Friday, November 22, 2024

ප්‍රජාතන්ත්‍රවාදයට ආරෝවෙන් ඒකාධිපතිවාදයට පෙම්බැඳීම.- රංජිත් හේනායක ආරච්චි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2016 මැතිවරණ ජයග්‍රහණය සමග ලෝකය පුරා දක්ෂිනාංශික දේශපාලන බලවේගයන්, පැසිස්ට්වාදී කණ්ඩායම්, ඒකාධිපති බලවේග, ගතානුගතිකවාදී පසුගාමී වැඩවසම් චින්තන ධාරීන් නව ජවයක් සහ උත්තේජනයක් ලබමින් ජයග්‍රාහි පිම්මක් ඉදිරියට පැන්නේය. එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් සහිත රටවල් වන ඉතාලිය, අමෙරිකාව යනාදියේ සිට ‍ප්‍රජාතන්ත්‍රවාදය පැහැදිලි දියුණුවක් නොලැබූ බ්‍රසීලය, ශ්‍රී ලංකාව වැනි රටවල් දක්වා එක ලෙස පෙන්නුම් කරයි.

වැරදුණූ “ඉතිහාසයේ අවසානය” 

ඒ සමගම සමහර ප්‍රගතිශීලී බුද්ධිමතුන්ද මෙම ජය ප්‍රජාතන්ත්‍රවාදයේ අසාර්ථක බව ලෙස හුවා දැක්වීමටත් ලෝකය ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේපකර නව අධිකාරිවාදී රාජ්‍යයන් වෙත ගමන් කරන බවත් කෙලින්ම හෝ වක්‍රව පැවසීමට න්‍යායිකව කරුණු දැක්වීම පටන් ගත්තේය. බොහෝවිට  තමන්ගේ දේශපාලනය විග්‍රහ කරගැනීමේ දුර්වලකම නිසා නැතිනම් සමහරවිට පිත්තල බොත්තම් වල දිස්නෙන් ඔවුනටද ගිනිකන වැටීම නිසා මෙසේ සිදුවෙනවා විය හැක.

එදා 1989 බර්ලින් තාප්පය පෙරලා දැමීම සමග මෙවැනි ගැම්මකින් නව ලිබරල්වාදයේ ජයග්‍රහනයන් ගැනද “ඉතිහාසයේ අවසානය” එය යයි කියමින් මෙවැනිම කොටසක් උදම් ඇනුවේය. එනමුත් එය පැවතුණේ 2008 නව ලිබරල්වාදී ආර්ථික අර්බුදය විසින් ලෝකය අන්දමන්ද කරන තුරු පමණය. මේ දක්වාම ලෝකය පැටලී සිටින්නේ නවලිබරල් වාදය විසින් ඇතිකල එම ආර්ථික සහ සමාජ අර්බූදයේය.

එකඟතාවය මෙන්ම සමාදානය 

ප්‍රජාතන්ත්‍රවාදය යනු සදා නිම කළ දෙයක් නොවන බවත් ගොඩනගමින් තවදුරටත් ඉදිරියටත් ගොඩනැගීමට ඇති ගොඩනැගිල්ලක් බව බොහෝ අයට ආගන්තුකය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී සෑම විටම එය ගැටළු සහගත සහ අපහසුතාවයන් මැද සිදු වන ක්‍රියාදාමයක් බවට පත්වෙයි. එසේ අපහසුතාවයන් ඇත්තේ විවිධාකාර මිනිස්සුන්ගේ උවමනාවන් -මිනිසුන් යනුම විවිධත්ව එකමුතුවකි- එක්තරා පමණකට හෝ ඉටු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඇති වුවමනාව සහ එනිසාම නොයෙක් එකඟතාවයන්ට මෙන්ම සමාදානයන්ට ඒමට සිදු වන හේතුවෙනි. එවිට එයට ප්‍රශ්නවලට ඍජු ඉක්මන් විසඳුම් වෙනුවට කල්බලන සැමට එකඟවිය හැකි විසඳුම් සෙවීමට සිදුවෙයි. එනිසා කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල මන්දගාමී ක්‍රමයක් ලෙස පෙනී යා හැකිය. නමුත් සමාජයක පවතින විවිදත්වයන්ට සහ විවිද ජන වුවමනාවන්ට යම් පමනක හෝ විසඳුම් සෙවීමට හැකියාව එතුල ඇත.

