පසුගිය ඉරිදා සවස මිතුරෙකු මට කතා කර කියුවේ “………උඹේ ජේ.වි.පි ලිපිය කියෙව්වම, මට ලැජ්ජා හිතුනා බං…..ගිය සැරේ ඉලෙක්ෂන් එකේ මාත් අනුරට-නෙ සපෝට් කෙරුවේ…..අපිත් කිව්වේ අඩුම තරමේ පිරිසිදු අවංක පක්ෂයකට ඡන්දෙ දෙන්න කියලනේ……” යනුවෙනි.
“ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ නායකයා (අපේක්ෂකයාද) ලෙස පත්කර ගත්තේ කවදා කවුරුන් විසින්දැයි එදින වේදිකාවේ වාඩි කරවා සිටි කී දෙනකු දන්නේ දැයි නොදනිමි. ජ.වි.පෙ “මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය” එවැනිය.”
ඔහු එසේ කියුවේ ජ.වි.පෙ දේශපාලන ඉතිහාසය පිළිබඳව නත්තල් දින මා දෙවන වරට ලියූ ශ්‍රී ලාංකීය මහජාතියේ “සාමුහිකත්වය = අධිපතිවාදී පොර බැදීම” නම් ලිපිය සම්බන්ධයෙනි. ඒ ලිපි දෙක පසුගිය දෙසැම්බර 20 වන සඳුදා තලවතුගොඩ මොනාක් රෝයල් හෝටලයේ ජ.වි.පෙ විසින් සංවිධානය කළ “ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුව” යැයි හඳුන්වන විශේෂ ආරාධිත සභාව අමතමින් අනුර කුමාර කළ දෙසුමට මා ෆේස් බුක්හි පළ කළ ප්‍රතිචාර විය.
ඒ ලිපි වලට තවත් ප්‍රතිචාර තිබිණ. මින් බලාපොරොත්තු වන්නේ ඒ අතුරින් “ජාතික සමගිය හා ජාතික සංවර්ධනය” යැයි තෝරා බේරා ගත හැකි කාරණා සම්බන්ධයෙන් සංවාදයෙහි යෙදීමටය.
“අඩුම වරද” සෙවීමේ දේශපාලන කුහකත්වය
පළමුව, මට දැක්වූ නුරුස්නාවන් හා විරෝධතා සඳහා ඉතා කෙටි සඳහනක් දෙකක් තබා යා යුතු යැයි සිතුවෙමි. ඇතැමුන් සිතා සිටින්නේ ජ.වි.පෙ හා අනුර කුමාර සම්බන්ධයෙන් විවේචන, විචාර නොකළ යුතු යැයි කියාය. ඒ “මේ මොහොතේ” වෙනත් තේරීමක් (ඔවුන්ට) නොමැති නිසා යැයි ඔවුහු කියති.
“ඝාතනය කිරීම් බරපතල දේශපාලන වරදක් යැයි ජ.වි.පෙ වගකීම බාර නොගැනීම මගේ දේශපාලනයට අනුව, ඝාතනය කරනු ලැබූවන්ටත් ඔවුන්ගේ දූ දරුවන්ටත් දෙමාපියන්ටත් සහෝදර සහෝදරයින්ටත් කරන මහා අවනඩුවක්, අපහාසයක් හා කුහක කමකි.”
ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ නායකයා (අපේක්ෂකයාද) ලෙස පත්කර ගත්තේ කවදා කවුරුන් විසින්දැයි එදින වේදිකාවේ වාඩි කරවා සිටි කී දෙනකු දන්නේ දැයි නොදනිමි. ජ.වි.පෙ “මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය” එවැනිය. ඒ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය නොදන්නා අය මට පිළිතුරු දීමට ඉදිරිපත් වන්නේ දැන් කළ යුත්තේ “අතීතය ඇවිස්සීම නොව” අනුර කුමාර සමග ඉදිරියට යාම යැයි කියාය. “අඩුම වැරදි” කළ “අදූෂිත” ජ.වි.පෙය තෝරා ගැනීම හැර වෙනත් විසඳුමක් නැතැයි ඔවුහු කියති.
