Friday, March 29, 2024

ගෝටා ආයෙත් පේල්ම පේල්;  කාබනික නාඩගම ඉවරයි! – රජිත් කිර්ති තෙන්නකෝන්

පොහොර, කෘමි නාශක, වල් නාශක ගෙන්වීමේ ආයනයන අපනයන බලය සංචාරක, වැවිලි අමාත්‍යාංශ ලේකම්වරුන්ට පලිබෝධ නාශක පනත ට්‍රිබල් රිවස් කරයි. කෘෂි රසායන ආනයන තහනම ඉවත් කරයි.  කාබනික නාඩගම ඉවරයි.

පලිබෝධ නාශක ආනයන කිරීමේ නියෝජ්‍ය පාලකවරුන් ලෙස සංචාරක හා වැවිලි අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කර ඇත.  ‘වගාවන් සඳහා පොහොර, කෘමිනාශක සහ වල් නාශක ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ දී දැනට සිදු කරනු ලබන ක්‍රමවේදය සරල කරමින් ප්‍රමාදයකින් තොරව එකී ද්‍රව්‍ය වගාකරුවන් වෙත ලබාදීමේ අවශ්‍යතාව මත‘  පලිබෝධ නාශක ගෙන්වීම සඳහා අනුමැතිය ලබාදීමේ නියෝජ්‍ය ආනයන අපනයන පාලකවරුන් ලෙස සංචාරක  සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරුන් ලබන සතියේ සිට කටයුතු කරනු ඇත. මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුව, අදාල තීරණය ගෙන ඇත.

ලංකාවේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම අඩාල කිරීමට හේතු වී ඇති ‘කෘෂි රසායන තහනම‘ මෙමගින් අවසන් කිරීම සතුටට හේතුවකි. එක් රැයකින් රටක් කාබනික කිරීමේ නාඩගම ඒ අනුව තාර්කික අවසානයකට පැමිණ ඇත.  

කෙසේ නමුත්, පලිබෝධ නාශක ගෙන්වීම සඳහා අවසරය ලබාදීම පළිබෝධ නාහක රෙජිස්ට්‍රාර්වරයාගෙන් බැහැර වන්නේ නම්, එය අතිශයින් අවදානම් සහතය ක්‍රියාවලියක් බවට පත්වේ. 1980 අංක 33 දරණ පළිබෝධ නාශක පනත මගින් ශ්‍රී ලංකාවට ප්‍රමිතියකින් හා පාලනයකින් යුතු පළිබෝධ නාශක ගෙන්වීමේ නියාමන හා පාලන ක්‍රියාවලියක් සථාපනය කර ඇත.

නව කැබිනට් තීරණය මගින් පලිබෝධ නාශක පනත උල්ලංඝණය වන්නේ දැයි පැහැදිලි නැත. කෙසේ වුව ද, ලංකාවට අතිශයින් විෂ සහිත ද්‍රව්‍ය පාලනයකින් තොරව ගෙන වැලැක්වීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පළිබෝධ නාශක පාලන ක්‍රියාවලිය තවදුරටත් යොදා ගැනීම අතිශයින් වැදගත් ය.

පලිබෝධ නාශක බලය සංචාරක – වැවිලි අමාත්‍යාංශ වෙත පැවරීම විකාර වඳුරු කුණුහරපයකි

පළිබෝධ නාශක පිළිබඳ කටයුතු කිරීමේ විශේෂඥතාව ඇති කෘෂිකර්ම අමාත්‍යංශයක් තිබිය දී, සංචාරක හා වැවිලි අමාත්‍යාංශ වෙත අදාළ බලය පැවරීම විකාර රූපී විහිළුවකි. පිලිබෝධ නාශක සම්බන්ධයෙන් නෛතික පාලන බලයක් හෝ පාලන යාන්ත්‍රණයක් මේ අමාත්‍යාංශයන්ට නැත.  

