Thursday, March 28, 2024

ඩෙස්මන්ඩ් ටුටූ – දකුණු අප්‍රිකාවේ කැරලිකාර පූජකවරයා

ඩෙස්මන්ඩ් ටුටූ යනු නිතර සිනාමුසු මුහුණින් පසුවූ දකුණු අප්‍රිකානු අගරදගුරුවරයා ය. ඔහුගේ මැඩලිය නොහැකි පෞරුෂය ඔහුට ලොව පුරා මිතුරන් ද රසිකයින් ද දිනා දුන්නේ ය.

ඔහු ඉහළ පෙළේ කළු ජාතික දේවගැතිවරයෙකු ලෙස සුළුතර සුදු ජාතිකයින්ගේ පාලනයට එරෙහි අරගලයට අවිකල්පයෙන්ම ඇදී ගියත්, සිය අභිප්‍රායයන් ආගමික මිස දේශපාලනික නොවනබව සෑම විටම අවධාරනය කළේ ය.

දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී යුගයේ දී දෙපාර්ශ්වයන්ම සිදුකළ අපරාධ විමර්ශනය කිරීම සඳහා පිහිටුවන ලද “සත්‍යය හා ප්‍රතිසන්ධාන කොමිසමේ” ප්‍රධානියා ලෙස, නෙල්සන් මැන්ඩෙලා විසින් ඔහු පත්කෙරුණි.

පශ්චාත් වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවේ වාර්ගික මිශ්‍රණය විස්තර කිරීම සඳහා “රේන්බෝ නේෂන්” (දේදුනු ජාතිය) යන යෙදුම නිර්මාණය කිරීමේ ගෞරවය ද හිමිවන්නේ ඔහුට ය.

ඩෙස්මන්ඩ් ම්පිලෝ ටුටූ උපන්නේ 1931 වසරේ දී, එවක ට්‍රාන්ස්වාල් දිස්ත්‍රික්කයේ රන් පතල් සහිත කුඩා නගරයක ය.

මුලින් ඔහු සිය පියාගේ අඩිපාරේ යමින් ගුරු වෘත්තියේ යෙදුනු නමුත්, පාසල්වලට වාර්ගික වෙන් කිරීම හඳුන්වා දෙමින් 1953 දී බන්ටු අධ්‍යාපන පනත සම්මතවීමෙන් අනතුරුව එම වෘත්තිය අතහැර දැමීය.

Desmond Tutu with fellow students in 1961
ටුටූ (දකුණේ) ප්‍රිටෝරියාවේ බන්ටු සාමාන්‍ය විද්‍යාලයයේ කාර්යයමණ්ඩල සගයින් සමග, 1961 දී ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඉක්බිති ඔහු පල්ලියට බැඳුනු අතර, විශේෂයෙන්ම, වර්ණභේදවාදයේ තවත් ප්‍රබල විරුද්ධවාදියෙකු වූ ට්‍රෙවර් හඩ්ල්ස්ටන් බිෂොප්වරයා වැනි එරට බොහෝ සුදු ජාතික පූජකවරුන්ගෙන් දැඩිව ආභාෂය ලද්දේ ය.

1976-78 කාලයේ ලෙසොතෝහි බිෂොප්වරයා වශයෙන් ද, ජොහැන්නස්බර්ග්හි සහකාර බිෂොප්වරයා වශයෙන් ද, සොවෙතෝහි මීසමක ප්‍රධාන දේවගැතිවරයා වශයෙන් ද සේවය කිරීමෙන් අනතුරුව, ඔහු ජොහැන්නස්බර්ග්හි බිෂොප්වරයා වශයෙන් පත්වීම ලැබුවේ ය.

ඔහු දකුණු අප්‍රිකාවේ අසාධාරණයට එරෙහිව මුලින්ම හඬනැගීමට පටන්ගත්තේ නායක දේවගැතිවරයෙකු ලෙස ය. 1977 සිට දකුණු අප්‍රිකානු පල්ලි කවුන්සිලයේ ප්‍රධාන ලේකම් ලෙස ඔහු දිගින් දිගටම අසාධාරණයට එරෙහි විය.