පසුගිය දසක කිහිපයේ ආණ්ඩු බලයේ සිටි දූෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී, අවස්ථාවාදී දේශපාලන නායකයින් සමග සෘජුව හවුල් වූ ජ.වි.පෙ ඒ හැම ආණ්ඩුවකම දූෂණ සඳහා වගකිව යුතු යැයි මම කියමි. එවගේම අහිංසකයින් සිය ගණන් අමු අමුවේ ඝාතනය කළ දකුණේ එකම සිංහල පක්ෂය ජ.වි.පෙ ය. නැවත නැවතත් එය කීමට සිදුවන්නේ එම ඝාතනය කිරීම් බරපතල දේශපාලන වරදක් යැයි ජ.වි.පෙ වගකීම බාර නොගැනීම මගේ දේශපාලනයට අනුව, ඝාතනය කරනු ලැබූවන්ටත් ඔවුන්ගේ දූ දරුවන්ටත් දෙමාපියන්ටත් සහෝදර සහෝදරයින්ටත් කරන මහා අවණඩුවක්, අපහාසයක් හා කුහක කමක් වන හෙයිනි. ඒ සම්බන්ධයෙන් මගේ පෙර ලිපියේ සැළකිය යුතු විස්තරයක් ඇත.
කණගාටු නොවන “අදූෂිත අපේ මහත්තුරුන්ට” ප්‍රශ්න කිහිපයක්
“දූෂණයෙන් තොර එකම නායකත්වය” ගැන මෙයද සටහන්කර ඒ කතා නවතමි. මේ රටේ යෝධ දූෂණ සම්බන්ධ වගකීමක් ජ.වි.පෙට ඇතැයි පිළිගැනුමට ආත්ම ශක්තියක් නොමැති ජ.වි.පෙ හිතවාදීන්ට, මම මෙවැන්නක් කියමි.
මෙය පැහැදිලිව තේරුම් ගත යුතුය. විද්‍යුත් සංඛ්‍යාත සමාජ සන්තකයක් හෙයින් ඒවා අලෙවි කිරීමේ අයිතියක් ආණ්ඩුවට හෝ ඒවා කෙටි කාලීනව කුලියට ලබා ගන්නා බලපත්‍ර ලාභීන්ට ඇත්තේ නැත. එහෙත් අපේ රටේ විද්‍යුත් සංඛ්‍යාත කලමනාකරණය කිරීමේ බලාධිකාරය වන විදුලි සංදේශ නියාමන කොමිසම එවැන්නක් සොයා බැලීමේ හෝ එවැනි දූෂණ වලට එරෙහිව නීති කටයුතු කිරීමක් නොකරන හෙයින්, දේශපාලන බලය මත ලබා ගන්නා විද්‍යුත් සංඛ්‍යාත අත යට අලෙවි කිරීම් කෙරෙන්නේය.
කිසිදු රටක, ප්‍රජාතන්ත්‍රවාදයකින් තොර ජාතික සංවර්ධනයක් සහ ජාතික සංවර්ධනයකින් තොර ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතිය නොහැක. එවගේම, බහු වාර්ගික, බහු ආගමික රටක, මහජාතියේ තීන්දු තීරණ මත ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගත හැක්කේද නොවේ.
එය සිත්හි තබා ගෙන,
(01) ජනාධිපති සිරිසේනගේ කාලයේ ඇ.ඩොලර මිලියන 25 ක විද්‍යුත් සංඛ්‍යාත මහරාජා සමාගමට (සිරස) 2017 ජූලියේ අත යට අලෙවි කිරීම පිළිබඳ චෝදනා ඇති හෙයින් අදාල සියලු විස්තර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මෙන් විෂය භාර රාජ්‍ය ඇමතිගෙන් ජනවාරි මස පාර්ලිමේන්තුව යළි රැස්වූ පසු සතියක් ඇතුළත ඉල්ලා සිටින මෙන්ද
(02) ජ.වි.පෙ වෙනුවෙන් “වී එෆ්.එම් ගුවන් විදුලි” විකාශනය සඳහා ලබා ගත් විද්‍යුත් සංඛ්‍යාත බල පත්‍රය අලෙවි කෙරුවේ කොපමණ මුදලකටද? කාටද? යැයි සතියක් ඇතුළත ප්‍රකාශ කරන මෙන් සහ
(03) ඉතා බරපතල දූෂිත ව්‍යාපෘතියක් වාගේම පරිසර විනාශයක් යැයි නව යහපාලන ආණ්ඩුව බලයට පැමිණි වහා එය නතර කරනවා යැයි 2015 ජනවාරි මැතිවරණයේදී ජනතාවට පොරොන්දු වූ “කොළඹ වරාය නගරය”, ජ.වි.පෙ/ජා.ජ.බයේ ආණ්ඩුවක් බලයට පැමිණි වහා නතර කරන බවට දෙසතියක් ඇතුළත ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන මෙන් කරුණාකර අනුර කුමාරගෙන් ඉල්ලීමක් කරනු මැනව.
