Saturday, April 20, 2024

පැන්ඩෝරා ලේඛණ හෙළිදරව්ව: නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ , තොරතුරු අනාවරණය කළ ඉතිහාසයේ විශාලතම මූල්‍ය ලේඛන හෙළිදරව්වක් වන පැන්ඩෝරා ලේඛණ (Pandora Papers) තුළින් මෙරට හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂගේ නමත් හෙළි වී තිබෙනවා.

නිරූපමා රාජපක්ෂ යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඥාති සහෝදරියකි. ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන අතර 2010 සිට 2015 දක්වා ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස ද කටයුතු කළා ය.

නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් හරහා විවිධ දේපල රජපක්ෂ පවුල විසින් මිලදීගෙන ඇති අතර පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ විශාල වටිනාකමකින් යුත් මල්වාන ඉඩම සහ නිවස බැසිල් රාජපක්ෂ මහතා මිලදීගෙන තිබුනේ නිරූපමාගෙ සැමියා වන තිරු නඩේෂන්ගේ නමටය.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් උපදේශකයෙකු සහ හෝටල් ව්‍යවසායකයෙකු ලෙස සේවය කර ඇති බව ඔහුගේ සමාගම් වෙබ් අඩවිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පණ්ඩෝරා පත්‍රිකා ලෙස නම් කර ඇති අක්වෙරළ සමාගම් වල ලිපි ගොනු වල රටවල් 90 කට වැඩි සංඛ්‍යාවක වර්තමාන සහ හිටපු නායකයින් 35 ක් සහ රාජ්‍ය නිලධාරීන් 300 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් බව බීබීසී වාර්තා කරයි.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුවට (ICIJ) අනුව 2016 දී, නිවසක් ඉදිකිරීම සඳහා මහජන මුදල් භාවිත කළ බවට චෝදනා එල්ල වූ බැසිල් රාජපක්ෂ මහතාගේ දේපළ වෙළඳාම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල විය.

නිරූපමා රාජපක්ෂ සහ නඩේසන් එක්ව ලන්ඩන් සහ සිඩ්නිහි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට සහ ආයෝජනය කිරීමට භාවිත කළ ෂෙල් සමාගමක් පාලනය කළ බව ද , හෙළිදරව් වූ ලිපිගොනුවලට අනුව විස්තරාත්මකව කරුණු වාර්තා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රහස්‍යභාවය රකින බෙහෝ ස්ථානවල නඩේසන් විවිධ සමාගම් ස්ථාපිත කර ඇති අතර ශ්‍රී ලංකා රජය සමග ගනුදෙනු කළ විදෙස් සමාගම් හරහා කොන්ත්‍රාත් ලබාගෙන ඇති බවත් වටිනා චිත්‍ර මිලදී ගැනීම සඳහා එම සමාගම් භාවිත කළ බව ද සඳහන් වේ.

2018 වසරේදී පැසිෆික් කොමාඩිටීස් යන එක් සමාගමක් හරහා වටිනා චිත්‍ර 31 ක් සහ තවත් දකුණු ආසියානු කලා කෘති ජිනීවා ෆ්‍රීපෝට් යන අධිආරක්ෂිත ගබඩා සංකීරණයකට යොමු කළ බව කියැවේ.

සිංගප්පූරුවේ ස්ථාපිත Asiaciti Trust සමාගම විසින් 2011 වනවිට නඩේසන්ගේ සම්පූර්ණ වත්කම් ඩොලර් මිලියන 160 කට වැඩි බව සඳහන් කර තිබේ. නමුත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව (ICIJ) පවසන්නේ, එය ස්වාධීන ව තහවුරු කළ නොහැකි බවයි.

ICIJ විශ්ලේෂණයට අනුව, Asiaciti Trust සමාගම කළමනාකරණය කළ නඩේෂන්ගේ ඇතැම් සමාගම් සහ භාර කළමනාකරණය කළ වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 18 ක් පමණ වේ.

ඔහුගේ බිරිඳගේ දේශපාලන තත්ත්වය හේතුවෙන් සමාගම ඔහුව දේශපාලන වශයෙන් සම්බන්ධ පුද්ගලයෙකු ලෙස ලැයිස්තු ගත කළේය. 2016 දී නඩේසන් වංචා කිරීමේ චෝදනාවට ලක් වුවද ඇසියසිටි පවුල සිය සේවාදායකයින් ලෙස තබා ගත්තාය.

නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන්, ශ්‍රී ලංකා රජය සමඟ ව්‍යාපාර කරන විදේශීය සමාගම් වලින් වාසිදායක උපදේශන කොන්ත්‍රාත් ලබා ගැනීම සඳහා රහස්‍ය බලතල යටතේ සමාගම් සහ භාර භාවිතා කළ බවට වොෂිංටනයේ ජාත්‍යන්තර විමර්ශන මාධ්‍යවේදීන්ගේ එකමුතුව (අයිසීඅයිජේ) චෝදනා කරයි.

මේ අතර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව වාර්තා කරන්නේ, නිරූපමා රාජපක්ෂ සහ නඩේසන් සිය අරමුදල් සහ සමාගම් පිළිබඳව අසන ලද ප්‍රශ්නවලට පිළිතුරුදීම ප්‍රතික්ෂේප කළ බවයි.

-එකස් නිව්ස්

Archive

Latest news

Related news