Friday, April 19, 2024

නීතිපති‍ට උඩින් මේජර් ජෙනරල්: රාජපක්‍ෂ කෞතුකාගාර නඩුවත් සෙත්ත පෝච්චි ! – සුනන්ද දේශප්‍රිය

ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය වල් වැදී අයුරු පෙන්වන තවත් උදාහරණයක් වීරකැටිය මැදමුලන ඞී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරීම පිළිබඳ නඩුව අහොසි වී යැමෙන් පෙන්නුම් කරයි

ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 34කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමෙන් එහි මුදල් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කිරීම ඇතුළු අධිචෝදනා යටතේ එම නඩුව පවරා තිබුණි.

එම නඩුවේ පළමුවන විත්තිකරු වූයේ ගෝඨාභය රාජපක්‍ෂය. මන්ද යත් කෞතුකාගාරය පියල් මිලියන 33.9 ක පමණ මුදලක් වැය කරන ලද්දේ එවක ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවට විසින් බැවිනි.

ඔහු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන ජනාධිපති මුක්තිය නිසා ඔහුට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි බැවින් නීතිපතිවරයා  විසින් ඔහු නඩුවෙන් ඉවත් කරන ලදී.

පසුගිය 02 දා (2021 සැප් 02) එම නඩුවේ ඉතිරි විත්තිතකරුවන්ද නිදහස් කරන ලදී. ඒ කොළඹ පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි.

එලෙස නිදහස් කරන ලද්දේ එවකට ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සභාපතිවරයා ලෙස එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙසද අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන් ලෙසද කටයුතු කළ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, භද්‍රා උදුලාවතී කමලදාස, සූදම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ආබ‍්‍රහම් ගලප්පත්ති, එම්. ඞී. මහින්ද සාලිය සහ ශ‍්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර යන විත්තිකරුවන්ය.

එම කතාව මෙසේය:

එම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙන්ම විත්තිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයාත් කළ කරුණු දැක්වීම සලකා බැලූ චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත හා නාමල් බලල්ලේ යන විනිසුරු එම නියෝගය කළහ.

සිය සංස්ථාවට එකී ඉදිකිරීම් සඳහා වැය වූ සියලූ මුදල් ඞී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ පදනම විසින් ගෙවා අවසන් කර ඇති බව ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට පවසා තිබේ.

නීතිපති දෙපාර්තමෙන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිට ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා යටතේ තිබූ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ නිලධාරීන් එකී ඉදිකිරීම් නිසා තම සංස්ථාවට අලාභයක් සිදු වූ බවට පැමිණිලිකර  කරුණු ඉදිරිපත් කර තිබූ බවයි. ඒ ඔස්සේ සිදුකළ විමර්ශන අනුව එම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු පැවැරූ බවය.

එකී අධිචෝදනා පත‍්‍රය සම්බන්ධයෙන් විත්තිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් තමා එකඟ නොවන බවද ඔහු අධිකරණයට පවසා තිබේ.

 හමස් පෙට්යට ගිය ණනාධිපති වාර්තාව

රාජ්‍ය සම්පත් වැය කරමින් ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම, ‘අවිධිමත් ක්‍රියාවලියක්’ ලෙස, 2014 ට අදාළ විගණනයේ සඳහන් බව, එම කරුණ සම්බන්ධයෙන් 2018 පෙබරවාරි 6 වන දින නිකුත් කළ විශේෂ වාර්තාවේ විගණකාධිපතිවරයා සඳහන් විය.

එකී ගිවිසුම පෞද්ගලික පාර්ශ්ව දෙකක් අතර ඇති කරගත් ගිවිසුමක් නොව රාජ්‍ය ආයතනයකට අලාභයක් සිදුකළ ගිවිසුමක් වන බවද නීතිපති දෙපාර්තමේන්තුවේ මතයද විය.

2018 පෙබරවාරි මාසයෙහි රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ විසින්  “ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා  සංවර්ධනය කිරීමේ  සංස්ථාව විසින්  කරන ලද මැදමුලන ඞී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව” ඉදිරිපත් කරන ලදී.

එහි  ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ මෙම ඉදිකිරීම වෙනුවෙන් වැය කැරෙන මුදල් ආපසු ගෙවන බවට කිසිදු සඳහනක් අදාළ ලියකියවිලිවල නොමැති බවයි.

විගණකාධිපති වාර්තාවෙනි.

තවද එම වාර්තාව දක්වන්නේ මෙම අනිසි ක්‍රියාවට සම්බන්ධ සියලු බලධාරීන් සහ  නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය සහ විනයානුකූල පියවර ගත යුතු බවයි.

විගණකාධිපති වාර්තාවෙනි.

එම එක් බලධාරියකු වූයේ එම සංස්ථාව බාර ස්ථිර ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂය.

විත්තිකාර පාර්ශවය වෙනුවෙන් දක්වන ලද තර්කය වූයේ  එකී ඉදිකිරීම් සිදුකර ඇත්තේ එම සංස්ථාව හා ඞී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ පදනම අතර ඇති කරගත් ගිවිසුමක් අනුව බවත් රුපියල් මිලියන 25ක මුදලක් අත්තිකාරම් ලෙස ගෙවා ඉදිකිරීම් කටයුතු අවසන් වූ පසු ඉතිරි රුපියල් මිලියන අටකට අධික මුදල ද ගෙවා නිමකර ඇති බවත්ය.

