ඡායාරූපය: මරණ දඩුවම ලද එමිල් රංජන් ජයකොඩි ගේ සහෝදරයා වූ බ්‍රිගේඩියර් ජයකොඩි සමූහ ඝාතන අවස්ථාවෙහි ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විය.
2012 නොවැම්බර් 12වන දින වැලිකඩ බන්ධනාගාරයෙහි සිදු වූ සමූහ ඝාතනය හා ඒ හා බැදුණු සිදුවීම් නිසා සිරකරුවන් 27 මිය ගියහ. එක් සිරකරුවකු ගැන තොරතුරක් තවම නැත.
එසේ නමුත් නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරන ලද්දේ ඝාතන හතක් සම්බන්ධයෙන් පමණි. සැකකරුවන් වශයෙන් නම් කර තිබුණේ ද තිදෙනෙකු පමණි. ඒ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂක රංගජීව නියෝමාල් සහ හිටපු බන්ධනාගර නියාමකයකු වූ දැනට සැඟවී සිටින බන්ධනාගාර නිලධාරියෙකි.
“700ක පොලිස් විශේෂ කාර්ය බලකායක් බන්ධනාගාරයට ඇතුලුවීමට අණ දෙන ලද්දේ කවරකු විසින්ද යන්නත් ඝාතනය කිරීම සදහා සිරකරු ලැයිස්තුව සකස් කළේ කවරකු විසින්ද යන්නත් 2015 වන තුරු නිසි පරීක්ෂණයකට ඉඩ ලබා නොදුන්නේ කවරකු විසින්ද යන්නත් විසදා ගන්නා තුරු මෙම සමූහ ඝාතනයේ මහ මොළකරු සොයා දඩුවම් පැමිණවිමට ඉඩ නොලැබෙනු ඇත. “
මෙම නඩුව විභාග කරන ලද්දේ ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි. විනිසුරු මඩුල්ලක කාරිය වන්නේ ඉදිරිපත් වන සාක්ෂි අනුව නඩුව විමසා තීරණයක් ලබා දීමය. ඉන් එහාට කිසිවක් කිරීමට නඩුවක් විභාග කරන විනිසුරු මඩුල්ලකට නොහැක.
මෙම නඩු විභාගයෙන් වරදකරු කරන ලද්දේ දෙවැනි චූදිතයා වූ එමිල් රංජන් ළමාහේවා පමණකි. ඒ කොණ්ඩ අමිල (මලලගේ මලිත් සමීර පෙරේරා) නම් පුද්ගලයා ඔහු විසින් රැගෙන ගිය බවටත්, පසුව ඔහුගේ සිරුර සොයා ගත් බවත් කුඩාබණ්ඩාර නම් බන්ධනාගාර නියමකවරයා විසින් දෙන ලද සාක්ෂිය මතය.
ඔහුට එරෙහිව නඟා තිබූ චෝදනා 33න් දමරණ දඩුවම නියම වූයේ ඒ අතුරින් එම චෝදනාවකට පමණි.
බන්ධනාගාරයේ ගැටුමෙන් පසු අවි බාර ගත් ජී. එල්.ඩබ්ලිව්.නානායක්කාර නම් බන්ධනාගාර නියාමකවරයාගෙන් එමිල් රංජන් ළමාහේවා ගිනි අවි හතරක් ඉල්ලා සිටි බව ද, නානායක්කාර මුලින් අවි දීමට අදිමදි කරද්දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කොඩිප්පිලි ‘අයිසේ වෙපන් ඉක්මනින් දෙනවා’ යනුවෙන් ප්‍රකාශ කළ බව ද, ඔහුගේ කීමෙන් පසු ගිනි අවි හතර එමිල් රංජන්ට බාර දුන් බව ද, පසුව එම ගිනි අවි හතර මිය ගිය රැඳවූවන් අසල තිබෙනු දුටු බව ද කුඩා බණ්ඩාර සිය සාක්කියේදී ප්‍රකාශ කරන ලදී. ඒ බව නඩු තීන්දුවෙහි ද සඳහන්ය.
