Thursday, April 18, 2024

අද්මිරාල් කරන්නාගොඩ සහ නාවික හමුදා කඳවුරේදී අතුරුදහන් වූ ළමුන් 11 දෙනා

ඡායාරූපය: නිව්ස් 19 වෙතිනි.

2008 වසරේ දී පිරිමි ළමයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කරන ලදි. අපරාධය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට චෝදනා එල්ල වූ අතර, ඔවුන්ගෙන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. 2019 මාර්තු 7 වන දා නඩුවේ 14 වන සැකකරු වූ යුද සමයේ අණදෙන නිලධාරි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ රටේ ඉහළම උසාවියේ දී අත්අඩංගුවට ගැනීමෙන් නිදහස් විය.

අධිකරණ පද්ධතිය වෙනස්ව සැලකූ හැටි…

වසර 10 ක් පුරා සරෝජිනී නාගනාදන් ඇගේ එකම දරුවා වූ රජීව් සොයමින් උසාවියෙන් උසාවියට යමින් නිමක් නැති සොයා යාමක නිරතව සිටියාය.

2019 මාර්තු 7 වන දා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ මූලික අයිතිවාසිකම් පෙත්සම, එනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාගයට ගන්නා ලද විට ද, එම කාන්තාව නැවතත් එහි සිටියා ය. දුක්බර ඇස් ඇති, සරල කළු සාරියක් හැඳ ගත්, අවුරුදු 50 ක පමණ කාන්තාවක්, කොන්ද කෙලින් තියා ගෙන වාඩි වී, එක දිගට පැය පහක නඩු විභාගයට සාවධානව සවන් දී සිටියාය.

අධිකරණ පද්ධතිය ඇයට සහ හිටපු නාවික හමුදාපතිවරයාට සැලකූ ආකාරය අතර වෙනස හොඳටම පැහැදිලිය. ඇගේ පුතා නිදහස් කිරීම තහවුරු කර ගැනීම සඳහා ඇගේ පවුලේ නියෝජිතයින් කරන්නාගොඩ ඇතුළු උසස් නාවික හමුදා නිලධාරීන් සමග සාකච්ඡා කර බොහෝ කලක් ගතව ඇත. එහෙත් ඊට පසුව එළැඹි වසර ගණනාවක් තිස්සේම, ඇගේ පුත්‍රයා පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම ගැන ඇයගෙන් පැමිණිල්ලක් පවා භාර ගැනීම විවිධ පොලිස් ස්ථාන සහ උසාවි විසින් ප්‍රතික්ෂේප කර තිබේ. නාගනාදන් විසින් 2011 දී ගොනු කරන ලද හබයාස් කොපුස් අයදුම් පත පිළිබඳව තවමත් තීන්දුවක් ලබා දී නොමැත.

කරන්නාගොඩ 14 වැනි සැකකරු ලෙස නම් කළා..

නමුත් දීර්ඝ හා සියුම් CID පරීක්ෂණ අවසානයේ නාවික හමුදා නිලධාරීන් දුසිමකට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර, CID විසින් හිටපු නාවික හමුදාපතිවරයා ද 14 වන සැකකරු ලෙස නම් කරන ලදී. ඒ අනුව, යුක්තිය ඉටු වනු ඇතැයි නාගනාදන් තුළ යම් බලාපොරොත්තුවක් ඇති විය. 2008 දී කොළඹ දී පැහැර ගෙන ගිය තරුණයන් 11 දෙනෙකු ඝාතනය කිරීමේ 14 වන සැකකරු ලෙස 2019 පෙබරවාරි 22 දිනැති B වාර්තාවෙන් CID විසින් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ නම් කර ඇත.

මෙම පැහැර ගැනීම් නාවික හමුදාව විසින් සිදු කරන ලද පුළුල් ජාවාරමක කොටසක් බව දශකයක් තිස්සේ කරන ලද විමර්ශනයක දී සොයා ගැනීමට හැකි විය. ධනවත් පවුල්වල දරුවන් පැහැර ගෙන ඔවුන්ගේ දෙමාපියන්ගෙන් කප්පම් ගැනීම සිදුව තිබේ.

කෙසේ වෙතත්, CID විසින් කරන්නාගොඩ සැකකරුවෙකු ලෙස නම් කර ඔහු අත්අඩංගුවට ගැනීමට ඉල්ලා සිටි දිනයේම, එනම් 2019 පෙබරවාරි 22 වන දාම හිටපු නාවික හමුදාපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

අද්මිරාල්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම 2019 පෙබරවාරි 28 වෙනි දා විභාගයට ගත් අවස්ථාවේ දී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ, හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව අධි චෝදනා “ගොනු කර නඩු පැවරීමට” සූදානම් බවයි. එදින, කරන්නාගොඩගේ නීතීඥවරයා නැවත නැවත ඉල්ලීම් කළ ද, නීතිපතිවරයා අධිකරණයට කියා සිටියේ නීතියෙන් පලා ගිය අපරාධකරුවෙකු CID විසින් අත්අඩංගුවට නොගන්නා බවට පොරොන්දුවක් නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දිය නොහැකි බවයි.

