Tuesday, April 23, 2024

ජනාධිපතිතුමාට තමන් කියන දේ කරන්න කාලය හරි! – කරු ජයසූරිය, සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය

ඡායාරූපය :  මෙරට දී යුද්දයෙන් මියගිය ජනයා සැමරීම අපරාධයක් සේ සළකන ජනාධිපති රාජපක්ෂ නිව්ය‌ෝක් නුවර දී 9/11 ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සමරයි.

යුධ හමුදා 72 වැනි සංවත්සරය සමරණ අවස්ථාවේදී ගරු ජනාධිපතිවරයා රටේ පැවැත්මට හා අනාගතයට බලපාන වැදගත් කරුණු කිහිපයක් පසුගියදා ඉදිරිපත් කර තිබුනා.

පසුගිය අවුරුදු 2ක කාලය තුළ අඩුපාඩු සිදුවූ  බව ජනාධිපතිතුමා එහිදී පිළිගැනීම වටිනවා. එමෙන්ම ජගත් මහලේකම් හමුවුනු අවස්ථාවේදීත් එතුමා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බවටත්, මිනිස් අයිතිවාසිකම් රැකදෙන බවටත් සදහන් කළා. දැන් ඒ පොරොන්දු ඉටු කිරිම එතුමාට අයිති කාර්යයකි.

එමෙන්ම එක රටක් එක නීතියක් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා එහිදී නැවත වතාවක් ප්‍රකාශ කරතිබෙනවා. දැනට නම් රටතුළ එවැන්නක් දකින්නට නැහැ.

ඉදිරි වසරක කාලය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ නව ඡන්ද ක්‍රමයක් රටට හඳුන්වා දෙනබවට ගරු ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කර තිබෙනවා. එය මේ රටට අතිශයින්ම බලපාන, ඉතාමත් වැදගත් හා තීරණාත්මක වන්නා වූ දැනුම්දීමක්. විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් ශක්තිමත් කරමින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම මඟින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී ඇති ආකාරය එතුමාට වැටහී තිබීම ඉතාමත් යහපත් දෙයක්.

මේ රටේ ජනගහනයෙන් අතිබහුතරය අද මේ රටේ බලාත්මක විධායක ජනාධිපති ක්‍රමය පදනම් කරගත් ව්‍යවස්ථාව පිළිගන්නේ නැහැ. ඒ නිසා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ජනාධිපතිතුමා විසින්ද තේරුම් ගැනීම රටට ඉතාමත් හොදයි.

මේ රටේ ස්වභාවය එනම්, ස්වෛරීත්වය, ජනතා පරමාධිපත්‍යයේ ස්වභාවය, සමාජීය නිදහස හා අයිතිවාසිකම් මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය වැනි රටක වැදගත් මූලික කාරණාවන්හි ස්වභාවය තීරණය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනුයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය වෙනුවෙන් අඛණ්ඩවම පෙනී සිටියා. එහිදී අපගේ ප්‍රමුඛ ස්ථාවරය වන්නේ රටේ ව්‍යවස්ථාදායකය වඩා ශක්තිමත් කරමින් අත්තනෝමතික ඒකාධිකාරිත්වයකට පැවතීමට ඇති ඉඩකඩ ඉවත් කළ යුතුබවය. ඒ නිසා අපගේ එම මූලික ස්ථාවරයන්ට අනුව යමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමට ඇති අවශ්‍යතාවය වෙනුවෙන් අපද පෙනී සිටිනවා.

ඒ වගේම මෙහිදී අප සංවිධානයක් ලෙස අවධාරණය කරන්නට කැමැති මූලික කාරණා කිහිපයක් ද තිබෙනවා.

ව්‍යවස්ථා සම්පාදන විෂයට අදාලව සැලකීමේදී අප රටට තිබෙන්නේ යහපත් ඉතිහාසයක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය මෙන්ම මූලික නීතියද වෙනවා. එය රාජ්‍ය පාලනයට අදාලව පුරවැසියන් සමඟ ඇතිකරගන්නා ගිවිසුමද වනවා. ඒ නිසා ව්‍යවස්ථා සම්පාදනයක් සිදුවිය යුත්තේ රටේ ස්ථාවර පැවැත්ම පදනම් කරගත් පුරවැසියාගේ පොදු යහපත සඳහා කෙරෙන නීති සම්පාදනයක් ලෙසටයි. එය යටි අරමුණුවලින් තොරව අවංකව හා නිසි ගෞරවයකින් යුතුව සිදුකළ යුතුමයි.

