Friday, May 17, 2024

කීර්ති රත්නායක සමග කතා කළා කියා නිරූපන ශිල්පිනියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ පැය 3 ක් ප්‍රශ්න කරයි..

ඡාායරූපය: නිරූපන ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන චෝදනා නොනගා දැනට දින 50 ක් තිස්සේ රඳවාගෙන සිටින ලංකා ඊ නිව්ස් හි ආරක්ෂක සහ දේශපාලන විශ්ලේෂක මාධ්‍යවේදී කීර්ති රත්නායක, පසුගිය විවාහක රූ රැජින තරඟයේ දී ලොහාන් රත්වත්තේගේ අනියම් අඹුව පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා දැමීම ගැන විමසුම් කළ නිරූපන ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර, කීර්ති සමග කතා කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අද මේ වන විට රාජපක්ෂලාගේ ‘අම්මගේ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ බවට පත්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩියට කැඳවා තිබිණ.

අද(02) උදෑසන එහි ගිය චූලාගෙන් පැය 3 ක් තිස්සේ සීඅයිඩිය ප්‍රශ්න කර ඇත. නිරූපන ශිල්පිනී චූලා ප්‍රශ්න කිරීම අවසානයේ මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මෙසේ කීවා ය.

එක රටක් එක නීතියක් දැන් හීනයක්..

“මාව කැඳවා තිබුනේ කීර්ති රත්නායක මාධ්‍යවේදියා සමග කතා කළේ මොනවද කියල දැන ගන්න. අපි ආර්ටිස්ල හැටියට ඕනෑ තරම් මාධ්‍යවේදීන් සමග කතා කරනවා. ලංකාවෙ පමණක් නොවෙයි පිටරට අයත් එක්කත් කතා කරනවා. ඒව ගැන අපි වාර්තා තියාගන්නෙත් නෑ. කීර්ති රත්නායක මා එක්ක කතා කළේ රූ රැජින පැජෙන්ඩා එකේ සිද්ධ වෙච්චි දේ ගැන දැන ගන්න. අපි දන්නෙත් නැතිව තිබූ ඒකෙ ටිකට් මුද්‍රණයේ වංචාවක් ගැනත් කීර්ති හොයලා ලියලා තිබුනා. අපි ගෝඨාභය ජනාධිපති තුමාට ඡන්දය දුන්නෙ එක රටක් එක නීතියක් ගෙනෙයි කියලා. දැන් ඒක හීනයක්. මීට වඩා ඕනැ තරම් දේවල් තියෙනවා සීඅයිඩියට හොයන්න. මං දන්නෙ නෑ ජර්නලිස්ට් කෙනෙක් එක්ක කතා කළා කියලා ඇයි මෙහෙම ප්‍රශ්න කරන්නෙ කියලා” යි චූලා පැවසුවා ය.

නීතිවේදී සේනක පෙරේරා

එම අවස්ථාවේ දී චූලාට නීති උපදෙස් දුන් සිරකරු අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයේ නීතිඥ සේනක පෙරේරා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

” අපිට පුදුම හිතෙනවා මේ කැඳවීම ගැන. මීට වඩා බරපතල අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කරලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. නමුත් ඒවා සම්බන්ධයෙන් ඉතාම නිහඬ පිළිවෙතක් තමයි අනුගමනය කරන්නෙ. ලොහාන් රත්වත්තෙ රාජ්‍ය ඇමැතිවරයා බන්ධනාගාරයකට පැනලා සිරකරුවන්ට පිස්තෝලයක් එල්ල කරලා තර්ජනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කරලා තියෙනවා. ඥානසාර කියන භික්ෂුවගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පැමිණිලි කරලා තියෙනවා. නමුත් මේ වගේ උනන්දුවෙන් ඒ අය කැඳවලා අඩු ගානේ කට උත්තරයක් වත් අරන් නෑ. මහජන මුදලින් නඩත්තු වන මේ වගේ ආයතන මහජනයා වෙනුවෙන් කටයුතු නොකර දේශපාලනඥයන්ගෙ උවමනා වෙනුවෙන් කටයුතු කරනවා නම් ඉතාමත් බියකරු තත්ත්වයක් තමයි උද්ගත වෙන්නෙ.” යි නීතිඥ සේනක පෙරේරා පැවසීය.

සමාජ ක්‍රියාකාරිනී තුෂාරි වන්නිආරච්චි

සිංදු නඩු භාණ්ඩ කර ගත් අපරාධ පරීක්ෂනය

මෙම අවස්ථාවේ දී කීර්ති රත්නායකගේ අසල්වාසී මිතුරියක වන සමාජ ක්‍රියාකාරිනී තුෂාරි වන්නිආරච්චි ද අදහස් දැක්වූ අතර කීර්ති රත්නායක අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඇයගේ නිවස පරීක්ෂා කරමින් ප්‍රශ්න කිරීම් වලට ලක්කරමින් ඇයගේ ලැප්ටොප් පෙන් ඩ්‍රයිව් ආදිය අත් අඩංගුවට ගනිමින් රාජපක්ෂලාගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයටද මහත් හිරිහැර කර තිබිණ. ඇය කියා සිටියේ තම සැමියාගේ ගීත 187 ක එකතුවත් තිබූ පෙන් ඩ්‍රයිව් එකක් සීඅයිඩිය භාරයට ගත් බවත් දැන් එය ‘නඩු භාණ්ඩයක්’ ලෙස තබා ගෙන සිටින බවත් ය.

කීර්ති රත්නායක අත් අඩංගුවට ගැනීමට හේතු වූයේ ඔහු විසින් කොළඹ පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලයේ නිලධාරිනියකට ඉන්දීය නිදහස් දිනයේ තලේබාන් අන්තවාදීන් අනුගමනය කරන පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇතැයි යනුවෙන් කළ දැනුම් දීමක් අනුව ඒ ගැන සෙවීමට කියා ය. නමුත් දැන් ප්‍රශ්න කරන්නේ කීර්ති රත්නායක ලංකා ඊ නිව්ස් වෙත ලියූ ලිපි ලේඛන සම්බන්ධයෙනි. ඉන්දීය තානාපති කාර්යාලයට සිදුවිය හැකි අනතුරක්  සම්බන්ධයෙන් සොයන්නේ නම් මෝස්තර නිරූපිකා චූලා ගෙන් ප්‍රශ්න කිරීමට හේතුවක් නැත.

කෑම ඕඩර් කළ අයගෙනුත් ප්‍රශ්න කරනවා.. 

මේ වන විට කීර්ති රත්නායක දුරකථනයෙන් කෑම ඕඩර් කළ පුද්ගලයන්ගෙන් පවා ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’  ප්‍රශ්න කරමින් සිටිති. කිසිදු අධිකරණ නියෝගයකින් තොරව කීර්ති කතා බහ කළ මිනිසුන්ගේ දුරකථන පරීක්ෂා කරමින් සිටිති. රාජපක්ෂලා මේ රටේ තිබූ සෑම ගෞරවනීය ආයතනයක්ම බල්ලාට ඇද දැමුවෝ ය. කෙතරම් ආණ්ඩු වෙනස් වුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ රටේ ගෞරවයක් තිබිණ. අද රාජපක්ෂලා පිනවීම සඳහා  බල්ලාත්, හිකනලාත්, තලගොයාත්, ගැරඬියාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවමින් හිරිහැර කරමින් එම ගෞරවය විනාශ කරගෙන සිටී.

(ලංකා ඊ නිව්ස්  ඇසුරෙනි)

Archive

Latest news

Related news