Saturday, April 20, 2024

ඒකාබද්ධ ප්‍රකාශණය: අත්අඩංඟුවේ සිටියදී සැකකරුවන් ඝාතනය කිරීම රජයේ යුතුකම පැහැර හැරීමක්

අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසත්, ශ්‍රී ලංකා පොලිසිය මානව හිමිකම්වලට ගරු කරන ආයතනයක් බවට පත් කරන ලෙසත් ඉල්ලමින් සංවිධාන 14ක් සහ සිවිල් ක්‍රියාකාරිකයෝ 44 දෙනෙක් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිපියක් යොමු කර තිබේ.

එම ලිපියේ පිටපත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ රාජ්‍ය සේවා කොමිසමටද යොමු කර ඇත.

පොලිස් අත්අඩංගුවේ සිටියදී අවසන් වරට ඝාතනය කරන ලද එච් එල් ලසන්ත නම් පුද්ගලයා ඝාතනය කිරීමට සූදානම් වන බව ඊට පැය කිහිපයකට පෙර ඔහුගේ නීතිඥවරයාට ආරංචි වී ඇති බවත්, ඒ අනුව ඔහු ජනමාධ්‍යවේදීන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැනුම්වත් කළ ඇති බවත්, එම ආයතන සහ ජනමාධ්‍යවේදීන් වහාම ක්‍රියාත්මක වී මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට සහ තවත් පොලිස් නිලධාරීන් පිරිසකට දැනුම් දී ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන්වේ.

ආයතන සහ ජනමාධ්‍යවේදීන් කළ දැනුම්දීම් නොතකමින් සැකකරු ඝාතනය කිරීම මඟින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන හෑල්ලු කිරීමක් සිදුව ඇති බව ද, ශ්‍රී ලංකා රජය තම වගකීම් පැහැර ඇති බව එයින් පැහැදිලි වන්නේයැයි ද එම ලිපියේ සඳහන්වේ.

සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන්යොමු කළ ලිපියේ පිටපත පහත දැක්වේ.

2021 නොවැම්බර් 27 වැනිදා.

චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

පොලිස්පතිතුමනි,

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය කිරීම සම්බන්ධවයි.

ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් රැසක් ඝාතනය කිරීමේ සිදුවීම් පසුගිය කාලයේ වරින්වර වාර්තා වූ අතර, එවැනි නීතිවිරෝධී ඝාතන නතර කිරීමට ඔබ පොලිස්පතිවරයා ලෙස ප්‍රමාණවත් මැදිහත්වීමක් කරන අයුරු දක්නට නොලැබිණි.

එහි දිගුවක් ලෙස හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කරින් ලසන්ත නම් සැකකරු නොවැම්බර් 26 බ්‍රහස්පතින්දා (ඊයේ) අලුයම පොලිසිය විසින් ඝාතනය කරනු ලැබූ බවට ජනමාධ්‍ය වාර්තා කළේය.

මේ සැකකරු නොවැම්බර් 25 වැනිදා (පෙරේදා) අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සඟවා තිබූ ආයුධ සොයාගැනීමට රැගෙන යන බව පවසමින් රැගෙන ගොස් වෙඩි තබා මරා දමා සිද්ධියක් නිර්මාණය කිරීමට යන බවට ලැබුණු තොරතුරක් අනුව ඔහුගේ නීතිඥ සංජය එස්. ආරියදාස මහතා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ ජනමාධ්‍ය දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසය ද, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරුන් ද දැනුම්වත් කර තිබේ. එම දැනුම්වත් කිරීම්වලින් පසු මානව හිමිකම් කොමිසම වහාම මේ ගැන ශ්‍රී ලංකා පොලිසිය දැනුම්වත් කළ බව ඊට සුළු මොහොතකට පසු කොමිසම තහවුරු කළේය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මේ ගැන ඊ-මේල් සහ එස්.එම්.එස් මගින් පොලිස්පතිවරයා ලෙස ඔබට දැනුම් දී තිබේ. ඊට අමතරව ඒ මහතා මේ ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයකුට, එම කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂවරයාට මෙන්ම මානුෂීය නියෝජිතායතන සාමූහිකයේ (CHA) ප්‍රධානී සහ උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතාට ද දැනුම් දී තිබේ. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ද මේ ගැන පොලිසිය දැනුම්වත් කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ජනමාධ්‍යවේදීන් සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් 25 වැනිදා රාත්‍රියේ ම මේ ඝාතනය නතර කරන ලෙස ඔබට සහ ඔබ ප්‍රධාන ධුරය දරන ශ්‍රී ලංකා පොලිසියේ වගකිවයුත්තන්ට දැනුම් දී තිබියදීත් මේ සැකකරු ඒ කී ආකාරයෙන්ම ඝාතනය කිරීම නීතිය, නීතිය ක්‍රියාක්මක කරන ආයතන හෑල්ලුවට ලක්කිරීමක් මෙන්ම මානව හිමිකම් සහ නීතියේ පාලනය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුකරන්නකි.

