආගම්වල නායකයින් සහ ආගමික සංවිධාන, විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ ශිෂ්‍යයන්, දෙමාපියන් ආදී සියලු දෙනාගේ සහයෝගය ලැබීම ගුරු සටන සාර්ථක වීමට හේතු වුනා.

“වෘත්තීය සමිති නායක නායිකාවන්  වැඩ කළේ මහත් කැපවීමෙන්. ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයෙ රැස්වීම් පටන් ගත්තෙම රාත්‍රි 2.00  ට පමණ. පසුදා හැම නගරයකම උද්ඝෝෂණ වලට සහභාගි වෙන්න තිබුණ. මේවට ගුරුවරියන් සහභාගි වුනේ දහස් ගණනින්. සමහරු ආවෙ දරුවො වඩාගෙන.”

රැස්වීම් සංවිධානය කරන්න, කතා කරන්න. සම්බන්ධිකරණය කරන්න අවස්ථාව ලැබුණ හොත් ස්ත්‍රී නායකත්වයට ඉදිරයට පැමිිණෙන බවත්   ගුරු උද්ඝෝෂණය විසින් ඔප්පු කර තිබේ.  මේ රටේ පුරුෂයින් පමණක් නායකත්වය දරන කතා පවත්වන වෘත්තීය සමිති වලට සහ බහුජන සංවිධානයන්ට ගුරු අරගලයෙන් ඉගෙන ගත හැකි එක් වටිනා අත්දැකීමක් වන්නේ එයයි.

දැන් ජයග්‍රාහී නිමාවකට පැමිණියද ඇතත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සිය අරගලය අවසන් නැති බව  දෙමසකට පෙර කරන ලද මෙම සාකච්ජාවේදී ඔවුහු කියා සිටියහ.

2021 නොවැම්බර් 14 වෙනි දින කොළඹ දී පැවැත්වු එම සන්ධාන සම්මේලනයේදී , දළ දේශීය නිශ්පාදනයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කිරීම සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත අහෝසි කිරීම ඇතුලු  යෝජනා 10 ක් සම්මත කරමින් ශපථ කළේ ගුරු විදුහල්පති අරගලය ඉදිරියටත් ගෙන යන බවටයි.

ඡායාරූප සහ කතාව ඊ.එම්. බණ්ඩාර මැණිකේ විසිනි.

( ලංකා ගුරු සංගමයේ කාර්යාලයේදී පවත්වන ලද සාකච්ජාවන් ඇසරෙන් සකස් කරන ලද මෙම ලිපිය උපුටා ගත්තේ කුරුනෑගල කාන්තා සංවර්ධන පදනමෙහි ප්‍රකාශනයක් වන “අත්වැළ” ජනවාරි කලාපයෙනි.)

 

Archive

Latest news

Related news