Sunday, April 28, 2024

පාස්කු ප්‍රහාර පරීක්ෂනය, පොලිස්පතිගේ ගජබින්න සහ පිළිතුරු දියයුතු ප්‍රශ්ණ – සුනන්ද දේශප්‍රිය

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න තෙදිනකට පෙර පාස්කු ඉරිදා ප්‍රහාර පරීක්ෂනය ගැන විශේෂ ප්‍රකාශයක් කළේය. ඔහුගේ කතාව පුරා ඇත්තේ පොලිසිය සහ නම් සඳහන් නොකරන අයට විරුද්ධ චෝදනාය.

කාදිනල් හිමිට පිළිතුරක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ සැබෑ වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒම පමාවීමට එරෙහිව පසුගිය සිකුරාදා පවත්වන ලද කලු කොඩ විරෝධයට ද පොලිස්පතිවරයා අනියමින් පහර දෙයි (AP Photo/Eranga Jayawardena)

එම ප්‍රකාශය මූලික වශයෙන්ම එල්ල කරන ලද්දේ පාස්කු ප්‍රහාරයන් පිළිබඳ පරීක්ෂන අවසන් කොට එම අපරාධයට සමබන්ධ සියලු දෙනාට වහාම නීතිය හමුවට පමුණූවන ලෙස කාදිනල් මැල්කම් රංජිත් ඇතුලු මෙරට කතෝලික සභාව සහ අවශේෂ සිවිල් සමාජ කණ්ඩායම් විසින් ගෙන යන ලබන උදඝෝෂනයන් වැරදි බව පෙන්වීමටය.

2019 අප්‍රෙල් 26 දින සිට පොලිස්පති වශයෙන් වැඩ බැලුවේ පාස්කු ප්‍රහාර පරීක්ෂනය බාරගන්නැයි ගෝඨාභය තමාට කියන තුරු එය හරියට සිදුනොවී යැයි කියන මේ වික්‍රමරත්නමය.පොලීසියේ සියලු අංශ එදා සිට පැවතුනේ ඔහු යටතේය.

දෙවැනිව පාස්කු ප්‍රහාර පිළිබඳව පරීක්ෂන මෙහෙයවූ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න සහ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර  එම පරීක්ෂන හරියට නොකළ බව පෙන්වා ඔවුන් විසින් සොයා තහවුරු කරන ලද සාක්ෂි අවතක්සේරු කිරීමටය.

තෙවැනිව පාස්කු ප්‍රහාරයන් වැළැක්වීමට අසමත්වීමේ වගකීම ජාතික බුද්ධි  සේවයේ ප්‍රධානියා වූ නිලන්ත ජයවර්ධන සහ ප්‍රහාරය පිළිබඳව දැන් සිටියදීත් නිසි පියවර නොගත් අනෙක් උසස් පොලිස් නිලධාරීන් එම චෝදනාවෙන් ගලවා ගැනීමටය. ඒ සඳහා ඔහු සහරාන් කණ්ඩායම විසින් කරන ලද විවිධ සන්නද්ධ ක්‍රියාකාරකම්  එකම ක්‍රියාවලියක් ලෙස දැකීමට අපරාධ පරීක්ෂන නිලධාරීන් අසමත් වූ බවට දීර්ඝ වශයෙන් කරුණූ දක්වන්නේ ඒ සඳහාය.

හතරවැනිව පාස්කු ප්‍රහාරයට මුස්ලිම් ජාතික උගතුන් වැනි පිරිස් සම්බන්ධ බවට මතයක් ඇති කිරීමටය. ඔහු නොකියා කියන්නේ නීතිඥ හෙජාස් හිස්බුල්ලා, කිවිකර අහ්නාෆ් ජසීම් වැනි අය මෙම ප්‍රහාරයට වක්‍රව වග කිවයුතු බවයි.

පාස්කු ප්‍රහාරයන් සිදුවී සතියක් ගතවීමටත් පෙර එවකට සිටි පොලිස්පති පුජිත ජයසුන්දරගේ වැඩ තහනම් කරන ලදී.