ශ්‍රී ලංකාවේ අපරාධ තුරන් කිරීමට නම් කළ යුත්තේ සැකකරුවන් ඝාතනය කිරීම නොව සැකකරුවන් නීතිය හමුවට පමුණුවා ඔවුන්ට සාධාරණ නඩු විභාගයකට අවස්ථාව ලබාදීම ය.

අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගේ වගකීම ශ්‍රී ලංකා රජයේ වගකීමක් සේ සලකන අතර, අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය කිරීමෙන් තහවුරු වන්නේ ශ්‍රී ලංකා රජය තම වගකීම් හිතාමතා පැහැරහරින තත්ත්වයකි.

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙන්ම එම සැලසුම් ගැන තොරතුරු ලබාදී තිබියදී ඝාතන වළක්වා නොගත් සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, මානව හිමිකම්වලට ගරු කරන ආයතනයක් බවට ශ්‍රී ලංකා පොලිසිය පත්කරන ලෙසත් පහත අත්සන් තබන පුද්ගලයන් සහ සංවිධාන ලෙස අපි ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
විශ්වාසී,

1.     ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
2.     තරුණ නීතිඥ සංගමය
3.     මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
4.     ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
5.     අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය
6.     Right To Life
7.     ජාතික මාධ්‍ය සංසදය
8.     කිතුසර කණ්ඩායම
9.     සමාජ සහ සාමයික කේන්ද්‍රය (සී.එස්.ආර්)
10.  Citizens Commitee, Human Rights Center
11.  Rainbow Pillars for Creativity (R.P.C)
12.  Civil Society Resource Centre
13.  අලුත් පියාපත් කණ්ඩායම
14.  නීතියේ ආධිපත්‍ය සඳහා වූ නීතිඥයෝ

15.  වික්ටර් අයිවන්
16.  මහාචාර්ය ජයදේව උයන්ගොඩ
17.  රුකී ප්‍රනාන්දු
18.  සමන් විජේසූරිය
19.  රොහාන් සිල්වා පියතුමා
20.  නීතිඥ ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු
21.  ධර්මසිරි ලංකාපේලි
22.  උපාලි කොළඹගේ
23.  ජනමාධ්‍යවේදී සිසිර‌ යාපා
24.  නීතිඥ ආචාර්ය හේරත් ආරියරත්න
25.  ජෝසප් ස්ටාලින්
26.  චමින්ද ජයසූරිය
27.  ජනමාධ්‍යවේදී දර්ශිකා සෙල්වචන්ද්‍රන්
28.  ජනමාධ්‍යවේදී කේ සංජීව
29.  ජනමාධ්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ
30.  නීතිඥ මාස් යූසුෆ්
31.  කුමුදු කුමාරසිංහ
32.  ජනමාධ්‍යවේදී ජයනි අබේවික්‍රම
33.  බනුර මලිත් හෙට්ටිආරච්චි
34.  ජනක රණසිංහ
35.  රූපසාරි ලංකාතිලක
36.  තරිඳු ජයවර්ධන
37.  කථිකාචාර්ය චාන්දනී තිලකරත්න
38.  ආචාර්ය ප්‍රියංකර මහකණුමුල්ලගේ
39.  එම් කසුන් සිල්වා
40.  ජගත් මනුවර්ණ
41.  සිසිර තඩිකාර
42.  රවීෂ තිලකවර්ධන
43.  යමිල් තිසර
44.  කෝසල ද සිල්වා
45.  ඉඳුනිල් උස්ගොඩ ආරච්චි
46.  චාන්චනා මාරරත්න
47.  කල්පන ඇම්බ්‍රෝස්
48.  ජෙගන් ජෙගදීසන්
49.  එස් බාලක්‍රිෂ්නන්
50.  ටෙරන්ස් ප්‍රනාන්දු පියතුමා
51.  ජනමාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල
52.  ජොඈන් සෙන්
53.  ශ්‍රීන් සරූන්
54.  මරිසා ද සිල්වා
55.  ශාලික විමලසේන
56.  පිලිප් දිසානායක
57.  තරිඳු උඩුවරගෙදර
58.  රේඛා නිලුක්ෂි හේරත්

පිටපත්
1)     ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
2)     අගවිනිසුරුතුමා
3)     ජාතික පොලිස් කොමිෂන් සභාව
4)     රාජ්‍ය සේවා කොමිෂන් සභාව

Archive

Latest news

Related news