සාක්කිකරුවන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් ප්‍රකාශිත නඩු තීන්දුවේ මෙසේ ද සඳහන් වෙයි.
නඩුවේ පළමුවැනි විත්තිකරු වූයේ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක රංගජීව නියෝමාල්ය. ඔහු ඝාතනය සිදු වූ දින බන්ධනාගාරය තුළ සිට තිබේ.
ඔහු ඇද සිට ඇත්තේ නිල් පාට කොට කලිසමකි.
රංගජීව 10 වැනිදා අලුයම නම් අඬ ගසමින් සැකකරුවන් තෝරා ගෙන රැගෙන ගොස් තිබේ. ඒ තර මාලන් (කංකානම්ලාගේ මලින්ද නිලේන්ද්‍ර පැල්පොල), කපිල (අන්දුපුලිගේ ජෝතිපාල) සහ මංජු ශ්‍රී (හර්ෂ ශ්‍රී මහකීර්ති පෙරේරා) යන රැඳවූවන් විය.
පසුව වෙඩි ශබ්ද ඇසී තිබේ. රැගෙන ගිය කිහිප දෙනාගේ මළ සිරුරු ඉන් පසුව හමු විය.
මහාධිකරණ පැමිණිල්ලේ තෙවැනි සාක්ෂිය ද පිළිගත්තේය.
එම තුන්වැනි සාක්ෂිකරු වූයේ ඉන්දික පෙරේරා නම් බන්ධනාගාරයේ වූ රැදවුම්කරුවෙකි. ඔහු මෙසේ කීවේය:
නඩුවේ පළමුවැනි විත්තිකරු වූ රංගජීව සිය සහෝදරයා වූ අන්දුපුල්ලිගේ ජෝතිපාලගේ මුහුණට එළිය කරමින් ඔහුව සිරමැදිරියෙන් එළියට ගත්තේය. එවිට ‘රංගජීව මහත්තයා අපට එළියේ ඉන්න දෙන්නෙත් නෑ. ඇතුළෙ ඉන්න දෙන්නෙත් නෑනේ’ යනුවෙන් සිය සහෝදරයා කීවේය. පසුව සිය සහෝදරයා මරා දමා තිබුණි.
මෙම සාක්ෂි සියල්ල තිබිය දී සැකයේ වාසිය ලබා දී නියෝමාල් රංගජීව නිදහස් කිරීමට මහාධිකරණය තීරණය කළේය.
දැන් අප හමුවේ නොවිසදුණ ප්‍රශ්න ගණනාවක් තිබේ.
රංගජීවට එදින නිති විරෝධී ලෙස වැළිකඩ බන්ධනාගාරයට යෑමට තිබූ අවශ්‍යතාවය කුමක්ද?
සිරකරුවන් තෝර තෝරා ඝාතනය කළ රුයකදී මෙම පොලිස් නිලධාරියා නීතියේ ආධිපත්‍ය නොසළකා එය තුලට ගොස් යෙදී සිටි කාරිය කුමක්ද? කුමක් නිසාද?
ඔහු විසින් සිරකරුවන් තෝරා ගත්තේ කුමන පදනමකින්ද?
මෙම ප්‍රශ්නයන්ට කිසි දිනෙක පිළිතුරක් නොලැබෙන්නේ නම් ඉන් අදහස් වන්නේ සැඟවිය යුතු දෙයක් ඇති බවද?
ඝාතනය සිදු වූ දින වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් වාතාවරණයක් පාලනය කිරීමෙන් තෝරා ගත් සිරකරුවන් පිරිසක් ඝාතනය කළ බවට සාක්ෂිකරුවන්ගේ සාක්කිවලින් අනාවරණය වී ඇතැයි ද යැයි එදින ප්‍රකාශිත නඩු තීන්දුවේ සඳහන් වෙයි.