එබැවින් 2019 අප්‍රෙල් 26 දින සිට පොලිස්පති වශයෙන් වැඩ බැලුවේ, පාස්කු ප්‍රහාර පරීක්ෂනය ගෝඨාභය තමාට කියන තුරු හරියට සිදුනොවී යැයි කියන මේ වික්‍රමරත්නමය.පොලීසියේ සියලු අංශ එදා සිට පැවතුනේ ඔහු යටතේය.

පොලිස්පතිට දිනපතා ලැබෙන වාර්තාව

(වැඩ බලන) පොලිස්පතිවරයාට දිනපතාම පොලිස් විශේෂ කාර්යාංශය වාර්තාවක් ලබා දෙයි. එම වාර්තාවෙහි පොලිස්පතිවරයා සදහන් කරන පරිදි සහරාන් කණ්ඩායමේ ක්‍රියාකාරකම්ද ඇතුලත් වී තිබිය යුුතුය. තමාට ලැබෙන අපරාධමය කරුණූ ගලපා ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් ක්‍රියාත්මක වන බව පොලිස්පති වික්‍රමරත්නට තේරුම් ගැනිමට නොහැකි වූයේ ඇයි? තවද ජාතික ආරක්ෂක මණ්ඩලයේදී බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් ද මෙම කරුණූ ඉදිරිපත් කර තිබේ. එවිට ඒවා එකට ගලපා ගතයුතු වූයේ පොලිස්පති නොවේද?

එසේ නම් ප්‍රධානියා වශයෙන් පොලිස්පති වික්‍රමරත්නද වැරදිකරුවකු නොවේද?

වනාතවිල්ලුව කඳවුරක තිබී සහරාන් කණ්ඩායමට අයත් ආයුධ සොයා ගැනීමට හැකි වූයේ මාවනැල්ල බුදු පිළිමයන්ට හානි කිරීම පිළිබඳ පරීක්ෂනය හරහාය. සිදුවීම් වල සබඳතාවය ඒ වන විට පෙනෙන්ට පටන් ගෙන තිබුණි.

තවද ඒ වන විටත් ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානී නි. පොලිස්පති නාලක සිල්වා විසින් සහරාන් අත්අඩංඟුවට ගැනීමට වරෙන්තුවක් ලබා ගෙන තිබුණි.

පාස්කු ප්‍රහාරයන්ගෙන් පසු අවුලුවන ලද මුස්ලිම් විරෝධී ප්‍රහාර මැද ද මෙම නාමල් කුමාර සිටියේය.

නාමල් කුමාර කාගේ සුරතලෙක්ද?

නමුත් සිදුවූයේ වත්මන් පොලිසියේ සුරතලකු බව පෙනෙන එදා ජනාධිපති සිරිසේනගේ සේවකයකු වූ නාමල් කුමාර නම් බොරුකාරයකු ලවා ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණයක් ඇතැයි කියා නි.පොලිස්පති නාලක සිල්වා සිරගත කිරීමය.

මෙම සිදුවීම ගැන පොලිස්පති කියන්නේ කුමක්ද?

පාස්කු පරීක්ෂන කොමිසමේ වාර්තාව අනුව සහරන්ගේ කඳවුරුවලදී ආයුධ පුහුණූව දෙන ලද්දේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඔත්තුකරුවන් වශයෙන් යුද හමුදා පුහුණූව ලබා ගත් දෙදෙනෙකි. එසේ තිබියදීත් යුද හමුදා බුද්ධි අංශයන්ට මෙම පුහුණු කඳවුරු වාර්තා නොවූයේ කෙසේද?

ඇත්ත වශයෙන්ම නම් පොලිස් පරීක්ෂක කණ්ඩායම්  හෝ යුද හමුදා බුද්ධි අංශ විසින් හෝ වාර්තා නොකරන ලද සහරාන් කන්ඩායමේ ක්‍රියාකාරත්වය වූයේ පුහුණූ කඳවුරුය.

