Thursday, April 25, 2024

වැළිකඩ සමූහ ඝාතනය: චූදිත අයිපී රංගජීවට ‍පෙරදාතම ඇතිව උසස් වීමක්; ලියා අවසන් තීන්දුව ප්‍රකාශ කිරිම දින 6කින් කල්දායි.

2012 නොවැම්බර් මස 09 දා සිදු වූ වැලිකඩ සිරගෙදර සමූහ ඝාතන නඩුවෙහි තීන්දුව ප්‍රකාශ කිරීමට දිනයක් තබා නඩුවෙහි ප්‍රධන සැකකරුවකු වන නෙවමාල් රංගජීව නම් පොලිස් පරීක්ෂකවරයාට 2020 ජනවාරියේ සිට බල පැවැත්වෙන පරිදි උසස් වීමක් ලබා දීමත්, නඩු තීන්දුවේ යතුරු ලියන දෝෂ ඇතැයි කියා නඩු තීන්දුව ප්‍රකාශ කිරීම කල් දැමීමත් දේශපාලන අංශයන්හි කසුකුසුවකට හේතු වී තිබේ.

පොලිස් පරීක්ෂක නෙවමාල් රංගජීවට හදිසියේ හිඟවැටුප් සහිතව ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස් කරන ලද්දේ ඔහු නඩුවෙන් වැරදිකරුවකු වීමට ඉඩ ඇති නිසාදැයි ප්‍රශණයක් මතුවී තිබේ. තවද නඩු තීන්දුවෙහි යතුරු ලියන දෝෂ ඇතැයි එය ප්‍රකාශ කිරීම කල් දැමීම සාධරණ හේතුවක් වන නමුත් එමගින් වැරදි අදහස් සමාජයට යෑමට ඉඩ ඇතැයි නීති අංශ ප්‍රකාශ කරති.

මේ පිළිබඳව https://medialk.com  අඩවිය පළ කර ඇති ලිපිය සහ  2017 වසරෙහිදී පල වූ සාකච්ඡා කිහිපයක් පහත පළ වේ.

වැලිකඩ ලැයිස්තුගත සමූහ ඝාතනය – තීන්දුවට පෙර දින රංගජීවට උසස්වීමක් !

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් පිරිසක් ලැයිස්තුවකට අනුව වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ ප්‍රධාන චූදිතයකු වන පොලිස් පරීක්ෂක රංගජීව නෙවමාල් මහතාට පෙරදාතම කර උසස්වීමක් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
රංගජීව මහතා ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර ඇත්තේ 2020 ජනවාරි මස පළමු වැනිදා වන සිට ක්‍රියාත්මක වන පරිදි වසර දෙකකට පෙරදාතම කරමිනි. උසස්වීමේ නියෝගය නිකුත් කළ දිනයේ සිට එම තනතුර ස්ථිර උසස්වීමක් සේ සැලකීමටත්, ඊට අදාළ වැටුප් සකස් කිරීමටත් පොලිස්පතිවරයා අදාළ අංශවලට දැනුම් දී තිබේ.
‌පොලිස් පරීක්ෂක නෙවමාල් රංගජීව මහතාට එලෙස පෙරදාතම කර උසස්වීමක් ලබා දී ඇත්තේ ඔහු ප්‍රධාන චූදිතයකු වන වැලිකඩ බන්ධනාගාර නඩුවේ තීන්දුව ලබාදීමට නියමිතව තිබූ දිනයට පෙර දිනයේ වීම විශේෂත්වයකි.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ තීන්දුව ඊයේ (06) දහවල් 11ට ලබාදීමට නියමිතව තිබිණි. ඒ අනුව ජනමාධ්‍යවේදීහු ඇතුළු විශාල පිරිසක් කොළඹ මහාධිකරණ පරිශ්‍රයේ අංක 06 ශාලාව අසල රැස්ව සිටියහ. දහවල් 11.10ට පමණ ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව කැඳවිණි. චූදිතයන් දෙදෙනා වූ පොලිස් පරීක්ෂක එම්.රංගජීව නෙවමාල් සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටියහ.
නඩුවේ තීන්දුව අවසන් වුවත්, එහි යතුරුලියන දෝෂ ආදිය නිවැරදි කළ යුතු වන නිසා ඊයේ දිනයේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නොහැකි වන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ගිහාන් කුලතුංග මහතා දැනුම් දුන්නේය. එම නිසා නඩුවේ තීන්දුව ලබාදීම ලබන 12 වැනිදා පස්වරු 1.30 වන තෙක් කල් තැබීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.
නඩුවේ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබියදී පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් රංගජීව නෙවමාල් ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට උසස් කිරීමේ නියෝගය පෙරේදා (05) නිකුත් කළේය. රංගජීව මහතා ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර ඇත්තේ 2020 ජනවාරි මස පළමු වැනිදා වන සිට ක්‍රියාත්මක වන පරිදි වසර දෙකකට පෙරදාතම කරමිනි. උසස්වීමේ නියෝගය නිකුත් කළ දිනයේ සිට එම තනතුර ස්ථිර උසස්වීමක් සේ සැලකීමටත්, ඊට අදාළ වැටුප් සකස් කිරීමටත් පොලිස්පතිවරයා අදාළ අංශවලට දැනුම් දී තිබේ.
වැලිකඩ බන්ධනාගාරයේ ඝාතන සිදුවූයේ 2012 නොවැම්බර් මස 09 වැනිදා ය. සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් පවත්වා සැකකරුවන් දෙදෙනා (රංගජීව සහ එමිල් රංජන්) අත්අඩංගුවට ගනු ලැබුවේ 2018 වසරේ මාර්තු 28 වැනිදා ය. ඔවුන්ට ඇප ලබාදීම මහාධිකරණය ප්‍රතික්ෂේප කළ අතර, ඉන් අනතුරුව අභියාචනාධිරණයට යොමු කළ ප්‍රතිශෝධන පෙත්සමක් අනුව 2018 සැප්තැම්බර් මස 27 වැනිදා රංගජීව මහතා ඇප මත මුදා හැරිණි.
ඒ වන විට රංගජීව මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනුයුක්තව රාජකාරි කරමින් සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එකම ගොඩනැගිල්ලක පැවති අතර, රංගජීව මහතා එම ගොඩනැගිල්ලේ ම රාජකාරි කිරීම නිසා විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් ඔහු ස්ථාන මාරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාරු කරමින් 2018 දෙසැම්බර් මස 19 වැනිදා පොලිස් මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතා විශේෂ දුරකතන පණිවුඩයක් නිකුත් කළේය.
රංගජීව මහතාට මහාධිකරණයේ අධිචෝදනා බාරදීමෙන් අනතුරුව පොලිස්පතිවරයා ඔහුගේ වැඩ තහනම් කළේය. මේ වැඩතහනම සම්බන්ධයෙන් ඔහු විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවට අභියාචනා කරනු ලැබීමෙන් අනතුරුව 2019 දෙසැම්බර් 19 වැනිදා රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව එම වැඩතහනම ඉවත් කර කොන්දේසි සහිතව සේවයේ පිහිටුවීමට තීන්දු කළේය. එම තීන්දුව අනුව රංගජීව මහතා යළි සේවයේ පිහිටුවීමට 2019 දෙසැම්බර් 26 වැනිදා පොලිස් විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා අදාළ අංශවලට දැනුම් දුන්නේය.
ඔහු නැවත සේවයේ පිහිටවනු ලැබුවේ විධිමත් විනය පරීක්ෂණයට හා අධිකරණ ක්‍රියාවලියට යටත්ව වන අතර, වැඩතහනම් වූ කාලයට අදාළ ව හිඟ වැටුප් ගෙවීම විනය පරීක්ෂණයෙන් පසුව සිදුකිරීමට ද දැනුම් දී තිබිණි.
කෙසේ වෙතත් මහාධිකරණයේ නඩු තීන්දුව ලබාදීමට පෙර, එනම් ඊයේ (06) රංගජීව මහතා පෙරදාතම කර ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට උසස් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කළේය.
2012 නොවැම්බර් 09 වැනි සිකුරාදා කොළඹ, වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත කොට සිරකරුවන් සමූහ ඝාතනය කිරීමේ අපරාධයට දැන් අවුරුදු නවයකි. 2015 මාර්තු මාසයේ දී සුදේෂ් නන්දිමාල් නමැත්තකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරමින් තමන් මේ සිද්ධියේ ඇසින් දුටු සාක්කිරුවකු බවත්, ඊට අදාළ පරීක්ෂණ කරන ලෙසත් ඉල්ලා සිටියේය. ඒත් කිසිවක් සිදු වූයේ නැත. ඉන්පසු ඔහු 2017 මැයි මාසයේ දී මේ පරීක්ෂණ කඩිනම් කරන ලෙස බල කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කළේය.