1976 වසරේ කළු ජාතිකයින් බහුල නගරවල ඇතිවූ කැරැල්ලට ප්‍රථමව ද ඉහළ පෙළේ චරිතයක් වූ ඔහු, සුදු ජාතික දකුණු අප්‍රිකානුවන් විසින් ප්‍රතිසංස්කරණවාදියෙකු ලෙස ප්‍රථම වරට හඳුනාගැනුණේ සොවෙතෝ කැරැල්ලට මාස කිහිපයකට පෙර ය.

පණපිටින් ගිනි තැබීමට නියමව සිටි පොලිස් ඔත්තුකරුවෙකු බේරාගනියි

බිෂොප්වරයාගේ උත්සාහයන් නිසා 1984 දී ඔහුට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණු අතර, එය ජාත්‍යන්තර ප්‍රජාව විසින් දක්නා ලද්දේ දකුණු අප්‍රිකාවේ සුදු පාලකයන්ට එල්ලවූ “අතුල් පහරක්” ලෙස ය.

Archbishop Desmond Tutu, Nobel Peace Prize winner, in October 1984, South Africa
ඩෙස්මන්ඩ් ටුටූ 1984 දී නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තේ දකුණු අප්‍රිකාවේ සුදු සුළුතරයේ පාලනයට එරෙහිව ඔහු කළ අවිහිංසාවාදී සටන වෙනුවෙනි, ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඩෙස්මන්ඩ් ටුටූ කේප් ටවුන්හි අග්‍රරාජගුරු පදවියට පත්වූ උත්සවයට එවකට කැන්ටබරියේ අගරදගුරු ආචාර්ය රොබට් රන්සි ද, දිවංගත මාර්ටින් ලූතර් කිංගේ බිරිය ද සහභාගී වූවෝ ය.

ඔහු දකුණු අප්‍රිකාවේ ඇන්ග්ලිකානු පල්ලියේ ප්‍රධානියා වශයෙන් වර්ණභේදවාදයට විරුද්ධව දිගටම ක්‍රියාකාරී සටනේ යෙදුනේ ය. 1988 වර්ෂයේ මාර්තුවේ දී ඔහු, “ආණ්ඩුව තමන්ගේ හමුදා බූට් පිහදාන්න ගන්නා පාපිස්සක් ලෙස අපට සැලකීමට අපි විරුද්ධ වෙනවා”යි පැවසීය.

Desmond Tutu smiles after being appointed Anglican Archbishop of Cape Town in 1986, with his wife, Leah, is at his side
1986 දී කේප් ටවුන්හි ඇංග්ලිකානු අගරදගුරු පදවියට පත්වීමෙන් පසු සිනාසෙන ටුටූ. ඔහුගේ බිරිඳ ලියා ද පසෙකින් සිටියි  ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඉන් මාස හයකට පසු, නගරසභා මැතිවරණ වර්ජනය කරන්නැ යි ඉල්ලා සිටීම නිසා සිරභාරයට පත්වීමේ අවදානමකට ඔහු මුහුණ පෑවේ ය.

1989 අගෝස්තු මාසයේ දී කේප් ටවුන් තදාසන්න නගරයක පල්ලියකින් පිටව යන පුද්ගලයින්ට එරෙහිව පොලිසිය ක්‍රියාමාර්ග ගත් අවස්ථාවේ ඔහු කඳුළු ගෑස් වලාකුළකට මැදිවිය. ඊළඟ මාසයේ දී, තහනම් රැලියකින් පිටවීම ප්‍රතික්ෂේප කළ හෙයින් අගරදගුරුවරයා අත්අඩංගුවට ගනු ලැබුණි.