පාස්කු පරීක්ෂන කොමිසමේ වාර්තාව අනුව මෙම කඳවුරුවලදී ආයුධ පුහුණූව දෙන ලද්දේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඔත්තුකරුවන් වශයෙන් යුද හමුදා පුහුණූව ලබා ගත් දෙදෙනෙකි. එසේ තිබියදීත් යුද හමුදා බුද්ධි අංශයන්ට මෙම පුහුණු කඳවුරු වාර්තා නොවූයේ කෙසේද?

සාකච්ජා 40ක්

ශානි අබේසේකර මූලිකත්වයෙන් පාස්කු ප්‍රහාර පිළිබඳ පරීක්ෂන කරගෙන ගිය රහස් පොලිස් කණ්ඩායම සමඟ අඩුම වශයෙන්  (වැඩබලන) පොලිස්පති වික්‍රමරත්න සාකච්ජා 40ක්වත් පවත්වා තිබේ. මේ එකදු සාකච්ජාවකදී හෝ එවකට වැඩ බැලූ පොලිස්පති වශයෙන් ඔහු වාචිකව හෝ ලිඛිතව දී ඇති කවර හෝ මඟපෙන්වීමක් නැති බව තතුදත් ආරංචි මාර්ග පවසයි.

වික්‍රමරත්න විසින් දෙන ලද කවර හෝ ලිඛිත උපදෙස් ඇතොත් ඒවා ඉදිරිපත් කළ හැකිද?

වික්‍රමරත්න පොලීසියට බැදුණේ උපාධිධාරියකු වශයෙන් කෙලින්ම සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙසය. ඒ ජාතික බුද්ධි සේවයටය. ඔහු බිම් මට්ටමේ අපරාධ පරීක්ෂන කර නැති අතර අධිකරණයක් හමුවෙහි  එකද නඩුවක් හෝ මෙහෙයවා ද නැතැයි කියනු ලැබේ.

ගෝටා හරි! කතෝලික සභාව වැරදි!

දැන් හදිසියේම පොලිස්පති වික්‍රමරත්නට කියන්නේ මෙවැනි අපරාධයක් සම්බන්ධයෙන් පරීක්ෂන අවසන් කිරීමට හදිසිවීම හෝ කාල නියමයක් කිරීම වැරදි බවය. එය පෙනෙන විදිහට පසුගිය 21දා  පැවැති කලු කොඩි විරෝධයට දැක්වෙන ප්‍රතිචාරයකි.

එසේ නමුත් තමා ජනාධිපති වූ විගස පාස්කු ප්‍රහාර පිළිබඳ පරීක්ෂන කඩිනම් කොට වරදකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කරන බවට පොරොන්දුවක් දුන්නේ අන් කවරකු හෝ නොව ගෝඨාභය රාජපක්ෂය. එය ඔහුගේ ප්‍රධාන ජනාධිපතිවරණ පොරෙන්දුවක් විය.

බලයට පත්ව මසක් යාමට පෙර (2019 දෙසැම්බර් 03) පාස්කු ප්‍රහාර විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවෙහි කොමසාරිස්වරුන් කැඳවූ ජනාධිපති රාජපක්ෂ එම පරික්ෂණය ඉක්මන් කළ යුතු බව කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වී තෙමසක් යාමටත් පෙර පාස්කු ප්‍රහාර පරීක්ෂනය ඉක්මන් කිරීමට එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානියා වූ මේජර් ජෙනරල් ජගත් අල්විස් යටතේ සය පුද්ගල කාර්ය සාධක බලකායක් පිහිටුවන ලද්දේ ඒ අනුවය.

දැන් එම කාර්ය සාධක බලකායට මාස 18ක් ගතවී ඇති අතර පොලිස්පතිවරයා ඒ ගැන වචනයක් වත් කියන්නේ නැත. එම බලකාය විසින් හදිසි කරවන ලද පරීක්ෂන මගින් සොයා ගත් අලුත් දෙයක් තිබේද?

අඩුම වශයෙන් එම කාර්ය සාධක බලකාය ක්‍රියාත්මකද?