මෙම නඩුව විභාග කළ එක් විනිසුරුවරයෙකු තමා කරන්නාගොඩගේ පෞද්ගලික නීතීඥයෙකු ලෙස කටයුතු කර ඇති බව කියමින් නඩු විභාගයෙන් ඉවත් වන බව මුලින්ම ප්‍රකාශ කළේය. අනතුරුව ඔහු අද්මිරාල් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා කරන්නාගොඩගේ නීතිඥවරයා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නැවත නැවත ඉල්ලා සිටින ආකාරය නාගනාදන් බලා සිටියාය. යුක්තිය ඉටුවන බව දැන ගැනීම සඳහා තමාගේම නීතිඥවරයෙකුගේ මැදිහත් වීමක් සිදු විය යුතු යැයි බොහෝ කාලයක් තිස්සේ ඉවසිලිවන්තව බලා සිටින මවට හැඟුණි.

නාවික හමුදාවෙන් සාක්කි ගැනීමට සීඅයිඩියට අමාරු වුනා..

තම පුතාට සහ වින්දිතයින්ට සිදු වූ දෙය සත්‍ය ලෙස පැවසීමට සහ පැහැර ගෙන ගිය අයට සහ මිනීමරුවන්ට එරෙහිව නඩු පැවරීමට නාවික හමුදාව තුළින් සාක්ෂි ලබා ගැනීමට කටයුතු කිරීමේ දී CID නිලධාරීන් මුහුණ දෙන දුෂ්කරතා නාගනාදන් හොඳින් දැන සිටියාය. නාවික හමුදාව තුළ සිටි, [පැමිණිල්ලේ] සාක්ෂිකරුවන් දෙදෙනෙකු කරන්නාගොඩ විසින්ම බිය ගන් වන ලද බව වාර්තා වී තිබේ. තවත් අයෙකුට නාවික හමුදාවේ උසස් නිලධාරීන් විසින් ගිනි අවියකින් පහර දී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට සහයෝගය දැක්වීම හේතුවෙන් පලි ගැනීමක් වශයෙන් තවත් බොහෝ දෙනෙකුට තම වෘත්තීය මාර්ග අවහිර කර ඇත. තම පුත්‍රයා පැහැර ගැනීම ගැන නොව, ඔහු ඝාතනය කළ බවට CID විසින් චෝදනා ගොනු කරනු ලැබ සිටින හිටපු නාවික හමුදාපතිවරයා නීතියට ඉහළින් සිටින බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සංඥාවක් නිකුත් වුවහොත්, අනිකුත් සාක්ෂිකරුවන් ද ඉදිරියට පැමිණීමට බිය වනු ඇති බවට නාගනාදන් බිය වූවාය.

යුද, නාවික සහ ගුවන් හමුදාව ලබා දුන් වාර්තාවල අනුග්‍රහය ඇතිව CID විසින් සිදු කරන ලද පරීක්ෂණවල දී, ඒ ළමුන් 11 දෙනාගෙන් කිසිවෙකු LTTE සංවිධානයට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලියකට සම්බන්ධ කළ හැකි බවට කිසිදු සාක්ෂියක් සොයා ගෙන නොමැත. මුලින් කොළඹ කොටුවේ නාවික හමුදා බන්ධනාගාරයේ රඳවා සිටි පිරිමි ළමයින් අවසානයේ දී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත ප්‍රවාහනය කර භූගත බිහිසුණු සිර මැදිරිවල රඳවා තබන ලදී. මළ සිරුරු කිසි විටෙකත් සොයා නොගත්ත ද, විමර්ශකයින් විශ්වාස කරන්නේ පිරිමි ළමයින් 2009 මැයි මාසයේ දී මරා දමන ලද බවයි.

සරෝජිනීගේ පුපුරණ සුළු පෙත්සමෙන් එළියට ආ  ආදර ත්‍රිකෝණය..