මේ, ඒ ඇසින් දුටු සාක්කිකරුවා සමග මීට වසර තුනකට පෙර කළ සම්මුඛ සාකච්ඡාවකි. මෙය එවකට සත්හඬ පුවත්පතේ පළවූවකි.

සිද්ධිය වුණු දවසෙ දවල් දොළහට-එකට විතර බන්ධනාගාරෙ සර්ච් කරන්න කියලා තමයි එස්ටීඑෆ් එක ආවෙ. වෙපන් අරන් මෙහෙම එනකොට බන්ධනාගාර නිලධාරීන් විරුද්ධ වුණා. ඒත් ආරක්ෂක ලේකම් ගෝඨාභයගෙ ඕඩරයක් කියලා ඔවුන් බලෙන්ම ඇතුළට ආවා.

මේක මගේ යුතුකමක්
– සිද්ධිය ඇසින් දුටු සාක්කිකරු සුදේෂ් නන්දිමාල්
වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතනය ගැන ඇතුළෙ හිටපු හුඟක් අය කතා නොකරන්නයි, ඔබ විතරක් කතා කරන්නයි හේතුව මොකක්ද?
මේක මං ඇස් දෙකෙන් දැක්කා. ඒක හංගාගෙන ඉන්න මට බෑ. අනෙක් අයට එහෙම ඉන්න පුළුවන් ඇති. මං බන්ධනාගාරගත වෙන්නෙත් උතුරේ සහ දකුණේ පීඩිත මිනිස්සු ගැන, ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කිරීම හින්දයි. මේ ඇත්ත රටට හෙළිදරව් කරලා, ඒ වැඩේ කරපු අපරාධකරුවන් නීතිය ඉදිරියට ගේන එක මගේ යුතුකමක් කියලයි මං හිතන්නෙ.
ඇතැම් මාධ්‍ය වලින් අදටත් ඔබට අලවන ලේබල් එක තමයි ‘සිංහල කොටියා’….?
නරි නොකියා සිංහල කොටි කියන එක ගැන කැමැත්තක් තියෙනවා. මොකද සිංහල නරින්ට වඩා ඒක හොඳයි.
ඔබ ඒ කියන ජාතියෙ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් ඇතුළෙ ද මේ කේස් එක ඇද්දෙ…?
නෑ. කිසිසේත්ම නෑ. මේ රටේ ජාතිවාදයට මං විරුද්ධයි. දෙමළ අරගලය සිද්ධ වුණු ස්වරූපය සම්බන්ධයෙන් යම් යම් ප‍්‍රශ්න තියෙනවා, ඒත් ඒ අරගලය මං පිළිගන්නවා. ඒ වගේම තමයි මෙතැනදිත් පීඩාවට පත් වුණු, ලැයිස්තු හදලා මරලා දාපු හිරකාරයො වෙනුවෙන් මං පෙනී ඉන්නවා.
එතකොට ඔය සිද්ධිය දැකලා, ඒ ගැන කතා නොකරන අය ඉන්නෙ ප්‍රොජෙක්ට් වල ද?
ප්‍රොජෙක්ට් තියෙන අය සාමාන්‍යයෙන් කතා කරන්නෙ නෑනෙ. අපිට එහෙම නැති හින්දා අපි කතා කරනවා.
හැමෝටම ඔය චෝදනාව එල්ල කරන එක සාධාරණ නෑ…?
ඇත්ත. මිනිස්සු ඉස්සරලා බලන්නෙ තමන්ගෙ ජීවිතේ බේරගන්න. පවුල බේරගන්න.
ඔබට තර්ජන ආවෙ නැද්ද?
ආවා. අදටත් තියෙනවා. නීතීඥ සේනක පෙරේරා ඇතුළු මට අවංකව උදව් කරන පිරිසත් එක්ක නිතර සම්බන්ධ වෙලා මං වැඩ කරනවා. ඔවුන් තවම පරාදයි.
එළියෙ සමාජයට හිරකාරයන්ගෙ කැරැල්ලක් විදියට පෙන්නපු මේ සිද්ධිය ඇත්තටම පටන්ගත්තෙ කොහොමද?
සිද්ධිය වුණු දවසෙ දවල් දොළහට-එකට විතර බන්ධනාගාරෙ සර්ච් කරන්න කියලා තමයි එස්ටීඑෆ් එක ආවෙ. වෙපන් අරන් මෙහෙම එනකොට බන්ධනාගාර නිලධාරීන් විරුද්ධ වුණා. ඒත් ආරක්ෂක ලේකම් ගෝඨාභයගෙ ඕඩරයක් කියලා ඔවුන් බලෙන්ම ඇතුළට ආවා. බන්ධනාගාර අධිකාරි ගාමිණී ජයසිංහව දැනුවත් කරලත් නෙමෙයි ඒගොල්ලො ඇතුළට ඇවිත් තියෙන්නෙ. මේගොල්ලො ඇත්තටම එතැන ප‍්‍රශ්නයක් හදනවා. හිරකාරයො දාලා ලොක් කරලා තියෙන අටයි-අටේ කාමර වලට කඳුළු ගෑස් කඩලා දානවා. එතකොට ඉන්න පුළුවන්ද. සමහර හිරකාරයො කලන්තෙ හැදිලා වැටෙනවා. ඊට පස්සෙ තමයි ගැටුම ඇතිවෙන්නෙ. මේගොල්ලො වෙඩි තිය තියා එළියට යනවා.
එතකොට ඇතුළෙ ගේට්ටුව කැඩුවෙ කවුද?
එස්ටීඑෆ් එකෙන්. හිරකාරයො කැඩුවෙ නෑ. අපිට පස්සෙ ආපු ආරංචිය තමයි, අවි ගබඩාවත් කඩලා ගිහින් තියෙනවා කියන එක. ඒ කියන්නෙ පැහැදිලිවම හිරකාරයො කුපිත කරවලා, ඔවුන්ට ආයුධ අරන් එළියට වෙඩි තියන්න ඉඩ දීලා, මෙතැන සිද්ධියක් හදලා, ඒ මුවාවෙන් තෝරාගත්ත අයව මරන්නයි ප්ලෑන් කරලා තියෙන්නෙ.
බන්ධනාගාර නිලධාරීන් මේ වෙලාවෙ මැදිහත් වුණේ කොයි විදියටද?
දොළහ වගේ වෙනකොට මේක සම්පූර්ණයෙන්ම මැඩපවත්වලා තිබුණෙ. ඒ වෙලාවෙ හිටපු චීෆ් ජේලර් කුඩාබණ්ඩාර කට්ටිය මෙහෙයවලා, ආයුධ පවා ආපහු අරන් මේක සාමකාමී විදියට මර්දනය කළා. ඊටපස්සෙ තමයි, රංගජීවලා ඇවිත් තෝර තෝරා මැරුවෙ.
මේ විදිහට මරපු අයගෙ මළසිරුරු දැක්කද, නැත්නම් එළිය වැටෙන කොට අයින් කරලද තිබුණෙ…?
දැක්කා. තුෂාරගෙ බොඩිය තිබුණා. පන්සල් වාට්ටුව පිටිපස්සෙ බොඩීස් තිබුණා. කුස්සි වාට්ටුව ඇතුළෙ නිදියගෙන හිටපු කෙනෙක් වෙඩි වැදිලා මැරිලා හිටියා. ඒ විදියට ඈත ඉඳලා වෙඩි තියපුවා වැදිලත් සෑහෙන පිරිසක් මැරුණා. මට හිතෙන්නෙ නම් මරපු ගාණ 27ට වැඩියි. ඒ බොඞීස් වලට මොනවා කළාද දන්නෙ නෑ. බන්ධනාගාර නිලධාරීන් හිරකාරයන්ගෙ ලොකට් චෙක් කළා. බොඩීස් නැති ලොකට් සෑහෙන ප‍්‍රමාණයකුත් තිබුණා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීවට වෙඩි තියපු සිද්ධියට එමු. ඒ වෙඩි තැබීම අපරාධයක්. ඒත් ඔහුගේ සමස්ත පොලිස් රාජකාරියේ තරම ගැන ඔබ ඇසින් දුටු සාක්කිකරුවෙක්. ඒ ගැන කතා කරමු…?
රංගජීව කියන්නෙ පොලිස් නිලධාරියෙක්. ඒත් මං දැකපු විදියට නම් ඔහුට මේ රටේ කුඩු නැති කරන්න කිසිම වුවමනාවක් තිබුණෙ නෑ. ඔහු ඒකෙන් යැපුණා. මේ සිද්ධියෙදි රංගජීව බන්ධනාගාරය ඇතුළට ඇවිත් ඔහුට විරුද්ධව සාක්කි දීපු අයව තෝර තෝරා මැරුවා. ඒකට උදාහරණයක් තමයි, අතපත්තු කියන තරුණයා. ඔහු ගෙදර ඉද්දි ඇවිල්ලා ගහලා, ගහලා අරන් ගිහින් අතින් කුඩු දාලා හිර කරනවා. පිල්ලෑවෙ පන්සල ළඟදි ඇල්ලුවා කියනවා. ඒකට විරුද්ධව ඔහුගෙ දෙමව්පියො මානව හිමිකම් යනවා. ඒ කේස් එක අයින් කරගන්න කියලා රංගජීව ඔහුගේ දෙමව්පියන්ට තර්ජනය කරලා තිබුණා. ඒත් ඔවුන් ඒ කේස් එක අයින් කරගත්තෙ නෑ. ඒ තරහට තමයි අතපත්තුව මැරුවෙ. ඔහුගේ අතේ කිසිම ආයුධයක් තිබුණෙ නෑ.
ඒ වගේම තමයි ගුණ්ඩු. ගුණ්ඩුටත් අතින් කුඩු දාලා ඇතුළට දානවා. ඔහු මාධ්‍යවේදියෙක්. රංගජීවට අදාළ මොනවාහරි ඔහු පත්තරේට දීලා තියෙනවා. ඒ තරහට තමයි ඔහුට අතින් කුඩු දාලා ජීවිතාන්තය දක්වා හිරේ යවන්නෙ. ඒ වගේම ලලිත් රෝහණ හෙවත් ගුණ්ඩුගෙ අම්මා රංගජීව තරුණයෙක්ව මරන සිද්ධියකට සාක්කි දෙනවා. සාක්කි දෙන්න එපා කියලා රංගජීව ඒ අම්මට තර්ජනය කරලා තියෙනවා. ඊටපස්සෙ ගුණ්ඩු ව මැරුවට පස්සෙත් මරණෙ ගෙදර තියෙන කොට ඇවිත් ‘ඔන්න උඹේ පුතාව යමලෝකෙට ඇරියා’ කියලා තර්ජනය කරලා තියෙනවා.
