සුප්‍රසිද්ධ කියමනකට අනුව දැකීම ප්‍රතික්ෂේප කරන්නන් තරම් අන්ධයන් තවත් නැත. විධායක ජනාධිපති ක්‍රමය රටේ ව්‍යසනයට පිළිතුර යැයි අවංකව විශ්වාස කළ කිසිවකු සිටියේ නම්, 20 වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් පසු ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය විසින් නිසැකවම එවැනි විශ්වාසයක් දුරු කිරීමට ඉඩ තිබුණි. ඒ පැහැදිලිව පෙනෙන දේ දැකීම ප්‍රතික්ෂේප නොකරන්නේ නම් පමණි.
විධායක ජනාධිපති ක්‍රමය අගමැති ජේ.ආර්.ජයවර්ධන විසින් මුල් වරට යෝජනා කළ අවස්ථාවේ දී විධායක ජනාධිපති ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළහොත්, එමගින් රටට සිදු විය හැකි අනතුරු පෙන්වා දෙමින් සිරිමාවෝ බණ්ඩාරනායක, ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා වැනි දූරදර්ශී දේශපාලනඥයෝ ඊට විරුද්ධ වූවෝය.
විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන ලෙස ප‍්‍රකාශ කළ බොහෝ දේශපාලන පක්ෂ අද ඒ සම්බන්ධයෙන් නිහඬව සිටීම පුදුම සහගතය. දිගු කලක් දුක් විඳිමින් සිටින මහජනතාවට සහන සහතික කිරීමට ඇති ඉක්මන්ම ක්‍රමය වන්නේ නැවත පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයට යාමෙන් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙන ඒමයි.
විධායක ජනාධිපති ක්‍රමය නිර්වචනයට අනුවම ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. තනි පුද්ගලයකු තුළ විධායක බලය කේන්ද්‍රගත කිරීම ප්‍රමෝදයෙන් යුතුව සාධාරණීකරණය කිරීමේ දී ජනාධිපති ජයවර්ධන, විධායක ජනාධිපති ක්‍රමය විස්තර කළේ “පාර්ලිමේන්තුවේ අභිමතයන්ට සහ අභිලාෂයන්ට යටත් නොවන” (එම නිසා ව්‍යවස්ථානුකූලව ස්වෛරී යැයි සලකනු ලබන ජනතාවගේ කැමැත්තට යටත් නොවන” ) ධූරයක් ලෙස ය.
ඊට යටින් පවතින උපකල්පනය වූයේ විධායක ජනාධිපති ක්‍රමයේ සළුවෙන් සැරසී සිටින එක් පුද්ගලයෙකු සියලු ප්‍රඥාවේ ගබඩාව වන අතර එම නිසා රාජ්‍ය පාලනයට නායකත්වය දීමට හොඳම සුදුස්සා වන ඇති බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව බලගතු විධායක ජනාධිපති ක්‍රමයට කැබිනට් මණ්ඩලය නොසළකා හැරීමේ හැකියාවක් තිබුණද, අවශ්‍ය යැයි සිතූ අවස්ථාවන්හිදී එම ධූරයේ බලතල භාවිතා කළද, පසුගිය කාලය පුරාම එම තනතුර දැරූ සියලු දෙනාම කැබිනට් මණ්ඩලය සමඟ සාමූහික තීරණ ගනිමින් සමීපව කටයුතු කරමින් කටයුතු කළහ.
ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් පවා මෙය සැබෑ විය. කැබිනට් මණ්ඩලයත් විධායක ජනාධිපතිවරයාත් හැමවිටම එකට වැඩ නොකළ එකම කාලය මෛත්‍රීපාල සිරිසේන යුගයේය. ඒ ව්‍යවස්ථාමය ව්‍යූහය නිසාම නොව අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ තිබූ ප්‍රතිපත්තිමය මතභේද නිසාය.
ආණ්ඩුවේ වසර දෙකක කාලය තුළ රජය කරමින් සිටින දැවැන්ත වැරැදි හොඳින් අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ එම වැරදි මූලික වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය තුළ මුල් බැස ඇති බවයි.
විධායක ජනාධිපති ක‍්‍රමයේ අනර්ථකාරී ලක්‍ෂණ එහි නිරුවත් ස්වරූපයෙන් හෙළිදරව් වී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදීය. පසුගිය දෙවසර තුළ විධායක ජනාධිපති ක්රමය සහ කැබිනට් මණ්ඩලය අතර ඇති සම්බන්ධය මුළුමනින්ම පලුදු වූ අතර දෙවැන්න බෙලහීන තත්ත්වයට පත් විය.
කැබිනට් මණ්ඩලයට වඩා ජනාධිපති කාර්ය සාධක බළකායන් කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමට ජනාධිපතිවරයාගේ දැඩි ආශාවත් සමඟ රට ගැටලු රාශියකින් පීඩිත වීමත් සමඟ තත්ත්වය බෙහෙවින් උග්‍ර වී ඇත. වත්මන් රජය තරම් කෙටි කාලයක් තුළ කිසිදු රජයක් මෙතරම් ජනඅප්‍රිය නොවූ බව රජයේ ප්‍රබලම ආධාරකරුවෙකු වන මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කිරීම අරුමයක් නොවේ.
එහි ප්‍රතිඵලයක් ලෙස විධායක ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායකය අතර පරතරය ද පුළුල් වී ආයතන දෙක සමාන්තර ලෝකයන්හි ක්‍රියාත්මක වීම නිසා පාලනය අක්‍රීය වී තිබේ.
