Monday, May 20, 2024

වව්නතිව් පොලිස් නාඩගමේ දෙවැන්න: රෝහලේ සහ  දේවස්ථානයේ බෝම්බ පරීක්ෂණ – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය urban-comics.com අනුග්‍රහයෙනි.

පළමු නාඩගමේ තිර රචකයා නිලන්ත ජයවර්ධන ය. දෙවන නාඩගමේ තිර රචකයා කව්දැයි තේරුම් ගැනීමට කරුණු එකින් එක පෙළ ගස්වා බලමු.

බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී ග්‍රෙනේඩ් අත්බෝම්බයක් සොයා ගන්නා ලද්දේ ජනවාරි 11දා ය. ඊට පසුදා මෙරට කතෝලික ප්‍රජාව පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්යෙන් නිසි පරීක්ෂණයක් ඉල්ලා දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතව තිබුණි.

එයට පෙර ලංකා හොස්පිට්ල්ස්හි වැසිකිළියක තිබී මෙවැනිම අත් බෝම්බයක් සොයා ගන්නා ලදී. ඒ 2021 සැප්තැම්බර් 14දාය.

මෙම බෝම්බ දෙකම  සකස් කර තිබුණේ අත් බෝම්බයේ පින් එක ඉවත් කර එහි හැඩළය බෝම්බයේ බඳට බැද තිබීමෙනි. හැඩළය බඳට බැද තැබු නුල් සහ සෙලෝ ටේප් ගිනි ගෙන ඇවිලී ගොස්  හැඩළය නිදහස් වී බෝම්බය පුපුරා යාමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමට සළස්වා තිබුණි.  ඒ  රෝහල් බෝම්බයේ මදුරු දඟරයක්ද දේවස්ථානයේ බෝම්බයේ හදුන්කූරු දල්වා තැබීම මගිනි.

පින් එක ඉවත් කළ විට බෝම්බය පිපිරීම නවතින්නේ එය විසි කරනා පුද්ගලයා හැඩළය එහි බඳට හිරවන සේ අල්ලා ගෙන සිටින තුරු පමණය. එවිට එය තප්පර 3-4 අතර තුර පුපරා යයි.

සජීවී අත්බෝම්බයක් මෙළෙස හැසිරවීම ඉතා අනතුරුදායකය. සුලු අත්වැරදීමකින් බොම්බකරු වුව මරණයට පත් විය හැකි අන්දමේ අවදානමකි. පළපුරුදු අයෙකුට හැර සජීවී බෝම්බයක් බිය සැක නැතිව මෙළෙස පරිහරණය කළ නොහැකිය.

තවත් වැදගත් කරුණක් තිබේ. එනම් මේ අත් බෝම්බ දෙකම රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් නොකරන ලද බවයි. එමෙන්ම ඒවායේ තිබූ ඇඟිලි සටහන් පොලිසිය ලබා ගෙන නැත.

මෙම බෝම්බ දෙකම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවා වහාම පුපුරුවා හරින ලදී. එබැවින් මෙම බෝම්බ සජීවී බෝම්බද ඩමි බෝම්බ යැයි කියන පිපිරී  නොයන බෝම්බද කියා රස පරීක්ෂක වාර්තාවක් ද නැත.

බොරැල්ල දේවස්ථානයේ තිබී හමු වූ  මෙම බෝම්බයේ හැඩළය ඔතා ඇති සැටියෙන් පෙනෙන ලක්ෂණ සහ ඇගිළි සළකුණු රස පරීක්ෂකවරයකු ලවා පරීක්ෂා නොකරන ලද්දේ මන්ද?

වැදගත්ම සාක්ෂි දැනටමත් විනාශ කර දමා තිබේ.

 

දේවස්ථානයේ බෝම්බය වාර්තා කළ වහාම පොලිසිය වහාම ක්‍රියාත්මක වී සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

ඒ දේවස්ථානයේ සේවය කළ වසය 13ක පිරිමි ළමයකු, සන්ක්‍රිස්තියන් ලෙස දේවස්ථාන බසින් හැදින්වෙන මුනි නම් දෙමළ ජාතික සේවකයෙකු සහ දේවස්ථානයේ  විශේෂ දේව මෙහෙයක් සඳහා සූදානම් කරමින් සිටි දායකයන් දෙදෙනෙකුය.