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික දේශපාලනයට පිටතින් වෙනම ඊළාම් රාජ්‍යයක් සඳහාවන ආයුධ සන්නද්ධ ප්‍රචණ්ඩත්වයක් බිහි වූයේ ඉතිහාසයේ ඒ සිංහල-බෞද්ධ බලහත්කාර දේශපාලනය හේතුවෙන්ය. උතුරු-නැගෙනහිර සිවිල් යුද්ධයකට හේතු වූයේ, දෙමළ ජනතාව සිංහල-බෞද්ධ ආධිපත්‍යයට යටත් කිරීමට යෑමෙන් බව අප තේරුම් ගත යුතුය
ප්‍රජාතන්ත්‍රවාදය සමගිය හා ජාතික සංවර්ධනය
ඊළඟට ඔවුන්ගේ සංවර්ධන වැඩපිළිවෙල හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාවට ගොඩ වන්නට පෙර, මෙය අවධාරණයෙන් යුතුව කියමි. කිසිදු රටක, ප්‍රජාතන්ත්‍රවාදයකින් තොර ජාතික සංවර්ධනයක් සහ ජාතික සංවර්ධනයකින් තොර ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතිය නොහැක. එවගේම, බහු වාර්ගික, බහු ආගමික රටක, මහජාතියේ තීන්දු තීරණ මත ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගත හැක්කේද නොවේ. එවැනි උත්සාහ හැමවිට සමාජ අස්ථාවරත්වයට හා ප්‍රචණ්ඩ ගැටුම් වලට හේතු වන්නේය. අසල්වැසි ඉන්දියාව සමග අප රට, ඊට හොඳම නිදසුන්ය.
මහජාතියේ “අධිපති ප්‍රජාතන්ත්‍රවාදය” ගැන අපේ රටේ සන්දර්භය තුල තීරණාත්මක ප්‍රධාන සංසිද්ධීන් ගැන පමණක් කතා කළහොත් 1948 නිදහසත් සමග වැවිලිකරයේ දෙමළ ජනතාවගේ පුරවැසි හා ඡන්ද අයිතිය අහෝසි කිරීමෙන් ආරම්භකර, 1956 සිංහල භාෂාව “පමණක්” රාජ්‍ය භාෂාව ලෙස නීති ගතකර, පසුව 1957 බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම මගින් දෙමළ ජනතාව එකඟ වූ සරළ ප්‍රාදේශීය පරිපාලනය පවා අත හැර, 1958 දෙමළ ජනතාවට එරෙහි ප්‍රහාර වලින් පසුව දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේදී 1981 ජූනි 01 වන දින යාපනය නගරය විනාශ කරමින් දකුණු ආසියාවේ විශිෂ්ඨතම පුස්තකාලයද ගිණි තබා, අනතුරුව 1983 ජූලියේදී එ.ජා.ප ආණ්ඩුවේ ජනාධිපති ජයවර්ධනද දැනුවත්ව සංවිධානාත්මකව දියත් කළ දෙමළ ජන සංහාරය සමග සිදුවූයේ කුමක්දැයි ආපසු හැරී බලන මෙන් මම ජ.වි.පෙන් ඉල්ලමි.
