ඡායාරූපය: යාපනය හිර ගෙදරට පහර දීමේදී ජයන්තට එදා පැවරුණු කාර්යය වූයේ නිමල් වසන්ත සමඟ එක්ව යාපනය හිරගෙය පිහිටි කොටුවට ඇතුළුවීමට තිබෙන කොටු පවුරෙහි ප්‍රධාන දොර ඉදිරිපිට සිට පිටින් එන හමුදා සහ පොලිස් බලඇණි වලට පහර දෙමින් එම දොරටුව ආරක්ෂා කර ගැනීමේ කාර්යයි
මේ මොහොත නිහඬවම හිතවතුන්, නෑදෑයින් අපෙන් ඉවත්ව යන මොහොතකි. කිසිවකු බලාපොරොත්තු නො වන මොහොතක කෙනෙකු අපෙන් සමු ගන්නේ අපට ඔහුගෙන් හෝ ඇයගෙන් සමුගැනීමට පවා ඉඩක් නොතබමිනි. ඒ මේ අප ජීවත් වන්නේ කොරෝනා වසංගත යුගයේ බැවිනි.
නොසිතු මොහොතක කෙනෙකු අපෙන් සමුගෙන ගිය බව අපට අසන්නට ලැබෙන්නේ ද එය සිදු වූවායින් පසුවයි.
මලවුන්ගෙන් සමුගැනීම මිනිසාගේ සංස්කෘතික ක්‍රියාදාමයේ සංවේදීම ක්‍රියාවකි. ඈත අතීතයේ සිටම සෑම ජන කණ්ඩායමක්ම තම මළවුන්ගෙන් සමු ගැනීමට ඒ ඒ ආකාරයෙන් චාරිත්‍ර ධර්ම පවත්වා ගත් බව අප දන්නෙමු. නමුත් මේ මොහොත එම සංස්කෘතික මිනිසාට අභියෝග කරන මොහොතකි.
ලෝකය පුරාම සියලුම සමාජයන්හි අද වන විට මෙම වසංගතයෙන් මියයන පුද්ගලයින්ගෙන් සමුගැනීමේ චාරිත්‍ර ධර්ම පැවැත්වීම අත්හිටු වීමට සිදුව ඇත. සමුගැනීමෙන් තොර වෙන්වයාම අද ලෝක සමාජයටම පොදුව ඇත. ඇත්තෙන්ම මේ මොහොත මිනිසාගේ සංස්කෘතික සම්බන්ධතා බිඳ දැමුණු මොහොතක් ලෙස පවතී.
අපගේ ආදරණීය ගමන් සගයකු වූ ජයන්ත අමරසේන ඊයේ 01.09.2021උදෑසන අපෙන් සමුගත් කනගාටුදායක ආරංචිය අප වෙත ලැබුණි. දිවිමඟ බොහෝ දුෂ්කරතා ජයගත් ඔහුට කොවිඩ්-19 ජය ගැනීමට නොහැකි විය.
ජයන්ත 1971 අප්‍රියල් කැරැල්ලේ අප සමග යාපනය සිරගෙදරට පහරදී එහි සිරකර සිටි රෝහණ විජේවීර නිදහස් කර ගැනීමට එක්ව ගමන් කළා සගයෙකි. එවකට ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය අංශයෙහි මැද කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ ජයන්ත අප්‍රේල් පස් වෙනි දින යාපනයට යන්නේ ජනතා විමුක්ති පෙරමුණේ තීරණය අනුව එම පහර දීමේ කොටස්කාර කරුවකු වීමේ අරමුණෙනි.
එදා අප සමඟ යාපනය හිර ගෙදරට පහර දීමට සහභාගි වූ අයගෙන් අයකු වූ ජයන්තට එදා පැවරුණු කාර්යය වූයේ නිමල් වසන්ත සමඟ එක්ව යාපනය හිරගෙය පිහිටි කොටුවට ඇතුළුවීමට තිබෙන කොටු පවුරෙහි ප්‍රධාන දොර ඉදිරිපිට සිට පිටින් එන හමුදා සහ පොලිස් බලඇණි වලට පහර දෙමින් එම දොරටුව ආරක්ෂා කර ගැනීමේ කාර්යයි.
