Saturday, April 20, 2024

යුද අපරාධ විමසීමට තහනම් විදෙස් යාන්ත්‍රණකට අසූචි පොහොර වෙනුවෙන් චීනය සමඟ එකඟ වෙයි ! – සුනන්ද දේශප්‍රිය.

ඡායාරූපය: මං දෙන්ඤං!

චිනයෙන් ගෙන්වන ලද අසූචි පොහොර පීබඳව ශ්‍රී ලංකාවේ පැලෑටි නිරෝධයන මධ්‍යස්ථානය විසින් කරන ලද පරීක්ෂණ වාර්තා දෙකක්ම පිළිගත  නොහැකි බව තරයේ කියා සිටින පොහොර නිශ්පාදන සමාගම වන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප්  ඒ සදහා දෙපාර්ශයටම පිළිගත හැකි තුන්වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු බවට අවධාරණය කර තිබේ.

මෙම තර්කයෙහි හරය වන්නේ දේශීය යාන්ත්‍රණයන් පිළිගත නොහැකි නම් අන්තර් ජාතික යාන්ත්‍රණයක් කරා ප්‍රශ්ණය ගෙන යා යුතු බවයි.

මෙම තර්කයට අනුව ලංකාණ්ඩුවේ දේශීය යාන්ත්‍රණ පිළි නොගන්නා අතුරුදහන් කරන ලද පුද්ගලයින්ගේ මා පියන්ටද තෙවැනි පාර්ශවීය විදෙස් යාන්ත්‍රණයක් ලබා දිය යුතුමය. චෝදිත යුද අපරාධ සම්බන්ධයෙන්ද එයම සිදුවිය යුතුය.

රාජපක්ෂ පවුලේ ඇමැතිවරයකු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ ඊයේ ප්‍රකාශ කර තිබුණේ තෙවැනි පාර්ශයවයක් පිළිබඳ ඉල්ලීමට තමන් එකඟ වූ බවයි.

තමන්ගේ පොහොර විකුණා ගැනීම පිණිස විදේශීය තෙවැනි පාර්ශවීය යාන්ත්‍රණයක් ඉල්ලා සිටින චීනය යුද සමයෙහි සහ ඉන් පසු  මෙරට  සිදුවූ  මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පරීක්ෂා කිරීමට තෙවැනි පාර්ශවයක පත් කිරීමට දැරෙන සියලු උත්සාහයන්ට විරුද්ධ වන්නේ ද එස්ජීඑස් සමාගම පිහිටා තිබෙන ස්විස්ටර්ලන්තයේදීය. එනම් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදීය.

චීනයද ශ්‍රී ලංකාවද මානව හිමිකම් කවුන්සිලයේදී එක්ව ගායනා කරන යුග ගීතය වන්නේ දේශීය යාන්ත්‍රණ මිස අන්තර් ජාතික යාන්ත්‍රණ යනු රටක ස්වාධිපත්‍ය පාවා දීමක් බවටය.

දැන් ෂී ජින් පිං ගේ චීනයත් ගෝඨාභය රාජපක්ෂගේ ලංකාවක් අසූචි පොහොර පරීක්ෂා කිරීමට විදේශීය තෙවැනි පාර්ශවයකට එකඟවී සිටී.

එස් ජී එස් සමාගම පිහිටා ඇත්තේ ස්විස්ටර්ලන්තයේ සෙන්ගාලන් කැන්ටනයේය.

වීන සමාගම සිය ලිපියෙහි ලා පවසන්නේ ලෝකයේ ඉහළම පරීක්ෂණ සමාගමක් වන ස්විට්සර්ලන්තයේ එස්.ජී.එස්. සමූහය හරහා නැවත සාම්පල පරීක්ෂණයක් හැකි ඉක්මනින් කරන ලෙසත් පාර්ශ්ව දෙකම එහි ප්‍රතිපල පිළිගත යුතු බවත්ය.

සිය දරුවන් අහිමි වූ දහස් ගණනාවක් මව්වරුන් එම අතුරුදහන් කිරීම්වලට සම්බන්ධ ශ්‍රී ලංකා රජයේ යාන්ත්‍රණයන් ප්‍රතික්ෂේප කරමින් ඉල්ලා සිටින්නේ ද එක්සත් ජාතීන් වැනි සියලු ම පාර්ශවයන්ට පිළිගත හැකි යාන්ත්‍රණයකට එම ප්‍රශ්නය බාර දෙන ලෙසයි.

ශ්‍රී ලංකාවේ දහස් ගණනාවක් මව්වරුන්ට නැති අයිතියක් චීන සමාගමකට ලබා දීම පෙන්වන්නේ රාජපක්ෂ දේශපාලනයේ තුච්ච බව මිස අනෙකක් නොවේ.

මේ සම්බන්දයෙන් චීන සමාගම දක්වන තර්ජනාත්මක ආකල්පය යටත් විජිත පාලකයකු සිහි ගන්වයි.

ඒ කොතෙක්ද යත් එම පරීක්ෂාවෙන් පසු පොහොර අහිතකර බැක්ටීරියාවන්ගෙන් තොර බව සනාථ වුවහොත් ශ්‍රී ලංකාව වහාම එම පොහොර තොගය ගොඩ බාගෙන නියමිත මුදල ගෙවිය යුතු බවද එම සමාගම තර්ජනාත්මකව කියා සිටී.

මාධ්‍යටත් තර්ජන

තවද එසේම අහිතකර බැක්ටීරියා නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වහාම අදාළ ප්‍රවෘත්තිය නිවැරදි කළ යුතු බවත්, සාවද්‍ය පුවත පළ කිරීම ගැන නීතිමය තත්ත්වය සොයා බලන බවටත් එම ලිපිය තර්ජනය කරයි.

එමෙන්ම මහජන බැංකුව ණයවර ලිපියේ බැඳී සිටින කොන්දේසිවලට අනුකූලව සහ අන්තර්ජාතික වෙළෙඳ නීතිවලට අනුව කටයුතු නොකරන්නේනම් , එම බැංකුව චීනයේ අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට හෝ චීන ආයතන එකී බැංකුව සමඟ ගනුදෙනු කිරීම වැළැක්වීම සඳහා කටයුතු කරන බවටත් තර්ජනය කරයි.

( විවිධ මුලාශ්‍ර ද ඇසුරු කෙරිණ)

Archive

Latest news

Related news