ඒත් ඔහු කුඩුත් අල්ලලා තියෙනවනෙ. ඇතැම් මාධ්‍ය පොලිස් වාර්තා වලින් ගත්තා කියලා පළ කරලා තිබුණෙ ලංකාවේ දැනට වැඩිම කුඩු අල්ලපු නිලධාරියා මේ රංගජීව කියලා…?
ඒවා නම් වෙන්න ඇත්තෙ එක එක අයගෙ ඕනෑ-එපාකම් මත. මං කියන්නෙ රංගජීව කියන කෙනා ඔය තරම් කුඩු වලට විරුද්ධ නම් ඇයි එක පැත්තක විතරක් කුඩු අල්ලන්නෙ. දෙමටගොඩ ප‍්‍රදේශයේ ඉන්නවා, ආණ්ඩුවේ ලොකුම ප‍්‍රබලයෙක්ගෙ හොඳ ගෝලයෙක්. ඔහු කුඩු විකුණනවා කියලා පළාත ම දන්නවා. ඒත් අද වෙනකම් රංගජීව ඔහුගෙ ගෝලයෙක් වත් අල්ලලා නෑ. රංගජීවට අවනත නොවන පිරිස අල්ලනවා. මං හොඳට දන්නවා, ඔය වෙලේ සුදාටත් රංගජීව අවනත වෙච්ච කාලයක් තිබුණා. ඊට පස්සෙ ඉල්ලන ඉල්ලන දේවල් නොලැබෙන කොට තත්ත්වෙ වෙනස්. අතින් දාලා කුඩු දානවා.
හරියට අතින් දානවා දැක්කා වගේ කොහොමද ඔය විදියට චෝදනා කරන්නෙ…?
අතින් දානවා දැකලා නම් නෑ. ඒත් අපිටත් විස්තර හොයාගන්න පුළුවන්. හරියට තැන, වෙලාව එක්ක විස්තර දෙන අය ඉන්නවා. අනෙක් පැත්තෙන් මේ වැඩ වෙන විදිය ගැන බලන කොට ඕනෙ කෙනකුට තේරෙනවා මේවගෙ තියෙන බොරුව. එක සිද්ධියක් බලන්න. වෙලේ සුදා කියන්නෙ මහා පරිමාණ කුඩු ව්‍යාපාරිකයෙක් කියලනෙ කියන්නෙ. හැබැයි එහෙම කෙනෙක් ඔය කියන විදියට කුඩු ග‍්‍රෑම් පහක් අතේ තියාගෙන ඉන්නවද. නිකමට හිතලා බලන්න. ඒ වගේ දේවල් තියෙනවා. ඇත්තටම රංගජීවලා විහිළු සපයනවා.
දොළහෙන් පස්සෙ තෝර තෝරා මිනිස්සු මරන්න ආපු වෙලාවෙ රංගජීවත් ආවා. ඒක එකපාරට වුණු දෙයක් නෙමෙයි කියන එක පැහැදිලියි. ලොකු සැලසුමක් එතැන තිබුණෙ. ඒකයි කොළ බල බලා නම් අඬගහලා මැරුවෙ. මං ඉස්සරහම තමයි තුෂාරව අරන් ගිහින් මැරුවෙ.
අනෙක තමයි ඔහු පොලිස් පරීක්ෂකවරයෙක්. ඒ කියන්නෙ උපරිම වුණොත් රුපියල් හැටදාහක විතර පඩියක් ගන්න කෙනෙක්. ඒත් ඔහුට දැන් තියෙන දේපොළ. ඒවා ගත්තෙ කොහොමද. මං කියන්නෙ මේවා ගැන අල්ලස් කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙනම හොයන්න ඕනෙ.
මං ආපහු අහන්නෙ මේවා ඔප්පු කරන්න පුළුවන් චෝදනා ද, ඇතැම් පාර්ශ්ව දිගටම කියන්නෙ මේවා කොළ අතේ තියාගෙන ඔප්පු කරන්න කියලා…?
මෙහෙමයි. ඉස්සරලා ඒ අයට කියන්න ඕනෙ, පාරට බැහැලා බලන්න කියලා. දේශපාලකයන්ට, පොලිස් නිලධාරීන්ට තියෙන දේපොළ ගැන. සමහර ඒවා පවුලෙ අයගෙ නම්වලට වත් අරන් නෑ. උදාහරණයක් විදියට බැසිල් රාජපක්ෂට විරුද්ධව යන නඩු. ගම්පහ පැත්තෙ ඉඩම් අරන් තියෙන්නෙ එයාගෙ නමට ද, නෑ නෙ. ඇස් ඇරන් ඉන්න ඕනෙ කෙනෙක් මේවා දන්නවා. අනෙක ගෙවල්-දොරවල් පේන්න තියෙනවනෙ.
සාක්කිත් තියෙනවා, නැතුව නෙමෙයි. අපි ඒවා වෙලාවට අල්ලස් කොමිසමට සහ අනෙක් පරීක්ෂණ කරන ආයතන වලට දෙනවා. මහරගම කළු තුෂාරගෙ ගෙදරට ඇවිත් ‘මම නම් ජරාව කනවා’ කියලා ලක්ෂ දහයක් අරන් ගිහින් තියෙනවා. ඒවා ගැන තුෂාරලගෙ නංගිලා කියන ප‍්‍රකාශ අපි ළඟ තියෙනවා. බන්ධනාගාරෙ සිද්ධිය වෙලාවෙ කළු තුෂාරව මරන්න හේතුවත් ඔහු අත්අඩංගුවට ගත්ත වෙලාවෙ ඇතිවෙච්ච රත්තරන් බඩු ප‍්‍රශ්නයක් කියන්න සාධක තියෙනවා. නැත්නම් ඒ වෙලාවෙ බන්ධනාගාරෙ හතර වටේ තුෂාර ව හොයලා මරන්න හේතුවක් තිබුණෙ නෑ. මම නම් කියන්නෙ රංගජීවලා පවතින්නෙ කුඩුත් එක්කම තමයි කියලා.
ඔබ කියන විදියට වැලිකඩ මේ ඝාතන සිද්ධිය සම්පූර්ණයෙන් මෙහෙයවපු කණ්ඩායමේ රංගජීව ඉස්සරහින්ම හිටියා…?
දොළහෙන් පස්සෙ තෝර තෝරා මිනිස්සු මරන්න ආපු වෙලාවෙ රංගජීවත් ආවා. ඒක එකපාරට වුණු දෙයක් නෙමෙයි කියන එක පැහැදිලියි. ලොකු සැලසුමක් එතැන තිබුණෙ. ඒකයි කොළ බල බලා නම් අඬගහලා මැරුවෙ. මං ඉස්සරහම තමයි තුෂාරව අරන් ගිහින් මැරුවෙ. රංගජීව මහත්තයෝ, මාව මරන්න එපා කියලා තුෂාර කෑගැහුවා. එයත් එක්ක තවත් සිවිල් පිරිසක් හිටියා. මේ පිරිස තමයි තෝර තෝරා මිනිස්සු මැරුවෙ.
ඔබ රංගජීව ව කලින් දන්නවද?
නෑ. මං හරියටම දැනගත්තෙ තුෂාර නම කියලා කෑගහපු එකෙන්. තුෂාර හිටියෙ මට එහා පැත්තෙ බංකුවක් යට හැංගිලා. තුෂාරව හොයාගෙන ඇවිත් අල්ලගත්තා. ඊටපස්සෙ කොළර් එකෙන් අල්ලලා ඇදලා ගත්තා. රංගජීව එක්ක හිටපු ආමි එකේ කෙනෙක් ගහපු පයින් පාරකට තුෂාරගෙ කට පැත්තකට ඇද වෙලා ගියා. ඊටපස්සෙ ඇදගෙන ගියා. ඒ වෙලාවෙ කළුවර. මීටර් සීයක් විතර ඈතින් වෙඩි සද්දෙත් එක්ක අපේ ඉණ තරම් උසින් එළියක් පත්තු වුණා. ඒකයි අපි කිව්වෙ දණගස්සලා වෙඩි තිබ්බා කියලා.
එතැන බන්ධනාගාර නිලධාරීන් හිටියෙ නැද්ද…?
මුලින් බන්ධනාගාර නිලධාරියෙක් ඇවිත් බලාගෙන ගියා. ඊට පස්සෙ රංගජීව කෑගහගෙන ආවා. තුෂාරව පෙන්නපන් කියලා. බන්ධනාගාර නිලධාරියෙක් ම තමයි තුෂාරව පෙන්නුවෙ.
බන්ධනාගාරෙ ඇතුළෙ කොයි හරියෙදිද වෙඩි තිබ්බෙ…?
කර්මාන්ත ශාලා ඔෆිස් එකට යන්න තියෙනවා වෙනම තැනක්, ඒ හරියෙදි තමයි වෙඩි තිබ්බෙ.
පහුවදා උදෙත් හිරකාරයන්ට වෙඩි තියලා මැරුවා…?
ඔව්. හො`දම උදාහරණෙ කොණ්ඩ අමිල. පහුවදා, ඒ කියන්නෙ සෙනසුරාදා උදේ හයට විතර තමයි මාංචු දෙකක් දාලා කොණ්ඩ අමිලව අපි ඉස්සරහින් අරගෙන ගියේ. ඒ එක්ක මැගසින් බන්ධනාගාරෙ හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන්, රංගජීව දෙන්නත් ගියා. අමිලව මරනවා දැක්කෙ නෑ. ඒත් පස්සෙ ආරංචි වුණා, අමිලවත් මරලා කියලා.
බන්ධනාගාර කොමසාරිස් කොඩිප්පිලි ඒ වෙලාවෙ ඇතුළෙ හිටියද?
හරියටම ඒක ලියන්න. මං ඕනෙ තැනක කියනවා. ඔය ඝාතන වෙච්ච හැමතැනම බන්ධනාගාරෙ හිටපු කොමසාරිස් කොඩිප්පිලි හිටියා. ඒ ආපු අය අතරෙ කොඩිප්පිලි හිටියා. මං ඒක සීඅයිඩී එකටත් පැහැදිලිව කිව්වා. කොමිසමටත් කිව්වා.