Desmond Tutu in a township
ආරක්ෂක අංශයන්ගේ දැඩි නිරීක්ෂණයන් මධ්‍යයේ වුව ද ටුටූ අවට නගරවල සංචාරයේ දීමට හුරුව සිටියේ ය ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

දකුණු අප්‍රිකාවට එරෙහිව දඬුවම් ලෙස සම්බාධක පනවන්නැ යි අගරදගුරුවරයා ලෙස ඔහු කළ ඉල්ලීම් ලොව පුරා ජනයා තුළ අවධානයක් ඇතිකරවන්නට සමත්වූයේ, විශේෂයෙන්ම ඒ ඉල්ලීම් ඉදිරිපත් වූයේ ප්‍රචණ්ඩත්වය මුළුමනින්ම හෙළාදකිමින් වීම නිසා ය.

1985 දී ටූටූ සහ තවත් බිෂොප්වරයෙක් එක්ව, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් අගනුවරට නැගෙනහිරින් පිහිටි නගරයක දී කෝපාවිෂ්ඨ පිරිසකගේ පහරකෑමට ලක්වෙමින්, පුළුස්සා මරා දැමීමට නියම වී සිටි පොලිස් ඔත්තුකරුවෙකු නිර්භීතව හා විශ්මයජනක ලෙස බේරාගත්හ.

රුධිරය වහනය වෙමින්, අඩසිහියෙන් උන් මිනිසාගේ ගෙල වටා පළඳවා තිබූ පෙට්‍රල්වලින් පෙඟුණු ටයරයට ගිනි අවුලවන්නට මොහොතක් තිබිය දී, කෝපාවිෂ්ඨ සෙනග අතරින් රිංගාගොස් ඔහු ආරක්ෂක ස්ථානයකට ඇදගෙන යෑමට පූජකවරුන් දෙදෙනා සමත්විය.

අනතුරුව ටූටූ එම මිනිසාට පහරදුන්නවුන්ට තරවටු කිරීමට ආපසු පැමිණියේ, “ධර්මිෂ්ඨ සහ සාධාරණ අරගලයක් සඳහා ධර්මිෂ්ඨ සහ සාධාරණ මාධ්‍යයන් භාවිතා කිරීමේ අවශ්‍යතාවය” ඔවුන්ට මතක්කර දෙමිනි.

Tutu visiting Kagiso township, August 23 1990
ටූටූ, කේප් ටවුන්හි පළමු කළු අගරදගුරුතුමා, 1990 දී පමණ ජොහැන්නස්බර්ග් නගරයට බටහිරින් පිහිටි කගිසෝ නගරයේ සංචාරය කරමින්,GETTY IMAGES

ජනාපති එෆ්. ඩබ්. ඩි ක්ලර්ක් බලයට පත්වූ විගස ඉදිරිපත් කළ ලිබරල්කරණ ප්‍රතිසංස්කරණයන් ටුටූ විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුණි. මෙම ප්‍රතිසංස්කරණයන්ට, අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ (ANC) තහනම ඉවත්කිරීමත්, 1990 පෙබරවාරි මාසයේ දී නෙල්සන් මැන්ඩෙලා නිදහස් කිරීමත් ඇතුළත් විය.

ඒ ආසන්න කාලයේ දීම, පූජකවරුන්ට දේශපාලන පක්ෂවලට සම්බන්ධ වීම ටුටූ විසින් තහනම් කෙරිණි. වෙනත් කතෝලික නිකායන් මෙම තහනම හෙළා දුටුවේ ය.

“යුදෙව්වන් තරම් දුක්විඳි ජාතියක් පලස්තීනුවන්ට දුක් දෙන්නේ කොහොමද?”

ටුටූ අගරදගුරු තෙමේ සිය මතයන් ප්‍රකාශ කරන්නට කිසිදා බිය නොවීය. 1989 අප්‍රේල් මාසයේ දී එක්සත් රාජධානියේ බර්මින්හැම් වෙත ගොස් සිටි අවස්ථාවේ, ඔහු “වර්ග දෙකේ” බ්‍රිතාන්‍යයයැ යි යෙදුමක් සාදමින් විවේචන ඉදිරිපත් කළ අතර, එරට සිරගෙවල්වල ඕනෑවට වඩා කළු ජාතිකයන් සිටිනබව පැවසීය.