ජනාධිපතිවරයා ගෝඨාභය පාස්කු ප්‍රහාර පරීක්ෂනය ඉක්මන් කරන ලෙස කියා සිටීමද වැරදියයි දැන්  පොලිස්පති කියන්නේද?

වැරදි වන්නේ කාදිනල්වරයා, කතෝලික සභාව සහ වින්දිතයින් කරන මෙම ඉල්ලීම කිරීම පමණක්ද?

පොලිස්පති වික්‍රමරත්න පහර දෙන්නේ කතෝලික සභාව ඉල්ලා සිටින ඉක්මන් නඩු පැවැරීම් වලට නොවේද? පොලිස්පති අඟවන්නේ සමහර විට පරීක්ෂන අවසන් කිරීමට වසර පහ හයක් යා හැකි බවයි.

එපමණක් නොව තමා බලයට පැමිණි පසු නව පරීක්ෂන කොමිසමක් පත්කරන බවටද ගෝඨාභය පොරොන්දුවක් දුන්නේය. එවැන්නක් තවම සිදුවී ද නැත.

එල්ටීටීඊය ගැන පොලිස්පතිගේ නොදැනුම

පොලිස්පති වික්‍රමරත්නගේ වීඩියෝ ප්‍රකාශයෙහි මෙසේද සඳහන් වෙයි.

“එල්ටීටීඊ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂන අවශය වූයේ නැහැ. ඒ එල්ටීටීඊයට ජාත්‍යන්තර සබඳතා නොතිබුණ නිසා.”

ලොව පුරාම පැතිරුණූ අන්තර් ජාතික ජාලයක් තිබූ සටන්කාමී සංවිධාන අතරින් එල්ටීටීඊය සිටියේ මුදුන් පෙත්තේය. එය අරමුදල් එක් කළෙත් ආයුධ මිලට ගත්තේ එතෙරය. එහි ප්‍රකාශකයින් ජීවත් වූයේ ප්‍රංශයේ සහ එංගලන්තයේය. එයට අප්‍රිකානු රටවල් ගණනාවක රාජ්‍ය මට්ටමේ සබදතා පවා තිබුණි.

එවැනි සංවිධානයක් ගැන ජාත්‍යන්තර පරීක්ෂන අවශ්‍ය නොවූ බව කියන මේ පොලිස්පති ඊළඟට කියන්නේ ඔහු ජනාධිපති නියමයෙන් පරීක්ෂන අතට ගන්නා තුරු පාස්කු ප්‍රහාරයේ ජාත්‍යතන්තර සබඳතා පිළබඳව සොයා බැලීමක් සිදු නොවූ බවයි.

එය ටොන් පචයකි.

ඉන්ටර්පොල් ප්‍රධානියා 2019 අගොස්තු 27දා ශ්‍රී ලංකාවේ නායකයින් සහ පොලිස් ප්‍රධානීන් හමු විය.

ජාත්‍යන්තර පොලිසිය ලෙස සැළකෙන ඉන්ටර්පෝල් වෙබ් අඩවියට අනුව ප්‍රහාරය සිදුවූ වහාම ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීම උඩ  Incident Response Team (IRT)  නම් සිදුවීම් ප්‍රතිචාර කණ්ඩයමක් යෙදවා තිබේ.ඉන්ටර්පොල් හි ප්‍රධාන ලේකම්වරයා වූ ජේ. ස්ටොක්  2019 අගොස්තු 27වන දින ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති සිරිසේන, අගමැති වික්‍රමසිංහ සහ මෙම පොලිස්පති වික්‍රමරත්න ද හමුවිය.

පාස්කු ප්‍රහාරයන්ගෙන් පසු ලංකාවට පැමණි ප්‍රථම අන්තර් ජාතික විමර්ශන කණ්ඩායම වුයේ එයයි. එයට  ආදාල ක්ෂේත්‍රයන්හි  විශේෂඥයින් ගණනාවක්ද ඇතුලත් විය.

