Friday, March 29, 2024

ශ්‍රී ලංකා: නුපුරුදු සෙල්ලමක අවසානයේ පටන්ගැන්ම -බැසිල් ප්‍රනාන්දු

රටක් තමන් විසින්ම පාලනය කර ගැන්ම ලංකාවේ වර්ථමාන කාලය තුල නොපැවති පුරුද්දකි. නුපුරුදු සෙල්ලම තමන් දන්නා ආකාර වලින් කරන්නට ගොස් ඇතිවී තිබෙන ආරවුල අද ආර්ථිකයේ, සමාජයේ, සෞඛ්‍ය පද්ධතියේ, අධ්‍යාපන පද්ධතියේ, මෙන්ම නීතිය ක්‍රියාත්මක කරවා ගැනීම හා අධිකරණය පිළිබදවද පැන නැගී ඇති අර්බුද ජාලයක් තුලින් ඉස්මතු කොට ඇත.

දැනට පොදුවේ කතා කරන්නේ ඩොලර් අර්බුදය හා කොවිඩ් 19 වසංගතය තුලින් ඇති වී ඇති මරණ හා ආසාදිතයන්ගේ ප්‍රමාණය පිළිබදව පාලනය කර ගත නොහැකි තත්වයක මහා අර්බුදයකි.

අද අර්බුදය පවතින ආකාරය කෙලින්ම ජීවිතය හා මරණය දක්වා දිග්ගැස්සී ඇත. කොවිඩ් වසංගතයට විසදුමක් නැතිවීම වනාහි වඩ වඩාත් ජීවිත නැතිවීම පමණක් නොව රෝග භීතිය රට පුරාම පැතිර ගොස් කිසිදු ස්වභාවික ක්‍රියාදාමයක් පවත්වාගෙන යාමට බැරි තරමට උග්‍රවී ඇත.

ඩොලර් අර්බුදය යනුවෙන් හදුන්වන ආර්ථික අර්බුදයද එවනිම තර්ජනයක් සමාජය ඉදිරිපිටට ගෙනවිත් ඇත. රට බංකොලොත් භාවය කරා යෑමත් ඒ නිසා කිසිදු හෝ සේවාවක් රට තුල දැන් පවතින තත්වයටවත් කරගෙන යාමට බැරි තත්වයක් උදාවීම පිළිබදව තර්ජනය අද රටට හඩ නගා කියන්නේ රටේ ආණ්ඩුවමය. ආණ්ඩුවට මෙම ඩොලර් අර්බුදය හා ඊට සම්බන්ද ආර්ථික අගාධයෙන් රට බේරා ගැනීම පිළිබදව කිසිදු පිළියමක් නැති නමුත් ආණ්ඩුව හඩ නගා කියන්නේ තිබෙන තත්වය මීටත් වඩා උග්‍ර වීමේ අනතුර ඉතා ප්‍රභල හා කිට්ටු කාලයකදී සිදු වී ඇති අනතුරක් බවය.

මෙම අර්බුදය පිළිබදව තව තවත් කීමට අනවශ්‍ය වන්නේ රට පුරාම සෑම මාධ්‍යක් තුලින්ම පාහේ අද මෙම ප්‍රශ්ණ සාකච්ඡා වනවා පමණක් නොව එම ප්‍රශ්ණ පිළිබදව කතා කිරීම සදහා ඉතාමත් බුද්ධිමත් කණ්ඩායම් පවා විවෘතව ඉදිරිපත් වී තිබීමය.

තමන් පාලනය කරන්නන් අමු මෝඩයන්ය යන හැගීම රට පුරා හා ඈත පළාත් වල පවා නිතරම දෝංකාරය වී ඇසෙන්නට ලැබෙන ප්‍රධාන කථිකාවක් බවට පත් වී ඇත.