Archbishop Desmond Tutu applauds as he watches Nelson Mandela and South African President FW de Klerk receive their Nobel Peace Prize for ending Apartheid in South Africa
දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය අවසන් කිරීම වෙනුවෙන් 1993 දී නෙල්සන් මැන්ඩෙලා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති එෆ්. ඩබ්. ඩි ක්ලර්ක් නොබෙල් සාම ත්‍යාගය ලබාගන්නා අයුරු නරඹමින් ටුටූ අත්පොළසන් දෙයි, ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

පසු අවස්ථාවක ඔහු ඊශ්‍රායල ජාතිකයන් කෝපයට පත්කළේ ශුද්ධ වූ දේශයට සිදුකළ නත්තල් වන්දනා ගමනක් අතරතුරේ දී, ඊශ්‍රායල පාලනය යටතේ පැවැති බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ විසූ අරාබි ජාතිකයන් සමග කළු ජාතික දකුණු අප්‍රිකානුවන් සැසඳීමෙනි.

යුදෙව්වන් තරම් දුක්විඳි ජාතියක්, පලස්තීන ජාතිකයන් වෙත එතරම් දුක් පීඩාවන් එල්ල කරන්නේ කෙසේදැ යි තමාට වටහාගත නොහැකිබව ඔහු ප්‍රකාශ කළේ ය.

ඩෙස්මන්ඩ් ටුටූ නෙල්සන් මැන්ඩෙලාගේ මහත් ප්‍රසාදියෙකු විය. නමුත් සාධාරණ ඉලක්කයක් උදෙසා ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් ඔහු මැන්ඩෙලා සමග එකඟ නොවීය.

Desmond Tutu dancing at the launch of his biography, Tutu: The Authorised Portrait, the day before his 80th birthday at St George's Cathedral in Cape Town, 6 October 2011
වයස අවු. 80ට දවසක් තියා අගරදගුරුතුමා නැටුමකට එක්විය – 2011 දී ඔහුගේ චරිතාපදානය කේප් ටවුන්හි ශාන්ත ජෝර්ජ් ආසන දෙව්මැදුරේ දී එළිදක්වන විට, ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

1995 නොවැම්බරයේ දී, එවකට දකුණු අප්‍රිකාවේ ජනාධිපති වූ මැන්ඩෙලා වර්ණභේදවාදී යුගයේ අපරාධ පිළිබඳ සාක්ෂි එක්රැස් කිරීමේ සහ එම අපරාධවලට තමාට තිබූ සම්බන්ධය පාපොච්චාරණය කරන පුද්ගලයින්ට සමාව ලැබිය යුතු ද යන්න නිර්දේශ කිරීමේ කාර්යය සමග “සත්‍යය හා ප්‍රතිසන්ධාන කොමිසමක” ප්‍රධානීත්වය ගන්නා මෙන් ටුටූගෙන් ඉල්ලා සිටියේ ය.

කොමිසමේ විමර්ශනය අවසානයේ දී, දකුණු අප්‍රිකාවේ හිටපු සුදු ජාතික පාලකයින්ට ටුටූ වාග් ප්‍රහාර එල්ල කළේ ඔවුන් බොහෝදෙනා සාක්ෂි ලබාදීමේ දී ප්‍රකාශකර ඇත්තේ අසත්‍යයබව පවසමිනි. වර්ණභේදවාදයට එරෙහි සටනේ දී අප්‍රිකානු ජාතික කොංග්‍රසය මානව හිමිකම් උල්ලංඝනයකර ඇතිබවට ද කොමිසම චෝදනා කළේ ය. දෙපාර්ශවයම මෙම වාර්තාව ප්‍රතික්ෂේප කළේ ය.

නිතර කඳුළු සැලූ අගරදගුරු

ටුටූ බොහෝවිට වර්ණභේදවාදය නිසාවෙන් දුක්විඳි ජනතාව පිළිබඳ වේදනාවන් වෙලීගිය අතර, එක් වරකට වඩා ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියෙ කඳුළු සලා තිබේ.

