Friday, April 19, 2024

විදේශිකයින් සමඟ විවාහවීමේ දී පනවා ඇති අවනීතිය ඉවත් කරනු! – ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාත්‍යන්තර ජාලය (INSD)

ශ්‍රී ලංකා පුරවැසියෙකු විදේශික පුරවැසියකු සමඟ විවාහ වන්නේ  ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අවසර සහතිකයක් ලබා ගත යුතු බවට රෙජිස්ටාර් ජෙනරාල්වරයා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර ඇති බව ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබේ. එම වාර්තාව රජය විසින් ප්‍රතික්ෂේප කර නැත. එපමණක් නොව මහජන ආරක්ෂක ඇමතිවරයා එය සාධාරණ කරමින් අදහස් ද දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාත්‍යන්තර ජාලය (අයිඑන්එස්ඩී) ආණ්ඩුවේ මෙම අත්තනෝමතික සහ අශිෂ්ට නීතිය සහමුලින්ම හෙළා දකී.

මෙම අවනීතිය ලක්ෂ ගණනාවක් වන විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව කෙරෙහි ඉතාම අහිතකර බලපෑමක් ඇති කිරීමට ඉඩ තිබේ.

මෙම චක්‍ර ලේඛනය යටතේ විවාහ වන විදේශික ස්ත්‍රිය හෝ පුරුෂයා ඒ සඳහා තමාගේ වෛද්‍ය වාර්තා සහ පසුගිය මාස හය තුල නීතියෙන් වරදකරුවකු වී නැති බවට පොලිස් වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතු ය.

‍දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ට පවා විවාහ වීමට  අයිතියක් තිබේ. එසේ නම් වරදකරුවකු වූ අයකු විවාහ කර ගැනීම රජයක් විසින් තහනම් කරන්නේ කෙසේද? වෛද්‍ය වාර්තා යනු අතිශය පුද්ගලික තොරතුරුය. එම වාර්තා පුද්ගලයකුගේ විවාහයට අදාළ යැයි රජයක් තීරණය කරන්නේ කෙසේද? ඇමෙරිකානු පුරවැසියකුට රටෙහි මුදල් ඇමැති හෝ අගමැති වීමට අයිතිය ඇති රටක් විදේශිකයකු විවාහ කර ගැනීමට නීති පැමිණ වීම කොතරම් හාස්‍ය ජනක අවනීතියක්ද? එමෙන්ම ලාංකිකයකු වෙනත් රටකදී විදේශිකයකු විවාහ කර ගෙන ලංකාවට පැමිණිය හොත් ඇති වන තත්වය කුමක්ද?

රාජපක්ෂ පාලනය යටතේ මර්දන නීති පැනවීමට යොදා ගන්නා ජාතික ආරක්ෂාව යන්න මෙම  විකාර සහගත සහ මානව විරෝධී නීතිය පැණවීමට යොදා ගෙන තිබේ. මේ වනාහි පැසිස්ට් පන්නයේ රජයන් විසින් ක්‍රියාත්මක කරන සිවිල් අයිතීන් මර්දනය කිරීමකි.

ලොව කිසිදු ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් පුද්ගලික පරිමණ්ඩලයට අයත් වන විවාහයට රාජ්‍ය නීති පනවන්නේ නැත. කවර හෝ පුද්ගලයකු විවාහ වන්නේ කවරකු සමඟ ද යන්න තීරණය කළ යුත්තේ රජය නොව එම පුද්ගලයා ය.

මෙම නීතියෙහි ඇති හාස්‍ය ජනක ස්වභාවය කොතෙක් ද යත්  වසට 18ට වැඩි ඕනෑම ලාංකිකයකුට සිය මා පියන්ගේ කැමැත්ත පවා නැතිව විවාහයක් කර ගත හැකි නමුත් මෙම නීතිය යටතේ ජනාධිපති රාජපක්ෂ යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය නැතිව මෙවැනි විවාහයක් කර ගැනීමට නොහැකි වීමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාත්‍යන්තර ජාලය මෙම ආණ්ඩුවේ මෙම පියවර දකින්නේ අනෙකා හෙළා දැකීම සහ පහත් කොට සැලකීම පදනම කර ගත්  සිංහල බෞද්ධ අන්තවාදීන් පිනවීම සහ එම මතවාදය මත රඳා පැවතීම  පිණිස ගන්නා ලද තවත් පියවරක්  ලෙස ය.

පුද්ගලයින් 13 දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ නඩුවක සැකකරුවකු වන හිටපු නාවික හමුදාපති වයඹ ආණ්ඩුකාර ලෙස පත් කිරීමත්, මුස්ලිම් විරෝධි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති අන්තවාදී බොදු බල සේනාවෙහි ප්‍රධානී “එක් රටක් එක් නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස පත් කිරීමත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාත්‍යන්තර ජාලය දකින්නේ  එම භයානක ක්‍රියාදාමයේ පියවරයන් ලෙස ය.

කෙටියෙන් කියන්නේ නම් මේ වනාහි හුදු අහම්බ චක්‍ර ලේඛනයක් නොව ලාංකික ජනයා බෙදා වෙන් කරමින් බලයේ රැඳී සිටීමේ  රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියේ තවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරක් පමණි.

පුද්ගලික පරිමණ්ඩලයට අයත් විවාහ වීමේ අයිතිය උදුරා ගැනීමේ මෙම අවනීතිය අහෝසි කරන ලෙස රජයට බල කරන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාත්‍යන්තර ජාලය මෙම අවනීතියට විරුද්ධත්වය දක්වන ලෙස සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගෙන් ඉල්ලා සිටී.

Archive

Latest news

Related news