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික දේශපාලනයට පිටතින් වෙනම ඊළාම් රාජ්‍යයක් සඳහාවන ආයුධ සන්නද්ධ ප්‍රචණ්ඩත්වයක් බිහි වූයේ ඉතිහාසයේ ඒ සිංහල-බෞද්ධ බලහත්කාර දේශපාලනය හේතුවෙන්ය. උතුරු-නැගෙනහිර සිවිල් යුද්ධයකට හේතු වූයේ, දෙමළ ජනතාව සිංහල-බෞද්ධ ආධිපත්‍යයට යටත් කිරීමට යෑමෙන් බව අප තේරුම් ගත යුතුය.
එබැවින් ජ.වි.පෙ පූර්ණ සහාය ලබා දුන් යුද්ධයෙන් රටටම බලපාන්නාවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී, මර්දනකාරී රාජ්‍ය තව දුරටත් ශක්තිමත් කරමින් කළ හැකි වූයේ එල්.ටී.ටී.ඊය තලා දැමීම පමණි. එහෙත් එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරිත්වය සාධාරණය කෙරුණු දේශපාලන ඉල්ලීම් සඳහා යුද්ධයෙන් විසඳුම් නොලැබුණි. හමුදා ක්‍රියාන්විත මගින් දේශපාලන විසඳුම් ලබා දිය නොහැකි බැව් මීට දසක 03 ට පෙර ඉතා නිරවුල්ව හා නිවැරදිව කීවේ ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ය.
ඒ සමග අපට අද ඉතිරිව ඇත්තේ සාමාන්‍ය ජන සමාජයට අනවශ්‍ය බරක් වන ආරක්ෂක හමුදාවක් නඩත්තු කෙරෙන (2022 සඳහා ආරක්ෂක අයවැය රු.බි. 373 කි. ගිය වසරට වඩා සියයට 14 ක වැඩි වීමකි), දෛනික ගැටළු ගොඩ ගැසුණු, යුද්ධයෙන් විනාශ වූ සමාජයකි. එවැනි උතුරු-නැගෙනහිර දෙපළාත ප්‍රජාතන්ත්‍රීය කළ හැක්කේ දකුණේ සිංහල දේශපාලන නායකයින් තීන්දු කරන්නාවූ ප්‍රජාතන්ත්‍රවාදයක් අනුව නොව, උතුරු-නැගෙනහිර ජනතාව ඉල්ලා සිටින දේශපාලන විසඳුම් සමගින් ඇතිකර ගන්නා සම්මුතියක් සමගින්ය. ඔවුන් ඉල්ලා සිටින්නේ වෙනම ඊළාමයක් නොවේ. ඔවුන් ඉල්ලා සිටින්නේ, දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝතියම් සම්පන්තන්ගේ වචන වලින්, “නොබෙදුණු, නොබෙදෙන, තනි රටක සමානාත්මතාවක් සමගින්වන අයිතිවාසිකම් හා අවස්ථා ඇති ගෞරවාන්විත පුරවැසියන් ලෙස ජීවත්වීමේ අයිතිය ව්‍යවස්ථානුකූලව සහතික කෙරෙන දේශපාලන බලයක්” උතුරු-නැගෙනහිර පළාත් සඳහා තිබිය යුතු යැයි කියා ය.
එවැනි දේශපාලන විසඳුමක අවශ්‍යතාව මහින්ද රාජපක්ෂ ජනාධිපති වශයෙන් 2010 දී පත් කළ “උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන ජනාධිපති කොමිසම” විසින් 2011 දෙසැම්බර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේද නිර්දේශයක් ලෙස සඳහන්ව ඇත.