හිටපු නාවික හමුදාපතිවරයාගේ නඩුවට මැදිහත් වීමට අධිකරණයෙන් අවසර ලබා දෙන ලෙස ඉල්ලා සරෝජනී නාගනාදන් 2019 මාර්තු 5 වන දා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළාය. නාගනාදන්ට අවශ්‍ය වූයේ, නාවික හමුදාව විසින් සිදු කළ බව කියන, ඇගේ පිරිමි දරුවා ද ගොදුරක් බවට පත් වූ, කප්පම් ගැනීමේ ජාවාරම සඳහා බිහිසුණු පැහැර ගැනීම් සිදු කළ සෑම සැකකරුවෙකුටම නීතිය ක්‍රියාත්මක වීම වින්දිතයින්ගේ පවුල් සඳහා වැදගත් වන්නේ ඇයි ද යන්න විනිසුරුවන්ට කියා දීමටයි.

ඇයගේ පුපුරන සුළු පෙත්සමෙන් හිටපු නාවික හමුදාපතිවරයාගේ බිරිඳ සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා අතර ඇති වූ අවලම් ආදර ත්‍රිකෝණය විස්තර කර තිබීම හේතුවෙන්, සිය පෞද්ගලික සහායක ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කිරීමට කරන්නාගොඩ තීරණය කළේය. 2009 මැයි 28 දින කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ලියූ පැමිණිල්ලෙන්, ලුතිනන් කමාන්ඩර් මුණසිංහට LTTE සම්බන්ධතා සහ සැක සහිත මූල්‍ය ගනුදෙනු ඇති බවට ඔහු චෝදනා කළේය. පැහැර ගැනීමේ ජාවාරම ගැන එහි සඳහන් කිරීමට ඔහු අපොහොසත් වුව ද, 2009 මැයි 10 වැනි දා තරම් ඈත කාලයේ සිට ඔහුගේ අණ යටතේ සිටි නාවික භටයන්ගේ එවැනි ක්‍රියාකාරකම් ගැන ඔහු දැන සිටියේය.

පැහැර ගැනීමේ ජාවාරම ගැන කනගාටු වන නිසා නොව, මුණසිංහ සහ කරන්නාගොඩගේ බිරිඳ අතර ඇති අනාචාර සබඳතාව කරණ කොට ගෙන මුණසිංහ සමග කරන්නාගොඩගේ පෞද්ගලික වෛරය නිසා ඔහුට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කළ බව සරෝජනී නාගනාදන් සහතික ලෙසම කියා සිටී.

කරන්නාගොඩ කළ පැමිණිල්ල ළමයින් පැහැර ගැනීම ගැන නොවේ..

ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ විසින් සරෝජනී නාගනාදන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පිටු 9 කින් යුත් පෙත්සමට අනුව, “කරන්නාගොඩ කළ පැමිණිල්ල ළමයින් පැහැර ගැනීම සම්බන්ධයෙන් නොවේ”.

CID විසින් පසුව කරන ලද පරීක්ෂණවලින් හෙළි වූයේ, පැහැර ගැනීමේ කල්ලියේ නායකයා යැයි සැක කෙරෙන පුද්ගලයා වන “නේවි සම්පත්” හෙවත් ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි සමග එකම මැදිරියක මුණසිංහ වාසය කර ඇති බවයි. 2009 මැයි මාසයේ දී, එවකට අණ දෙන නිලධාරී කරන්නාගොඩ නාවික පොලීසියට නියෝග කළේ ඔවුන්ගේ මැදිරිය පරීක්ෂා කරන ලෙසයි. එම සෙවීමේ දී ජාතික හැඳුනුම් පත්, සහ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් සහ විශාල මුදල් ප්‍රමාණයක් සොයා ගෙන ඇත. නමුත් කරන්නාගොඩ CCD වෙත කළ පැමිණිල්ලේ දී මුණසිංහ සමග මැදිරියේ එකට වාසය කළ, පැහැර ගැනීම්වලට හවුල් වූ ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි ගැන කිසිවක් සඳහන් කර නැත.

හාස්‍යයට කරුණ..

හාස්‍යයට කරුණක් නම්, කරන්නාගොඩගේම බුද්ධි අංශ විසින් වාර්තා කරන ලද පැහැර ගැනීමේ ජාවාරම පිළිබඳ තොරතුරු කිසිවක් නොමැතිව ඔහු CCD වෙත පැමිණිල්ලක් කිරීමයි. කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ, CID විමර්ශන දුෂ්ඨ චේතනා හෝ නරක අරමුණු නිසා දේශපාලනිකව සිදු කළ විහිළු බවයි.

“ඇයි පොලිසියට යන්නේ,” ජනාධිපති නීතීඥ ද සිල්වා පැය දෙකක කාලයක් ඔහුගේ දේශනය පවත්වන අතර, විටින් විට උසාවි කාමර අංක 502 පුරා ඇසෙන පරිදි “හූස්” ශබ්ද නැගීය. “අරමුණ වුණේ තොරතුරු යටපත් කිරීම නම් පොලිසියට යන්නේ ඇයි? මේ 2009 මැයි. මේ ගොල්ලන් රණවිරුවන්. ඕනෑම අයෙකු මරා දරා එය යටපත් කිරීමට ඔවුන්ට පුළුවන්කම තිබුණා.”