ආමි, එස්ටීඑෆ්…?
ආමිද, එස්ටීඑෆ් ද කියන්න මං හරියට දන්නෙ නෑ. ඒ යුනිෆෝම් තමයි ඇ`දගෙන හිටියෙ. මේ වගේ තැනකට, එච්චර පිරිසකට හොරට යුනිෆෝම් ඇ`දගෙන එන්න බෑ කියන එකත් පැහැදිලියි නෙ.
බන්ධනාගාර නිලධාරීන්ගේ හැසිරීම…?
කිහිප දෙනෙක් හැර බහුතරයක් මේකට උදව් කළේ නෑ. ඒත් විරුද්ධ වුණෙත් නෑ. පස්සෙ අපි අහන කොට බන්ධනාගාර නිලධාරීන් අපිට කිව්වෙ ‘අපි විරුද්ධ වුණා නම් අපිව මරලා ඒක කළේ හිරකාරයො කියලා එළියට කතාව යවන ප්ලෑන් එකක් තිබුණා’ කියලා. ඒ තිබුණු තත්වෙත් එක්ක ඒක ගොතපු කතාවක් නෙමෙයි කියන එකත්් මට පැහැදිලියි.
ඔබ මේ ගැන කතා කරන්න ගත්තෙ එළියට ආවට පස්සෙ…?
නෑ. මේකෙන් පස්සෙ ඇතුළෙ හිටපු හැමකෙනාගෙන් ම සාක්කි ගත්තනෙ. මං දැකපු හැමදෙයක්ම ඔය විදියටම ඒ වෙලාවෙත් සීඅයිඩී එකට කිව්වා. මගෙන් සාක්කි ගත්ත ඒ සීඅයිඞී නිලධාරියා කිව්වෙ ‘මේ විදියට උඹ කියන හැම එකම ලිව්වොත් උඹට මේකෙන් එළියට යන්න වෙන්නෙ නෑ, ඇතුළෙම මරනවා ෂුවර්. ඒක හින්දා මං ඔක්කොම ලියන්නෙ නෑ’ කියලා. ඒ කියපු විදියටම ඒ නිලධාරියා මං කියපු ඔක්කොම ලියලා තිබුණෙ නෑ.
මේ ගැන හොයන්න පත් කරපු කොමිසම වාර්තාවක් ඉදිරිපත් කළා. ඒකෙ මේ කරුණු සියල්ල තියෙනවද?
ඔව්. මං සීඅයිඞී එකටයි, කොමිසමටයි ඔක්කොම කිව්වා. මට තේරුණු විදියට ඒ කොමිසමේ යම් විනිවිදභාවයක් තිබුණා. මගෙන් හො`දට ප‍්‍රශ්න කළා. අපැහැදිලි වුණු තැන් ආයෙ ආයෙ ඇහුවා. ඒත් ඉතින් ඒ වාර්තාව තවම නෑ නෙ. අපි දන්නෙ නෑ, ඒකෙ තියෙන නිර්දේශ මොනවද කියලා. ඒත් ආණ්ඩුව දැන් ඒ මරපු අයගෙ පවුල් වලට වන්දි දෙන්න ෆෝම් පුරවනවා. ඒක කොමිසමේ නිර්දේශයක්ද කියන්න දන්නෙ නෑ. ඒත් වන්දි දෙනවා කියන්නෙ මෙතැන අපරාධයක් සිද්ධ වුණා කියලා ආණ්ඩුව පිළිඅරන් කියන එක නෙ. ඒ කියන්නෙ ලංකාවෙ අපරාධ නීතියට අනුව දැන් වහාම පරීක්ෂණයක් කරලා වගකිවයුත්තන්ට ද`ඩුවම් කරන්න ඕනෙ. ඒ පරීක්ෂණයෙන් පස්සෙනෙ වන්දි දෙන්න පුලූවන්. පළමු එක යට ගහලා, දෙවැනි වැඬේ කරලා මේක අමතක කරලා දාන්නද හදන්නෙ කියන සැකය මට තියෙනවා.
එක බන්ධනාගාර නිලධාරියෙක් මේ සිද්ධියට විරුද්ධව කෑගහලා තිබුණා. ඔහු එකපාරටම කටවහගත්තෙ ඇයි?
ඒ ගැන ලොකු කතාවක් මට කියන්න තියෙනවා. ඔහු මුලින් ඇත්තටම මේ අපරාධයට විරුද්ධ වුණා. කෑගැහුවා. මිනී වල පොටෝ ගත්තා. ඊටපස්සෙ ඔය එමිල් රංජන් කියන නිලධාරියා ඔහු ව වාහනේක වට දෙක-තුනක් අරන් ගියා කියලා ආරංචියි. ඊටපස්සෙ ඔහු සහමුලින්ම වෙනස් වුණා. ඒ වෙනස් වුණාට පස්සෙ එක-එක්කෙනාගෙ වුවමනාවට, සමහර මාධ්‍යවේදීන් එක්කත් එකතු වෙලා මේ නිලධාරියා කරපු දේවල් මං ඉදිරියේදි හෙළි කරනවා.
තව දෙයක් කියන්න ඕනෙ ඔය එමිල් රංජන් කියන්නෙ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාවට හිටපු මෙරිල් රංජන් කියන පොලිස් නිලධාරියගේ සහෝදරයා. ඒ බලය අරන් තමයි ඔහු ඇතුළෙ වැඩ කළේ.
ඒ ලැයිස්තුවකට මිනී මරපු රාත‍්‍රියට පස්සෙ දවසෙ බන්ධනාගාරෙ ඇතුළෙ තිබුණෙ මොන වගේ තත්ත්වයක් ද?
සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණෙ. සිරකරුවන්ට කෑම ලැබුණෙත් හවස තුනට විතර. වතුර ප‍්‍රශ්න තිබුණා. එදා සිරකරුවන්ගෙ සියලූ අයිතිවාසිකම් නැති කළා නෙ. අධිකරණයේ ආරක්ෂාව යටතේ හිටපු මිනිස්සුන්ව එකපාරටම ඇතුළට පැනලා මරලා දැම්මා. නඩුකාරයගෙ ගෙට පැනලා මිනී මැරුවා වගේ දෙයක් වුණේ. බන්ධනාගාර නිලධාරීන් තවදුරටත් ලොකු බයකින් තමයි හිටියෙ. මාස දෙක-තුනක් යනකම් ඇතුළෙ ලොකු තිගැස්සීමක් තිබුණා.
හැමෝම කට වහද්දි ඔබ කට අරිනවා. ඇතැම් මාධ්‍ය කියන්නෙ ඔබ පිටිපස්සෙ කවුදෝ ඉන්නවා කියලා. කවුද ඒ…?
ඒ ගොල්ලො පදනම් විරහිත කතා ගොතනවා. ඒවට විරුද්ධව මම අධිකරණයට ගිහින් තියෙන්නෙ. ඒ නඩුව ඉදිරියෙදි විභාගයට ගනියි. මට විශේෂ ආරක්ෂාවක් නෑ. ඇසින් දුටු ඝාතනයක් හංගගෙන ඉන්න එකත් අපරාධයක් කියලයි මං හිතන්නෙ. මාත් එක්ක නීතීඥ සේනක පෙරේරා මහත්තයා ඉන්නවා. ඔහු හැමවෙලාවෙම මගේ ආරක්ෂාව ගැන හොයලා බලනවා. අවශ්‍ය උපදෙස් දෙනවා. ඒ විදියට මේක අපරාධයක් විදියට දකින, ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න නීතීඥවරුන් කිහිපදෙනෙක්, මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් මාත් එක්ක නිතරම ඉන්නවා. තව දෙයක් කියන්න ඕනෙ, ඔය සමහර මාධ්‍ය වලින් කරන්නෙ මේ හිරකාරයන්ට වෙඩි තියපු එක හරි, ඔවුන් මරන්න ඕනෙ වගේ කතාවක් සමාජගත කරන එක. මිනීමරුවන් රකින්නයි ඔවුන්ට ඕනෙ.
ඊළ`ග කාරණේ සල්ලි. එක්තරා මාධ්‍යයක් දිගින් දිගටම ප‍්‍රශ්න කරලා තිබුණෙ ඔබට මේවට දුවන්න සල්ලි කොහෙන්ද කියලා…?
මං පිළිගන්නෙ නෑ, අසාධාරණයක් වෙනුවෙන් කතා කරන්න ඇත්ත වුවමනාවක් තියෙනව නම් ලොකු සල්ලියක් ඕනෙ කියලා. එහෙම සල්ලි පස්සෙ දුවන්නෙ අර ඔයා මුලින් කියපු ප්‍රොජෙක්ට් තියෙන අය. යම් අසාධාරණයක් වෙනුවෙන් මුලින් කෙනෙක් කතා කරන කොට ඒක ඇත්ත කියලා දකින, හැ`ගීමක් තියෙන අය එකතු වෙනවා. ඒ වගේ පිරිසක් මෙතැන ඉන්නවා. දැන් මට උපදෙස් දෙන සේනක පෙරේරා නීතීඥ මහත්තයා තමන් හම්බ කරන මුදලින් කොටසක් මේ වැඬේට වියදම් කරනවා. ලියකියවිලි හදන්න, ඒවා ප‍්‍රින්ට් කරන්න, එහෙ-මෙහෙ යන්න වියදම් කරන්නෙ ඔහු ඇතුලූ මං කලින් කියපු පිරිස.
අවසාන වශයෙන් කියන්න, ඔය සිද්ධි ඔක්කොම දකින්න ඔබ බන්ධනාගාරෙ කොතැනද හිටියෙ?
මං හිටියෙ බන්ධනාගාරෙ රෙජිස්ටර් ඔෆිස් එක ළ`ග. වෙල්ෆෙයාර් ඔෆිස් එකත් තියෙන්නෙ එතැන. තුෂාර හිටියෙත් එතැන. එතැනින් ඉස්සරහට තියෙන කර්මාන්ත ශාලා ඔෆිස් එක පැත්තට තමයි කට්ටිය ඇදගෙන ගියෙ.
—————————————————————————————————