කළකිරීමෙන් හිට්ලර් වෙතට

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් නාමිකව ඇති රටවල ජනතාව ඒ පිළිබඳව කලකිරී තම ඡන්දයෙන් ඒකාධිපති නැඹුරුවක් ඇති දේශපාලන බලධාරීන් පත් කරවනු ලබන්නේ කලක් තිස්සේම බලයලත් දේශපාලන බලාධිකාරය සහ බලවතුන් ජනතා උවමනාවන් ඉටු නොකිරීම නිසා ඇති වන බරපතල කලකිරීම නිසාය. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමේ වුවමනාව සඳහා ජනතා ඡන්දයෙන් තේරී පත් වන රාජ්‍ය නායකයින් රාජ්‍ය බලය අපයෝජනය, ගජමිතුරු ඥාති සංග්‍රහය, දූෂණය, ආදී දූෂිත දේශපාලනයක යෙදෙන විට ජනයා තුළ කලකිරීම ඇතිවන්නේ එම පුද්ගලයින් සහ ඔවුන් නියෝජනය කරන පක්ෂ ගැන පමණක් නොවේ. මුළු එකක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයම ගැනය. ලංකාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්කර ගන්නේද මේ අයුරිනි. “අපට ශක්තිමත් නායකයකු” “හිට්ලර් වැනි නායකයකු” “බිය නැති නායකයකු” වැනි සටන්පාඨ ඔහුව බලයට ගෙන ඒ්මට ඉවහල් කර ගන්නා ලදී.

මූලිකවම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ඇති වීමට නම් රට තුළ අවබෝධයෙන් යුතු ජනතාවක් සිටිය යුතුය. එවැනි ජනතාවක් ඉබේ ඇති වන්නේ නැත. හුදෙක් ඡන්ද බලය හිමිවීම  ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. ඡන්ද බලය හිමි මිනිසාගේ හිස ප්‍රජාතන්ත්‍රවාදී දැනුමෙන් සහ උවමනාවෙන් සැපිරී  තිබිය යුතුය. එසේ නොවන අවස්ථාවක බල ලෝභයෙන් යුතු ඒකාධිපතිවාදී බලවේග, ප්‍රජාතන්ත්‍රවාදය පෙරළා දමා තම සිතැඟි අනුව ඒකාධිපතිවාදී රාජ්‍ය බලයක්, එසේ නැත්නම් අධිකාරීවාදී බලයක් ගොඩනගා ගැනීමට නිරන්තරයෙන් බලා සිටිති. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක් තුළ ඇති කරන සෑම දූෂණයක්ම, හැම වරදක්ම, සෑම පසුබෑමක්ම මෙම ප්‍රතිගාමී බලවේගයන් තම බල උවමනාවන් මුදුන්පත් කරගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ප්‍රචාරය කිරීමේ ජනප්‍රියවාදී සටන් පාඨයන් ලෙස පෙරට දමයි.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන නිවරදි අවබෝධයකින් තොර ජනයා හෝ ජනතාවක්, එසේනම් නැත්නම් දේශපාලන අවබෝධයකින් යුතු වූවා වුවත් ලේසි පහසු ක්‍රමයකින් ප්‍රශ්න විසදා ගැනිමට සිහින මවන කොටස් ඉක්මනින් මෙම සටන් පාඨ වල ගොදුරු බවට පත් වෙයි.