පොලිසිය පරීක්ෂා කලේ දේවස්ථානයේ වූ සීසී ටීවීහි සවස 3.00න් පසු  දර්ශන පමණි. උදෑසන සිට ඒවා බලන ලෙස කළ ඉල්ලීමට පොලිසිය ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

“බොරැල්ල සියලූ සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ‍්‍රයේ තිබී හමු වූ අත්බෝම්බය එම පරිශ‍්‍රයට ගෙනැවිත් ඇත්තේ ඒ අසලම පදිංචි දහතුන් හැවිරිදි දරුවකුගේ මාර්ගයෙන් යැයි ඒ පිළිබඳ විමර්ශන සිදු කරන පොලිසිය කරුණු අනාවරණය කර ගෙන තිබේ” යැයි කියා ජනවාරි 13වනදා දිවයින පුවත්පත කියා සිටියේය.

එදිනම කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා  අධිකරණය හමුවේ මෙසේ කියා සිටියේය. “පල්ලියේ යම් යම් කටයුතු සම්බන්ධයෙන් පැමිණෙන මෙම දරුවා අදාළ ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළා, ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදීමට කැමැත්ත පල කළා”.

අධිකරණයේ කළ රහසිගත ප්‍රකාශය වීරසේකර අතට

මෙම ලාබාල පිරිමි ළමයා මහේස්ත්‍රාත්වරියක ඉදිරියට පමුණුවා රහසිගත ප්‍රකාශයක් ලබා ගන්නා ලදී. එවැනි ප්‍රකාශයක් අන්තර්ගතය නඩු විභාගය ඇරඹීමට පෙර දැන ගත් හැක්කේ නීතිපතිවරයාට පමණි.

එසේ නමුත් බෝම්බ සහිත බෑගය පල්ලියේ සේවකයා ලබා දුන් බව ළමයා මහේස්ත්‍රාත් ඉදිරිපිටදී ප්‍රකාශ කළ බවත්, බෝම්බය තැබීම ගැන සේවකයා ද පිළිගත් බවත් මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර ප්‍රකාශ කළේය. ඔහු එකී ළමයාගේ  ප්‍රකාශයේ ඇතැයි කී කරුණූ ජනවාරි 15දා දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශයට ද කීවේය.

මහේස්ත්‍රාත්වරිය විසින්ම නීති විරෝධී ලෙස සරත් විරසේකරට එම ළමයාගේ ප්‍රකාශය ලබා දුන්නාද යන්න එමගින් මතුවන වෙනත් ප්‍රශ්ණයකි. එසේ නොවන බව පෙන්වීමට නම් තමා ඉදිරිපිට කරන ලද රහසිගත ප්‍රකාශයේ තොරතුරු ඇමැතිවරයා දැන ගත්තේ කෙසේදැයි අධිකරණය විසින්ම පරීක්ෂණයක් කළ යුතුය. කෙසේ වෙතත් මහජන ආරක්ෂක ඇමැතිවරයා එවැනි රහිසිගත ප්‍රකාශයක් උපටා දැක්වීමම වරදකි.

සරත් වීරසේකර තවදුරටත් ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් මුනි නම් සන් ක්‍රිස්තියන්වරයාගේ  කාමරයේ  තිබී බෝම්බය පිපිරවීමට යොදාගත් “ගිනිකූරු හඳුන්කූරු ටේප් ආදියෙහි ඉතිරි කොටස්  හමුවී ඇති” බවය. (ලංකාදීප ජනවාරි 14) වීරසේකරට  අනුව එම  ගිනි පෙට්ටියේ තිබූ ගිනිකූරු අඩු වී තිබුණේ ඉතිරි ඒවා බෝම්බය වටා බැඳ තිබු නිසාය.

කතාව ගැළපෙන පාටක් තිබුණි. ප්‍රධණ පෙළේ ජනමාධ්‍ය පොලිසියේ හොරණෑකරුවන් ලෙස කතාව ප්‍රචාරය කළේය.

එම දරුවා බැලීමට පොලිස් ස්ථානයට ගිය පියතුමකුට ඔහු කියා තිබුණේ තමාගේ  හිසට බෑගයක් දමා වධ දුන් බවයි.