තෝරාගෙන මැරුවා කියන කාරණය තහවුරු කරන්න ප‍්‍රමාණවත් සාක්ෂි තියෙනවද…?

“ඔව්. ඊට අදාළ සාක්ෂි තියෙනවා. කෝට්ටේ පන්සලේ හාමුදුරුවො දෙන්නා ඝාතනයට සම්බන්ධ නිලමෙ ගැන කිව්වොත්, ඔහු කඩුවක් ගන්න ගියා කියලනෙ කියන්නෙ. ඔහු කියලා තිබුණා, ඊළ`ග දවසෙ උසාවියෙදි පාපොච්චාරණයක් කරනවා කියලා. ඒ වගේම තවත් ඝාතනය කරපු කීපදෙනෙක් හෝ ඒ අයගෙ ඥාතීන් බන්ධනාගාර නිලධාරීන්ට හෝ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට විරුද්ධව මානව හිමිකම් නඩු දාලා තිබුණා. සමහර අයගෙ නඩු බලපෑම් නිසා ඉල්ලා අස්කරගෙනත් තිබුණා.”

 – ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයකු වූ නීතිඥ එස්.කේ.ලියනගේ

වැලිකඩ බන්ධනාගාරයෙ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයකු වූ නීතිඥ එස්.කේ.ලියනගේ සමග මීට පෙර කළ සම්මුඛ සාකච්ඡාවක් පහත පළ වේ. මෙය 2017 අගෝස්තු 20 දින සත්හඬ පුවත්පතේ පළවූවකි.
වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයට කොමිෂන් සභා සහ කමිටු කීපයක් පත් කළා. ඒත් තවමත් වැඬේ එක තැන…?
මේ සිද්ධිය සම්බන්ධයෙන් පහුගිය ආණ්ඩුව කාලෙ පරීක්ෂණ කමිටු තුනකින් පරීක්ෂණ කරලා තිබුණා. එකක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් පත් කරපු අභ්‍යන්තර නිලධාරීන්ගේ කමිටුවක්. දෙවැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක්. තුන්වැන්න බන්ධනාගාර ඇමැතිතුමාගේ නියමයෙන් කරන ලද පරීක්ෂණයක්. නමුත් වින්දිතයන් සහ පොදු ප‍්‍රජාව ඒ පරීක්ෂණ ගැන සෑහීමකට පත් වෙලා තිබුණෙ නෑ.
ඒ නිසා මේ ආණ්ඩුව පත්වුණාට මේ ගැන පරීක්ෂණයක් කරන්න අපි තුන් දෙනෙක් පත් කළා. එක්කෙනෙක් තමයි, හිටපු මහාධිකරණ විනිසුරු නිමල් නම්බුවවසම් මහත්තයා. දෙවැන්නා මම. තුන්වැන්නා විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක මහත්තයා.
ඔබ ව තෝරාගන්න විශේෂ හේතුවක් තියෙන්න ඇති…?
ඔව්. සිවිල් සමාජය වෙනුවෙන් තමයි මාව තෝරාගත්තෙ. ඒ වගේම දැනට ලංකාවෙ වැඩිම විධිමත් විමර්ශන සංඛ්‍යාවක්, විනය පරීක්ෂණ සංඛ්‍යාවක් පවත්වපු තැනැත්තා මම වීමත් ප‍්‍රධාන හේතුවක්.
ඔබ රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ගත්තෙ මොන තනතුරේ ඉඳල ද…?
අතිරේක ලේකම්, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය.
ඔබ ඇතුළු කමිටුව මේ පරීක්ෂණය කරපු ආකාරය ගැන කෙටියෙන් පැහැදිලි කළොත්…?
අපි මේ සිද්ධිය වුණු තැන් පරීක්ෂා කළා, බන්ධනාගාරය තුළ. ඊටපස්සෙ අපිට කැ`දවා ගත හැකිව තිබුණු සාක්ෂි දෙසීයකට ආසන්න ප‍්‍රමාණයක් ලබාගත්තා. ඒකට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලිස් සෝකෝ අංශය ඇතුළු විශේෂඥ සහායත් ලබාගත්තා. අපි විශ්වාස කරනවා අනෙක් කමිටු වලට වඩා විශ්වාසදායක සහ ප‍්‍රබල සාක්ෂි අපිට ලැබුණා කියලා.
මේ සාක්ෂිකරුවන් සියලූ තරාතිරම් වලට අයත් ද, මොකද පහුගිය ආණ්ඩුවේ කමිටු තරාතිරම බැලූවා…?
ඔව්. අපි සියලූ පාර්ශ්ව ගෙන්නුවා. පොලිස් දෙපාර්තමේන්තුව, පොලිස්පතිතුමා, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්, බන්ධනාගාරයේ ජේලර්වරු, කොමසාරිස් ජෙනරාල්තුමා, වින්දිතයන් සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් ඇතුළු හැම තරාතිරමකම අයගෙන් අපි සාක්ෂි ගත්තා. අපි දැක්ක දේ තමයි, මේ කමිටුව ගැන යම් විශ්වාසයක් තිබුණා කියලා.
හිටපු බන්ධනාගාර ඇමැතිවරයා…?
ඔව්. චන්ද්‍රසිරි ගජධීර ඇමැතිතුමා කැ`දවන්නත් අපි උත්සාහ කළා. ඒත් එතුමා ආවෙ නෑ.
මේ සියල්ලෙන් සම්පූර්ණ වාර්තාවක් සකස් කළා…?
ඔව්. ඒ වාර්තාව 2015 ජුනි මාසෙ 09 වැනිදා අගමැතිතුමාටත්, එවකට අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතාටත්, ඒ අමාත්‍යංශයේ ලේකම්තුමියටත් අපි භාරදුන්නා.
එතැනින් පස්සෙ…?
එතැනින් පස්සෙ මොකද වුණේ කියලා අපි දන්නෙ නෑ. නමුත් ජනමාධ්‍යවේදීන්, සිවිල් සමාජයේ විවිධ කණ්ඩායම් සහ වින්දිතයන් එකතු වෙලා කරපු බලපෑම් වල ප‍්‍රතිඵලයක් විදියට වන්දි ගෙවන්න ආණ්ඩුව තීරණයක් අරන් තිබුණා. මේ වෙනකොට පොලිස්පතිතුමාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අලූත් පරීක්ෂණයක් කරනවා. ඒ වගේම මං දන්න විදියට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලලා කණ්ඩායමක් අදිකරණයට ගිහින් තියෙනවා.
පසුව දැමූ ස්වයංක්‍රීය ගිනි අවියක් අසළ ඝාතනය කරන ලද නිර්මලා අතපත්තු
මේක කැරැල්ලක් කියල නෙ කිව්වෙ, ඔබේ කමිටුව මේක අපරාධයක් විදියට නිර්දේශ කළා ද, මොනවද අවසාන නිර්දේශ…?
අපි දැක්කා මේක බරපතල මනුෂ්‍ය ඝාතනයක් කියලා. අපි කමිටුව ඒකමතිකව තීරණය කළා, මෙතැන සැලසුම් සහගතව තෝරාගත් කණ්ඩායම් ඝාතනය කරලා තියෙනවා කියන එක. ඒක විවිධ අයගේ අවශ්‍යතා වෙන්න පුළුවන්. ඒක නිසා අපි කිව්වා මේ ගැන අපරාධ පරීක්ෂණයක් පවත්වලා මේකට සම්බන්ධ අයට එරෙහිව පියවර ගන්න කියලා. ඊළ`ග කාරණය මෙතැනදි රාජකාරිය පැහැරහැරපු අයට එරෙහිවත් පරීක්ෂණයක් කරන්න කියලා අපි නිර්දේශ කළා. ඊළ`ගට මියගිය අයට සහ තුවාල ලැබූවන්ට සාධාරණ වන්දියක් ගෙවන්න කියන කාරණය. බන්ධනාගාර වල තදබදයට අදාළ යෝජනා කිහිපයකුත් ඉදිරිපත් කළා. යම් යම් පුද්ගලයන්ට නම් කියලා කතා කරලා හොයලා තිබුණා. තවත් පිරිසකට වාඩි වෙලා ඉන්නකොට හෝ දණ ගහලා ඉන්නකොට තමයි වෙඩි තියලා තිබ්බෙ. බිත්ති වල තිබුණු ලේ පැල්ලම් සහ රස පරීක්ෂක වාර්තා වලින් ඒක තහවුරු වුණා.
හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරය තුළට ඇතුළු වීමේ කාරණය…?
ඔව්. මෙතැනදි මුලින්ම පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරයට ඇතුළු වීම ම වැරදියි. ඒක නීතිවිරෝධීයි. බන්ධනාගාර ආඥා පනතට අනුව බන්ධනාගාර අධිකාරිගේ අනුමැතියක් නැතුව කිසිම කෙනකුට ඇතුළු වෙන්න බෑ. අවි-ආයුධ අරගෙන කිසිම විදියකින් ඇතුළු වෙන්න බෑ. බන්ධනාගාර නිලධාරීන් කියලා තියෙනවා, අපිට මේක විස`දාගන්න පුළුවන්, ඔයගොල්ලො යන්න කියලා. ඒත් එස්ටීඑෆ් එක ගිහින් නෑ.
සාක්ෂි දෙනකොට බන්ධනාගාර අධිකාරි මොකද කිව්වෙ…?
මම දන්නෙ නෑ මේක ගැන. මම නිල නිවසේ ඉන්නකොට පණිවුඩයක් ආවා, මෙහෙම එස්ටීඑෆ් එක ඇතුළු වෙනවා කියලා. බන්ධනාගාර බුද්ධි අංශය භාර ව සිටි එමිල් රංජන් කියන පුද්ගලයා කියලා තියෙනවා, මේගොල්ලො ආවෙ කොමසාරිස් ජනරාල්වරයාගේ අවසරයෙන් කියලා.
ඊටපස්සෙ සිර මැදිරි වහලා තියෙනකොට කඳුළු ගෑස් ගහලා තිබුණා. ඒකෙන් තමයි මේ ප‍්‍රශ්නෙ වැඩි වුණේ. සිරකාරයොත් ගල් ගහන්න ගත්තට පස්සෙ එස්ටීඑෆ් එක පසුබැහැලා තිබුණා. රාත‍්‍රියෙ හමුදාව ගෙනැල්ලා මේක දරුණු විදිහට මර්දනය කරලා තිබුණා.
වෙඩි තිය-තියා පසු බැස්සා කියලා ඇසින් දුටු සාක්කිකරුවන් කියනවා…?
එහෙම කරන්න ඇති අනිවාර්යෙන්ම. ඊට අදාළ සාක්ෂිත් කමිටුවට ලැබුණා.
මේක කැරැල්ලක් කියලනෙ හැඳින්නුවෙ, කැරැල්ලක් ගැන මොනවම හරි සාක්ෂියක් ලැබුණ ද…?
මේක හිරකාරයන්ගෙ සැලැස්මක් නෙමෙයි. හිරකාරයො කෑම කාලා එනකොට එක වාට්ටුවක් චෙක් කරලා තියෙනවා. ඊටපස්සෙ සමහර හිරකාරයො මාංචු දාලා දණ ගස්සලා තියෙනවා. ඒකෙන් කුපිත වෙලා තමයි මුත‍්‍රා භාජන වීසි කරලා තියෙන්නෙ. ඒක මර්දනය කරන්න තමයි ක`දුළු ගෑස් ගහලා තියෙන්නෙ. ඔය වහලෙ උඩ නැගලා හිටපු අය මේකට සෘජු සම්බන්ධයක් නෑ. ඒ ගොල්ලො ඒ අවස්ථාවෙ විනෝදෙට කරපු ඒවත් තියෙනවා.
ආයුධ ගබඩාවක් කැඩුවා කියන කතාව…?
පොඩි ආමරියක් කඩලා තියෙනවා. ඒක හිරකාරයො කළා කියලා තමයි අපි හිතුවෙ. ඒත් ඒ වෙලාවෙ ඇතුළෙ හිටපු අය සාක්ෂි දීලා තිබුණා, මේක කැඩුවෙ එස්ටීඑෆ් එකෙන් කියලා. කොහොම වුණත් ආයුධ දෙන්න කියලා හිරකාරයන්ට කියපුවහම ඒ ගොල්ලො බන්ධනාගාර නිලධාරීන්ට දීලා තිබුණා.
තෝරාගෙන මැරුවා කියන කාරණය තහවුරු කරන්න ප‍්‍රමාණවත් සාක්ෂි තියෙනවද…?
ඔව්. ඊට අදාළ සාක්ෂි තියෙනවා. කෝට්ටේ පන්සලේ හාමුදුරුවො දෙන්නා ඝාතනයට සම්බන්ධ නිලමෙ ගැන කිව්වොත්, ඔහු කඩුවක් ගන්න ගියා කියලනෙ කියන්නෙ. ඔහු කියලා තිබුණා, ඊළ`ග දවසෙ උසාවියෙදි පාපොච්චාරණයක් කරනවා කියලා. ඒ වගේම තවත් ඝාතනය කරපු කීපදෙනෙක් හෝ ඒ අයගෙ ඥාතීන් බන්ධනාගාර නිලධාරීන්ට හෝ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට විරුද්ධව මානව හිමිකම් නඩු දාලා තිබුණා. සමහර අයගෙ නඩු බලපෑම් නිසා ඉල්ලා අස්කරගෙනත් තිබුණා.
හිරකාරයො වෙඩි තිබ්බා කියන්න තුවක්කු දැම්මා කියන කතාව…?
අපිට සාක්ෂි දීලා තිබුණා ඒ ගැන. සියල්ල මර්දනය කළා කියලා පහුවදා උදේ පහයි ගාණට බන්ධනාගාර නිලධාරීන්ට එන්න කියලා තිබුණනෙ. ඒ ආපු ජේලර් ලා වැටිලා තිබුණු මළ සිරුරු වල පින්තූර අරන් තිබුණා. ඒ වෙලාවෙ ඡුායාරූප ගන්නකොට මළ සිරුරු ළඟ ආයුධ තිබිලා නෑ. නමුත් පිටස්තර අය පරීක්ෂණ වලට එනකොට හතර දෙනෙක් ළඟ ආයුධ තිබිලා තියෙනවා.
හිරකරුවන්ගෙන් ගත්තු ආයුධ හමුදාව බන්ධනාගාරෙට භාර දෙන කොට ඒවා ලියාගෙන තියෙනවා. ඒ ලියාගන්න කොට බන්ධනාගාර කොමසාරිස් සහ එමිල් රංජන් කියන බුද්ධි අංශ ප‍්‍රධානියා ඇවිත් කියලා තියෙනවා, තුවක්කු හතරක් දෙන්න කියලා. නමුත් අංක සටහන් කරගන්න ඕනෙ නිසා ඒක ටිකක් ප‍්‍රමාද කරලා තියෙනවා. ඒ වෙලාවෙ බන්ධනාගාර කොමසාරිස් තදින් කියලා, බලෙන් තුවක්කු හතරක් අරන් ගිහින් තියෙනවා. පසුව කිසියම් අවස්ථාවක මිය ගිය අය ළ`ගට ඒවා දාලා තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා, මේ ඝාතන වලට ඇත්ත යට ගහන්න, මේ සිද්ධිය පිළිබ`ද වැරදි චිත‍්‍රයක් මවන්න සැලසුම් සහගතව උත්සාහ අරන් තියෙන බව.
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාත් සැකකරුවන්ට හෝ වැරදිකරුවන්ට වෙඩි තියන තැන් වල ඉඳලා තිබුණු එකත් තහවුරුයි ද…?
ඔව්. එක පුද්ගලයෙක් නම කියලා අරගෙන ගිහින් තිබුණෙ කොමසාරිස් ජනරාල්වරයා.
කමිටුව ඉදිරියේදි කොමසාරිස් ජනරාල්වරයා මොකද කිව්වෙ…?
ඔහු මේ කරුණු පිළිගත්තෙ නෑ. අපි දන්න දේ තමයි ඒ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙ අවශ්‍යතා වලට තමයි මේ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් වැඩ කළේ කියන එක. ඒ කරුණ අවස්ථා ගාණකදි තහවුරු වෙලා තියෙනවනෙ. නමුත් අපි පැහැදිලි කළේ රජයේ නිලධාරියෙක් විදිහට තමන්ගේ ගෞරවය රැුකගන්න තිබුණා. වගකීම ඉටු කරන්න තිබුණා. ඒ වගේම රජයේ ආරක්ෂාව යටතේ ඉන්න පුද්ගලයන් රැුකගැනීම රජයේ වගකීමක්.
ඉහළින් කිව්වහම මං මොකද කරන්නෙ කියලා කොමසාරිස් කියන්න පුළුවන්…?
එහෙම කියන්න බෑ. නීතියේ හැටියට මේක කරන්න බෑ කියලා එයාට කියන්න පුළුවන් වෙන්න ඕනෙ. ඔහු බය වෙලා හරියන්නෙ නෑ. ඔහු කමිටුව ඉදිරියෙත් සාක්ෂි දෙමින් ඒ සිද්ධිය සාධාරණීකරණය කරන්න උත්සාහ අරන් තිබුණෙ. ගෝඨාභය රාජපක්ෂත් එක තැනක කියලා තිබුණා, ඉන්වෙස්ටිගේෂන් කරන්න දෙයක් නෑ, මේක සාමාන්‍ය දෙයක් කියලා. ඒක තමයි ඒ අයගෙ හැටි.