පාස්කු ප්‍රහාරක කණ්ඩායමට සම්බන්ධ අහමඩ් මිල්හාන් හයාතු මැදපෙරදිග රටකදී අත්අඩංගවට ගන්නා ලද්දේද ඉන්ටපොල් විසින් නිකුත් කරන ලද රතු වරෙන්තුවක් අනුවය. ඒ සඳහා තොරතුරු සපයන ලද්දේ එකළ පරීක්ෂන මෙහෙය වූ ශානි අබේසේකර ඇතුලු කණ්ඩායම විසිනි.

මෙරටට පැමිණි ඉන්ටර්පොල් ප්‍රධානියාට කරුණු පැහැදිළි කරන ලද්දේ අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුව බාරව සිටි නියෝජ්‍ය පොලිස් අධිකාරී රවි සෙනවිරත්න විසිනි.

දැන් පොලිස්පති වික්‍රමරත්නට මේ සියල්ල අමතක වූයේ කෙසේද?

පාස්කු කොමිසමේ වික්‍රමරත්නගේ සාක්ෂිය

වැඩබලන පොලිස්පති වශයෙන් වික්‍රමරත්න පාස්කු ප්‍රහාර පරීක්ෂන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දුන්නේය. එම සාක්ෂියෙහිදි ඔහු කිසිම අයුරකින් ඹහුගේ විඩියෝ කතාවෙන් කළ පරිදි එකළ එම පරීක්ෂනය මෙහෙය වූ පොලිස් නිලධාරින්ට දොස් පැවරුවේ ද නැත.

වික්‍රමරත්න දැන් කියන්නේ අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුවේ නිලධරයන් හදිසියේ පරීක්ෂනය අවසන් කිරීමට උත්සුක වු නිසා පාස්කු ප්‍රහාරය පිළිබඳ ගැඹුරට යෑමට බැරි වූ බවයි.

මෙයද අමූලික බොරුවකි.

තමා විශ්‍රාම යාමට  පෙර පාස්කු ප්‍රහාරකයින් පසුපස තිබෙන්නට ඇති අදිසි හස්තය තමාට සොයා ගැනීමට බැරිවූ බව රවි සෙනවිරත්න කිවේය. ශානි අබේසේකර කීවේ පරීක්ෂනය අවසන් නැති බවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් තවමත් තිබිය හැකි බවයි.

පාස්කු කොමිසමෙහි සාක්ෂි දුන් නි.පොලිස්පති රවි සෙනවිරත්න සහ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර  යන දෙදෙනාම  කීවේ පරීක්ෂන තවම අවසන් නැති බවයි. තමා විශ්‍රාම යාමට  පෙර පාස්කු ප්‍රහාරකයින් පසුපස තිබෙන්නට ඇති අදිසි හස්තය තමාට සොයා ගැනීමට බැරිවූ බව රවි සෙනවිරත්න කිවේය. ශානි අබේසේකර කීවේ පරීක්ෂනය අවසන් නැති බවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් තවමත් තිබිය හැකි බවයි.

දැන් නීතිපති දෙපාර්ථමේන්තුව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පවරා ඇති සියලුම දෙනා අත්අඩංඟුවට ගන්නා ලද්දේ අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුව එකළ කල පරීක්ෂන අනුවය.

පොලිස්පති පිළිතුරු දියයුතු ප්‍රශ්ණ

පොලිස්පති බවට පත්වූ වික්‍රමරත්න එම පරීක්ෂන මෙහෙය වූ රහස් පොලිස් නිලධාරීන් විසි දෙනෙකු පමණ වෙනත් අංශයන්ට මාරු කළේය. ඒ වන විට ඔවුන් කරමින් සිටි  පරීක්ෂන අවසන් කර තිබුණේ නැත. ඔවුන් පරීක්ෂා කරමින් සිටි පහත සඳහන් කරුණු ගැන පොලිස්පති වික්‍රමරත්න යටතේ ලබා ඇති ප්‍රගතිය කුමක්ද?