පොලිසියේ සහ සරත් වීරසේකරගේ කතා උඩියටිකුරු වුයේ දේවස්ථානයේ වූ සිසීටීවී දර්ශන මගින් මෙම බෝම්බය තබා පලා යන පුද්ගලයා පැහැදිලිවම දක්නට ලැබූණු නිසාය.

වීරසේකර කීදේ නොසිදුවේ

සීසීටීවී දර්ශන ප්‍රසිද්ධ කිරීම නිසා  සැකකරු සැඟවෙනු ඇතැයි  වීරසේකර දේවස්ථානයට ප්‍රසිද්ධියේ දොස් පැවරුවේය.

එනමුත් වීරසේකරගේ ප්‍රකාශය බොරු කරමින් එම වීඩියෝ දර්ශනයෙහි සිටින පුද්ගලයා යැයි කී තවත් අයකු පොලිසිය වහාම අත්අඩංගුවට ගත්තේය.

සීසීටීවි දර්ශන නොතිබුණේ නම් තවමත් සැකකරුවන්ව සිටිනු ඇත්තේ දේවස්ථානයේ සේවකයින්ය. එසේ වී නම් බෝම්බයේ වගකීම පැටවෙන්නේ දේවස්ථානයට සහ එය බාර දේවගැතිවරයාටය.

13 හැවිරිදි දරුවා මහේස්ත්‍රාත්තුමියට කී බවට වීරසේකර කී කතාව දැන්  අංජ බජල් විය. මන්ද යත් වෙනත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බැවිනි.

ඉන්පසුව පොලිසිය පිළියන්දල පදිංචිකරුවකු වූ වෛද්‍යවරයකු අත්අඩංඟුවට ගත්තේය. දැන් පොලිසිය මෙන්ම  වීරසේකරද කියන්නේ  ලංකා හොස්පිට්ල්ස්හි මෙන්ම බොරැල්ල දේවස්ථානයට බෝම්බ තැබීම පිටුපස සිටින්නේ එම වෛද්‍යවරයා බවය.

පොලිස් ප්‍රකාශ අනුව ඔහු දේවස්ථානයේ  බෝම්බය තබා ඇත්තේ දශක ගණනාවකට පෙර තමා එම දේවස්ථානයේ විවාහ වූ අවස්ථාවෙහිදී පියතුමකු විසින් කරන ලද වරදක් වෙනුවෙන්  පලිගැනීමටය. ලංකා හොස්පිට්ල්ස්හි බෝම්බය තබා ඇත්තේ කොවිඩ් අසාදිකව මියගිය තම බිරිඳට හොඳින් සැලකූ නිසා රෝහලට ප්‍රසිද්ධියක් ලබා දීමටය!

පුදුම නමුත් ඇත්තය.

ඊටත් වඩා පුදුමය දනවන කතාවක් ලංකා හොස්පිටල් බෝම්බයට අදාළව තිබේ.

ලංකා හොස්පිටල් බෝම්බය

ලංකා හොස්පිටල්හි  හමුවූ බෝම්බය සම්බන්ධයෙන් පොලිසිය ඉතාම විස්තරාත්මක ප්‍රකාශයක් කළේය. සැකකරුවකු නම් කර තිබුණි. එය එහි වැසිකිළියක තිබී හමු වූයේ 2021 සැප්තැම්බර් 14දාය.

දේවස්ථානයේ බෝම්බ නාට්‍යය පාස්කු විමර්ශන අඩපණ කරන්නන්ගේ අසාර්ථක පිටපතක් ” මැයෙන් දීර්ඝ ලිපියක් පළ කරන MediaLK  2021 සැප්තැම්බර් 16 දා දේශය පුවත්පතෙහි පළ වූ වාර්තාවක් උපුටා දක්වයි.

