Tuesday, July 16, 2024

ජෙනරල් දෙන්නෙකුත් එක්ක සර්ට තවත් පේල් රිපොර්ට් කාඩ් එකක්

ජායාරූපය: මේජර් ජෙනරාල් එම් ඩී එස් පී නිවුන්හැල්ල.

එක දිගට රිපෝට් කාඩ් එකට බිංදුව වැටෙමින් තිබෙන ගෝඨාභය රාජපක්ෂට තවත් බිංසුවක් පසුගිය පසුවනදා එක් විය.
ඒ සහල්, සීනි සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහා සති කිහිපයකට පෙර පැනවූ හදිසි රෙගුලාසි අවලංගු කිරීමට සිදුවීමෙනි. පසුගිය 06 දින පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතුව තිබූ හදිසි නීති රෙගුලාසි එයට ඉදිරිපත් කැරුණේ නැත.

හදිසි නීති රෙගුලාසි පනවා සක්‍රීය යුද හමුදා සේවයේ සිටින ජනාධිපති ආරක්ෂක ප්‍රධානියා ද වන මේජර් ජෙනරාල් එම් ඩී එස් පී නිවුන්හැල්ල අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ධූරයට පත් කරන ලද්දේ යුද බලයෙන් හෝ සහල් සහ සීනි සැපයුම සහතික කර මිල පාලනය කිරීම පිනිසය.

මේජර් ජෙනරාල් නිවුන්හැල්ල යටතේ පොලිස් සහ යුද කණ්ඩායම් සහල් මෝල්වලට පැන වැඩ කිඩ දමන අන්දම රෑපවාහිනී නාලිකා වල ගජරාමෙට දක්නට ලැබුණි.

අන්තිමේදී නටපු නැටුමකුත් නැතිව බෙරේ පලුවකුත් නැතිව මේජර් ජෙනරාල් එම් ඩී එස් පී නිවුන්හැල්ලට ආපසු සිය යුද හමුදා රාජකාරියට යන්නට සිදු විය.

ඩඩ්ලි සිරිසේනලාට වූ හදියක් නැත. සීනි ජාවාරම්කරුවෝද ආතල් එකේ සිටිති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි නීතිය ප්‍රකාශයට පත් කර තම ආරක්‍ෂක අංශ ප්‍රධානියා වන නිවුන්හැල්ල අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස නම් කළේ 2021 අගෝස්තු 30 දා ය.

මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තියට අනුව පැවරී ඇති බලතල අනුව, 2021 අගෝස්තු 30 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි, අත්‍යාවශ්‍ය ආහාර සැපයීම පිළිබඳ 5 වැනි වගන්තියට අනුව සකස් කරන ලද හදිසි නීති රෙගුලාසි ජනාධිපති රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

අනතුරුව ආහාර තොග අත් අඩංගුවට ගැනීමට, ගබඩා සහ එම ද්‍රව්‍ය ප්‍රවාහනය කරන වාහන රාජසන්තක කිරීමට මේජර් ජෙනරාල් නිවුන්හැල්ලට බලය පවරන හදිසි රෙගුලාසි සැප්තැම්බර් 06 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් නිවුන්හැල්ලට සහායට ඩැනී ලෙස තවත් මේජර් ජෙනරාල්වරයකු සියියේය. ඒ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ය.

ඔවුහු සීනි මෙට්‍රික් ටොන් 29,000ක් අත්අඩංගුවට ගත්තේය.

නමුත් සීනි මිල රජයට කොකා පෙන්වමින් ජනයාට ගිනි කැව්වේය.

ගබඩා කර ඇති ආහාර තොග අත්පත් කර ගැනීම සඳහා මෙම මේජර් ජෙනරල්වරු දෙදෙනා එක්ව කටයුතු කර අතවශ්‍ය පාර්භෝගික ද්‍රව්‍ය සුලභ කරනු ඇතැයි ජනාධිපති ගෝඨාභයගේ ටිකිරි මිලිටරි මොළය සිතන්නට ඇත.

නමුත් සිදුවූයේ අනෙක් පැත්තය.

යළිත් පේල් ලකුණූ ලබා ගනිමින් ජනාධිපති රාජපක්ෂට එම මෙහෙයුම අත්හැර නව ගැසට් නිවේදනයක් මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක සිල්ලර මිල සීමාව ඉවත් කිරීමට සිදු විය.

සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට ඇමැති මණ්ඩලය තීන්දුවක් ගත්තේය.

ඒ පසුගිය 04දාය.

එමගින් පරිප්පු, සීනි, හාල්මැස්සන්, මුං ඇට, අල, ලොකු ළූණු, ටින් මාළු, කඩල, තිරිඟු පිටි, සම්පූර්ණ ක්‍රීම් කිරිපිටි, කරවල, පොල්, කුකුල් මස් සහ බඩ ඉරිඟු යන ආහාර ද්‍රව්‍යවල සිල්ලර මිල පාලනය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලදී.

මාස දෙකක් තුල රාජපක්ෂට බඩ පිනුමක් ගැසීමට සිදු විය.

බඩ පිණුම් වාර්තාව නෙහොත් ගැසට් ආපසු හැරවීම අතින් ගීනස් පොතට යාමට රාජපක්ෂට දැන් අවස්ථාවක් තිබේ.

ජනාධිපතිගේ ආණ්ඩුවට සැලැස්මක් නැතැයි අනුර යාපාගේ සිට දයාසිරි ජයසේකර දක්වා දැන් මැසිවිළි කියති.

මෙම හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාවෙහි එය විපක්ෂයේ විරෝධයට හේතු වූ අතර දෙමළ ජාතික සන්ධානය අනතුරු ඇඟවීය. සිවිල් සමාජය ද මෙම පියවරට විරෝධය පළ කළේය.

නමුත් සර්ට එය තේරුම් ගන්නට පස්ස පැත්ත බිම ඇනෙන තුරුම බැරි විය.

සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news