රොමේෂ් ද සිල්වාගේ සාක්කි නැති ද්‍වේශ සහගත චෝදනා..
පැය දෙකකට අධික කාලයක් බාධාවකින් තොරව දේශනය කර ගෙන යාමට ජනාධිපති නීතීඥ ද සිල්වාට විනිසුරු මඩුල්ලෙන් අවසර ලැබුණි. කරන්නාගොඩ වෙනුවෙන් කළ කරුණු දැක්වීමේ දී, මෙම නඩුවට සම්බන්ධ නීතිපතිවරයාට සහ CID නිලධාරීන්ට එරෙහිව ඔහු සනාථ නොකළ සහ අසත්‍ය වැරදි චෝදනා කිහිපයක් ඉදිරිපත් කළේය. පුදුමයට කාරණය නම්, CID වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න එම කරුණු ඉදිරිපත් කිරීමට විරෝධයක් නොදැක්වීමයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට උසස් වීම් ලබා ගැනීම සඳහා නීතිපති සහ සොලිසිටර් ජෙනරාල්වරයා [සිරිසේන] ජනාධිපතිවරයා හමු වී ඇති බවත්, එවැනි හැසිරීම් රටාවක් හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ විශ්වාසයක් තව දුරටත් තැබිය නොහැකි බවත්, ද සිල්වා විවෘත අධිකරණයේ දී පැවසීය. නැවත නැවතත් කරන ලද මෙම ද්වේශ සහගත චෝදනාව සඳහා, ද සිල්වා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකළ නමුත්, මේ “අපූරු” හැසිරීම සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ල ඔහුට තරවටු කළේ ද නැත.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ද සිල්වා කියා සිටියේ, හිටපු නාවික ප්‍රධානියා සැකකරුවෙකු ලෙස බොහෝ ප්‍රමාද වී නම් කර ඇත්තේ, “ජිනීවා සමුළුව ආරම්භ වූ විට පෙත්සම්කරු [කරන්නාගොඩ] පසු ගිය රජය සමග සම්බන්ධ බවට හැඟීමක් ඇති කිරීමට බවයි.”

“මේ අප වෙනුවෙන් යුද්ධය ජයග්‍රහණය කළ මිනිසා – අප ඔහුට ස්තූතිවන්ත විය යුතුයි. මේවා කරන්න උත්සාහ කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන සමග කටයුතු කරන, රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන මිනිසුන්,” යයි ජනාධිපති නීතිඥ ද සිල්වා සිය පිළිකුල් සහගත දේශනයේ දී පැවසීය.

හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීමට පදනමක් නොමැති බව යළිත් අවධාරණය කළ ජනාධිපති නීතිඥ ද සිල්වා, දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ ඇප ලබා දිය නොහැකි බැවින් මෙම චෝදනාව එල්ල කළ බව අධිකරණයට මතක් කළේය. “ඔහුට මාස කිහිපයක් අත්අඩංගුවේ ඉන්න වෙනවා,” යයි කරන්නාගොඩගේ නීතිඥවරයා පැහැදිලි කළේය.

CID වෙත ප්‍රමාද වී සාක්ෂි ලබා දුන් විශ්‍රාමික නාවික හමුදා නිලධාරීන්ගේ දෙදෙනෙකුගේ සාක්ෂි දෙකක් පමණක් පදනම් කර ගනිමින් කරන්නාගොඩට චෝදනා නගා ඇතැයි ද සිල්වා බොරුවක් ද කීවේය.

පැහැර ගැනීමට ලක් වූ දරුවන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කරන්නාගොඩ සම්බන්ධ බවට හිටපු අද්මිරාල්වරුන් සහ හිටපු කැබිනට් ඇමතිවරයෙකු ඇතුළු අවම වශයෙන් සාක්ෂිකරුවන් පස් දෙනෙකු CID වෙත ප්‍රකාශ ලබා දී තිබේ.

ට්‍රැවිස් සින්නයියා සහ ෂෙමාල් ප්‍රනාන්දුගේ සාක්කි..

2017 දී CID වෙත සාක්ෂි ලබා දුන් හිටපු නාවික හමුදා ප්‍රධානී ට්‍රැවිස් සින්නයියාගේ ප්‍රකාශයක් ගැන ජනාධිපති නීතිඥ ද සිල්වා සඳහන් කළේය. සින්නයියා කියා සිටියේ, ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ද ඇතුළු නාවික හමුදාවේ නැගෙනහිර විධානයට ඔහු නායකත්වය දුන් කාලයේ ත්‍රිකුණාමලය කඳවුරේ වෙඩි පුහුණු අංගණයේ (Gun Site) පුද්ගලයින් සිර ගත කර සිටි බවයි. නමුත් මෙම රඳවා ගැනීම්වලට මැදිහත් වීම හෝ අංගණයට ඇතුළු වන හෝ පිට වන වාහන පරීක්‍ෂා කිරීම වසන්ත කරන්නාගොඩ විසින් සින්නයියාට ඍජුවම තහනම් කර තිබුණි.

