Tuesday, May 7, 2024

සිවිල් ක්‍රියාධර ෂෙහාන් මාලක ගමගේ රහස් පොලිසියට කැඳවීම සහ මර්දන ලැයිස්තුව

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා ක්‍රියා කරන තරුණ සිවිල් ක්‍රියාධරයෙකු සේම කිතුනු සංවිධාන රැසක සාමාජිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ ට 24වන දින සවස 9.00 ට අපරාධ පරීක්ෂණයකට කියා කොටුවේ රහස් පොලිසියේ පෙනී සිටින ලෙස දන්වා තිබේ. පසුගිය අගෝස්තු 21 දා කළු කොඩි ව්‍යාපාරය වෙනුවෙන් කැපී පෙනෙන සංවිධාන කටයුතු වලට මැදිහත් වූ ඔහු අගෝ. 17 දා  මාධ්‍ය හමුවක දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද කෙළේය.

මෑත ඉතිහාසය..

කොරෝනා මර්දනය අස්සේ ඉතා බිහිසුනු ජනතා මර්දනයක යෙදී සිටින ගෝඨාභයගේ දුර්ජනාණ්ඩුව, ‘මැස්සො වගේ මිනිස්සු මැරෙනවා’ යි මුහුණු පොතේ සටහනක් තැබීම නිසා වෛද්‍ය නජිත් ඉන්දිකට ආතතිය දැයි සෙවීම සඳහා රහස් පොලිසිය යැවුවේ ය.

කොරෝනා රෝගීන්ගේ තත්ත්වය ගැන මාධ්‍ය වෙත අදහස් දැක්වූ කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ සේවය කළ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වහාම ක‍්‍රියාත්මක වන පරිදි කොරෝනා වාට්ටුවකට මාරු කෙළේ ය.

ආණ්ඩුව විවේචනය කරමින් ලියූ ලංකා ඊ නිව්ස්හි ආරක්ෂක සහ දේශපාලන විශ්ලේෂක මාධ්‍යවේදී කීර්ති රත්නායක ත්‍රස්තවාදියෙකු ලෙස අත් අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් භාරයේ තබා ගෙන සිටී.

සමාජ මාධ්‍ය ලේඛිකාවක වන තුෂාරා වන්නිආරච්චිගේ නිවසට රහස් පොලිසිය ගොස් පරීක්ෂා කර ඇයගේ ලැප්ටොප්, දුරකථන සහ පෙන් ඩ්‍රයිව් අත් අඩංගුවට ගත්තේ ය.

තෙල් හිඟයක් ඇති වනු ඇතැයි කී තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයෙකු වන ආනන්ද පාලිත රහස් පොලිසිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විට අධිකරණයෙන් ඇප මත නිදහස් කෙළේ ය.

සිවිල් ක්‍රියාධරයෙකු වන අසේල සම්පත් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියේ ය. තවත් සිවිල් ක්‍රියාධරයෙකු වන චිරන්ත අමරසිංහ රහස් පොලිස් ප්‍රශ්න කිරීම් වලට ලක් කෙළේ ය.

‘අගමැති මහින්ද රාජපක්ෂ ගේ වෙබ් අඩවිය අනාරක්ෂිතයි’ කීවා කියා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ රහස් පොලිස් ප්‍රශ්න කිරීම් වලට ලක්විය.

නාගරික මන්ත්‍රීවරයෙක් මෙන්ම මාධ්‍යවේදියෙකු වන ධනුෂ්ක රාමනායක චිචීට අයත් මන්දිරයක් ගැන කීවා කියා රහස් පොලිස් ප්‍රශ්න කිරීමට ලක් විය.

‘වොයිස් ටියුබ්’ නාලිකාවේ කතුවරිය තුෂාරා විතානගේ රහස් පොලිස් දඩයමට ලක් වූවා ය.

‘ද ලීඩර්’ හි විකල්ප ප්‍රවෘත්ති කී නීතිඥ ධනුෂ්ක සංජය රහස් පොලිස් දඩයමට ලක් විය. ‘නිව්ස් හබ්’ යූටියුබ් නාලිකාවේ කාර්යාලයට කඩා වැදුනු රහස් පොලිසිය ප්‍රශ්න කෙළේය.

මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික, මාධ්‍යවේදී පුන්නියාමූර්ති සසිකරන් මාස 2 ක් තුළ දෙවෙනි වරටත් මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ අපරාධ විමර්ශන අංශයට කැඳවීමෙන් පසු  23 වන සඳුදා පැය 2 ක කාලයක් පොලිසිය ප්‍රශ්න කරන ලදී..

මඩකලපුව දිස්ත්‍රික් සිවිල් සමාජ සංසදයේ සභාපති සබරත්නම් සිවයෝගනාදන්  25 වන බදාදා දහවල් 12.30 ට ත්‍රස්ත විරෝධී විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබේ. ඔහුගේ ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, ජංගම දුරකථනය සහ සිම් පත රැගෙන එන ලෙස නිලධාරීන් ඔහුට පවසා ඇත.

විශේෂ ලියුම්කරුවකු විසිනි.

ඉහත සඳහන් කෙළේ ගෝඨාභයගේ දඩයමේ ස්වරූපයෙන් බිඳකි. මේ තත්ත්වය යටතේ සිවිල් ක්‍රියාධර ෂෙහාන් මාලක අද සවස රහස් පොලිසියට කැඳවන්නේ නිසැකවම ඔහුව හෙට දක්වා හෝ අත් අඩංගුවේ රඳවා ගැනීමටය.

Archive

Latest news

Related news