එම වාර්තාවෙහි එන කරුණූ මෙසේය:

  • එම පරීක්ෂණය මෙහෙයවන ලද්දේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසිනි.
  • ඒ අනුව පොලිසිය ඒ අනුව අදාළ පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ ලබාගත් අතර, ඔහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුදුකුඩුඉරිප්පු ග්‍රාමයේ පදිංචිකරුවෙක් බවට හඳුනා ගනු ලැබීය. ඔහු හරිහැටි උත්තර දුන්නේ නැත.
  • පසුව දේශබන්දු තෙන්නකෝන් මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය දැනුවත් කර වහාම අදාළ පුද්ගලයා කොළඹ නැවතී සිටින නිවස පරීක්ෂා කරන ලෙස නියෝග කළේය. ඒ අනුව වහාම පොලිස් කණ්ඩායමක් ගොස් අදාළ ස්ථානය පරීක්ෂා කළේය. එහිදී හොඳම සාක්ෂිය පොලීසියට හමු විය.
  • එම ස්ථානය පරීක්ෂා කළ නිලධාරීන්ට මෙම බෝම්බය ගැටගසා තිබුණු නූලේ ඉතිරි කොටස සොයා ගැනීමට හැකි විය. ඒ අනුව මෙම බෝම්බ නාටකය මෙම පුද්ගලයාගේ ම වැඩක් බව පොලිස් නිලධාරීහු තේරුම් ගත්හ. ඒ අනුව සැකකරු තම කතාව කියන්නට විය.
  • ඔහු ලංකා ‍රෝහලේ කොන්ත්‍රාත්තුවට පැමිණීමට පෙර කොන්ත්‍රාත්තු වැඩ සිදුකර ඇත්තේ කොළඹ විජේරාම පාරේ පිහිටි හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක කලින් පාවිච්චි කරන ලද නිල නිවෙසෙහිය.
  • නිල නිවෙසේ වැඩකරන සමයේදී එහි තිබූ කබඩ් එකක ලාච්චුවේ තිබී මෙම බෝම්බයත් ජීව උණ්ඩ කිහිපයකුත් මේ සැකකරු සොයා ගෙන තිබේ . පසුව ජීවඋණ්ඩ තොගය ඔහු සමඟ වැඩ කළ අයකුට ලබාදී ඇත. මොහු බෝම්බය ලංකා රෝහලේ සවිකර ඇත්තේ මෙය දුටු බවට අඟවා පොලිසියෙන්, රෝහලෙන් මුදල් තෑගි ලබාගැනීමේ අරමුණු ඇතිවය.

දේශය පුවත් පතෙහි පළවූ අදාළ ලිපිය මෙහි පීඩීඑෆ් ගොනුවක් ලෙස කියවිය හැක:Deshaya Sep 16 Narahenpita bomb

ඉහත කී ලිපියම 2021 සැප්තැම්බර් 17 මව්බිම උපුටා දක්වයි.

  • සැකකරුගේ සාක්ෂි මත තවත් කණ්ඩායමක් අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා යොදවා ඇති අතර, එහිදී එම සැකකරුගේ මහව පිහිටි නිවෙසේ පිටුපස වළ දමා තිබියදී එම ජීවඋණ්ඩ තොගය සොයාගෙන ඇත.
  • අත්බෝම්බයේ පින් එක ගලවා එය ඉතාම පරිස්සමින් නූලකින් ඔතන්නත්, මෙවැනි ක්‍රියාවක් සිදුකරන්න අවශ්‍ය සැලසුමත් ඔහුගේම පමණක් යැයි සිතිය නොහැක. පොලීසිය සඳහන් කරන්නේ ඔහුගේ ඥාති සහෝදරයෙක් එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයෙක් බවත් ඔහු මේ වන විට පුනරුත්ථාපනය අවසන්ව නිවෙසට පැමිණ ඇති බවය.

ලංකා හොස්පිටල්හි තැබූ බෝම්බය සොයා ගත් තැනත් එය තැබූ පුද්ගලයාත් ඊට හේතුවත් නිශ්චිතව දැක් වූ පොලිසිය දැන් එම බෝමබය පිළියන්දල වෛද්‍යවරයාට සම්බන්ධ කරයි.