ජ.වි.පෙ දන්න “එක රටක” ශ්‍රී ලාංකේය ජාතිය
රටේ සියලු ප්‍රශ්න විසඳීම වෙනුවෙන් ජ.වි.පෙ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි කොතැනකවත් දෙමළ ජාතික දේශපාලනය ඉදිරිපත් කරන දේශපාලන විසඳුම ගැන සඳහනක් නැත. දෙමළ ජාතික දේශපාලනය විසින් මැතිවරණ වලදී හා පාර්ලිමේන්තුවේදීත් ප්‍රසිද්ධ සභාවන්හිදීත් දිගින් දිගටම ඉදිරිපක් කරන “බලය බෙදීම” ගැන ජ.වි.පෙ නිකමට හෝ සඳහන් නොකර එය නිහඬවම මග හැර ඇත. ජ.වි.පෙ සහ ඔවුන්ගේ ආරක්ෂාවට ඉදිරිපත් වන සියල්ලන් සිහි තබාගත යුත්තේ මේ රටේ, දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුම් ඇත්තේ ඔවුන්ගේ යෝජනා ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාවලියක් තුල සංවාදයට ගෙන එලැඹෙන ගෞරවනීය සම්මුතියක පමණක් බවය. ඒ ගැන කිසිදු සඳහනක් නොකිරීමෙන් කියන්නේ ජ.වි.පෙ ඔවුන්ගේ සිංහල-බෞද්ධ දේශපාලනය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විසඳුමකට එකඟ නොවන බවය.
එවගේම අන්‍ය වාර්ගිකයින් හා ආගමිකයින් පිටමං කෙරුණු “සිංහල-බෞද්ධ රාජ්‍ය” යළි සියල්ලන්ට පිළිගත හැකි ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ දේශපාලන ක්‍රියාවලියක් ගැනද “නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” යටතේ හෝ සඳහන් නොවේ. එහි ඇත්තේද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි මූලික අර්ථ දැක්වීමක් වන “ශ්‍රී ලාංකීය” ජාතියක් ගොඩ නැගීමේ වංචනික කතාවය.
සිංහල-බෞද්ධ මතවාදය, පවතින රාජ්‍යයේ සක්‍රීය මතවාදය වන්නේය. එය හිතුවක්කාර ලෙස ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි මෑත කාලයේ අම්පාර හා දිගන මුස්ලිම් ප්‍රහාර වලින් පසුව සහ පාස්කු ප්‍රහාර වලින් පසුව මුස්ලිම් ජනතාවට සැළකූ හැටියෙන් දැකිය හැකි විය. කුරුණෑගල වෛද්‍ය ශාෆි ශිහාබ්ඩීන් සිද්ධියෙන් නිර්ලජ්ජී ලෙස එය නිරුවත් කෙරිණ.
නීතිඥ හෙජාස් හිස්බුල්ලා වසරකට වැඩි කලක් රඳවා තබා ගැනීමෙන් එය අනවශ්‍ය ලෙස නිරුවත් විය. පසුගිය “ගුරු සටන” කාලයේ ශ්‍රේෂ්ඨ යැයි කියු ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මුස්ලිම් ගුරුවරුන්ට හා දරුවන්ට සැළකූ වෛරී ස්වභාවයෙන් එය ප්‍රදර්ශනය කෙරුණි. බොහෝ රජයේ ආයතනවලද සාමාන්‍ය මුස්ලිම් ජනයාට සැළකූ අමනුස්සකම රාජ්‍යයේ සිංහල-බෞද්ධ අධිපතිවාදය මන්නාධික ලෙස නිරුවත් කෙරුණකි. කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් මිය යන මුස්ලිම් රෝගීන් භූමදානය තහනම් කිරීම, රාජ්‍ය සේවාවන් ඉතා මෘග ලෙස තමන් අතට ගත්තකි.
එවැනි රාජ්‍ය යාන්ත්‍රණයක් සමගින් ජාතික සමගියක්, ප්‍රතිසන්ධානයක් හා සහජීවනයක් පොරොන්දුවීම ප්‍රෝඩාවකි. මේ රටේ අනාගත දියුණුව වෙනුවෙන් සියල්ලට පෙර සමාජ විවිධත්වය වෙනුවෙන් සැමට පොදු ස්වාධීන රාජ්‍යයක් ස්ථාපිත කළ යුතුය. එය අඩුපාඩු හරි ගැස්සීමට කතා කරන “ස්වාධීන කොමිසම්” මගින් කළ හැක්කක් නොවේ. දසක දෙකකට ඉහතින් කතා කළ ස්වාධීන කොමිසම් අද විසඳුම් ලෙස ඉදිරිපත් කිරීම, රෝද පුටුවක් අවශ්‍ය පුද්ගලයෙකුට හැරමිටියක් දෙනවා වැනිය.