එමෙන්ම එම කාර්යයට නායකත්වය දෙන්නා වූ අය තුළ ව්‍යවස්ථා සම්පාදනය හා ව්‍යවස්ථා සම්ප්‍රදායන් පිළිබදව ඉහළ මට්ටමේ දැනුවත්භාවයක් තිබිය යුතුය. නිසැක වශයෙන්ම ව්‍යවස්ථා සම්පාදනයකදී ආරක්ෂා වියයුතු ප්‍රතිපත්ති හා සම්ප්‍රදායන් එහිදී ආරක්ෂා කරගත යුතුය. එමෙන්ම එය පුරවැසියන්ගේද ක්‍රියාකාරී සහභාගිත්වයකින් යුතුව සම්පාදනය කරගත යුතුය. එමෙන්ම මේ රටේ අතීතයේදී සිදුකළ වැරදි කිසිවක් නැවත නොකිරීමට වගබලා ගතයුතුය.

එහිදී අන් සියල්ලටම ප්‍රථමයෙන් සිදුවිය යුතුව ඇත්තේ ගෙනඒමට සූදානම් වන ව්‍යවස්ථාවට පදනම් කරගතයුතු මූලික මූලධර්ම හඳුනාගනිමින් එම මූලධර්ම සඳහා පොදු එකඟත්වයක් ඇතිකරගැනීමය.

එමෙන්ම එම මූලධර්ම ඇතුළත් ලියවිල්ල මහජනතාවගේ දැනගැනීම සඳහා කල්වේලා ඇතිව ප්‍රසිද්ධ කළ යුතුය.

එම මූලධර්ම සැලකිල්ලට ගනිමින් නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා වන සාකච්ඡා ආරම්භකල යුත්තේ ඉන් පසුවය.

එසේ සකස්කරගන්නා වයවස්ථා කෙටුම්පත ඇතිකරගත් මූලධර්මවලට අනුකූලද යන්න පිළිබදව අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියටද යටත්ව සම්මත කරගත යුතුය.

නව ව්‍යවස්ථා සම්පාදනයකදී අප විශ්වාස කරන්නේත් මේ රටට යහපතක් සිදුවන්නේත් එවැනි ක්‍රියාවලියකට අනුගතව ක්‍රියාකලහොත් පමණය.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට අදාලව නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව අදවනවිට බරපතල සැකයක් ඇතිකර තිබෙනවා. එය ඉතාමත්ම භයානක තත්වයක්. පාස්කු ප්‍රහාරයේ බිහිසුණු ක්‍රමන්ත්‍රණය පසුපස, එය මෙහෙයවූ හා ඔවුන්ට රැකවරණ ලබාදුන් සියල්ලන්ටම දඬුවම් ලබාදෙන තුරු එම සැකය පවතීවි. අද වන විට මේ රටේ කතෝලික සභාව පවා පාස්කු ප්‍රහාරයට අදාලව කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන සැක සංකා මතුකර තිබෙනවා.

එමෙන්ම එක රටක් එක නීතියක් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා එහිදී නැවත වතාවක් ප්‍රකාශ කරතිබෙනවා. දැනට නම් රටතුළ එවැන්නක් දකින්නට නැහැ.

බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩපු අය අද මේ රටේ වගකිවයුතු තනතුරු දරමින් නිදැල්ලේ ඉන්නවා. දරුණු අපරාධවලට සම්බන්ධවී අධිකරණය මඟින් මරණීය දණ්ඩනය ලබාදුන් අයට පවා ජනාධිපති සමාව හිමිවෙනවා. ඇමතිවරු බන්ධනාගාර අතුලටම ගිහින් රැදවියන්ට මරණීය තර්ඡන කරනවා. මේවා බරපතල සිදුවීම්.

පලමුවෙන්ම කළයුත්තේ එවැනි සිදුවීම්වලට අදාලව නිතීය අකුරටම ක්‍රියාත්මක කරමින් රටට ආදර්ශයක් ලබාදීමයි. එසේ කරන්නැයි අප ඉල්ලා සිටිනවා.  මරණ දඬුවම නියමවූ  වරදකරුවන්ට සමාව දීම ගැන කතා කරනවිට රන්ජන් රාමනායක වැනි ජනප්‍රිය තරුණ කළාකරුවකුගේ මුලු අනාගතයම විනාශවීමට ඉඩ හැරීම ඉතාමත්ම අසාධාරණ බව අපගේ මතයයි. දැන්වත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට සාධාරණයක් ඉටුකරන්න. මේ නිසා ආණ්ඩුවේ ප්‍රතිපත්ති දෙකක් අපට පේනවා.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට අදාලව නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව අදවනවිට බරපතල සැකයක් ඇතිකර තිබෙනවා. එය ඉතාමත්ම භයානක තත්වයක්. පාස්කු ප්‍රහාරයේ බිහිසුණු ක්‍රමන්ත්‍රණය පසුපස, එය මෙහෙයවූ හා ඔවුන්ට රැකවරණ ලබාදුන් සියල්ලන්ටම දඬුවම් ලබාදෙන තුරු එම සැකය පවතීවි. අද වන විට මේ රටේ කතෝලික සභාව පවා පාස්කු ප්‍රහාරයට අදාලව කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන සැක සංකා මතුකර තිබෙනවා. අපද මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරයට අදාලව කටයුතු සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්පූර්ණයෙන්ම හෙළිදරව් කරන ලෙසයි. එසේ කලහොත් බොහෝ සැකසංකා දුරකරගත හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා. මේ ප්‍රශ්ණය තවත් දුරයාමට ඉඩ දෙන්න එපා.