එයින් ප්‍රයෝජන ගන්නා ඒකාධිපතීන් හා ෆැසිස්ට්වාදීන් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් බලයට විත් ප්‍රජාතන්ත්‍රවාදය වළ දමයි. ඇත්තෙන්ම ෆැසිස්ට්වාදීන්, ඒකාධිපතිවාදීන් මෙහිදී ක්‍රියාවට නගන්නේ ෆැසිස්ට්වාදී දාර්ශනිකයකු වූ ඉතාලි ජාතික ජුලියස් එවෝලා කියා දුන් ලෙස කොටියා හෙම්බත් වනතුරු කොටියාගේ පි‌ටේ යාමයි.

රජකු හෝ රජකුට සමාන අධිපතියකු පැතීම

ඒ වාගේම තවත් ප්‍රධාන කාරණයක් වන්නේ රටක ජනතාව තමාගේ උමනාව මත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක් තෝරා ගන්නවා වෙනුවට එය වෙනත් ආකාරයකින් එම රටට ලැබුණු දේශපාලන ක්‍රමයක් වීම නිසා තවමත් තමන් තුළ තම පැරණි යටහත් ගැති සමාජමය උරුවට ඇති අවිඥානික ආසාව තවත් එවැනි ආධිපත්‍යයක් පැතීමට එසේ නැත්නම් තමන්ටත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් වෙනුවට රජකු හෝ රජකුට සමාන අධිපතියකු පැතීමේ සිහින ආසාවයි.

ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ලැබෙන්නේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ රටවල් තුළ ඇති වන දේශපාලන වෙනස්කම් හේතු කරගෙනය. ඒ මිස අපට රජකු එපා යයි කියූ ජන නැගිටීමකින් අප විසින්ම ජනරජයක් ඇතිකර ගැනීම නිසා නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ අමිල සාධකය

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පවතින සෑම තැනකම සියල්ල ඉතා හොඳින් ක්‍රියාත්මක නොවන බවද අපි දනිමු. නමුත් රටක ජනතාවට තම පාලකයින් අනවශ්‍ය යැයි සිතෙන විට පාලකයින් වෙනස් කර ගැනීමේ හැකියාව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් තුළ පමණි.

අද ලෝකයේ පවතින වෙනත් කිසිම රාජ්‍ය ක්‍රමයක් තුළ ජනතාවට තමන් හිතන ආකාරයෙන් පාලකයින් වෙනස් කරගැනීමේ අවස්ථාවක් නොලැබේ. ඒ වගේම මිනිස් නිදහස පිළිබඳ කාරණයේදී මෙතෙක් පැවති සහ පවතින රාජ්‍ය ක්‍රමයන් දෙස බැලීමේදී වඩාත්ම නිදහස්වාදී ආණ්ඩු ක්‍රමය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකින් යුතු රාජ්‍ය ක්‍රමයක් බව පැහැදිලිය.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක ඇති දුර්වලකම් වලින් සහ ඒ රාජ්‍යයන් තුළ ඇතිවන දුෂණ සහ අක්‍රමිකතා හුවාදක්වමින් එම අවස්ථාව තම උවමනාව ඉටු කර ගැනීමට මාර්ගය කර ගැනීමට උත්සාහ දරන ඒකාධිපති හෝ පැසිස්ට්වාදී දේශපාලන බලවේගයන් සහ පුද්ගලයන් උත්සාහ කරන්නේ ආඥාදායකත්වයක ඇති සොඳුරු බව කියා පෑමටයි.

ඒ සඳහා ඔවුන් හුවා දක්වන්නේ කොන්ද පණ ඇති පාලකයෙක්! රටට ආරක්ෂාව දිය හැකි පාලකයෙක්! රටේ ජනතාව කිසි චාරයක් නැතිව හැසිරෙන හෙයින් ඔවුන් යහමගට ගැනීමට හැකි බලවත් දේශපාලන හස්තයක්! වැනි සටන් පාඨය. ඒකාධිපතියන්, ආඥාදායකයන් බලය ලබාගත් සෑම රටකම පාහේ ප්‍රශ්න විසඳෙනු වෙනුවට ඒවා තවත් උග්‍ර වී ජනතාවට තිබුණ ටිකත් නැතිව ගොස් ඇති බවට ලෝක ඉතිහාසය තුල උවමනාවටත් වඩා උදාහරණ තිබේ.