බන්ධනාගාරෙන් පැනලා යන්න හදන කොට වෙඩි තියපු සිද්ධිය ගැන…?
අපි මේ ඝාතනයට ලක් වුණු පිරිසෙන් එකොළොස් දෙනකුට වන්දි ගෙවන්න නිර්දේශ කළේ නෑ. ඒ අය තමයි පැනලා යන්න උත්සාහ කරපු කණ්ඩායම. ඒක ජේල් බ්‍රේක් කියන වරදට අහුවෙනවා. ඒ නිසා වෙඩි තියන්න හැකියාව නීතියෙන් තියෙනවා. අනෙක් 17 දෙනාට අපි වන්දි ගෙවන්න නිර්දේශ කළා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මේකට මැදිහත් වුණු ආකාරය ගැන කමිටුවේ නිරීක්ෂණ මොනවාද…?
ඒක තවත් බරපතල කාරණයක්. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේකට කිසිම සම්බන්ධයක් නෑ. මැදිහත් වෙන්න අවශ්‍යත් නෑ. ඒ අයටත් කියන්න බැරි වුණා, ඇයි මේකට මැදිහත් වුණේ කියලා. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීවට විරුද්ධව තමයි ඔය ඝාතනය කෙරුණු ඇතැම් අය මානව හිමිකම් නඩු දාලා තිබුණෙ. රංගජීවයි, තවත් පුද්ගලයෙකුයි ඇවිත් තමයි මේ මරපු අය තෝරගෙන තිබුණෙ. මේ අය රංගජීව ව දන්නවා. හ`දුනනවා.
පොලිස් පරීක්ෂක රංගජීවගෙන් ප‍්‍රශ්න කරද්දි මොනවද කිව්වෙ…?
ඔය කියන දවසෙ වෙනත් රාජකාරියකට එක්තරා ප‍්‍රදේශයකට ගියා කියලා ඔහු කිව්වා. කොළඹ හිටියෙ නෑ කිව්වා. නමුත් එයාගෙ සටහන් පරීක්ෂා කරලා බලනකොට තහවුරු වුණේ එයා කියපු ප‍්‍රදේශයට යනවා කියලා නෙමෙයි, සටහන් දාලා තියෙන්නෙ කියන එකයි. සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියෙක් මේ සටහන හරියටම දාන්න ඕනෙ. රාජකාරිය නෙ. රංගජීවට මේකට මැදිහත් වෙන්න කිසිම අවශ්‍යතාවක් නෑ.
ඒත් බන්ධනාගාරයේ මත්කුඩු අල්ලන්න ආවා කියන්න පුළුවන්…?
සමහරු එහෙම පෙන්නන්න උත්සාහ කළා. ඒත් රංගජීව කියන්නෙ නෑ, එතැන්ට ආවා කියලා. ඒකෙන්ම කාරණය පැහැදිලියි නෙ. රංගජීව ආපු බවට සාක්ෂි තියෙනවා. මත්කුඩු වලට සම්බන්ධ අය ඔහු ව හ`දුනනවා. මත්කුඩු ව්‍යාපාරිකයන්ට විරුද්ධ අයත් බොරු චෝදනා දාලා රංගජීව අත්අඩංගුවට ගත්තා කියලා ඔවුන්ගෙ මව්පියන් කිව්වා.
ගෝඨාභය රාජපක්ෂ මොකද කිව්වෙ…?
ඒ කාලෙ එස්ටීඑෆ් එක තිබුණෙ මගෙ යටතේ නෙමෙයි, පොලිස්පති යටතේ කියලා ගෝඨාභය රාජපක්ෂ කිව්වා. පොලිස්පතිගෙන් ප‍්‍රශ්න කරන කොට ඔහු කිව්වෙ නෑ, එස්ටීඑෆ් එක තිබුණෙ ආරක්ෂක ලේකම්වරයා යටතේ කියලා. අපි දැක්ක දේ තමයි, මේ සාකච්ඡුා කිරීම් සියල්ල සිදු වෙිලා තිබුණෙ ගෝඨාභය රාජපක්ෂගෙ මූලිකත්වයෙන්. එක අමාත්‍යංශ ලේකම්වරයෙක් කිව්වෙ එයා ජනාධිපතිගෙ මල්ලි නිසා කියන දේ කරන්න සිදු වුණා කියලා.
මේ සිද්ධියට අදාළ සාකච්ඡාවක්?
එස්ටීඑෆ් එකට අදාළ සාකච්ඡුා. මේ සිද්ධියට අදාළවත් බන්ධනාගාරෙ මෙහෙයුමක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සාකච්ඡුාවක් පවත්වලා තියෙන බවට සාක්ෂි ඉදිරිපත් වුණා. මේ සිද්ධියෙන් ගෝඨාභයට ගැලවෙන්න බෑ. සෑහෙන සාක්ෂි ප‍්‍රමාණයක් ඔහු සම්බන්ධ කරමින් ඉදිරිපත් වෙලා තියෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිවරයාත් මෙතැනදි තුවාල වුණා. ඔහුට වන්දි දෙන්න නිර්දේශ කළේ නැත්තෙ ඇයි…?
රාජකාරිය අතරෙදි මේ තුවාල වීම වුණාට මේ ඇතුළු වීම ම වැරදියි. නීතිවිරෝධීයි. ඒ නිසා අපි ඔහුට වන්දි දෙන්න නිර්දේශ කළේ නෑ.
ඔහුගෙන් ප‍්‍රශ්න කරද්දි නියෝගය ආපු තැනක් ගැන හෙළිදරව් වුණේ නැද්ද…?
මෙහෙමයි, ඔය කට්ටියම නියෝගය ඉහළින් ආපු බව වසන් කරන්න විවිධ උත්සාහයන් ගත්තා. ඒක පැහැදිලියි. අපි ඒක වාර්තාවෙත් සඳහන් කළා.
අවසාන කාරණය, හිරකරුවන් කිහිපදෙනෙක් සහ ආයුධ කිහිපයක් අදටත් අතුරුදන් බව…?
ඔව්. අපිත් ඒක දැක්කා. කිහිප දෙනෙක් නෙමෙයි, එක්කෙනෙක් හෝ දෙන්නෙක් අදටත් අතුරුදන්. ඔවුන් ගැන කිසිම ස`දහනක් නෑ. පැනලා ගිය බවටත් තොරතුරු නෑ. ඒ වගේම එක ආයුධයකුත් නෑ. ඒක බරපතල තත්ත්වයක්.
මේ වාර්තාව භාරදුන්නට පස්සෙ මේ ආණ්ඩුවෙන් හෝ වගකිවයුතු තැන් වලින් ඒකට අදාළ ව ඔබෙන් යම් විමසීමක් කළා ද?
නෑ. කිසිවක් විමසුවෙ නෑ. හැබැයි දැන් විශ්වාසයක් තියෙනවා, මේක ඉස්සරහට යයි කියලා.
—————————————————————————————————
මේ සිදුවීම සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන්, මීට වසර හතරකට පෙර කළ විමසීමේදී ඔහු පැවසූ කරුණු පහත පළ වේ. මෙය 2017 අගෝස්තු 20 සත්හඬ පුවත්පතේ පළවූවකි.
වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ සමූහ ඝාතන සිද්ධිය ගැන ඊට කලින් ඔබ දැනගෙන ඉඳලා තියෙනවා…?
නෑ.
ඔබ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් සමග මේ දවසේ කළ මෙහෙයුම ගැන සාකච්ඡුාවක් කරලා තිබුණා…?
නෑ. මං එහෙම සාකච්ඡා කළේ නෑ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාවේ ඒ ගැන සඳහන් වෙනවා…?
ඔය වාර්තාවෙ තියෙන්නෙ බොරු නෙ.
ඔබත් සාක්ෂි දෙන්න ගියානෙ…?
ඔව්.
මොනවද කිව්වෙ…?
කියන්න මං ඔය ගැන දැනගෙන හිටියෙ නෑනෙ.
එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට ඔබ දන්නෙ නෑ…?
නෑ. මම ඒ ගැන දැනගෙන හිටියෙ නෑ.
අඩු තරමෙ ඊට පස්සෙවත් එහෙනම් දැනගන්න ඇති නෙ, විධිමත් පරීක්ෂණයක් කරන්න තිබුණනෙ…?
මං මොනවටද ඒවා කරන්නෙ. ඒවා කරන්න වෙනම ආයතන තියෙනවනෙ.
අඩු තරමෙ ඔබට මේ සිද්ධිය ගැන චෝදනා එල්ල වෙනවා කියලවත් දන්නවද…?
(දුරකතනය විසන්ධි කෙරිණි. ඉන්පසු ඇමතුම් ගත්තද ගෝඨාභය රාජපක්ෂ දුරකතනයට පිළිතුරු දුන්නේ නැත.)
—————————————————————————————————