කොරෝනා අර්බුදය පිළිබදව රටේ විශේෂඥ ඥානයක් ඇති වෛද්‍යවරුන් විවෘතවම මෙම ප්‍රශ්ණය විසදීමේ වගකීම් පැවරිය යුත්තේ වෙද්‍ය හා සෞඛ්‍ය වෘතිකයන්ටම බව ඉතා තද බලව හා විදුවත් ඥානයක් ඇතිව රටට පැහැදිලි කොට දී ඇත. ආර්ථිකයේ ඇතිවී ඇති ගැටලුව ආර්ථික විශේෂඥයන් මෙන්ම විවිද ආර්ථිකයට අදාල විෂයන් පිළිබදව හසල දැනුමක් ඇති කණ්ඩායම් විසින්ම ඉතාම නග්නව හෙළිදරව් කොට ඇත. එම සියලු කරුණක්ම රජය විසින්ද සනාථ කොට ඇත.

මේ තත්වය තුල ඉතා පැහැදිලිව පෙනෙන්නේ රටක් පාලනය කිරීම පිළිබදව බාරගත් සියලුම කණ්ඩායම් මෙතෙක් යෙදී ඇත්තේ තමුන්ට නුපුරුදු කාර්යක බවය. එමෙන්ම එසේ ඉදිරිපත් වූ පාළනය පිළිබදව අංශුමාත්‍රයක හෝ තැකීමක් කිරීමට තරම් පවා දැනුවත් කමක් ඇත්තෝ නොවන බවද පැහැදිලිව ප්‍රකාශයට පත්වී ඇත.

තමන් පාලනය කරන්නන් අමු මෝඩයන්ය යන හැගීම රට පුරා හා ඈත පළාත් වල පවා නිතරම දෝංකාරය වී ඇසෙන්නට ලැබෙන ප්‍රධාන කථිකාවක් බවට පත් වී ඇත.

පාළකයෝයයි කියාගත් අය අන්ත මෝඩයෝ බව ප්‍රකාශයට පත් වන නමුත් එම මෝඩ පාලක ක්‍රමයෙන් අත්මේදී රටේ ප්‍රශ්ණ විසදාගැනීමට හැකි ආකාරයකට හා බුද්ධිමත්ව හසුරුවා ගැනීමට හැකි ආකාරයකට පාලන තන්ත්‍රය දියුණු කරවා ගත හැක්කේ කෙසේද යන ප්‍රශ්ණය කා තුලත් පවතින නමුත් ඒ පිළිබදව තවමත් පැහැදිළි මතයන් ප්‍රකාශ කිරීමක් ඇති වී නැත.

රාජ්‍යතන්ත්‍රයක ක්‍රියාවලියේ විනයක් පැවතීමට නම් ඒ් සදහා අවශ්‍ය මූලිකම සාධකය නම් දූෂණය පාළනය කිරීමට හැකියාවක් හා උවමනාවක් රජය තුල පැවතිය යුතු බවය.

එසේ ප්‍රශ්ණයට පිළිතුරක් කතා නොකිරීමට යම් හේතුද තිබෙන්නට පුලුවන. ඉන් සමහරක් නම් මෙසේය. රටේ පාළකයන් තුල විනයක් ඇති කරන්නේ කෙසේද යන්න පිළිබදව රට තුල තවම එකගතාවයක් නැත. බුද්ධිමත් ආකාරයකට රාජ්‍යතන්ත්‍රය ක්‍රියාත්මක කරවා ගැනීමට හැකි වන්නේ එම රාජ්‍යයන්ත්‍රණයට අවශ්‍ය වන විනයට ගරු කල හැකි පාළකයන් ඇති වුවහොත් පමණය. එය ලංකාවේ කිසි දිනෙකවත් කරන්න බැරි කටයුත්තක්ය යන අදහස ඉතා ගැඹුරින්ම පැතිරී පැවැත්ම අද පවතින මහා අර්බුධකාරී තත්වයකදී පවා එම අර්බුධයෙන් ගොඩඒමේ මාර්ගයට බාධකයක්සේ පවතී.