A tearful Archbishop Desmond Tutu during the TRC's last church service held on Pretoria, South Africa, on 21 March 2003.
2003 දී සත්‍යය හා ප්‍රතිසන්ධාන කොමිසමේ අවසන් දේව මෙහෙය අතරේ කඳුළු සලන ටුටූ, ඡායාරූප මූලාශ්‍රය,ORYX MEDIA ARCHIVE/GALLO IMAGES

ඔහු කළු ජාතික බහුතරයකින් යුතු දකුණු අප්‍රිකාවේ නව ආණ්ඩුව විවේචනය කිරීමට ද බොහෝ හේතු සොයා ගත්තේ ය. ඔහු ජනාධිපති තබෝ ම්බෙකිගේ නායකත්වයෙන් යුතු අප්‍රිකානු ජාතික කොංග්‍රස පරිපාලනයට “රිදෙන සේ” පහර දුන්නේ ය.

අප්‍රිකානු ජාතික කොංග්‍රසය රටේ දුප්පත්ම ජනතාව අතර දරිද්‍රතාවය තුරන් කිරීමට ප්‍රමාණවත් ලෙස කටයුතුකර නොමැතිබවත්, නව කළු ජාතික දේශපාලන ප්‍රභූ පැලැන්තියකට අධික ධනයක් හා බලයක් සංකේන්ද්‍රණයවී ඇතිබවත් ඔහු පැවසුවේ ය.

පසුකලෙක, ජනාධිපතීත්වය ලබාගැනීමට කරන උත්සාහය අත්හරින්නැ යි ලිංගික අපරාධ හා දූෂණය සම්බන්ධ චෝදනා ලැබ සිටි ජේකොබ් සූමා පොළඹවාගන්නට ටුටූ උත්සාහ කළේ ය.

ඔහු රොබට් මුගාබේ හෙළා දකිමින් ද ප්‍රසිද්ධියේම හඬ නැගූ අතර, වරෙක ඔහු සිම්බාබ්වේ ජනාධිපතිවරයා, “පුරාකෘතික අප්‍රිකානු ආඥාදායකයෙකුගේ කාටූන් ස්වරූපයක්” ලෙස විස්තර කළේ ය. ආපිට පිළිතුරු දුන් මුගාබේ ටුටූ “කුරිරුයැ” යි පැවසුවේ ය.

විශේෂයෙන්ම, සමලිංගික බිෂොප්වරුන් පූජකවරයට පත්කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටුමෙන් අනතුරුව ඔහු ඔහුගේම ඇංග්ලිකානු පල්ලිය විවේචනය කරන්නට විය.

Spiritual leader Dalai Lama shares his birthday cake with retired Archbishop Desmond Tutu at the Tibetan Children's Village School in Dharmsala, India, 23 April 2015
දලයි ලාමාවරයා 2015 වසරේ දී ඉන්දියාවේ ධර්මසාලාහි ටිබෙට් ළමා ගම්මාන පාසලේ දී ටුටු සමග සිය උපන්දින කේක් කැබැල්ල බෙදාගනියි ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES 

කවදත් කැරලිකාර ටුටූ

වරක්, පල්ලිය ලෝකයේ දරිද්‍රතාවට එරෙහි සටනට වඩා සමලිංගිකත්වය පිළිබඳ “උමතුවකට” ප්‍රමුඛත්වය ගැනීමට ඉඩ දුන්නේයැ යි ඔහු චෝදනා කළේ, “දෙවියන්වහන්සේ වැලපෙනවා”යි කියමිනි.

ඔහු 2010 වසරේ දී අයර්ලන්තයට ගිය විට දරිද්‍රතාව යන විෂයය කෙරෙහි නැවත යොමුවුණේ ය. ආර්ථික පසුබෑමක් අබියස දී විදේශ ආධාර කපා හැරීමෙන් ඇතිවන බලපෑම ගැන සලකා බලන මෙන් ඔහු බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ටුටු එම වසරේ දීම සිය ප්‍රසිද්ධ ජීවිතයෙන් නිල වශයෙන් විශ්‍රාමගත් අතර, “ගුවන්තොටුපොළවල සහ හෝටල්වල” කාලය ගෙවනවාට වඩා “රෙඩ්බුෂ් තේ පානය කිරීමෙන් සහ ක්‍රිකට් නැරඹීමෙන්” වැඩි කාලයක් ගතකිරීමට එසේ සිදුකරනබව ඔහු පැවසුවේ ය.

