ඡයාරූපය: සිය නිවසේ අලංකාරය පිනිස පතුරම් කොපුවක් තබාගෙන සිටින මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර.
දැන් වව්නතිව්හි පොලිස් මුරපොළට එල්ල වූ ප්‍රහාරය දෙස බලමු.
මෙම සළකා බැලීමෙහි පදනම වන්නේ මහජන ආරක්ෂාව බාර ඇමැතිවරයා වන සරත් වීරසේකර විසින් පාර්ලිමෙන්තුවෙහි කරන ලද පහත සඳහන් ප්‍රකාශ විමසා බැලීමය:
“ වනාත විල්ලුව, මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීම, වව්නතිව් පොලිස් නිලධාරී ඝාතනය කිරීම …..මේ කටයුතු නිසි ලෙස අධ්‍යනය කලා නම් නිසි පියවර ගත්තා නම් (සහරන්ගේ) ජාලය අකර්මන්‍ය කර ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබුණා”
“වනාත විල්ලුව ප්‍රදේශයේ තිබුණ පුපුරණ ද්‍රව්‍ය කතන්දරය එල්ටීටීඊ එකට බැර කළේ ශානි අබේසේකර. එතුමා තමයි එදා සීඅයිඩී එකේ ප්‍රධානියා. එහෙම නැතිව අපි කව්රුවත් නොවෙයි. එතුමා ඒක කළේ බුද්ධි අංශයේ තිබෙන තොරතුරු සම්පූර්ණයෙන්ම වහන්න.” ( හැන්සාඩ් 11.11.21 කොළම 2321)
වව්නතිව් ප්‍රහාරය එල්ල වූයේ 2018 නොවැම්බර් 28වන දිනය. පොලිස් මුරපොළ පිහිටා තිබුණේ වව්නතිව් – මඩකළපු මාර්ගයෙහි පොලිස් ස්ථානයට කිලෝමීටරයක් තරම් දුරිනි. ප්‍රහාරයෙන් ගනේශ් දිනේශ සහ නිරෝෂාන් ඉන්ධික යන පොලිස් නිලධාරීන් දෙදෙනා මරු මුවට පත් විය.
මෙම ප්‍රහාරය පිළිබඳ පොලිස් විශේෂ කාර්යාංශය විසින් යුද, ගුවන් සහ නාවික හමුදා බුද්ධි අංශ මගින් වෙන වෙනම වාර්තා ලබා ගන්නා ලදී.
මෙම වාර්තා මගින් පෙන්නුම් කරන වැදගත් කරුණක් වන්නේ නිරීක්ෂණය කළ යුතු යැයි ජාතික බුද්ධි සේවය මගින් දන්වා යවන පුද්ගලයින් සහ සංවිධාන සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා සහ පොලිස් බුද්ධි අංශ නිරන්තර සොයා බැලීමක නිරත වන බවයි. ජාතික බුද්ධි සේවය යනු සියලු බුද්ධි සේවාවන් සම්බන්ධීකරණය කිරීමට පිහිටුවා ඇති ආයතනයයි.
පාස්කු ප්‍රහරය සමයෙහි එහි ප්‍රධානියා වූයේ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්ය.
පොලිස් විශේෂ කාර්යාංශය විසින් 2018 දෙසැම්බර් 12වන දින ඉදිරිපත් කරන ලද වාර්තාවෙහි නිරීක්ෂණය මෙසේ විය:
“සිද්ධිය පිළිබඳව මෙතෙක් සිදු කරන ලද විමර්ශණයට අනුව 2018/11/12වන දින වව්නතිව් ප්‍රදේශයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ එල්ටීටීඊ සංවිධානයේ මහ විරු සැමරුම් සම්බන්ධයෙන් අධිකරණයෙන් තහනම් නියෝග ලබා ගනිමින් පෙලිසිය විසින් සිදු කළ බාධා කිරීමට පිළිගැනීමක් වගයෙන් මෙම ඝාතනයන් සිදු කිරීමට ඉඩ ඇති බවත් මෙම සිද්ධියට හිටපු ප්‍රබල එල්ටීටීඊ බුද්ධි අංශ සාමාජිකයින් සම්බන්ධ බවටත් තොරතුරු අනාවරණය වන අතර රටේ පවතින දේශපාලන සහ අනෙතුක් ව්‍යාකූල තත්වයන් මත මීට පරිබාහිර කණ්ඩායමක් විසින් සිදු කලාද යන්න බැහැර කළ නොහැක.”
“මීට පරිබාහිර කණ්ඩායමක් විසින් සිදු කලාද යන්න බැහැර කළ නොහැක” යන උපකල්පනය ඉදිරිපත් කර තිබුණේ පොලිස් විශේෂ කාර්යාංශය මගින් පමණි.
ඩී.එම්.අයි. යනුවෙන් හැදින්වෙන හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය ( Directorate of Military Intelligence) විසින්ද මෙම ඝාතනයන් ගැන පරීක්ෂණයක් කර වාර්තා තුනක් ඉදිරිපත් කරන ලදී. ඒ 2018 දෙසැම්බර් 08, 14, සහ 17 යන දිනයන්හිය. ඒම කිසිම වාර්තාවක මෙම ඝාතනයන්ට ඉස්ලාමීය අන්තවාදී පිරිස් සම්බන්ධ විය හැකි යැයි ඉඟියක්වත් නැත. ඒම වාර්තා මගින් ද සැකය ඒල්ල කර ඇත්තේ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් සහ සාමාජිකාවන් වෙතය. Directorate of Military Intelligence යනු යුද හමුදාවේ ඉහළම බුද්ධි අංශයයි.
යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2018 දෙසැම්බර් 14වන දින ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ මෙයයි:
“2018.11.29 දින මඩකළපුව වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඝාතනය කිරීම සඳහා පැමිණි සාමජිකයින් පහත විස්තර සඳහන් කාන්තාවගේ නිවසට පැමිණ ගිය බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම කාන්තාව එල්ටීටීඊ සංවිධානයේ සාමජිකාවක්ව සිට තුවාල ලැබූ අයකු බවත්. විදේශගත එල්ටීටීඊ සාමාජිකයින්, වන්නි ප්‍රදේශයේ පදංචි එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධව සිටි සාමජිකයින් සම සමීපව ඇසුරු.කටයුතු කරන තැනැත්තියක් බවටත් අනාවරණය වී ඇත. තවද මෙම ඝාතනය සම්බන්ධව මෙම කාන්තාව සියලු විස්තර දන්නා බවත් ඒ සඳහා පහසුකම් සැළසූ බවටත් තොරතුරු මගින් අනාවරණය වුනි.”
ගුවන් හමුදා සහ නාවික හමුදා බුද්ධි අංශ විසින් සපයා ඇත්තේ ද සැකකාර හිටපු එල්ටීටීඊ සාමාජිකයින් පිළිබඳ ඔවුන්ගේ නිරීක්ෂණ පමණි.
එවකට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානී වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූ රවි සෙනවිරත්න 2019 ටනාවැම්බර් 06වන දින පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාවක මෙසේ සඳහන් වෙයි:
“මෙම අපරාධය සම්බන්ධයෙන් යම් තොරතුරක් අනාවරණය කර ගැනීම සඳහා මඩකලපුව ප්‍රදේශයේ රාජ්‍ය සේවාවට සම්බන්ධ බුද්ධි නිලධාරීන් සහ යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ බුද්ධි නිලධාරීන් වෙතින්ද බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින්ද නාවික හමුදා සහ ගුවන් හමුදා බුද්ධි අංශ වෙතින්ද මඩකලපුව කොට්ඨාශයේ සහ නැගෙනහිර පළාතේ පෙලිස් ස්ථාන වල ක්‍රියාත්මක බුද්ධි කාර්යාංශ නිලධාරීන් වෙතින් ද තොරතුරු ලබා ගනිමින් විමර්ශනය සිදු කර ඇත.
මෙම කිසිදු වාර්තාවක මෙම පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම මුස්ලිම් අන්තවාදී සංවිධානයක සාමාජිකයින් විසින් සිදු කළ බවට කිසිදු තොරතුරක් මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ලිඛිතව හෝ වාචිකව ලැබී නොමැති බව කාරුණිකව වාර්තා කරමි.”
එසේ නමුත් එවකට සිවිල් පුරවැසියකු වූ ගෝඨාභය රාජපක්ෂ යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූ රවි සෙනවිරත්න අමතා “මෙම ප්‍රහාරය එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධයක් නැති බව” කියා ඇකැයි මව්බිම පුවත්පත වාර්තා කර තිබුණි. එම වාර්තාව සත්‍ය බව රවි සෙනවිරත්නට සම්බන්ධ ආරංචි මාර්ගද දක්වයි. මෙම තොරතුර සම්බන්ධයෙන් රවි සෙනවිරත්න සිය නිල දිනපොතෙහි සටහනක් යොදා ඇති බව ද කියැවේ.
මව්බිම වාර්තාව පිළිබඳව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් සැක මතු කරන ලද නමුත් ජනාධිපති ගේඨාභ්‍ය රාජපක්ෂ එම වාර්තිව ප්‍රතික්ෂේප කර නැත.
එකළ සිවිල් පුරවැසියකු වූ ගෝඨාභය රාජපක්ෂ මෙම ප්‍රහාරය එල්ටීටීඊයට සමබන්ධ නැති බව දැන සිටියේ කෙසේද යන්න ගැන පාස්කු ප්‍රහාරය පිළිබද කිසිදු පරීක්ෂණ කොමිසමක් හෝ කණ්ඩායමක් හෝ මෙතෙක් ප්‍රශ්න කර නැත.
කෙසේ වෙතත් මෙමගින් පෙනී යන්නේ මෙම ප්‍රහාරයේ ඇත්ත කතාව දැන සිටි කවරකු හෝ මෙම තොරතුර ගෝඨාභය රාජපක්ෂට දෙන්නට ඇති බවයි.
මෙම සියලු කරුණු සලකා බලන විට පෙනී යන්නේ පාස්කු ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වූයේ හුදෙක් එක් පොලිස් නිලධරියකු නිසා යැයි ඒත්තු ගැනිවීමට මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර දරණ උත්සහය පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වසං කිරීමට දැරෙන ප්‍රයත්නයක් ද යන්නයි.