ජ.වි.පෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි 08 වන තේමාව වන්නේ “විවිධත්වයෙන් හා සමානාත්මතාවයෙන් බැඳුණු ශ්‍රී ලාංකීය ජාතිය” යන්න ය. මේ විසඳුම් යෝජනාවලියේ ඔවුන් කතා කරන්නේ “…. සහජීවනය හා සංහිඳියාව මැනවින් පවතින ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනැගීම සඳහා” ය. ඒ යටතේ සඳහන් වන අරමුණු සතරෙන් දෙවැන්න වන්නේ “බෙදී වෙන්වීමේ මනෝභාවයෙන් තොරව ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම” ය. තුන්වැන්න ආරම්භ කරන්නේ “ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස කටයුතු කරන අතරම….” යැයි කියා ය. එය වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය” යැයි කියා අනතුරුව සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර, “බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම යැයි” කියන්නාක් වැනිය (දෙවන පරිච්ඡේදය – අනු ව්‍යවස්ථා 09).
සියලු සංස්කෘතික අනන්‍යතා ගොනුකර “ශ්‍රී ලාංකීය” ජාතියක් හැදීම යනු වෙනකක් නොව, සිංහල-බෞද්ධ අනන්‍යතාවයට අලුත් නමක් දීම පමණකැයි මම පෙර ලිපියෙන් විස්තර කළෙමි. එය දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ස්වාධීන අනන්‍යතාව පිළිගැනීම මග හැර යාමට නාගරික මැදපංතික සිංහල-බෞද්ධයින් යොදා ගන්නා ප්‍රෝඩාකාරී සූත්‍රයක් පමණි. එනිසා ඔවුන්ගේ “දේශයේ අපේක්ෂාව” සිංහල-බෞද්ධ අපේක්ෂාවක් යැයි මම කියමි.
වාර්ගික හා ආගමික සහජීවනයට පටහැනි හෙයින් පාසල් අධ්‍යාපනයෙන් ඉවත් කළ යුතු “ආගම” තව දුරටත් තබා ගැනීම සඳහා ඔවුන්ගේ ප්‍රතිපත්තිය වන්නේ, “ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම් පිළිබදව තුලනාත්මක අධ්‍යාපනයක් ලැබෙන ආකාරයට ආගම විෂයක්” ලෙස ඉගැන්වීම ය. එවැනි විට වැඩි බර තැබෙන්නේ කොතැනටදැයි අමුතුවෙන් කිව යුතු නැත.
දෙමළ ජනතාවගේ ඉල්ලීම මග හැරීමේ ඔවුන්ගේ යෝජනා වන්නේ 1950 ගණන්වල ‘60 ගණන්වල කොළඹ මහ ආණ්ඩුවෙන් කරන්නට පොරොන්දුවූ කාරණා ඇතුළත් දිගු විෂය ලේඛනයක් “නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය, යුද්ධයෙන් පීඩා විඳි ජනයාට සාධාරණය, ඉඩම් හා වාසස්ථාන, ජනපදකරණය, භාෂාව, වතුකර ජනතාව, ජාතික සමගිය හා සංහිඳියාව” වැනි සිරස්තල යටතේ ඉදිරිපත් කිරීමය. (පිටු 109 – 112)
ජවිපෙන් “අන්තර් ආගමික” සභාවක්
එහි “ජාතික සමගිය හා සංහිඳියාව” යටතේ යෝජනා කෙරෙන්නේ ඊට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ විසඳුම්ය. ආගමික නායකයින්ගෙන් හා ආගමික උගතුන්ගෙන් “අන්තර් ආගමික” සභාවක් පිහිටුවා “සියලුම ආගම්වලට අයත් පොදු වටිනාකම් ප්‍රවර්ධනය කිරීම” හා ආගමික ගැටළු නිරාකරණය කිරීම එකකි. “උතුරු නැගෙනහිර ඇතුළු අනෙකුත් ප්‍රදේශවල ජනතා සහභාගිත්වයෙන් යුත් රජයේ ගොවිපළවල් ඇතිකර ක්‍රියාත්මක කිරීම” තවකකි. ජාතික සමගිය හා සංහිඳියාව සමග කිසිදු ආකාරයකින් ගැට ගැසිය නොහැකි, “ග්‍රාම සේවා කොට්ඨාස මාර්ගයෙන් සෑම දිස්ත්‍රික්කයකම ගොවියන්, ධීවරයන්, කම්කරුවන්, ගුරුවරුන්, රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්, කාන්තාවන්, විද්වතුන් හා වෙනත් ප්‍රජාවන් පිළිගත්
අනන්‍යතාවයකින් යුතුව (කවුරුන් පිළිගන්නා අනන්‍යකාවක්ද?) සංවිධානගත කිරීම හා එවන් සංවිධානවලට අවශ්‍ය පිළිගත් අවකාශ තැනීම” කුමක් සඳහාද?