ඒ වාගේම මේ සමගම තවත් කොටසක් කාලයක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් වෙනුවට කුමන වර්ගයේ හෝ ඒකාධිපති ක්‍රමයකින් ප්‍රශ්න විසඳිය හැකිය සිතීමට ඇබ්බැහිව සිටීම හේතුවෙන්, ඔවුන් දිගින් දිගටම සවිඥානිකව හෝ අවිඥානිකව ආඥාදායකත්වයන් පැතීම ඔවුන්ගේ මනස්තුල පැලපදිම්ව තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය ඔවුනට තමාගේ අ‌නෙකා වන අතර ආඥාදායකත්වයන් වෙත සිහින් ප්‍රේමයක් ඇත.

බලාධිකාරය නීතිය බවට පත්වීම  

තමා කැමති ආඥාදායකත්වය ගොඩනගා ගැනීමට නොහැකි වූවා වුවත් වෙනයම් ආකාරයක ආඥාදායකත්වයක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයකට වඩා උචිත යයි ඔවුන් තුළ පැලපදියම් වී ඇති මානසික මට්ටමයි. මෙම කොටස් අවසාන විග්‍රහයේදී ස්ථාන ගතව සිටින්නේ ප්‍රතිගාමී බලවේගයන්ගේ ස්ථානයේ බව ඔවුන් වටහා ගන්නා විට කාලය පමා වී තිබිය හැක.

ඒකාධිපති ක්‍රමයක් හෝ පැසිස්ට්වාදී ක්‍රමයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයකදී මෙන් ප්‍රශ්න සාකච්චා කිරීමක් වැනි ගැටළු නොමැත. ඒකාධිපති ක්‍රමයක බලාධිකාරය නීතිය බවට පත් වේ. නීතිය බලාධිකාරයේ කැමැත්තයි. එම බලාඅධිකාරියේ දැක්ම රටේ දැක්මයි.

බලාඅධිකාරය ක්‍රියාත්මක කරන මොනයම්ම හෝ ක්‍රියාදාමයකට ජනතාවගේ කැමැත්ත හෝ අකමැත්ත වැදගත් නොමැත. ඒ පිළිබඳ සාකච්ඡා තිබිය නොහැක.

සියල්ල බලාධිකාරයේ කැමැත්ත අනුව ක්‍රියාත්මක වන විට එයට තම කැමැත්ත දීමට යටහත් පුරවැසියා බැඳී සිටී. එයට එරෙහි වන්නේ නම්, එයට විරුද්ධ මත දරන්නේ නම් ඔවුන් සඳහා හිරගෙවල් සහ මිනී පිට්ටනිවල ඉඩ තිබේ.

පමා වීමට පෙර

අද ලංකාවේ සිදුවෙමින් පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය වළ දමා ඒකාධිපති බව සමාජගත කිරීමයි. මෙතෙක් යන්තමට හෝ තිබූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අද එකින් ඒක අහෝසි කරමින් පවතී. ඒකාධිපතිවාදයට තෝතැන්න ලෙස මේ වනවිටත් ඔවුන් බිය සමාජ ගත කර හමාරය.

එනිසා ලංකාව වැනි හමුදාකරණයට නතු වී ඇති රටක තමා ස්ථානගත විය යුත්තේ කොතැනක ද යන්න එහි බුද්ධිමතුන් සහ ප්‍රගතිශීලීන් මොහොතක් සිතා බැලීම වැදගත්ය. එසේ නැත්නම් ඔවුන් බොහෝ විට හෙට පමා වී තිබීමට ඉඩ ඇත.

 

Archive

Latest news

Related news