Monday, May 20, 2024

ත්‍රස්ත පනතට ආණ්ඩුවෙන් යෝජිත සංසෝධන කොලේ වහලා ගැහිල්ලක්! (සංසෝධන සම්පූර්නයෙන්)

අද ලංකාණ්ඩුව විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කරන ලද ත්‍රස්තවාදී පනතට යෝජිත සංසෝධන මගින් ඒම පනත යටතේ අත්අඩංඟුවට ගනු ලබන පුද්ගලයින්ට අපේක්ෂිත සහනය නොලැබෙන බව මානව හිමිකම් අංශ ප්‍රකාශ කරති.

නිදසුනක් ලෙස ඔවුන් දක්වන්නේ සංසෝධන ඇතුළත් ගැසට් පත්‍රයේ එන පහත දසඳහන් වගන්තිය මගින් සැකකරුවන් දීර්ඝ කාලයක් රඳවා තැබීමට ඉඩ සළසන බවයි.

15ආ. මේ පනතේ විධිවිධානවලට පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, මේ පනත යටතේ රිමාන්ඩ් භාරයේ හෝ රැඳවුම් භාරයේ තබා ඇති තැනැත්තකු අත්අඩංගුවට ගනු ලබන දින සිට මාස දොළහක් ඉකුත්වීමෙන් පසුවත් එම තැනැත්තාට එරෙහිව වන නඩු විභාගය ආරම්භ කර නොමැති නම්, සැකකරු හෝ ඔහු වෙනුවෙන් නීතිඥවරයකු විසින් තත්කාර්ය
සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීමකින් පසු අභියාචනාධිකරණය විසින් ඒ තැනැත්තා ඇප මත නිදහස් කරනු ලැබිය හැකි ය:
එසේ වුවද, මේ වගන්තියේ කලින් වූ විධිවිධාන මගින්, 15 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ මහාධිකරණය විසින්, නඩු විභාගය අවසන් කරනු ලබන යම් තැනැත්තකු රිමාන්ඩ් භාරයේ තැබීමට ආඥාවක් කරනු ලැබීමෙන් වැළැක්වීමක් සිදු නොවිය යුතු ය:
එසේ වුව ද, තවදුරටත්, අධිචෝදනා ඉදිරිපත් කොට මහාධිකරණයේ ගොනු කරනු ලැබ ඇත්තේ යම් චූදිතයකුට එරෙහිව ද, එම චූදිතයාට එරෙහිව නඩු විභාගයක් ඒ ගොනු කිරීමේ දින සිට මාස දොළහක් ඉකුත්වීමෙන් පසුවත් ආරම්භ කර නොමැති අවස්ථාවක දී, මහාධිකරණය විසින්, චූදිතයා විසින් හෝ ඔහු වෙනුවෙන් නීතීඥවරයකු විසින් තත්කාර්ය
සඳහා කරන ලද ඉල්ලීමකින් පසුව ඒ තැනැත්තා ඇප මත නිදහස් කිරීමට සලකා බලනු ලැබිය හැකි ය.”

එමෙන්ම ත්‍රස්ත පනත යටතේ සිටින සැකකරුවන්  වධහිංසාවන්ට ලක්වීම වැළැක්වීමට මෙම සංසෝධන මගින් නව වගන්ති ගණනාවක් හදුන්වා දී ඇති නමුත් ශ්‍රී ලංකාවේ පොලිසිය සාමන්‍ය නීතිය යටතේ අත්අඩංඟුවට ගැනෙන සැකකරුවනට වධහිංසා  පමුණුවනු ලබන්නේ මෙවැනි නීති තිබියදීය.

දේශීය සහ අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන දීර්ඝ කාලයක් තිස්සේ උද්ඝෝෂන කරමින් සිටින්නේ් මෙම පනත සහමුළින්ම අහෝසි කරන ලෙසය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ ඒක්සත් ජාතීන්ගේ හිමිකම් විශේඥයින් විසින් ලංකාණ්ඩුවට යෝජනා කර ඇත්තේ මෙම වත්මන් පනත අහෝසි කර අන්තර් ජාතික ප්‍රමිතීන්ට අදාළ නව පනතක් ගෙන එන ලෙසය.

අද නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ සාරංශය එහි මුල් පිටුවෙහි දක්වා ඇත්තේ පහත සඳහන් පරිදිය. සම්පූර්ණ ගැසට්ටුව අවසානයට පළ කර ඇත.

නීතිය බලපෑමේ ප්‍රකාශය

2 වන වගන්තිය : මෙම වගන්තිය මගින්, රඳවා තබා ගැනීමේ නියමයක් යටතේ යම් තැනැත්තකු ‍රඳවා තබා ගන්නා මුළු කාලසීමාව මාස දහඅටේ සිට මාස දොළහ දක්වා අඩු කිරීම සඳහා, (මින්මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් හඳුන්වනු ලබන) 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 9 වන වගන්තිය සංශෝධනය කරනු ලැබේ.