පහර දීම ආරම්භ යේ සිටම ජයන්ත සහ නිමල් වසන්තට විශාල කාර්යභාරයක් පැවරී තිබුනේ පොලිසිය සහ හමුදාව පිටින් කොටුව ඇතුලට ඒම වළක්වා ගැනීමේ කාර්යය ඔවුන් සතුව තිබූ බැවිනි. අවසානයේ දී පැය තුන හතරක සටනකින් පසුව විමල් වසන්තට වෙඩි වැදී මියගිය අතර ජයන්ත ද වෙඩි වැදී වැටුණි. ජයන්තගේ ඉනට වැදුනු වෙඩි පහර අනිත් පැත්තෙන් පිට වී ගොස් තිබූ නමුත් අභ්‍යන්තර අවයවයන්ට විශාල හානියක් සිදු නොවීය. මේ හේතුවෙන් ඔහුගේ ජීවිතය රැකුණේය.
ඒ මෙයින් වසර පනහකට ඉහතයි. වසර 50 ට ඉහත දී අවසාන වීමට විශාල ඉඩකඩක් ලද දිවිය තවත් වසර 50ක් ගත කර මේ අවිනිශ්චිත මොහොතේ සමු ගනු ලැබ ඇත.
හැත්තෑ එකේ දී ඔහු තම වගකීම් පැහැර නොහැර ජීවිතය පවා පරදුවට තබමින් වෙඩි උණ්ඩයක් වැදී වැටෙන තුරුම තම වගකීම ඉටු කළේය. හැත්තෑ එකේ දේශපාලනයේ වැරදි තැන් දුටු ඔහු ඒවා විවේචනය කිරීම තුළින් හිරගෙදරදී දහසක් ප්‍රශ්න වලට මුහුණ දුන් අතර වැරදි දේශපාලනයක යෙදෙන වාට වඩා නිහඬ ජීවිතයක් ගත කරනවා යන්න හොඳ යයි ඔහු සිතන්නට ඇත. තම ජීවිතය මෙතෙක් ගත කල නිහඬ ආකාරය ඔහු තමාගේ හිතට එකඟව ගත කළ බව ඔහුගේ නිහඬ තැන්පත් දිවි පෙවෙත පැහැදිලි කරයි.
පසුගිය වකවානුවේ අප එකිනෙකා නිතර හමු නොවුනා වුවත් ඉඳහිට දුරදුරකථනයෙන් ඇමතූ අවස්ථාවන්හිදී අප පැරණි සුපුරුදු සහෘද භාවයෙන් ම එකිනෙකා හා කතාබස් කළෙමු. රටෙහි පවතින දුර්දාන්ත දේශපාලන තත්ත්වය ගැන අදහස් හුවමාරු කර ගත්තෙමු.
ආදරණීය සගය, ආදරණීය මිතුර අද නුඹ අපෙන් සමුගෙන නික්ම ගොසිනි. අප නැවත මුණ නොගැසෙන බව මතකයට නැගෙන විට සියුම් සහ ගැඹුරු වේදනාවක් හිතෙහි මතුවෙයි.
එනමුත් අප සියලු දෙනාටම යම් කිසි දිනක සොබා ධර්මයට අනුව මෙසේ නික්ම යාමට සිදුවන බව සිතීම තුළින් අප අපගේ ඒ වේදනාව සමනය කර ගැනීමට උත්සාහ කරමු.
ජයන්ත නුඹ එදා අපට සවියක් විය. සෑම විටම අපට හිතාදර මිතුරකු විය. නුඹගේ වෙන්ව යාම අප සැමට විශාල හිඩසක් සනිටුහන් කරයි.
ආදරණීය සගය නුඹට සුභ ගමන්!
බර්ටි රංජිත් හේනායකආරච්චි.