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ. පී. දසනායක සහ ත්‍රිකුණාමලය කඳවුරේ අණ දෙන නිලධාරි සුමිත් රණසිංහට පමණක් එම පරිශ්‍ර පරිපාලනය කිරීමට බලය පවරා තිබූ බව ද සින්නයියා රහස් පොලිසියට කියා සිටියේය. දසනායක සහ රණසිංහ යන දෙදෙනාම මේ නඩුවේ දැනට ඇප මත නිදහස්ව සිටින සැකකරුවන් දෙදෙනෙකි.

ද සිල්වාගේ කරුණු දැක්වීමේ පොදු තේමාව වූයේ පැහැර ගැනීමේ ජාවාරම පිළිබඳ විමර්ශනය ජාත්‍යන්තරයේ නියෝග මත සිදු කර ඇති බවත්, අද්මිරාල් සින්නයියා කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකයෙකු ලෙස සේවය කළ බවත්ය.

“සින්නයියා නාවික හමුදාවේ දෙවන අණ දෙන්නා. මෙම ප්‍රකාශය කළාට පස්සේ ඔහු අණ දෙන නිලධාරියා බවට පත් වුණා,” යයි ජනාධිපති නීතිඥ ද සිල්වා පැවසීය.

කරන්නාගොඩ සම්බන්ධ දෙවන ප්‍රකාශය කරන ලද්දේ හිටපු නාවික හමුදාපතිවරයාගේ පෞද්ගලික ලේකම් වූ රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු විසින් බව ජනාධිපති නීතිඥ ද සිල්වා අධිකරණයට පැවසීය. පාස්කු උත්සවය වෙනුවෙන් සහ මංගල උත්සවයකට ආරාධනා කර සුබ පතමින් ප්‍රනාන්දු විසින් හිටපු ආඥාපති කරන්නාගොඩට එවන ලද කෙටි පණිවිඩ කියවා ද සිල්වා මෙසේ පැවසීය: “මේවා කියවලා මං හිතා ගත්තා කිසි දාක ඉච්ඡාකාරයන් විශ්වාස කරන්න හොඳ නැහැ කියලා – මාස ගණනාවකට පස්සේ ඔහු කරන්නාගොඩට එරෙහිව මෙම චෝදනා එල්ල කරනවා.” රියර් අද්මිරාල් ප්‍රනාන්දුට පසු ගිය දා රේගු දෙපාර්තමේන්තුවේ පත්වීමක් ලබා දුන් බවත් විරෝධතාවයක් හේතුවෙන් එම තීරණය වෙනස් කළ බවත් ජනාධිපති නීතිඥ ද සිල්වා කැත සිනාවකින් යුතුව අධිකරණයට කියා සිටියේය.

කරන්නාගොඩගේ නීතීඥයින්ගේ චෝදනාවලට එරෙහිව අද්මිරාල් සින්නයියා හෝ රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිටියේ නැත. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට CID ගොනු කළ B වාර්තාවේ තිබූ කරුණු ද සිල්වා යටපත් කළේය. ත්‍රිකුණාමලයේ සිර ගතව සිටි තරුණයන් ඝාතනය කිරීමට අදාල තොරතුරු වසන් කිරීමෙන් අද්මිරාල් කරන්නාගොඩ ඊට අනුබල දුන් බවට චෝදනා කරමින් අද්මිරාල් ජේ. ජේ. රණසිංහ, කොමදෝරු බණ්ඩාර, අද්මිරාල් ගුරුගේ, ලුතිනන් කමාන්ඩර් වෙලේගෙදර, සහ හිටපු ඇමති ෆීලික්ස් පෙරේරා යන සියලු දෙනාම සිදු කළ ප්‍රකාශ එම B වාර්තාවේ ඇතුළත් විය.

