Saturday, April 27, 2024

නිදහස සොයා ගිය දැරියන් තිදෙනා – චින්තන ධර්මදාස

කොළඹ 12න් අතුරුදන් වුනු මුස්ලිම් දැරියන් තුන්දෙනා ආපහු ගෙදර ඇවිත් කියල පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මාධ්‍යවලට කියල තිබුන.

මේ දැරියන් තුන්දෙනා ආගිය අතක් නෑ කියල පැමිණිලි ලැබුනෙ සඳුදා. අවුරුදු 15ක දැරියක් සහ 13ක දැරියන් දෙදෙනෙක් ගැන තමයි මේ ප්‍රවෘත්තිය පළවුනේ. එකම පවුලක සහෝදරියන් දෙදෙනෙක් සහ ඥාති සහෝදරියක් මේ අතර හිටියා.

දැන් ප්‍රශ්නෙ ඉවරයි. ළමයි ගෙදර ආවා, කතාව සමාප්ත වුනා. ඒත් මොකක්ද ඇත්තටම මේ දැරියන්ට වෙලා තිබුනෙ?

ගෙදරින් පැනලා යන මේ කුඩා දැරියන් තමන්ගේ ස්වර්ණාභරණ උකස් කරලා මුදල් අරගන්නවා. ඒ මුදලින් තමන් කැමති ඇඳුම් පැළඳුම් ගන්නවා. කැමති විදිහට අඳින්න පළඳින්න අහිමි නිදහස එක දවසකට හෝ හිමි කරගන්නවා.
ඊළඟට වත්තල පැත්තෙ නැටුම් පංතියකට ඇතුල්වෙන්න උත්සාහ කරනවා. ඒත් වයස අඩු නිසා ඒ අයව නැටුම් පංතියෙන් බාරගන්නෙ නෑ.

ආපහු ගෙදර යන්න බැරි හින්දා මේ තුන්දෙනා අනුරාධපුරේ යන බස් එකකට නගිනවා. අනුරාධපුරෙන් මහනුවරට එනවා. මහනුවරින් ආපහු කොළඹ එනවා.

දැනගන්න තියෙන විදිහට ඊළඟට මේ දැරියන් තුන්දෙනා සිරිකොතටත් ගිහින් තියෙනවා. සජිත් ප්‍රේමදාස මුනගැහෙන්න හදලා තියෙනවා. අවාසනාවට සජිත් ඒ වෙලාවෙ ඉඳලා නැති නිසා මේ වගේ ප්‍රශ්නෙකදි එයා කොහොම ක්‍රියා කරයිද කියන එක අපිට බලාගන්න බැරි වෙනවා. වෙන යන්න තැනක් නැති තැන ආපහු තමන්ගේ ඥාති නිවසකට යන්න මේ දැරියන් තීන්දු කරනවා.

මේක තනිකරම ඉරාන චිත්‍රපටයක කතාවක් වගේ. උපන් ආගම හින්දම තමන්ට තහනම් කළ නිදහස හොයාගෙන මේ පුංචි කෙල්ලො තුන්දෙනෙක් ගහන කැරැල්ලක් මේක.

මුස්ලිම් සංස්කෘතියේ දැඩි විදිහට විශේෂයෙන්ම කාන්තාවන්ගේ නිදහස පාලනය කරනවා. අනිත් ආගම්වල තියෙන්නෙත් සාපේක්ෂ වෙනසක් විතරයි. මේ වෙද්දි අලුත් බෞද්ධ භික්ෂූනුත් කොටට ඇඳීම, ගීත නැරඹීම වගේ දේවල් පාපයන් හැටියට දේශනා කරමින් යනවා. කාන්තාවන් බලෙන් හික්මවන්න හදනවා.