මෑත කාලීන සිදුවීමක් මෙම සංසිද්ධිය ඉතා පැහැදිලිව පෙන්වා ලයි. ගෑස් සිලින්ඩර් කාන්දුවීම් සහ පිපිරීම්වලට හේතු සොයා බලා එම ගැටලූව විසඳීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුව පසුගිය සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී එහි වාර්තාව ඉදිරිපත් කර එහි අන්තර්ගතය පැහැදිලි කළේය.
එහි පැමිණ සිටියේ කමිටු සාමාජිකයින් වන ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු පමණක් බව රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනවලින් පැහැදිලි වේ. සමස්ත ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් සෘජුවම ඉලක්ක බවට පත්ව සිටින වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ නොපැමිණිම කැපී පෙනුණි.
එම දෙදෙනාට ජනාධිපති කමිටුවේ සොයා ගැනීම් සහ පැහැදිලි කිරීම්වලින් ඉමහත් ප්‍රතිලාභ ලබන්නට ඉඩ තිබූ නමුත් ඔවුන් එම රැස්වීමෙන් බැහැර කර තිබුණි. විධායක ජනාධිපති ක්රමය සහ කැබිනට් මණ්ඩලය අතර ඇති සම්බන්ධය විසන්ධි කරන බොහෝ තත්වයන්ගෙන් මෙය එකක් පමණි.
විධායක ජනාධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරුන්ගේ උපදෙස්වලින් ප්‍රයෝජනයක් නොමැති බවට පොහොර ව්‍යසනය තවත් උදාහරණයකි. ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් රසායනික පොහොරවලින් කාබනික පොහොර දක්වා මාරුවීම වසර දහයක කාලයක් පුරා තුළ සිදු කිරීමට අපේක්ෂා කරන බව පැවසේ. එනමුත් කිසියම් පැහැදිලි කළ නොහැකි හේතුවක් නිසා එක රැයකින් එවැනි වෙනසක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ පවා නැවත නැවතත් පෙන්වා දෙන්නේ කාබනික පොහොරවලට මාරුවීමට එක රැයකින් ගත් උත්සාහය අයහපත් උපදෙසක් බවයි. ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෘෂිකර්ම අංශය කෙටුම්පත් කිරීමේදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ එම හිටපු උපකුලපතිවරයාගේ අවංක ප්‍රකාශය හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඔහුගේ සේවය අවසන් කර තිබේ. නව ලේකම්වරයා ලෙස D. M.L.D බණ්ඩාරනායක මහතා පත් කර ඇත. (මෙම රජය බලයට පත්වීමෙන් පසු පත් කරන ලද පස්වැනි ලේකම්වරයාය).
කාබනික පොහොරවලට වහා මාරු විය යුතු බවට ජනාධිපතිවරයා දුන් නියෝගයේ ශුද්ධ ප්‍රතිඵලය වී ඇත්තේ එළවළු ඇතුළු බෝග රැසක අස්වැන්න පහත වැටීමත් සමඟ කෘෂිකර්ම ක්ෂේත්‍රය කඩා වැටීමයි. ජීවන වියදම සීග්‍රයෙන් ලෙස ඉහළ යෑම වැරදි ලෙස සිතා ගත් එම තීරණයේ සෘජු ප්‍රතිඵලයක් වන අතර එය මහජනතාවට අහිතකර ලෙස බලපෑවා පමණක් නොව ආණ්ඩුවේ ජනප්‍රියත්වය විශාල පල්ලමකට තල්ලු කර තිබේ.
ආණ්ඩුවේ වසර දෙකක කාලය තුළ රජය කරමින් සිටින දැවැන්ත වැරැදි හොඳින් අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ එම වැරදි මූලික වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය තුළ මුල් බැස ඇති බවයි.
ජාතික ව්‍යසනයක් දක්වා වර්ධනය වන තරමට අද තත්ත්වය දරුණුය. එබැවින් විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන ලෙස ඉල්ලා සිටීම සඳහා නිදහසට කරුණු අවශ්‍ය නොවේ. මෙය ඉක්මනින් සිදු කර සාමූහික පාලනය සහතික කෙරෙන වෙස්මිනිස්ටර් ආකාරයේ කැබිනට් ආණ්ඩු ක්‍රමයක් ආදේශ කරන තරමට වඩා හොඳය.
විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන ලෙස ප‍්‍රකාශ කළ බොහෝ දේශපාලන පක්ෂ අද ඒ සම්බන්ධයෙන් නිහඬව සිටීම පුදුම සහගතය. දිගු කලක් දුක් විඳිමින් සිටින මහජනතාවට සහන සහතික කිරීමට ඇති ඉක්මන්ම ක්‍රමය වන්නේ නැවත පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයට යාමෙන් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙන ඒමයි.
සමාන අදහස් ඇති දේශපාලන පක්‍ෂ සියල්ලන්ගේම ඒකාබද්ධ ව්‍යාපාරයක් මෙම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සාර්ථක වීමට ඇති ලොකුම අවස්ථාවක් වනු ඇත. මෙම තීරණාත්මක වෙනස ඇති කිරීමට මීළඟ මැතිවරණය තුරු බලා සිටීම රටට ප්‍රමාද වැඩි විය හැක.
ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිනෙන් දින ප්‍රකාශ කරන අතෘප්තියත් සමඟ විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම ජාතික අවශ්‍යතාවක් බව ඔවුන්ට ඒත්තු ගැන්වීම එතරම් අපහසු නොවනු ඇත. ([email protected])
( සන්ඩේ ටයිම්ස් පුවත් පතෙහි පළවූ Executive Presidency: Root cause for country’s current governance dysfunction ලිපියෙහි ශ්‍රී ලංකා බ්‍රීෆ් සිංහල අනුවාදය සේ. පියවර්ධන විසිනි)