රොමේෂ් ද සිල්වා අධිකරණයට කී තවත් බොරු…

අතුරුදහන් වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ (UN) ක්‍රියාකාරී කණ්ඩායම ‘වෙඩි පුහුණු අඩවිය’ වෙත ගිය 2015 සංචාරය ගැන ද සිල්වා සඳහන් කළේ කරුණු විකෘති කරමිනි. UN සහ නම් නොකළ රාජ්‍ය-නොවන සංවිධාන (NGO) සමග එක්ව, CID සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා නාවික හමුදාවේ කීර්ති නාමයට කැළල් කිරීම සඳහා එම ස්ථානයේ තිබී සොයා ගත් සතුන්ගේ ඇටකටු, මිනිස් ඇටකටු ලෙස පෙන්වීමට උත්සාහ කළ බව ද සිල්වා පැවසීය. රජයේ රස පරීක්‍ෂකවරයා ලවා එම ඇටකටු පරීක්ෂා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කිරීම නිසා එම උපක්‍රමය අසාර්ථක වූ බව ද ඔහු පැවසීය.

ඇත්ත වශයෙන්ම සිදුව තිබුණේ ඇටකටු සොයා ගැනීම ගැන අධිකරණයට කරුණු වාර්තා කළ CID විසින්, ඒවා පරීක්‍ෂා කිරීම සඳහා රජයේ රස පරීක්‍ෂකවරයාට නියෝගයක් කරන ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටිනු ලැබීමයි. CID විමර්ශන ගැන ද සිල්වා විසින් උසාවියේ දී කරන ලද වැරදි සාවද්‍ය අර්ථ කථන ගණනාවකින් එකක් වන එය, මේ වන තෙක්ම නිවැරදි කර නැත.

ඔහු CID පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා හැඳින්වූවේ දේශපාලන වශයෙන් පත් කරන ලද “අළුගෝසුවෙකු” සහ “දුෂ්ට ලෙඩ අදින්නෙකු” ලෙසිනි. නිශාන්ත සිල්වාට මෙම නාවික හමුදා නඩුව පළමු වරට පවරන ලද්දේ රාජපක්ෂගෙන් පසුව 2015 දී බලයට පැමිණි ආණ්ඩුව යයි නීතීඥ ද සිල්වා අධිකරණයට කළ ප්‍රකාශය අමූලික බොරුවකි. ඇත්ත වශයෙන්ම නිශාන්ත සිල්වා වසර අටකටත් වැඩි කාලයක් නාවික හමුදා පැහැර ගැනීම පිළිබඳ විමර්ශන නිලධාරියා වශයෙන් කටයුතු කර ඇත.

අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්නගේ භූමිකාව

රොමේෂ් ද සිල්වා ඉදිරිපත් කළ කරුණුවල සත්‍ය අසත්‍යතාවය ගැන අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න කිසිවක් කීවේ නැත. ඒ තබා, තම දෙපාර්තමේන්තුවේම ඉහළ නිලධාරීන්ට එරෙහිව කළ [බොරු]. චෝදනාවලට ද සිල්වාට තරවටු කිරීමක් පවා ඔහුගෙන් සිදු නොවිණ. ඒ වෙනුවට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කියා සිටියේ, පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ කරන්නාගොඩගේ ප්‍රකාශය සටහන් කර ගැනීම හැර සෙසු පරීක්ෂණ අවසන් බවත්, නීතිපති දෙපාර්තමේන්තුව කරන්නාගොඩ අත්අඩංගුවට ගන්නා ලෙස අවධාරණය නොකරන බවත්ය..!

කෙසේ වෙතත්, B වාර්තා ඇතුළු මූලාශ්‍රවලින් ලැබුණු විශ්වාසදායක ආරංචි මාර්ගවලට අනුව, Sunday Observer වෙත දැන ගැනීමට ලැබී ඇත්තේ, මෙම අපරාධය පිළිබඳ CID පරීක්ෂණ ඒ වන විටත් සිදු වෙමින් පවතින බවයි. අවම වශයෙන් අතිරේක සාක්ෂිකරුවන් 20 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේ සහ වින්දිතයින්ගේ ඝාතනය සම්බන්ධ තත්ත්වය සනාථ කිරීම සඳහා අදාල භෞතික හා ඉලෙක්ට්‍රෝනික සාක්ෂි ලබා ගැනීමේ කටයුතු ඒ වන විටත් ඉතිරිව තිබිණ. ඒ විමර්ශන කටයුතු සඳහා අවම වශයෙන් තවත් මාස දෙකක්වත් ගත වනු ඇති අතර, පරීක්ෂණ එහෙම පිටින්ම අවසන් බවට දයාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට කළ ප්‍රකාශය ඉන් මුසාවක් බවට පත් වේ.