තමන් උපන් පවුලේ ආගම නිසා තමන්ගේ ජීවිතයේ කැමති යමක් තෝරාගැනීමට ඇති අයිතිය අහිමි කිරීම කොයිතරම් ඛේදයක්ද? තමන්ට අඳින්න පළඳින්න ඇති නිදහස, නටන්න, කන්න බොන්න ඇති නිදහස තමන් ඉපදෙන්නත් කලින්ම තීන්දු වෙලා තියෙන එක කොයිතරම් අසාධාරණයක්ද?

මේ විදිහට දරුවන්ට තමන් කැමති දෙයක් ඉගෙනීමේ අයිතිය ජාති ආගම් හේතුමත තහනම් කිරීම ළමා අයිතිවාසිකම් උදුරාගැනීමක් නෙමෙයිද? (දෙමව්පිය කැමැත්ත පරිදි පොඩි උන් මහණ කිරීම හා සමානම හිංසනයක්)

මේ නිදහස හොයාගෙන ගිය දැරියන් ඒ ගමනේදි තව කොයිතරම් ආපදාවලට ලක්වෙන්න ඉඩ තිබුනද?

දැරියකට විතරක් නෙමෙයි ලංකාවෙ ගුරුවරියකටවත් තමන් කැමති ගැලපෙන ඇඳුමක් ඇඳීමේ නිදහසක් නෑ. සාරිය අනිවාර්යයක් වෙලා තියෙනවා. කාන්තාවන්ගේ තෝරාගැනීමේ නිදහස මේ විදිහට අවහිර කිරීමේ පදනම මොකක්ද කියල කිසි කෙනෙක් ප්‍රශ්න කරන්නෙ නෑ.

තමන් විසින් තෝරා නොගත් ආගමක් හෝ සංස්කෘතියක් විසින් දරුවන්ගේ ජීවිතය පාලනය කිරීම, නිදහස අහිමි කිරීම කියන කාරණය සාකච්ඡාවට ගත යුතුයි.

ඒ කවර හෝ ශික්ෂණයක් ඔවුන්ගේ තෝරාගැනීමක් විය යුතුයි. එහෙම නැත්තං එතන සිද්ද වෙන්නෙ බලහත්කාරයක්. මේ දැරියන් පලා යන්නේ ඒ බලහත්කාරයෙන් දවසකට හෝ මිදිලා නිදහසක් විඳින ආශාවෙන්. ඒක හදවතට දැනෙන ඉල්ලීමක්.

දැන් ආපහු ඒ දැරියන් පරණ විදිහට ඒ සංස්කෘතිය ඇතුලෙ කූඩු කරාවි. පෙරටත් වඩා දැඩි විදිහට රැකවල් පනවාවි. හරියට ගහලා හදපු නැති නිසා කියල දෙමව්පියන්ටත් ඥාතීන් චෝදනා කරාවි.

සිරගත කළ, නිදහස අහිමි කළ, කාන්තාවන් විදිහට ලොකු මහත්වෙලා (සමහර විට පුළුවන් තරම් ඉක්මණට) පවුලේ කැමැත්ත පරිදි කසාදයකට එළඹීම ඒ අයගේ දෛවය වේවි. තමන්ගේ නිදහස වෙනුවෙන් මේ කළ කැරැල්ල ඒ අයත් අමතක කරන මතකයක් වේවි.

නටන්න ඇති ආශාව පාපයක් බව තමන්ටම දැඩිව කියාගන්න මේ දැරියන්ට සිද්ද වේවි.

මේ දැරියන් කවදා හෝ දවසක මව්වරුන් වී තමන්ගේ දරුවන්ටවත් ඒ තමන්ට අහිමි වූ නිදහස විඳින්න ඉඩ දෙයිද? සංස්කෘතික බලහත්කාරය ක්‍රියාත්මක වෙන්නෙ ඒ විදිහට නෙමෙයි.

පීඩිතයාම ඊළඟ වටයේ පීඩකයා වීමයි ඒකෙ සැබෑ මුහුණුවර වෙන්නෙ.

– චින්තන ධර්මදාස  Face Book.

Archive

Latest news

Related news