නමුත් කවදත් කැරලිකරුවෙකු වූ ඔහු, 2014 දී සුවකළ නොහැකි රෝගවලින් පෙලෙන්නන්ට සියදිවි නසාගැනීමට සහායවීමේ ක්‍රියාවට සිය සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූයේ, “ඕනෑම මිලක් ගෙවමින්” ජීවිතයක් ආරක්ෂා නොකළ යුතුබව කියා සිටිමිනි.

පල්ලියට සම්බන්ධ බොහෝ පුද්ගලයින්ගේ අදහස්වලට පටහැනිව යමින්, මිනිසුන්ට තමාගේ මරණය තෝරාගැනීමේ අයිතිය ඇතැ යි ඔහු විශ්වාස කළේ ය.

2013 දෙසැම්බරයේ දී මියගිය සිය ශ්‍රේෂ්ඨ මිතුරෙකු සහ සහෝදර ක්‍රියාකාරිකයෙකු වූ මැන්ඩෙලා දිගු හා වේදනාකාරී රෝගයකට ගොදුරුව සිටිබව පැවසූ ඔහුගේ අදහස වූයේ “එය මදීබාගේ [නෙල්සන් මැන්ඩෙලා හැඳින්වීමට ගෞරවනීය යොදාගත් නමක්] ගෞරවයට කැළලක්” බව යි.

Tutu, a friend of Nelson Mandela for decades, became emotional while speaking at the latter's funeral in 2013
ටුටු දශක ගණනාවක් තිස්සේ හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ මිතුරෙකු විය. 2013 වසරේ මැන්ඩෙලාගේ අවමංගල්‍ය උත්සවයේ දී කතාවක් පවත්වමින් හැඟීම්බරව සිටියිඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES 2017 දී, ටූටූ මියන්මාරයේ නායිකාව ද, නොබෙල් සාම ත්‍යාගලාභී සගයෙකු ද වූ අවුන්ග් සාන් සුකී දැඩි ලෙස විවේචනය කරමින්, මුස්ලිම් සුළුතරය “වර්ග සංහාරයකට” මුහුණදෙමින් සිටින රටකට නායකත්වය දීම “ධාර්මිකත්වයේ සංකේතයකට අයෝග්‍ය ක්‍රියාවක්” බව කියා සිටියේ ය.

එම වසරේ අගභාගයේ දී, ජෙරුසලම ඊශ්‍රායලයේ නිල අගනුවර ලෙස පිළිගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට ඔහු සිය විරෝධය පළකළේ ය. “දෙවියන්වහන්සේ වැලපෙනවා,” එම “කුපිත කරවනසුළු, වෙනස්කොට සැලකීමේ” ක්‍රියාව සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් ලියමින් ඔහු සටහන් කළේ ය.

“ආච්” නමින් හැඳින්වුණු මෙම කුඩා මිනිසා, සිය මෙහෙවර පිළිබඳ තීව්‍ර හැඟීම් තිබියේවා ප්‍රීතිමත් ජීවගුණයක් පතුරවමින්, ප්‍රියවාදී සහ උද්යෝගීමත් විය.

ඔහු සිනහ ඉපදවීමෙහි දක්ෂ වූ අතර, ඔහුගේ සංවාදයන් නිතරම සිනහවෙන් විරාම ගැන්වුණේ ය.

නමුත් මේ සියල්ලටමත් වඩා, ඩෙස්මන්ඩ් ටුටූ සාමකාමී දකුණු අප්‍රිකාවක් ඇති කිරීමට උත්සාහ කළ නිර්දෝෂී, ශක්තිමත් සදාචාරාත්මක විශ්වාසයන් තිබූ පුද්ගලයෙකු විය.

(BBC Sinhala)

Archive

Latest news

Related news