යළිත් වතාවක් පැන නැගෙන ප්‍රශ්නය නම් මෙම තෝරා ගැනීම් කරන ලද පදනම කුමක්ද යන්නයි? එවැනි තෝරා ගැනීම සඳහා ලැයිස්තුවක් තිබිය යුතුය. එසේ නම් එම ලැයිස්තුව සකස් කරන ලද්දේ කවරකු විසින්ද?
මේ වනාහි පිළිතුරු නැති තවත් ප්‍රශ්නයකි.
නඩු තීන්දුවේ සඳහන් වන තවත් වැදගත් කරුණක් මෙසේය:
මිය ගිය හත් දෙනා පිටතින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පිරිස ප්‍රමුඛව පැහැර ගෙන ගොස් ඇත. බන්ධනාගාරය තුල සිදු වන විවිධ දූෂණ සහ අකටයුතුකම් මැඩලීමට බලධාරීන් විසින් සොදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි. එහිදී ඇතිවූ කලබලකාරී තත්ත්වය ප්‍රයෝජනයට ගෙන බාහිරින් පැමිණි තිදෙනකු සම්බන්ධ වී හමුදා ඇඳුමෙන් සිටි පිරිසකගේ ද සහාය ඇතිව මාලන්, නිර්මල අතපත්තු, ගුණ්ඩු, කළුතුෂාර, කපිල සහ මංජුශ්‍රී යන අයගේ මරණයන් සිදු කර තිබේ.
එම කරුණු සනාථ කිරීමට ප්‍රබල සාක්ෂි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇති බවට අධිකරණය සෑහීමකට පත්ව තිබේ.
මෙම කාරණය තවත් නොවිසඳුණු ප්‍රශ්න ගණනාවක් මතු කරයි.
යුද හමුදා ඇදුමින් සැරසී සිටියේ ඇත්ත වශයෙන්ම යුද හමුදා පිරිස්ද? නැත්නම් ව්‍යාජ කණ්ඩායමක්ද?
ඔවුන් සමඟ එක්ව සිරකරුවන් ඝාතනය පිනිස පැහැර ගත් සිවිල් ඇදුමින් සැරසුණු පුද්ගලයින් කව්රුන්ද?
සිරගෙදර ඇති වූ කලබලකාරී තත්වය ප්‍රයෝජනයට ගෙන තෝරා ගත් සිරකරුවන් ඝාතනය කළ පිරිස කව්රුන්ද? ඔවුන් බන්ධනාගරයට එවූයේ කවරකු විසින්ද?
සාක්ෂිවලට අනුව බන්ධනාගාරයේ සෝදිසි කිරීමකට බව කියමින් කිසිම පූර්ව අවසරයක් නොමැතිව පොලිස් විශේෂ කාර්ය බලකායේ 700කට ආසන්න පිරිසක් බන්ධනාගාරයට ඇතුළු වී තිබෙන බව නඩු තීන්දුව ප්‍රකාශ කරයි.
ඔවුන් මරණ දඬුවම ලබා සිටි සිරකරුවන් සිටින වාට්ටුවලට ගොස් ඇති අතර එහි දී යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී ඇති තිබේ.
පසුව වෙඩි හඬ කිහිපයක් ඇසී තිබේ.
එම සාක්ෂි පිළිගත නොහැකි යැයි ප්‍රකාශිත නඩු තීන්දු වාර්තාවන්හි නැත.
එසේ නම්,
700ක පොලිස් විශේෂ කාර්ය බලකායක් බන්ධනාගාරය තුලට එවීමට තීරණය කළේ කව්ද? ඒ ඇයි?
මෙම 700ක බල සේනාව අණ දුන්නේ කව්ද? අණ දෙන්නකු නැතිව එවැනි විශාල හමුදා පිරිසක් කිසිම මෙහෙයුමකට යන්නේ නැත.