“ජාතික සමගිය හා සංහිඳියාව” සඳහා කිසිදු සම්බන්ධයක් නැති, අයාලේ යන එවැනි යෝජනා මගින් කියන්නේ ඔවුන් සිංහල-බෞද්ධ ඡන්ද වෙනුවෙන් චවන හරඹ කරනවා මිස දෙමළ ජනතාවගේ දීර්ග කාලීන දේශපාලන ගැටළුවට විසඳුම් ඉදිරිපත් කිරීමේ අවංක බලාපොරොත්තුවක් ඔවුන්ට නොමැති බවය.
දකුණේ දේශපාලනයේ අවංකයින්ට, අදූෂිතයින්ට උතුරු-නැගෙනහිර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විසඳුම් පිළිබඳව යෝජනා ලෙස තෝරා ගැනීමට තිබිය හැක්කේ මූලික යෝජනා දෙකකි. එකක්, 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එහා යන විසඳුමක් වෙනුවෙන් උතුරු-නැගෙනහිර දේශපාලන නායකයින් සමග සාකච්ඡා කිරීමේ යෝජනාවය. අනෙක, රාජපක්ෂ ජනාධිපති ස්ථාපිත කළ ආචාර්ය තිස්ස විතාරණගේ සභාපතිත්වයෙන් රැස්වූ, කිසිදු පිළිගත හැකි හේතු දැක්වීමකින් තොරව ජ.වි.පෙ අතර මගදී නැගිට ගිය “සර්ව පාක්ෂික නියෝජිත කමිටුව” විසින් සැසි වාර 128 ක් පවත්වා සකස් කළ දකුණේ සිංහලවාදී පක්ෂ පවා අනුමත කළ, “අවසන් වාර්තාව” නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ පාදක ලියැවිල්ල ලෙස යොදා ගැනීමේ යෝජනාව ය.
ඒ කිසිවක අහලකින් හෝ තැබිය නොහැකි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති සුන්දර වචන හරඹ හරහා මේ රටේ ජාතික සමගිය හා සංහිඳියාවක් වෙනුවෙන් කිසිදු අවකාශයක් නොලැබෙන බව සැකයකින් තොරව කිව යුතුය. දෙමළ ජාතික දේශපාලනයේ අභිලාෂයන් සඳහා වන විවෘත සමාජීය ප්‍රවේශයකින් තොරව, මේ රටේ සියලු ජනවර්ග ශා ආගමික ප්‍රජාවන්ට පිළිගත හැකි ස්වාධීන රාජ්‍යයක් ස්ථාපිත කළ නොහැකි හෙයින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවර්ධනයකට තිරසාර ඉඩක් නොලැබෙනුද ඇත. එබැවින් “දේශයේ අපෙක්ෂාව-ප්‍රතිපත්ති ප්‍රකාශය” ඉදිරි සංවාදයට ගත යුත්තේ දෙමළ ජනතාවගේ දේශපාලන ඉල්ලීම් පිළිබඳව ජ.වි.පෙ විවෘතව සාකච්ඡා කිරීමට සූදානම් යැයි කියන්නේ නම් පමණි.
කුසල් පෙරේරා
2021 දෙසැම්බර 30/ෆේස් බුක් පිටුවෙනි
(මෙම අදහස් වලට දැක්වෙන ප්‍රතිචාර වෙතොත් ඒවාද මෙහි පළ කැරෙනු ඇත)