එක් රැයකින් කාබනික කෘෂිකර්මාන්තය ස්ථාපනය කිරීම සඳහා රජයේ ක්‍රියා පිළිවෙත රට තුල මේ වන විටත් දැවැන්ත විරෝධයකට හා අවුල් ජාලාවකට හේතුවී ඇත. එය නිවැරදි කිරීම රජයේ වගකීමකි.  එය තවදුරටත් අවුල් ජාලයක් බවට පත් නොවීමට රජය කටයුතු කළ යුතුව ඇත.

මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා යැයි පවසමින් කෘෂි රසායනය ආයනයන තහනම් කිරීමත් සමඟම මේ වන විට නීති විරෝධී බෝට්ටු කෘෂි රසායන නිදහසේ රට තුලට ගලා එ්ම සිදුවේ.  එයින් බහුතරය මෙයට කළකට පෙර ලංකාවේ තහනමට ලක් වූ කෘෂි රසායන වෙති. මෙය පාලනය කිරිමට රජය කිසිදු ක්‍රියාමාකර්යක් ගත්තේ නැත.

ආසියාවේ විශිෂ්ඨතම පලිබෝධ නාශක පාලන ක්‍රියාවලියක් ලංකාවේ පවතී. එයින් පරිබාහිරව කෘෂිරසායන ගෙන්වීම තුල පොහොර වලින් මිනිසාට හා පරිසරයට සිදු වන හානියකට වඩා වැඩි හානියක් සිදු විය හැකිය. පලිබෝධ නාශක ගෙන්වීමේ පාලන බලය සංචාරක හා වැවිලි අමාත්‍යාංශ වෙත පැවරීම තුලින් ලගා කර ගත හැකි හරිත කෘෂිකර්මයක් නම් නැත.

(අතිරේක තාක්ෂණික අවබෝධය සඳහා පසුබිම් සටහනක් මෙයට ඇතුළත්  කර ඇත.)

රජිත් කිර්ති තෙන්නකෝන්

දකුණු හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

පසුබිම් සටහන –

කෘෂි පලිබෝධකයින්
වගා කරන භෝග මත ජෛව විද්යාත්මක හානියක් හෝ තරගයක් ඇති කරන ජීවීන් (ශාක, සත්ව, දිලීර, බැක්ටීරියා, වෛරස් හෝ වෙනත් ) පලිබෝධකයින් ලෙස හදුන්වයි. පලිබෝධකයන්ට ‍මිනිසා සමඟ ආහාර සඳහා තරඟ කරන, දේපල විනාශ කරන ව්යසනයක් වන හෝ පතුර වන හෝ නොසන්සුන්තාවක් ඇති කරන කෘමීන්, ශාක රෝග කාරක, වල් පැළ, පෘෂ්ටිකයන්, කුරුල්ලන්, ක්ෂීරපායීන්, මත්සයන්, පණුවන් ‍හා ඒක සෛලික ජීවීන් ඇතුළත් වේ.

පළිබෝධ නාශක යනු (අර්ථ දැක්වීම)
පළිබෝධනාශක යනු පළිබෝධකයන් විසින් සිදු කරන හානිය වැළැක්වීමට, පාලනය කිරීමට හෝ විනාශ කිරීමට හෝ අවම කිරීමට යොදා ගන්නා රසායන ද්රව්යයක් සංයෝගයක් හෝ සංයෝග මිශ්රණයකි. පලිබෝධනාශකයක් රසායනික සංයෝගයක්, ජීව විද්යාත්මක ප්රතිකාරකයෙක් (වෛරස් හෝබැක්ටීරියා වැනි) , විශබීජ නාශකයක් හෝ ජීවීන්ට එරෙහිව යොදා ගන්නා ද්රව්යයක් විය හැකිය. වගාව ආරක්ෂා කර ගැනීම සහ සත්ව සෞඛ්ය ආරක්ෂා කිරීම සඳහා භාවිතා කරන කෘෂී රසායන ද්රව්ය අඩංගු වේ. ( උදා. මඳුරු දඟර, මඳුරු විකර්ශක ඇතුළු කෘමී නාශක, මී නාශක, දිලීර නාශක, වල් පැළෑටි නාශක )

Archive

Latest news

Related news