තරුණයින් පැහැර ගැනීමේ දී කරන්නාගොඩගෙන් කිසිදු මැදිහත් වීමක් සිදු වී ඇති බවක් CID ප්‍රකාශ කර නොමැති නිසා ඔහු නිදහස් කළ හැකි බව දයාරත්න පැවසීය. නාවික හමුදාපති එම අපරාධයට මැදිහත් වූ තරම අපරාධ පරීක්ෂකයන් විසින් තවමත් තහවුරු කර නොමැත. පැහැර ගැනීම් සහ කප්පම් ජාවාරමේ ප්‍රධාන සැකකරුවන් වන කමාන්ඩර් සම්පත් මුණසිංහ, කමාන්ඩර් සුමිත් රණසිංහ සහ ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි යන අය කෙළින්ම ක්‍රියාත්මක වූයේ කරන්නාගොඩගේ පාලනය යටතේය. එහෙත්, එම ජ්‍යෙෂ්ඨ සහායකයින් විසින් මෙහෙයවනු ලැබූ බව කියන මේ කප්පම් සඳහා පැහැර ගෙන යාම්වලට හිටපු නාවික හමුදාපති පුද්ගලිකවම අණ දුන් බවට ශාක්ෂි මෙතෙක් ලැබී නැත.

රොමේෂ් ද සිල්වා වැලිඅමුණට එරෙහිව කෑ ගැහුවා; අධිකරණය සිල්වාගේ පැත්ත ගත්තා..

නාගනාදන් වෙනුවෙන් මැදිහත් වීමට ජේ. සී. වැලිඅමුණ සිය අදහස් ඉදිරිපත් කිරීමට උත්සාහ කළ නමුත් රොමේෂ් ද සිල්වා ඊට එරෙහිව කෑ ගැසීය. වින්දිතයින් වෙනුවෙන් වැලිඅමුණ අධිකරණයට කරුණු දැක්වීම වළක්වන ලෙස ද සිල්වා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය. කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවලට අහිතකර ලෙස බලපාන බව තරයේ කියා සිටි වැලිඅමුණ, දැන් ඔහුට එරෙහිව සාක්ෂි දෙන සාක්ෂිකරුවන් කරන්නාගොඩ යනු නීතියට ඉහළින් සිටින්නෙකු යයි සිතා බිය වන බව ද පැවසීය.

ජනාධිපති නීතීඥ වැලිඅමුණ පැහැදිලි කිරීමට උත්සාහ කළේ නඩුවේ දී තම සේවාදායකයාගේ මතය වන්නේ අපරාධකරුට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියෙන් මිදී ගොස් නඩු විභාගයට පමණක් උසාවියට යෑමට ඉඩ දුනහොත්, මේ නඩුවේ සාක්ෂිකරුවන් බිය ගැන්වීමේ ඉඩ ප්‍රස්ථාවක් සැලසෙන බවයි.

ද සිල්වාගේ පැත්ත ගත් උසාවිය වැලිඅමුණට තව දුරටත් කරුණු ඉදිරිපත් කිරීම වැළැක්විය. නාගනාදන්ගේ කරුණු දැක්වීමට අධිකරණය සවන් දිය යුතු බව වැලිඅමුණ අවධාරණය කරන විට, ද සිල්වා අතිරේක සොලිසිටර් ජනරාල් දයාරත්න දෙස බැලීය. කරන්නාගොඩ අත්අඩංගුවට නොගන්නා බවටත්, ඒ වෙනුවට නඩුවේ කටයුතු අවසන් කරන බවටත් නීතීඥවරුන් දෙදෙනා විනිසුරු මඩුල්ල හමුවේ එකඟතාවයකට පැමිණියහ.

අසත්‍ය කාරණා මත පදනම් වන එවැනි එකඟතාවයක් නිවැරදි කළ යුතු බව අවධාරණය කිරීමට වැලිඅමුණ උත්සාහ කළේය. නමුත් දයාරත්නගේ කැමැත්ත පරිදි, කරන්නාගොඩට පක්ෂ තීන්දුවක් දීමට පෙර වින්දිතයින් වෙනුවෙන් කරුණු දැක්වීම විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළ හෙයින් ඔහුගේ දැඩි උත්සාහය නිෂ්ඵල විය. අතිරේක සොලිසිටර් ජනරාල් දයාරත්න පෙනී සිටියේ CID වෙනුවෙනි. අපරාධය පිළිබඳ පරීක්ෂණ අවසන් බවක් හෝ කරන්නාගොඩ අත්අඩංගුවට නොගත යුතු බවක් අධිකරණයට කීම සඳහා දයාරත්නට CID වෙතින් උපදෙස් ලැබී නොතිබුණි.

