Wednesday, April 24, 2024

ආණ්ඩුව විවේචනය කිරීම නිසා අත්අඩංගුවට ගත් තරුණයා, කෝටියක වන්දි ඉල්ලා නඩු දමයි!

සමාජ ජාල ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීම නිසා අයුක්ති සහගත ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තරුණයකු විසින් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බව සදහන් කරමින් රුපියල් කෝටියක වන්දි මුදලක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෘදුකාංග සංවර්ධකයෙකු වන පිළියන්දල , මඩපාත පදිංචි චිරන්ත රන්මාල් අමරසිංහ විසින් කොවිඩ් මෘත ශරීර ආදාහනය කිරීමේ ආණ්ඩුවේ ක්‍රියාවලිය මුහුණුපොත මගින් විවේචනය කිරීම හේතුවෙන් ඒ සම්බන්ධ පැමිණිල්ලක් ලැබුණු බව පවසමින් තමා නිකරුණේ අත්අඩංගුවට ගැනීම නිසා මෙසේ මූළික අයිතිවාසිකම් කඩකිරීමට වගඋත්තරකරුවන් ලෙස ඔහු දක්වා ඇත්තේ පොලිස්පති සී.ඩී .වික්‍රමරත්න මහතා ඇතුළු හත් දෙනෙකි.

පෙත්සම්කරු වෘත්තීයෙන් මෘදුකාංග සංවර්ධකයෙකු සහ පරිගණක ක්‍රම ලේඛකයෙකු වේ. තවද පෙත්සම්කරු ලංකා යතුරු පැදි ධාවකයින් ගේ සංගමයේ සභාපතිවරයාද වේ. පෙත්සම්කරු කොවිඩ් මෘත ශරීර ආදාහනය කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවෙචනය කරමින් මුහුණු පොතේ සටහන් පළ කළ පසුව ඔහුගේ අයිතිවාසිකම් කඉවීමේ සිදුවීම සිදුව ඇත.

2020 නොවැම්බර් 17 වැනිදා සවස 5.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පෙත්සම්කරුගේ නිවසට පැමිණ පෙත්සම්කරුගේ මුහුණු පොතේ (ෆේස්බුක්) පළ සටහනක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවත් මුහුණු පොතට ඇතුළු වීම සිදු කළ පරිගණක උපාංග රැගෙන පසුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස පැවසූ බවත් දක්වා ඇත.

ඔහු ඊට පසුදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී කොවිඩ් මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් මුහුණු පොතේ පළ කළ සටහන ඉවත් කරන ලෙසට දැනුම් දී තිබේ.

පසුව පෙත්සම්කරු කොවිඩ් රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගන්නා බව දැනුම් දී අත්අඩංගුවට ගෙන 2020 නොවැම්බර් 18 වැනි දින පෙත්සම්කරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කොට පසුව ඇප මත මුදා හරින ලදී.
ඉන්පසුව 2021 ජනවාරි 23 වැනි දින පෙත්සම්කරුගේ පෞද්ගලික විද්‍යුත් ලිපිනයට මරණීය තර්ජනය කරමින් ලිපි ලැබීමක්ද සිදුව ඇත. ඒ නිසා පෙත්සම්කරු පොලිස්පතිට ද පැමිණිලි කළේය.

තමන්ගේ අයිතිවාසිකම් කඩවීඹ පිළිබඳ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද, අදාළ ක්‍රියාවෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද, තමන් සන්තකයේ තිබූ තම පරිගණක උපාංග තමාට ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන්ට නියෝග කරන ලෙසද , රුපියල් කෝටියක වන්දි මුදලක් අය කර දෙන ලෙසද පෙත්සම්කාර මෘදුකාංග සංවර්ධකයෙකු වන චිරන්ත අමරසිංහ සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ධිඨාකරණයෙන් ඉල්ලා සිටී.

LV

Archive

Latest news

Related news