Tuesday, July 16, 2024

ලොහාන් රත්වත්තේ නඩුව: පෙත්සම්කාර රැදවියන් යාපනයට මාරු කළොත් ඥතීන්ගේ සහාය ලබා ගනීවි; විරුද්ධ ඒ නිසයි – නීතිපති දෙපාර්තමේන්තුව

ඇමැති ලොහාන් රත්වත්තේට විරුද්ධව රැඳවියන් අටදෙනකු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් ඊයේ එනම් 21 දා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිව් ගුණතිලක පුදුමාකාර ප්‍රකාශයක් කර තිබේ.

එනම් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළ සහ තර්ජනයට ලක් වූ රැඳවියන් යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙස කරන ලද ඉල්ලීමට විරුද්ධ වෙමිනි.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිව් ගුණතිලක තර්ක කර ඇත්තේ පෙත්සම්කාර රැඳවියන් යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙස ඉල්ලා ඇත්තේ ඔවුනට එරෙහිව පවතින නඩු කටයුතුවලදී ඔවුන්ගේ ඥාතීන්ගේ සහාය ලබා ගැනීම සඳහා බව පෙනී යන බැවින් එකී ඉල්ලීමට විරුද්ධත්වය දක්වන බවට ය.

මෙම පුවත්පත් වාර්තාව සත්‍ය නම් මේ තර්කය සහමුලින්ම එම රැඳවියන් ගේ අයිතීන් කෙලෙසීමකි.

මන්ද යත් දඬුවම් ලබා සිටින හෝ තවමත් නඩු විභාගයන්ට මුහුණ දී සිටින ඕනෑම පුද්ගලයකුට සිය ඥාතීන්ගේ සහාය ලබා ගැනීම දේශීය මෙන්ම අන්තර් ජාතික නීති මගින් තහවුරු කර ඇති නිසාය.

දැන් නීතිපති දෙපාර්තමේන්තුව තර්ක කරන්නේ එළෙස ඥාතීන්ගේ සහාය ලබා ගැනීම වැළැක්වීමට තමන් කටයුතු කරන බවයි!

මේ තර්කය අනුව මෙරට සිටින  අන් රැඳවියන් සහ සිරකරුවන් ද ඔවුන්ගේ ඥතීන් හමුවීමට බැරි වන පරිදි දුර බැහැර පළාත්වලට මාරු කර යවන්නේ ද යන්න පැහැදිළි නැත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ  එම්. ඒ. සුමන්තිරන්  ප්‍රකාශ කර ඇත්තේ ජාතික ආරක්ෂාවට ගැටලූවක් ඇතිවිය හැකි බවට උපකල්පනය කළ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා  යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙසට පෙත්සම්කරුවන් කළ ඉල්ලීමට විරුද්ධත්වය දක්වා ඇති බවය.

මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසකට රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සැප්තැම්බර් 12 වැනිදා මරණීය තර්ජන කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේය.  ඒ සඳහා ඔහුට නීතිපතිවරයාගේ උපදෙස් ලබාගන්නා ලෙසද දක්වන ලදී.

ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල  පෙත්සම්කාර රැඳවියන් අටදෙනා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය.

පසුගිය සැප්තැම්බර් 12 වැනිදා පස්වරු 6.05 ට පමණ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි එවකට බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන විෂය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කළ ලොහාන් රත්වත්තේ සිරමැදිරිවල රඳවා සිටි තමන් ඇතුළු සැකකරුවන් පිරිසක් ඉන් පිටතට ගෙන දණගස්වා මරණීය තර්ජන කළ බව පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් අධිකරණයට දන්වා තිබිණි.

වගඋත්තරකාර ලොහාන් රත්වත්තේ මහතා තමාගේ හිසට පිස්තෝලයක් එල්ල කර එල්. ටී. ටී. ඊ. සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ සම්පූර්ණ බලය ජනාධිපතිවරයා විසින් ඔහුට පවරා ඇති බවට කළ තර්ජනය නිසා තමන් ඇතුළු සැකකරුවන්ගේ ජීවිතවලට බලවත් තර්ජනයක් එල්ල වී ඇති බැවින් තමන් යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙස ද පුගාලසිංගම් සූරියබාලන් ඇතුළු පෙත්සම්කරුවන් අටදෙනා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා, අධිකරණ අමාතය අලි සබ්රි යන අය සහ නීතිපතිවරයා එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.

(දිවයින වාර්තාවක් ද ඇසුරු කරන ලදී)

Archive

Latest news

Related news