ඔවුන් මරණ දඬුවම නියම වූ සිරකරුවන් අඟුලු දා සිටින සිර මැදිරි කරා ගියේ කුමන නියෝගයක් මත කුමන කාරියක් සඳහාද?
මෙතරම් හමුදා පිරිසකට ඉහළ නියෝගයක් නැතිව මෙහෙයුමකට යා හැකිද?
තවත් පිළිතුරු නැති ප්‍රශ්න වැළකි.
මෙම නඩුව විමසූ මහාධිකරණය ඉතා වැදගත් නිරීක්ෂණයක් දක්වයි. එනම් 2012 වසරේ සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් 2017 වසර දක්වා නිසි විමර්ශනයක් සිදුවී නැති බවයි. මුල් අවස්ථාවේදී සත්‍ය හෙළිදරව් කර ගැනීම වෙනුවට, තාක්ෂණික විමර්ශනයක් සිදු කළ බව පැවසීමට පමණක් විමර්ශන සිදු කර තිබේ. මුල් අවස්ථාවේ විමර්ශන නිසි ආකාරයට සිදු නොවීම නිසා පැමිණිල්ලට අගතියක් සිදුව ඇත.
ඉන් පැන නැගෙන ප්‍රශ්න මේවාය:
2012 සිට මෙම මිනිස් ඝාතනයක් ගැන නිසි පරීක්ෂණයක් නොකළ පොලිස් නිලධාරීන් කව්රුන්ද? ඇඟ බේරා ගැනීමට පමණක් ව්‍යාජ පරීක්ෂණයක් කරන ලෙස පොලිසියට කවරකු හෝ විසින් නියෝග කරන ලද්දේ ද?
මෙම සියලු ප්‍රශ්න එක් තැනකට ගෙන විමසා බලන විට පෙනී යන්නේ මෙම තිරශ්චීන මිනිස් ඝාතනය පිළිබද නොවිසදුන කරුණු රැසක් අනාගතයට ඉතිරිවී ඇති බවයි. 700ක පොලිස් විශේෂ කාර්ය බලකායක් බන්ධනාගාරයට ඇතුලුවීමට අණ දෙන ලද්දේ කවරකු විසින්ද යන්නත් ඝාතනය කිරීම සදහා සිරකරු ලැයිස්තුව සකස් කළේ කවරකු විසින්ද යන්නත් 2015 වන තුරු නිසි පරීක්ෂණයකට ඉඩ ලබා නොදුන්නේ කවරකු විසින්ද යන්නත් විසදා ගන්නා තුරු මෙම සමූහ ඝාතනයේ මහ මොළකරු සොයා දඩුවම් පැමිණවිමට නොලැබෙනු ඇත.
මෙම ප්‍රශ්න යටපත් කළ නොහැකි වන සේ නිරන්තරයෙන් ඉස්මත්තට ගෙන ඒමත් විපක්ෂ දේශපාලන න්‍යාය පත්‍රයට ඒවා ඇතුළත් කිරීමත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් වයාපාරයන්හි වගකීමක් වේ.
පසු සටහන:
මහාධිකරණය විසින් එක් සිරකරුවකු පමණක් මරා දැමීම සනාථ වූ බැවින් මරණ දඬුවම දෙන ලද හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාගේ ගේ සහෝදරයකු වූ බ්‍රිගේඩියර් ළමාහේවා 2012 වන විට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විය. ඔහු දැන් විශ්‍රාමිකය.
වර්තමානයෙහි ඔහුගේ තවත් සහෝදරයකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක ළමාහේවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙස සේවය කරයි.
මෙම ලිපිය සඳහා පාදක කර ගන්නා ලද්දේ මීඩියාඑල්කේඩොට්කොම් අඩවියේ පළ වූ වැලිකඩ බන්ධනාගාරයේදී තෝරාගත් රැඳවූවන් ඝාතනය කළ බව සනාථ වෙයි යන ලිපියයි. එහි පීඩීෆ් පිපෙතක් මෙහි දැක්වේ:MediaLK article