රාජ්‍යතන්ත්‍රයක ක්‍රියාවලියේ විනයක් පැවතීමට නම් ඒ් සදහා අවශ්‍ය මූලිකම සාධකය නම් දූෂණය පාළනය කිරීමට හැකියාවක් හා උවමනාවක් රජය තුල පැවතිය යුතු බවය. එහෙත් මෙම වුවමනාව සදහා රටේ කිසිදු හෝ දේශපාලන පක්ෂයක් ගැඹුරින් තමන්ගේ කැපවීම ප්‍රකාශයට පත්කොට නැත. දූෂණය නැති කිරීම පිළිබදව කියන කතා පවා ජන සමාජය තුල කිසිදු පිළිගැනීමට ලක් නොවන්නේ මේ පිළිබදව බැරූරුම් කතාබහක් ඉදිරිපත් කිරීමට තරම් දේශපාලන ඥානයක් හෝ උනන්දුවක් පෙන්නුම් කරන කිසියම්ම හෝ පක්ෂයක් හෝ පුද්ගලයන් තවමත් ඉදිරිපත් වී නොතිබීම නිසාය. දැන් පවතින රාජ්‍යතන්ත්‍රය දූෂණයට බොහෝසේ ඉඩදීම තුලින් පවත්වාගෙන යාමට උත්සාහ කරන රාජ්‍යතන්ත්‍රයකි. එම රාජ්‍යතන්ත්‍රය තුලින් ආණ්ඩු පිහිටුවා ගැනීමට ඉදිරිපත් වන සියල්ලන්ම පාහේ බලාපොරොත්තු වන්නේ මෙම දූෂණයට ඇති ඉඩකඩ වලින් තමන් ප්‍රයෝජනයක් ගැනීම මිස එම දූෂණය නැති කිරීම පිළිබදව උවමනාවක් හෝ උනන්දුවක් නොවේ.

එසේ නම් රටේ පවතින මූල්‍ය අර්බුධය හෙවත් ඩොලර් අර්බුධය විසදිය හැකි ආදායම් මාර්ග රට තුලට ගෙන්වා ගැනීම සිදු කල නොහැකි දෙයක් බවට පත්වේ. මන්දයත් මහා පරිමාණව දූෂණයට ලක් වූ රාජ්‍යතන්ත්‍රයකින් පාලනය වන රටක් තුලට තමන්ගේ ආයෝජන ගෙනවිත් එම ආයෝජන බිලිදීමට කිසිදු හෝ ආයෝජකයකු කැමති වන්නේ නැත. එය අතිශයින්ම ස්වභාවික දෙයකි. මේ අතර වඩාත්ම තමන් අතර ඇති ධනයක් ව්‍යාපාර කටයුතු සදහා යෙදීමට මැලි වන්නේ රටේu යම් ධනයක් ඇති කණ්ඩායම්ය. එයට හේතුවනම් රටේ පවතින දූෂණයේ පරිමාව ඔවුන් දන්නා නිසාය. එවනි රටාවක් තුල ගනු දෙනු කිරීමට යෑමෙන් තමන් කරා එලබෙන විපත ඔවුහු දනිති.

දූෂණය පිළිබදව සැබෑ උවමනාවක් හා ඒ පිළිබදව වැඩපිළිවෙලක් හැදීමට බැරිකම නිසා රටේ පවතින ආයතන ව්‍යුහයට නිසි ලෙස ක්‍රියාකිරීමේ හැකියාව නැතුව යයි. එම ආයතනද ඉහතකී දූෂණයේම ගොදුරු බවට පත් වේ. මූල්‍ය අර්බුධය ඩොලර් නැතිකමේ අර්බුධයක් දක්වාම වර්ධනය වීමට ඇති හේතුව නම් රටෙහි මූල්‍ය පාලන ක්‍රමය සිදුකරන මහ බැංකුව හා ඊට අදාල ආයතන ඒවාට ආවේණික වූ වෘතීමය සම්ප්‍රධායන් යටතේ වැඩ කිරීමට නොහැකි තත්වයක් පැවතීම නිසා එසේ මුදල් පාලනය කිරීම සදහා ගත යුතු ක්‍රියා මාර්ග රට තුල ගැනීමට බැරි තත්වයක් කලක සිට පැවත ඇත. එය ක්‍රමයෙන් අතිශයින් පළල්ව පැතිර ගොස් ඇත.