නමුත් එවැනි කිසිම ගිවිසුමක් සංස්ථාවෙහි තිබුණේ නැත.

විගණකාධිපති වාර්තාවෙනි.

එම මුදල ලබා ගන්නා ලද්දේ අත්තිකාරමක් ලෙසය යන තර්කය අදාළ විගණකාධිපති වාර්තාවෙන් සුණු විසුනු වී යයි.

එසේ වුවද ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සභාපති මේජර් ජෙනරාල් එම්. ආර්. එම්. සොයිසා  විසින් 2021.05.18 වැනිදා තම දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ එම මුදල සම්පූර්ණයෙන් ගෙවා ඇති බවය.

එම මුදල ගෙවා ඇත්තේ මෙම නඩුව පැවරීමෙන් පසුව පමණකි. නඩුව  පවරන තුරු එම ස්මාරකය විවෘත කරන ලද 2014 නොවැම්බර් 06 දින සිට කිසිම මුදලක් ගෙවා තිබුණේ නැත.

ගෝඨාභය රාජපක්ෂ විසින්ම පත් කරන ලද මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එම්. ආර්. එම්. සොයිසා  දැන් අගතියට පත් පාර්ශය වන සංස්ථාවේ සභාපති ය. ඔහු අගතියට පත් පාර්ශවය නියෝජනය කරමින්  සිදු වූ හානිය අනෙක් පාර්ශ්වය ප‍්‍රතිපූරණය කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දෙන ලදී.

විශ්‍රාමික මේජර් ජනරාල් එම් ආර් ඩ්බ්ලිව් ඩි සොයිසා, සභාපති,
ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව

එබැවින් මෙම නඩුව සම්බන්ධයෙන් පරිවර්ථනයක් සිදු වී ඇති බව කී නීතිපති දෙපාර්තමේන්තුවේ එම්. ආර්. එම්. සොයිසා  දිලීප පීරිස් අධිකරණයට පැවසූයේ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම අභියෝගයක් බවය.

සංස්ථා සභාපතිවරයා එවැනි ලිපියක් ඉදිරිපත් කර ඇති අවස්ථාවකදී පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස නම් කොට ඇති ප‍්‍රධාන නීති නිලධාරිනිය ඇතුළු සංස්ථා නිලධාරීන් කැඳවා විත්තිකරුවන්ට එරෙහිව සාක්‍ෂි විභාගයක් පැවැත්වීම නිෂ්ඵල කරුණක් වන්නේ යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසීය.

මන්ද යත් සභාපති එම ප්‍රශ්ණය විසදී ඇතැයි කියා සිටින බැවින් සංස්ථාවේ නිලධාරින් සහ නිලධාරිනියන්ට සාක්ෂි දීම දුෂ්කර වනු ඇති නිසාය.

තම කරුණු දැක්වීම නීතිපතිවරයා විසින් පැවැරූ නඩුවක් ඔහු විසින්ම ඉල්ලා අස්කර ගැනීමක් ලෙසට නොසැලකිය යුතු බවත් තම දෙපාර්තමේන්තුව සිදු කරනුයේ එම නඩුව ඉල්ලා අස්කර ගැනීමක් නොව අගතියට පත් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව ඉදිරිපත් කළ නව කරුණු සලකා බලමින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් සාක්‍ෂි මෙහෙයවීමක් සිදු නොකරන බව අධිකරණයට දැනුම් දීමක් පමණක් බවත් දිලීප පීරිස් පවසා තිබේ.

එනයින් රාජපක්ෂ පවුලේ ස්මාරකය ඉදි කිරීම පිළිබඳ නඩුව අවසන් වූයේ නීතිපතිගේ නිගමයක් උඩ නොව මේජර් ජෙනරාල්වරයකුගේ නිගමනයක් උඩය.

එමගින් විගණකාධිපතිවරයාගේද නීතිපතිවරයාගේද නිගමන කුණු කූඩයට ගියේය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ සහචරයින්ගේ සම්බන්ධ නඩු විසදෙන්නේ මෙසේය. මෙම පූර්වාදර්ශය අනුව කවර හෝ සංස්ථා සභාපතිවරයකුට දැන් ලිපියක් මගින් නඩු අවසානයකට ගෙන ආ හැකිය.

රාජපක්ෂ සමාගමේ ඊනියා විනය ගරුක පාලනයට මෙය තවත් කදිම නිදසුනකි.

එපමණක් නොව දූෂණ නැති කරන බවට පෙරොන්දු වී බලයට පැමිණි ඊනියා යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන් ඇතුළු බොහෝ දෙනා දූෂණයෙන් සහ වංචාවෙන් ධනවත් වූ එකම දේශපාලන පංතියේ කොටස්කරුවන් වීම නිසා මහාජනයා ගොනාට ඇන්ද වූ සැටිද කියාපානා උදාහරණයකි.

අදාළ විගණකාධිපති වාර්තාව පීඩ්ඒෆ් ගොනුවක් ලෙස: මැදමූලින රාජපක්ෂ කෞතුගාරය ඉදි කිරීමේ විගණන වාර්තාව Sinhala

(මෙම ලිපිය සඳහා මෙහි සදහන් නඩු වාර්තාවද උපයෝගී කර ගැනුනි. )

Archive

Latest news

Related news