ඒ වගේම අධිකරණය හා ලෝකයාගේ හාස්‍යයට ලක්වන ද්වේශ සහගත තීන්දු ලබාදුන් උපාලි අබේරත්න කොමිසම පාර්ලිමේන්තු පුස්තකයේ තබාගැනීම ලෝක නින්දාවක් බව අපේ හැගීමයි.

පලාත් සභා, පළාත් පාලන මැතිවරණ පැවැත්වීම පිළිබදවද මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ කතා කරනු ලැබෙනවා. ඊට පෙර මැතිවරණ හා අනෙකුත් කොමිෂන් සභා දේශපාලන ග්‍රහනයෙන් මුදා ගතයුතුයි. එසේ නොමැතිව ජනතා විශ්වාසය ඇතිවන්නේ නැහැ. මැතිවරණ කාලයේදී රාජ්‍ය සම්පත් ආණ්ඩු පක්ෂයට වාසිවන අන්දමට බෙදාගැනීමට සැලැස්මක්ද මේ දිනවල සාකච්ඡා වෙමින් පවතී.ප්‍රාදේශීය සංවර්ධනයේ නාමයෙන් රටේ ජාතික ධනය මහජන නියෝජිතයන්ද නොවන තම ක්‍රියාකාරීන් අතට පත්කිරීමේ උත්සහයක්ද ඒ අතර දකින්නට තිබෙනවා. එයට කිසිසේතම ඉඩක් නොදිය යුතුයි. මුලු රටම එයට එරෙහිව නැගී සිටිය යුතුයි. එමෙන්ම මේ රටේ බලතල ඇති ඉහළ අධිකාරීන් මේ පිළිබදව මැදිහත්ව එය වලක්වාළිය යුතුයි.

දැනට අපට ලැබී ඇති වාර්තා අනුව කෘෂි කර්මාන්තයේ විශාල බිදවැටීමක් සිදුව ඇති බව පෙනීයයි. මේ ගැන වහා පියවරක් නොගතහොත් රටේ සාගතයක් ඉදිරියේදී ඇතිවන්නට පුලුවන.

කොම්පෝස්ට් භාවිතය ඉතා වටිනා තීන්දුවක් වුවත් ලෝකයේ කිසිම රටක ක්ෂණිකව එය සිදුකර නැහැ. එමෙන්ම සාර්ථක වී නැහැ. වියතුන්ගේ මතය වන්නේ ඒ සදහා අවුරුදු පහක පමණ සැලැස්මක් ඇතිව එය සිදුවිය යුතු බවයි.

පිටිකිරි, සීනි, ගෑස් සහ සිමෙන්ති ආදී අත්‍යවශ භාණ්ඩවල මිළ දැඩිලෙස පුරවැසියාට බලපාන බව රජය සිහි තබාගතයුතුයි. රටේ ආර්ථිකය ශක්තිමත් කර ජනතාවගේ ජීවන තත්වය ඉහල නැංවීමටත්, ජීවන වියදම අඩු කිරීමටත් වහා පියවර නොගතහොත් රටේ විශාල ජනතා විරෝධයක් ඇතිවීමේ සලකුනු දැන් ඇතිබව අපට පෙනීගොස් තිබෙනවා. රටේ අහිංසක මහජනතාව ආණ්ඩු බලය ලබාදෙමින් පාලකයන් පත්කරගනු ලබන්නේ තමන්ගේ සුබසෙත උදෙසා ඔවුන් කටයුතු කරාවිය යන මහත් වූ බලාපොරොත්තු ඇතිවයි. ඒ වෙනුවට රටේ ජාතික ධනය කොල්ලකමින් මහජනතාව පීඩාවට පත්කරන්නට ආණ්ඩු කටයුතු කළ සෑම අවස්ථාවකදීම ඔවුන් බලයට පත්කල ජනතාවම ඊට එරෙහිව නැගීසිටිනවා. එය ලෝක යථාර්තයක්. එය තේරුම් නොගන්නා පාලකයන්ට අත්වී ඇති ඉරණමද සංවේග ඡනකයි. අඩුම වශයෙන් මේ රටේ පාලයන් දැන්වත් එය තේරුම්ගතයුතුව තිබෙනවා.

කෝවිඩ් මර්දන ක්‍රියාදාමයේදී හා එන්නත් කිරීමේදීත් ශ්‍රී ලංකාව සාර්ථකව ඉදිරියට යෑම අපට සතුටට කරුණනකි. මේ සදහා කැපවුනු සියලුම දෙනාට අපගේ ගෞරවය හා ප්‍රණාමය පුදකරමු.

පිරිසිදු චේතනාවෙන් අප ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ අවධානයට යොමුවේවායි පතමු.

( සංස්කරණය කරන ලදී)

Archive

Latest news

Related news