කොරෝනාව පිළිබදව ප්‍රශ්ණයද පවතින්නේ ඒ ආකාරයටමය. ජර්මනියේදී කලා මෙන් වසංගතයක් මර්දනය කිරීමේ කාර්ය ඊට අදාල වෘතිකයන් එනම් විශේෂඥ කණ්ඩායම් වලට පවරාදීමේ හැකියාවක් ලංකාවේ පවතින්නේ නැත. එයට හේතුව එවනි නිසි විදි ක්‍රමයක් යටතේ ඇතිවන බුද්ධිමත් රාමුවක් යටතේ ක්‍රියා කරන විනයගරුක වෘතිකයන්ගේ හැසිරීම දූෂණයෙන් පිරි රාජ්‍යයන්ත්‍රණයට මහා බාධාවක් වන නිසාය. එම නිසා සෞඛ්‍ය අංශයට ඇමතිකෙනෙක් හෝ පත් කිරීමේ පවා පසුගිය දින කෙරුනේ අතිශයින් විහිලු සහගත පත් කිරීමකි. මේසියල්ල විශාල වශයෙන් වන්දිගෙවීමට සිදුවන විකාර කටයුතු වූවත් දූෂිතව පවතින රාජ්‍යතන්ත්‍රයක් තුලදී   මෙන් විකාර වශයෙන් හෙලිදරව් වන්නේ නැත.

එක් අතකින් රට මහා පරිමාණ අර්බුද ගණනාවක පැටලී ඇති අතර එම ගැටලු ජීවිතයත් මරණයත් අතර පිළිබද ප්‍රශ්ණ රටේ කා ඉදිරියේත් පමුනුවන නමුත් ඒ සියල්ල සමග පැටලී තිබෙන අතිශයින් විකාර රූපි රාජ්‍යතන්ත්‍රයක් මගින් මෙම ප්‍රශ්ණ වලට විසදුමක් සොයා ගැනීමට ඇති ඉඩකඩද බොහෝ දුරට අහුරා ඇත.

අද අවශ්‍ය වන්නේ පවතින ප්‍රශ්ණ ගැන පුන පුනා කීම නොව ප්‍රශ්ණය ඇති කරන මූලයන් එනම් අතිශයින් විකාර රූපී වූ රාජ්‍යතන්ත්‍රය මොන ආකාරයකින් නැවත සකස් කර ගත යුතුද යන ප්‍රශ්ණයය. මේ පිළිබදව රටේ සියලුම බුද්ධිමතුන්ගේ මෙන්ම සියලුම ජනතාවගේත් අවධානය යොමු කොට එය රට තුල විසදිය යුතු ප්‍රධාන ප්‍රශ්ණය ලෙස පිළිගැනීමක් ඇති විය යුතුය. කොරෝනාව තුලින් ඇතිවන සෑම මරණයකින්ද අනාගතයේදී ආර්ථික රටාව මගින් ඇති කරන මීටත් වැඩි සාගත හා සාගිනි තත්වයන් වල තර්ජනය මගින්ද රට ඉදිරියේ තබා ඇති මූලිකම ගැටලුව නම් මෙම විකාර රූපි රාජ්‍යයන්ත්‍රණයෙන් අත්මිදී බුද්ධිමය වශයෙන් හසුරුවා ගත හැකි රාජ්‍යයන්ත්‍රණයෙන් ගොඩනගා ගන්නේ කෙසේද යන ප්‍රශ්ණයයි

Archive

Latest news

Related news