  • සොනික් සොනික් යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටිමින් පාස්කු ප්‍රහාරකයින් සමඟ පොලිස් උප පරීක්ෂකවරයකු සම්බන්ධතා පැවැත්වූයේ කුමන ඒකකයක උපදෙස් යටතේද යන්න
  • අන්තර් ජාතික බුද්ධි සේවයක් විසින් ලබා දෙන ලද දුරකතන අංකයක් අනුව යමින් සොයාගත් සහරන් කන්ඩායම සමඟ සම්බන්ධතා පැවැත් වූ යුද සෙබළා පිළිබඳ පරීක්ෂනය වළක්වන ලද්දේ මන්ද යන්න
  • 2018 සිරිසේන – රාජපක්ෂ අනීතික අණ්ඩුව කාලයෙහි නොවැම්බර් 31වනදා වව්නතිව්හි  පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහරාන් කණ්ඩායම විසින් ඝාතනය කිරීම පිළිබඳ ව්‍යාජ පරීක්ෂන නිගමන ඉදිරිපත් කරන ලද්දේ කුමන උවමනාවක් නිසාද යන්න. එම ඝාතනයන් එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට පරීක්ෂන වාර්තා පහක්, යුද හමුදා බුද්ධි අංශය සහ නිලන්ත ජයර්ධන ප්‍රධානත්වය ඉසුලූ ජාතික බුද්ධි සේවය ද ඇතුලුව ලබා දුන්නේ ඇයිද යන්න. ඝාතනය සිදුවීමෙන් දින තුනකට පසු සොයා ගත් කබායක් ඉව කරමින් අත්අඩංඟුවට ගෙන සිටි කදිරමාතම්බි ඉරාජකුමාරන් නොහොත් අජන්තන්ගේ නිවසට පොලිස් සුනඛයින් යැවීම පිටුපස සිටියේ කව්ද යන්න. වැසි සහිත දින තුනකට පසුත් නොතෙමුණූ කබායක් සොයා ගත්තේ කෙසේද යන්න.
  • මෙම ඝාතනයන් එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට බුද්ධි අංශ වාර්තා පහක්ම තිබියදී පසුගිය දිනක මව්බිම පුවත්පත වාර්තා කළ පරිදි ( අනුර කුමාරගේ පාර්ලිමේන්තු  කතාව) එම ප්‍රහාරයට එල්ටීටීඊට සම්බන්ධ නැතැයි එවකට සිවිල් පුරවැසියකු වූ ගෝඨාභය රාජපක්ෂ බවට දැන ගත්තේ කෙසේද?  ගෝඨාභය රාජපක්ෂ විසින් තමාට විසින් තමාට එළෙස කී  බවට සටහනක් අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුවේ ප්‍රධානී රවි සෙනවිරත්නට සිය රාජකාරි දින පොතෙහි සටහන් කර තිබේ.
  • ටාජ් සමුද්‍ර හෝටලයට ප්‍රහාරය පිනිස ගිය ජමීල් නම් ප්‍රහාරකයා නොමළ බව දැන ඔහුගේ නිවසට පැය ගණනාවක් තුල යෑමට  යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් සමත් වූයේ  කෙසේද යන්න.
  • මාතලේ පොඩි සහරාන් ලවා ප්‍රහාරයේ වගකීම පිළිගන්නා ලෙස අයිසිස් සංචිධානයෙන් බුද්ධි නිලධාරියකු ඉල්ලා සිටියේද යන්න.

පොලිස්පති වික්‍රමරත්න පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ බවට වක්‍ර ලෙස චෝදනා කරන බුද්ධිමතකු වන්නේ නීතිඥ හෙජාස් හිස්බුල්ලා නම් පොලිස්පතිවරයාගේ දැන ගැනීම පිනිස මේ බව සඳහන් කළ යුතුය: නීතිඥ හෙජාස් හිස්බුල්ලාට  ලබාදී ඇති චෝදනා පත්‍රයේ පාස්කු ප්‍රහාරය ගැන කිසිවක් නැත.

ජාතික බුද්ධි සේවය අතහරින්නේ කාගේ උවමනාවටද?