3 වන වගන්තිය : සැකකරු, මෙම වගන්තිය මගින්, 1994 අංක 22 දරන වධදීමට සහ අනිකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඬුවම්වලට එරෙහිව වූ සම්මුතිය පනතේ විධිවිධාන සලස්වා ඇති ප්‍රමාණයට ආරක්‍ෂා සහිතව සිටින බව තහවුරු කරගැනීම සඳහා රැඳවුම් ස්ථානයට පැමිණීමට මහෙස්ත්‍රාත්වරයාට හැකියාව ලබා දීම සඳහා ප්‍රධාන ප්‍රඥප්තියෙහි 9අ සහ 9ආ අලුත් වගන්ති ඇතුළත් කරනු ලැබේ.

4 වන වගන්තිය : මෙම වගන්තිය මගින්, ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තිය සංශෝධනය කරනු ලබන අතර, සංශෝධිත පරිදි වූ එම වගන්තියේ නීතිය බලපෑම වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 හෝ 140 වන ව්‍යවස්ථා යටතේ සහතික කරන ලද ප්‍රතිකර්මයක් සඳහා ඉල්ලීම් කිරීමට රැඳවුම්කරුවකුට හැකියාවක් ලබාදීම වේ.

5 වන වගන්තිය : මෙම වගන්තිය මගින්, නීතිඥවරයකුට රිමාන්ඩ් භාරයේ හෝ රැඳවුම් භාරයේ සිටින තැනැත්තකු වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබා දීමට සහ රිමාන්ඩ් භාරයේ හෝ රැඳවුම් භාරයේ සිටින තැනැත්තාට සිය ඥාතීන් සමඟ සන්නිවේදනය කිරීමට හැකියාව ලබා දීම සඳහා ප්‍රධාන ප්‍රඥප්තියෙහි 10අ අලුත් වගන්තිය ඇතුළත් කරනු ලැබේ.

6 වන වගන්තිය : මෙම වගන්තිය මගින්, ප්‍රධාන ප්‍රඥප්තියේ 11 වන වගන්තිය සංශෝධනය කරනු ලබන අතර, සංශෝධිත පරිදි වූ එම වගන්තියේ නීතිය බලපෑම වනුයේ සැකකරු වධදීමට ලක්ව නොමැති බවට තහවුරු කිරීම සඳහා, එම ප්‍රඥප්තියේ 11 වන වගන්තිය යටතේ නියමයක් ලබා දීමට පෙර එම තැනැත්තා අධිකරණ වෛද්‍ය නිලධරයකු වෙත ඉදිරිපත් කිරීම සඳහා හැකියාව ලබා දීම වේ.

7 වන වගන්තිය : මෙම වගන්තිය මගින්, ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තිය ඉවත් කරනු ලැබේ.

8 වන වගන්තිය : මෙම වගන්තිය මඟින්, නඩුවේ කටයුතු අප්‍රමාදව හමාර කිරීම තහවුරු කිරීමට දිනපතා නඩු විභාග පැවැත්වීමට විධිවිධාන සැලැස්වීම සඳහා ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තිය සංශෝධනය කරනු ලැබේ.

9 වන වගන්තිය : මෙම වගන්තිය මගින්, ප්‍රධාන ප්‍රඥප්තියේ 15අ වගන්තිය සංශෝධනය කරනු ලබන අතර, එය 11 වන වගන්තිය මඟින් සිදු කරන ලද සංශෝධනයට ආනුෂංගික වේ.

10 වන වගන්තිය : මෙම වගන්තිය මගින්, සිර භාරයේ හෝ රැඳවුම් භාරයේ සිටිනු ලබන තැනැත්තන්ට ඇප ප්‍රදානය කිරීමට විධිවිධාන සැලැස්ව්ම සඳහා, ප්‍රධාන ප්‍රඥප්තියේ 15ආ අලුත් වගන්තිය ඇතුළත් කරනු ලැබේ.

11 වන වගන්තිය : මෙම වගන්තිය මගින්, ප්‍රධාන ප්‍රඥප්තියේ 19 වන වගන්තිය සංශෝධනය කරනු ලබන අතර, එය 7 වන වගන්තිය මඟින් සිදු කරන ලද සංශෝධනයට ආනුෂංගික වේ.

12 වන වගන්තිය : මෙම වගන්තිය මගින්, ප්‍රධාන ප්‍රඥප්තියේ 26 වන වගන්තිය සංශෝධනය කරනු ලබන අතර, සංශෝධිත පරිදි වූ එම වගන්තියේ නීතිය බලපෑම වනුයේ, සද්භාවයෙන් කරන ලද හෝ කරන ලද බවට උද්දේශිත යම් ක්‍රියාවක් හෝ දෙයක් සඳහා නිලධරයන්ට සලසා ඇති ආරක්ෂාව නොතකා ප්‍රධාන ප්‍රඥප්තිය යටතේ පනවන ලද නියෝගයක් හෝ ලබා දෙන ලද විධානයක් ප්‍රශ්න කිරීමට විධිවිධාන සැලැස්වීම වේ.

13 වන වගන්තිය : “පුවත්පත” සහ “මුද්‍රණාලය” යන අර්ථ නිරූපණ ඉවත් කිරීම සඳහා “වධදීම” යන අලුත් අර්ථ නිරූපණය ඇතුළත් කිරීම සඳහා මෙම වගන්තිය මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 31 වන වගන්තිය සංශෝධනය කරනු ලැබේ.

සම්පූර්ණ ගැසට්ටුව: PTA reform gazette 270122 S

Archive

Latest news

Related news