නියෝගය ලියන හැටිත් රොමේෂ් විනිසුරුවන්ට කියා දුන්නා…

අනතුරුව, කරන්නාගොඩ “අත්අඩංගුවට ගැනීම / රිමාන්ඩ් කිරීම” තහනම් බව අවධාරණය කරමින්, අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගය ලියන ආකාරය විනිසුරු මඩුල්ලට කියා දීමට ද සිල්වා පටන් ගත්තේය. එවිට, ද සිල්වා කෝපයට පත් කරමින් වැලිඅමුණ උපහාසාත්මක ලෙස ප්‍රකාශ කළේ, තම සේවාදායකයාට එරෙහිව වුව ද අධිචෝදනා පත්‍රයක් කෙටුම් පත් කිරීමට ඔහුට හැකි බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ අවසන් නියෝගය මගින් කරන්නාගොඩ “අත්අඩංගුවේ තැබීම” වළක්වන්නේ නම්, ඔහුගේ නීතිඥවරයාට එය නඩු විභාගය පවත්නා තෙක්ම වලංගු යයි අර්ථ දැක්විය හැකි බව ජේෂ්ඨ නීතිඥවරු Sunday Observer සමග පැවසූහ. අධිචෝදනා ගොනු කිරීමෙන් පසුවත් හිටපු නාවික හමුදාපතිවරයාට රක්ෂිත බන්ධනාගාර ගත නොවී, මිනීමැරුමට ආධාර අනුබල දීමේ නඩු විභාගයකට මුහුණ දීමට හැකි වේ. එහෙත් එවැනි බරපතල අපරාධ නඩු විභාගවල වෙනත් සැකකරුවන්ට එවැනි වරප්‍රසාදයක් භුක්ති විඳීමට කිසි දාක ලැබෙන්නේ නැත.

ජංගම දුරකථනය නාද වුනත් විනිසුරුවරු ඉඩදුන්නා..

CID අත්අඩංගුවට පත් නොවී සති දෙකක් සැඟවී සිටින කරන්නාගොඩ, එසේ අත්අඩංගුවට නොගන්නා බවට වූ සහතිකයක් මත 2019 මාර්තු 11 වන සඳුදා CID හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට එකඟ දැයි අධිකරණය ද සිල්වාගෙන් විමසීය. එවිට ද සිල්වා පිළිතුරක් ලබා ගැනීම සඳහා ඔහු පිටුපස සිටි නීතිඥයෙකු වෙත හැරුණේය.

මෙම දිනය හිටපු නාවික හමුදාපතිවරයාට පිළිගත හැකි බව ව්‍යාපාරිකයෙකු, මාධ්‍ය ප්‍රධානියෙකු, සහ සුරැකුම්පත් වෙළෙන්දෙකු ද වන, නඩුවලට පෙනී නොසිටින එම නීතිඥවරයා කරන්නාගොඩ වෙනුවෙන් ද සිල්වාට සහතික විය. නඩු විභාගය අතරතුර දී මෙම ව්‍යාපාරික නීතිඥවරයාගේ ජංගම දුරකථනය අඛණ්ඩව නාද වූ නමුත් විනිසුරු මඩුල්ලෙන් කිසිදු තරවටුවක් නොලැබ ඔහු උසාවියෙන් එළියට ගිය බව උසාවියේ නිරීක්ෂකයින් විසින් සටහන් කර තිබුණි.

දඬුුවම් නොලබා ඕනෑම කෙනෙකු මරා දැමීමේ හැකියාව..

දශකයක පමණ කාලයක සිට අතුරුදහන්ව සිටින තම පුත්‍රයා වෙනුවෙන් කළ ඉල්ලීම්වලට කන් දීම ප්‍රතික්ෂේප කළ තවත් උසාවියක ගත කළ තවත් දිනකට පසු, නාගනාදන් නිවසට පැමිණියාය. තම පුත්‍රයා නිදහස් කරන බවට පොරොන්දු වූ, පදක්කම් පැළැඳි “රණ විරුවා” නීතිය සහ උසාවිය ඉදිරියේ ඇගේ ආදරණීය රජීව්ට වඩා වැදගත් විය.

දඬුුවම් නොලබා ඕනෑම කෙනෙකු මරා දැමීමේ හැකියාව 2008 මැයි මාසයේ දී කරන්නාගොඩට තිබූ බව රොමේෂ් ද සිල්වා අධිකරණයට පැහැදිලි කළේය. මෙම බලය භුක්ති වින්දේ වෙන කවුරුන් වුව ද, ඔවුන් අධිකරණය ඉදිරියේ නීතියට වඩා ඉහළින් සිටිනවා ද යන්න ගැන නාගනාදන් තුළ ඇත්තේ කුතුහලයකි..!

-2019 මාර්තු 10 වන දින Sunday Observer වෙබ් අඩවියේ පළ වූ, Manoj Colambage ලියූ, ‘The Admiral and the case of 11 missing boys’ නම් අධිකරණ වාර්තාව පරිවර්තනය කළේ, ආනන්ද.  ලංකා ඊ නිව්ස් වෙතිනි)

Archive

Latest news

Related news