 

“මෙහිදී සොයාගත් අවි ආයුධ අතර පිස්තෝල 4 ක්, රිවෝල්වරයක්, කඩු 2 ක්, රම්බෝ පිහියක් සහ වර්ගය හඳුනාගත නොහැකි ගිනි අවියක් තිබෙන බව පොලිසිය පවසයි. මෙම විශ‍්‍රාමික වෛද්‍යවරයා කුමන හේතුවකට මෙම ආයුධ එක්රැුස් කළේද යන්න මෙතෙක් හෙළිදරව් වී නොමැත. මොහු පොලිසිය හමුවේ ප‍්‍රකාශකර ඇත්තේ විනෝදාංශයක් ලෙස තමන් ගිනි අවි එක්රැස් කරන බවයි. (දිවයින ජනවාරි 20)

එසේ නමුත් මෙම අවි ආයුධ සියල්ල සෙල්ලම් බඩු සහ වායු රයිෆල්  බවට වෛද්‍යවරයාගේ පුතා වන ඕෂල හේරත් කළ ප්‍රකාශය පොලිසිය ප්‍රතික්ෂේප කළේ ද නැත. එම වාර්තාවෙහි හදුනා ගත නොහැකි අවියක් යනුවෙන් දක්වා ඇති අවිය ප්ලාස්ටික් සෙල්ලම් තුවක්කුවක් බවත් එය මිලදී ගත හැකි ස්ථානයක් ඔහු සඳහන් කලේය.

නමුත් පොලිසියට අනුව මේ සියල්ල ගිනි අවි බව වෛද්‍යවරයා පිළිගෙන තිබේ

පුදුම හතකි!

මේ අතර ජනවාරි 17වන දින දෙරණ මාධ්‍ය ජාලයේ අරුණ පුවත්පත පොලිස් මූලාශ්‍ර උපුටා දක්වමින්  සඳහන් කළේ මෙම බෝම්බ දෙකම තබන ලද පුද්ගලයා  එම ක්‍රියාව කර ඇත්තේ රු50,000ක මුදලකට බවය. ඔහුද දැන් මහේස්ත්‍රාත් හමුවේ විශේෂ ප්‍රකාශයක් කර තිබේ.

පොලිස් වාර්තා සහ මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකරට අනුව බොරුල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ බෝම්බය තැබුූ බවට තිදෙනෙකු පිළිගෙන තිබේ. ඒ 13 හැවිරිදි පිරිමි ළමයා, සන් ක්‍රිස්තියන් නම් දෙමළ ජාතිකයා සහ දැන් සොයා ගෙන ඇති පුද්ගලයාය. දැනට හත් දෙනෙකු මේ බෝම්බය සම්බන්ධයෙන් අත්අඩංඟුවේ පසුවේ.

ලංකා හොස්පිටල්හි බෝම්බය තැබූ  බවට පොලිසිය නිවේදනය කළ දෙමළ ජාතිකයා  සහ දැන් සොයා ගෙන ඇති පුද්ගලයා පිළිගෙන තිබේ.

ලංකා හොස්පිටල්හි තැබූ බෝම්බය සොයා ගත් අන්දමත් ඉතිරි ජීව උණ්ඩ පවා සොයා ගත් අන්දමත් පොලිසිය මුලින් කීවේය. දැන් පොලිසිය කියන්නේ පිළියන්දලදි අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා එම බෝම්බයටද වගකිව යුතු බවයි.

මෙම පරීක්ෂණ දෙකම මෙහෙයවන්නේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ය. ඔහුගේ ප්‍රකාශකයා ඇමැති සරත් වීරසේකරය.

ව්වනතිව් පොලිස් මුරපොළ

වව්නතිව් පොලිස් නාඩගම

මෙම පරීක්ෂණය තේරුම් ගැනීමට දැන් මඳකට වව්නතිව් මුරපොලේ ඝාතන අරභයා පොලිසිය නැටූ නාඩගම දෙස බලමු.

වව්නතිව්හි පොලිස් මුරපොලට පහර දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම එල්ටීටීඊයට සම්බන්ධ බවට එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වාර්තා හයක්ම දුන්නේය.

අත්අඩංගුවට ගත් දෙමළ ජාතික සැකකරු පුනරුත්ථාපන කඳවුරක සිට නිදහස් වූ එල්ටීටීඊ හිටපු බුද්ධි අංශ සාමාජිකයකු විය. ඝාතනය සිදු වූ ස්ථානයේ ඔහු දමා ගිය කබායක් පොලිසිය විසින් සොයා ගත් අතර පොලිස් සුනඛයින් ඒම කබාය ඉව කරමින් ඔහුගේ නිවසට ගියේය.

ජාතික යැයි කියා ගන්නා ජනමාධ්‍ය මේ වෘත්තාන්තය  තොරෙම්බොල් කරමින් අලෙවි කළේය.