මිට අමතරව පොලිස්පති වික්‍රමරත්න පිළිතුරු දිය යුතු තවත් ප්‍රශ්න කිහිපයක් ද තිබේ.

  • පොලිස්පතිවරයාගේ වීඩියෝ කතාවෙහි අපරාධ පරීක්ෂන පොලිස් නිලධාරීන්ට දොස් පැවරෙන නමුත් ප්‍රහාරය පිළිබඳව තොරතුරු ලැබී නිසි පියවර නොගත් ජාතික බුද්ධි සේවය සහ එහි ප්‍රධානියා ගැන වචනයක්වත් නැත්තේ මන්ද යන්න.
  • ප්‍රහාරය සිදුවන අවස්ථාවෙහි ජාතික බුද්ධි අංශ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අතිශය වැදගත් තොරතුරු ඇතුලත්විය හැකි වූ සිය ජංගම දුරකථනයේ සහ පරිගණකයේ දත්ත මකා දැමීම පිළිබද පරීක්ෂනයක් කරන්නේද යන්න.
  • 2021 ජූනි මාසයේදී පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර කී පරිදි ප්‍රහාරයට පෙර තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අදාල පොලිස් නිලධාරීන්ට එරෙහිව රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් එවන ලද චෝදනාපත්‍ර අනුව මේ තාක් පියවර නොගෙන ඇත්තේ ඇයිද යන්න. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ඇතුළු අට දෙනකුට එරෙහිව ලබා දිය යුතු චෝදනාපත්‍ර කෙටුම්පත් කර ජාතික පොලිස් කොමිෂන් සභාවට ලබා දෙන ලද්දේ 2021 පෙබරවාරි මාසයේදීය. නමුත් තවමත් කිසිදු පියරක් ගෙන නැත.
  • මෙම චෝදනා පත්‍ර මත ජාතික පොලිස් කොමිසම පියවර ගැනීම වැළැක්වීම පිනිස මැදිහත් වන සේ එකී උසස් පොලිස් නිලධාරීන් මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටීම විනය විරෝධී ක්‍රියාවක් ලෙස සළකා පියවර ගන්නේ මන්ද යන්න.
  • පාස්කු කොමිසම විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය අපරාධමය වරදක් කර ඇතැයි සදහන් කර තිබියදී හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට සහ හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු පමණක් අත්අඩංඟුවට ගෙන නඩු පවරා ඇත්තේ මන්ද යන්න.
  • පොලිස්පති වික්‍රමරත්නගේ වීඩියෝ කතාවෙහි පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂන කොමිෂන් සභා වාර්තාව ගැන සඳහන් නොවන්නේ ඇයිද යන්න.
  • එම වාර්තාව විසින් කරන ලද නිර්දේශයන් පොලිස්පති වශයෙන් ක්‍රියාත්මක කරන්නේද නැත්ද යන්න.

පොලිස්පති වික්‍රමරත්න පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ බවට වක්‍ර ලෙස චෝදනා කරන බුද්ධිමතකු වන්නේ නීතිඥ හෙජාස් හිස්බුල්ලා නම් පොලිස්පතිවරයාගේ දැන ගැනීම පිනිස මේ බව සඳහන් කළ යුතුය: නීතිඥ හෙජාස් හිස්බුල්ලාට  ලබාදී ඇති චෝදනා පත්‍රයේ පාස්කු ප්‍රහාරය ගැන කිසිවක් නැත.

අහ්නාෆ් ජසීම්ට තවම  චෝදනා පත්‍රයක් දී නැත.

ඇත්ත වශයෙන්ම නම් පොලිස්පති වික්‍රමරත්න විසින් කියවන ලද්දේ ඔහුට එල්ල වන චෝදනා පත්‍රයයි. එය ඔහු විසින් ලියා ගත් එකක් විය නොහැක. අනුමත නොකළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම කතාව ඔහුට ලබා දුන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි විසින් බවයි.

 

 

27.08.2021/ සුනන්ද දේශප්‍රිය

 

Archive

Latest news

Related news