වැලිකඩ සිරකරුවන්ට වෙඩි තියපු සිද්ධිය ගැන ඔබට දැන් මොනවද හිතෙන්නෙ…?

“මට කිසිම දෙයක් හිතෙන්නෙ නෑ. මේවා සාමාන්‍ය කි‍්‍රයාන්විත. ඒවට ඇත්තටම මම මැදිහත් වෙන්නෙවත් නෑ. මම පොලිස් නිලධාරියෙක් වත්, හමුදා නිලධාරියෙක් වත් නෙමෙයි.”

– එවකට ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, 2015 මාර්තු

වැලිකඩ බන්ධනාගාර සිදුවීම පිළිබඳව 2015 මාර්තු මාසයේදී ගෝඨාභය රාජපක්ෂ ‘මව්බිම’ පුවත්පත සමග පළ කළ අදහස් පහත පළ වේ. මෙය 2015 මාර්තු 22 ඉරිදා මව්බිම පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගැනිණි.
වැලිකඩ සිරකරුවන්ට වෙඩි තියපු සිද්ධිය ගැන ඔබට දැන් මොනවද හිතෙන්නෙ…?
මට කිසිම දෙයක් හිතෙන්නෙ නෑ. මේවා සාමාන්‍ය කි‍්‍රයාන්විත. ඒවට ඇත්තටම මම මැදිහත් වෙන්නෙවත් නෑ. මම පොලිස් නිලධාරියෙක් වත්, හමුදා නිලධාරියෙක් වත් නෙමෙයි.
ඒත් ඔබ බලය අතික‍්‍රමණය කරපු අමාත්‍යංශ ලේකම්වරයෙක්…?
නෑ. ඕක දේශපාලන වාසියට කරන චෝදනාවක් විතරයි. මම ඔය වගේ සිද්ධියකදි කළේ මොකද වුණේ කියලා අහන එක විතරයි. ක‍්‍රියාදාමය කරපු අයයි වගකිවයුතු පුද්ගලයො.
එහෙනම් බන්ධනාගාරෙ ඇතුළට ගිහින් තෝරාගත් සිරකරුවන්ගෙ ඔළුවට වෙඩි තිබ්බා කියලත් ඔබ දන්නෙ නැතුව ඇති…?
එතැන තිබුණු බැරෑරුම් තත්ත්වය ගැන පිට අයට තේරෙන්නෙ නෑ. දැන් මිනිස්සු විශ්වාස කරන්නෙ අර දඩුවම් ලබපු හිරකාරයෙක්-දෙන්නෙක් කියන කතාව විතරයි.
එහෙම කියලා ඇසින් දුටු සාක්ෂි පැත්තකට දාන්න ඔබට බෑ…?
මම පරීක්ෂණ කරන්න කියන්නෙ ඒකයි. එතකොට ඇත්ත එළියට එයි නෙ.
ඔබේ කාලයේ මේ විදියට බන්ධනාගාර නීති, මානුෂීය නීති ඔක්කොම කඩලා හිරකාරයො මැරුවා. ඒ ගැන හරියට පරීක්ෂණ කළෙත් නෑ. ඔබ දැන් ඒක නිකම් කෙහෙල්කැන් කැපිල්ලක් ගාණට දාලා…?
ඕක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්.
ඔබ එතැන හිටියෙත් නැත්නම්, ඒ ගැන දන්නෙත් නැත්නම් කොහොමද වැරදි කතාවක් කියන්නෙ…?
මම හැමතිස්සෙම ගන්නෙ නිලධාරියගෙ පැත්ත. මාව එල්ලූවත් ඒක එහෙම තමයි. මම කවදාවත් හොරාගෙ පැත්ත ගන්නෙ නෑ.
වැලිකඩදි, කටුනායක රොෂේන් චානක ඝාතනයෙදි, රතුපස්වලදි, හලාවත ධීවර ඝාතනයෙදි මේ හැමතැනදිම නිලධාරීන් වැරදි වුණත් ඔබ ඒ පැත්ත ගන්නවා…?
පරීක්ෂණයක් කරලා නිලධාරීන් වැරදියි කියලා ඔප්පු වෙනකම් මම ඒ පැත්ත ගන්නවා.
ආරක්ෂක අමාත්‍යංශයෙ හිටපු ලේකම්වරයා විදිහට ඔබට මේවගෙන් ගැලවෙන්න නම් බෑ, ඔබත් මේවගෙ කොටස්කාරයෙක්…?
නෑ. නිලධාරියෙක් යම්කිසි තැනකට ගිහින් වරදක් කළා නම් ඒකෙ වගකීම මම ගන්න ඕනෙ ද. නියෝගයක් විදිහට මිනිස්සු මරන්න කියලා නෑ. පාලනය කරන්න කියලයි කිව්වෙ.

Medialk.com වෙතිනි.

 

Archive

Latest news

Related news