එම ප්‍රහාරය අන්තවාදී ඉස්ලාමීය මරා ගෙන මැරෙන කණ්ඩායමක පුහුණුවක කොටසක් බව හෙළිදරව් වුයේ පාස්කු ප්‍රහාරයෙන් පසුය. තවද එම ප්‍රහාරය සඳහා යොදා ගන්නා ලද ටී-56 ස්වයංක්‍රීය ගිනි අවිය යුද හමුදාව සමග කටයුතු කළ රහසිගත මුස්ලිම් කණ්ඩායමකට දෙන ලද ග්‍රාමාරක්ෂක ගිනි අවියක් බවද දැන් හෙළිදරව් වී තිබේ.

සහරාන්ගේ රියදුරා විසින් එම ප්‍රහාරයේ සත්‍යය හෙළි නොකරන ලද්දේ නම් තවමත් එම ප්‍රහාරය බැර වී තිබෙන් ඇත්තේ අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයින් දෙදෙනාටය.

පොලිසිය විසින් නිර්මාණය කරන ලද මෙවැනි නාටක වලින් යුද සමයෙහි  ජනමාධ්‍ය පිරී තිබුණි. එකළ අප විසින් හෙළිදරව් කරන ලද මෙවැනි පොලිසියේ සහ රජය එක්ව ගෙතූ  කතාන්තර බොහෝය.

අද රඟ දැක්වෙන බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ බෝම්බය පිළිබඳ කතාවෙහි ද එම නාඩගමෙහි තිබූ ලක්ෂන තිබේ.

හොද හොඳ සෙල්ලම් කලඑලි බහිනු ඇත්තේ එළිවෙන ජාමයටය.

පසු සටහන:

බොරුල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ බෝම්බය පිළිබද පරීකෂණය ගැන තමන් සෑහීමකට පත් නොවන බව මැල්කම් කාදිනල් රංජිත් හිමි ප්‍රකාශ කර තිබේ.

ඔහු කියා ඇත්තේ මෙය ආණ්ඩුවයි මේ පොලිසියයි කරන නාටකයක් බවයි.

ලංකා ට්රැත් මෙසේ වාර්තා කරයි:

“අනිත් එක අර ‘මුනි’ (සන් ක්‍රිස්තියන්) කියන එක්කෙනාගේ ඇඟට තියලා මේක දාලා අත හෝදගන්න පොලිසිය උත්සහ කෙරුවා. පොලිස් ඇමති ඒක තමයි ඒ ප්‍රකාශයේදී කිව්වේ. ඒ වගේ දේවල් කරන්න අපිට දෙන්න බැහැ, සාධාරණ හදවතක් තියෙන ඕනෑම මනුස්සයෙකුට. ඒ නිසා අපි මේ කාරණව එහෙම ලිස්සලා යන්න දෙන්නේ නැහැ, ආණ්ඩුවටවත් පොලිසියටවත්. අපිට උසාවිය තියෙනවා. උසාවිය ගැන අපිට විශ්වාස යි.”

“ඒ මනුස්සයාට වුණ වැරැද්ද හරිගස්සන්න අපි කටයුතු කරනවා. මොකද පොලිසිය භාර ඇමති එදා වැඩි වෙලා යන්න ඉස්සෙල්ලා කෙලින්ම පැනලා කියපු දේ තමයි මේක මේ මනුස්සයා කරපු වැඩක් කියලා. අනිත් එක මේක විතරක් නෙමෙයි අර කොහෙද ඉස්පිරිතාලේ තියාපු බෝම්බෙත් මේ මනුස්සයාගේ ඇඟේ පැටෙව්වා. ඉතින් මේවා මේ පොලිසිය ගහලා මිනිස්සුන්ට තර්ජනය කරලා, ස්ටේට්මන්ට්ස් අරගෙන කරන්න හදන යුක්තිය අපි පිළිගන්නේ නැහැ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒක නිසා අපි මේ මනුස්සයාට සහ ඒ අනෙක් තුන් දෙනාටම වෙච්ච අසාධාරණය ගැන අපි ඉදිරිපත් වෙලා කටයුතු කරන්න තීරණය කරලා තියෙනවා.”

Archive

Latest news

Related news