Saturday, April 27, 2024

දෙමසක්ම තොරතුරු කොමිසම අක්‍රීයයි! පත්කිරීම් පේන මානයක නැහැ!

තොරතුරු දැනගැනීමේ කොමිසමෙහි සභිකයින් පත්කිරීමේ ප්‍රමාදය පිළිබඳ TISL ආයතනයේ අවධානය.

ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ පිහිටුවා ඇති මධ්‍යම අධීක්‍ෂණ සහ අභියාචනා ආයතනය වන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව, මෙරට පවතින වඩාත් වැදගත් ස්වාධීන ආයතන අතරින් එකකි. අභියාචනා පිළිබඳ කරුණු ඇසීම, ප‍්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම , වාර්තා කළමනාකරණය සඳහා නිර්දේශ නිකුත් කිරීම, වැරදි විමර්ශනය කිරීම, නඩු පැවරීම සහ දැනුම්වත් කිරීම ආදී තීරණාත්මක කාර්යභාරයක් ඉටුකිරීමට කොමිසමට බලය ඇත.

කෙසේ වෙතත්, පසුගිය මාස දෙකක කාලය තුළ, සභිකයින් පත් නොකිරීම හේතුවෙන් තොරතුරු කොමිසමට ක්‍රියාත්මක වීමට නොහැකිව ඇත. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමෙහි නිල කාලය ඉකුත් සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් විය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු කවුන්සිලය විසින් කොමිසමෙහි සභික තනතුරු සඳහා ශී‍්‍ර ලංකා නීතීඥ සංගමය, සිවිල් සමාජ සංවිධාන, කර්තෘවරුන්, මාධ්‍යවේදීන් සහ ප‍්‍රකාශකයන්ගෙන් නාමයෝජනා කැඳවන ලදී. මෙම තනතුරුසඳහා පාර්ලිමේන්තු කවුන්සිලයට නාමයෝජනා 20කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව වාර්තා වේ.

පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමිසමෙහි අඛණ්ඩ කි‍්‍රයාකාරීත්වයේ වැදගත්කම අවධාරණය කළ අතර තනතුරු සඳහා ජනාධිපතිවරයා වෙත නාමයෝජනා ලබාදීම පාර්ලිමේන්තු කවුන්සිලයට පැවරී ඇති කාර්යභාරයක් බව ද, ඉන් අනතුරුව තනතුරු සඳහා පත්වීම් ලබාදීම ජනාධිිපතිවරයා විසින් සිදුකළ යුතු බව ද සඳහන් කළේය.

කොවිඩ් 19 වසංගතයේ බලපෑම් හේතුවෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ඉල්ලීම් බොහොමයක් ප‍්‍රමාද වීම හෝ ප‍්‍රතික්ෂේප වීම හේතුවෙන් කොමිසම වෙත අහියාචනා ඉදිරිපත් කිරීම් ඉහළ ගොස් ඇති අතර එමගින් පුරවැසියන්ට තොරතුරු ලබාගැනීමේබරපතල ප‍්‍රමාදයක් ඇති වන බව වාර්තා වේ.

ඉකුත් අගෝස්තු මස ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමට ස්වාධීන සභිකයින් පත්කිරීමේ වැදගත් කම අවධාරණය කරන ලදී. ස්වාධීන සභිකයින් පත්කිරීම මඟින් තොරතුරු දැනගැනීමේ කොමිසම අඛණ්ඩව කි‍්‍රයාත්මකවීම, ව්‍යවස්ථාපිතව තහවුරු කර ඇති ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්‍ෂිත කිරීමට අත්‍යවශ්‍ය කරුණකි.

මේ පිළිබඳව දැඩි ලෙස අවධාරණය කරමින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශී‍්‍ර ලංකා ආයතනය, තව දුරටත් ප‍්‍රමාදයකින් තොරව, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමේ ස්වාධීන සභිකයන් පත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු කවුන්සිලයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

06/12/2021.

Archive

Latest news

Related news