Tuesday, May 7, 2024

ආඳා මාලු ඉරට්ටෙන් කෑම: කීර්ති රත්නායක අත්අඩංඟුවට ගැනීම සහ මාධ්‍ය සංවිධාන එකතුවේ ලිපිය

ලංකා ඊ නිව්ස් වේබ් අඩවියට නිතිපතා ලිපි සපයන මාධ්‍ය වේදියකු වන කීර්ති රත්නායක අත්අඩංඟවට ගැනීම   සම්බන්ධයෙන්ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකතුව විසින් පොලිස්පතිවරයාට යවන ලද ලිපිය බරපතල අඩුපාඩු සහතිය.

මෙම මාධ්‍ය සංවිධානයන්හි නායකත්වයේ සිටින බොහෝ දෙනෙකුට වඩා කීර්ති රත්නායක ලිපි ලියා පළ කර තිබේ. ඔහු විසින් මෙරට දේශපාලන සහ යුද්ධ ප්‍රධානීන්ට බරපතල චෝදනා ද ඉදිරිපත් කර තිබේ.

මාධ්‍ය සවිධාන එකතුවේ ලිපියට අනුව කීර්ති රත්නායක යනු කීර්ති රත්නායක නැමැති පුද්ගලයෙකි.

එනමුත් එම ලිපියේම සදහන් වන තුෂාරී වන්නිආරච්චි සහ ආර්. සිවරාජා යන අය නැමැති අය නොවේ.

කීර්ති රත්නායක නැමැති අයතු වීමටත් අනෙක් දෙදෙනා එළෙස නොවීමටත් හේතුව මෙම ලිපියට අත්සන් තැබූ මාධ්‍ය සංවිධාන ප්‍රධානීන්ට රටට කියා සිටිය හැකිද?

දෙවනුව කීර්ති රත්නායක අත්අඩංඟුවවට ගෙන ඇති බව මෙම සංවිධාන දන්නේ ඒ බව ලංකා ඊ නිව්ස් වෙබ් කතුවරයා ඔවුන්ට දන්වා ඇති නිසාය.

මෙරට පුවත්පත් සහ වෙබ් මාධ්‍ය විසින් කැපී පෙනෙන සේ පළ කරන ලද සිදුවීම, ලංකා ඊ නිව්ස් කතුවරයා විසින් දැන්වූ නිසා පමනක් තමන් දන්නේ යැයි මෙම ලිපියට අත්සන් තැබූ මාධ්‍ය සංවිධාන ප්‍රධානීන් කියන්නේ ඇයි?

තුෂාරි වන්නිආරච්චිගේ නිවෙස සෝදිසි කිරීම ගැන ද කියන්නේ ඇය එසේ කී නිසා මෙම සංවිධාන එය දන්නා බවයි.

එම ලිපියේම සදහන් වන අනෙක් මාධ්‍යවේදියා ගැන එළෙස නොකියන්නේ ඇයි?

තවද මඩකළපුවෙහි මාධ්‍යවේදියකුගෙන් ප්‍රශ්ණ කල බව කියන එම ලිපිය ඔහුගේ නම සඳහන් නොකිරීමට ප්‍රවේසම් වෙයි.

කිර්ති රත්නායකගේ බිරිඳගේ නිවසට ගොස් දරුවන්ගේ සහ නිවැසියන්ගේ පරිගණක නිසි අවසරයකින් තොරව රහස් පොලිසයට ගෙන යෑම මෙන්ම තුෂාරි වන්නිආරච්චිගේ දත්ත අඩංඟු ඩ්‍රයිව් එකක් සහ පරිගණක යනාදිය රැගෙන යෑමද මෙම මාධ්‍ය සංවිධාන ප්‍රධානීන්ට අමතක වී තිබේ.

මෙළෙස කැමැති කැමැති පරිදි රහිස් පොලීසියට පරිඝනක යනාදිය අත් අත්අඩංඟුවට ගැනීම මෙම මාධ්‍ය සංවිධාන ප්‍රධානීන් අනුමත කරන්නේ ද?

ලිපියෙහි එන වඩාම බරපතල හිඩැස වනනේ කීර්ති රත්නායක මෙරට පවතින දුෂ්ඨතම නීතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංඟුවට ගෙන ඇති බව සඳහන් කිරීමට අසමත් වීමයි. මෙම පනත යටතෙහි ඔහු චෝදනා ඉදිරිපත් නොකර වසර ගණනාවකට වුව රඳවා තැබිය හැකිය.

නීතිඥ හෙජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් මෙන්ම කිවිවර අහ්නාෆ් ජසීම් සම්බන්ධයෙන්ද සිදුව ඇත්තේ එයයි.

කිර්ති රත්නායක කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති අයතු නොවේ. එසේ තිබියදීත් ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90කට රඳවා තැබීම මාධ්‍ය සංවිධාන එකතුව හෙළා නොදකින්නේ මන්ද?

ඉතාම කණගාටුදායක කරුණ වන්නේ ජනමාධ්‍යවෙදීන් සහ ජනමාධ්‍යවේදිනියන් අත්අඩංඟුවට ගැනීමත් බිය ගැන්වීමත් හෙළා දැකින්නේ නැතිව ඔවුන් නීත්‍යානුකූල ලෙස අත්අඩංඟුවට ගන්නා ලෙසත් ප්‍රශ්ණ කිරීමට හෝ අත්අඩංඟුවට ගැනීමට කරුණු ප්‍රසිද්ධ කරන ලෙසත් පමණක් මාධ්‍ය සංවිධාන එකතුව විසින් ඉල්ලා සිටීමයි.

මෙම ලිපිය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සදහා වන අරගලයෙහි  අවවර්ණ කැළලකි.

ආඳා මාලු ඉරට්ටෙන් කනවා යැයි කියන්නේ කළ යුතු නිසා ආවාට ගියාට කරන මෙවැනි ප්‍රකාශ වලටය.

එම ලිපියට පහත සඳහන් මාධ්‍ය සංවිධාන ප්‍රධානීන් අත්සන් කර තිබේ.

ධර්මසිරි ලංකාපේලි- මහ ලේකම්- මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

සීතා රංජනී- කැඳවුම්කරු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

දුමින්ද සම්පත්- සභාපති- ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමය

එන්.එම්.අමීන්- සභාපති- ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය

කනපතිපිල්ලේ සර්වානන්ද- ලේකම්- දමිළ මාධ්‍ය සංසදය

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි-ලේකම්-ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.

අවසාන වශයෙන් කියා සිටිය යුත්තේ මෙම මාධ්‍ය සංවිධාන ප්‍රධානීන්නට මාටින් නිමොලර් මතකයට නඟා ගන්නා ලෙසය.

සුනන්ද දේශප්‍රිය.

 

 

 

Archive

Latest news

Related news