Saturday, November 23, 2024

ඩඩ්ලි, සිරිමා, ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රීට ලැබුණු IMF ණය ගෝඨාභය ආණ්ඩුවට අහිමි ද? – රජිත් කීර්ති තෙන්නකෝන්

ප්‍රශ්ණය ‘ආර්ථික අර්බුදය හා වෙළඳ ශේෂ හිඟය’ වූ විට, රජයේ තහනම් වචනය ‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදල’ (IMF) කර ගෙන ඇත. මුදල් රාජ්‍ය ඇමති, ජනාධිපති ලේකම් සහ මහ බැංකු අධිපති ‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසඳුමක් නොවන බව’ කියයි. විපක්ෂයේ අදහස ජ්‍යන්තර මුල්‍ය අරමුදල  IMF  නැතිව රටට වෙනත් මාවතක් නැති බව ය.  විපක්ෂයේ මුදල් අමාතයාංශයේ අධික්ෂණ මන්ත්‍රී හර්ෂ ද සිල්වා හා එස්.එම් මරික්කාර් ගේ අදහස ‘ආර්ථික අර්බුදයට විසඳුම IMF යාමයි.   

ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් බාහිර උත්තරයක් තිබේ ද?

මේ ආණ්ඩුවේත් – විපක්ෂයේත් දේශපාලනඥයින් නොකිය පැත්තයි.  

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා ගණුදෙනුවේ ඉතිහාසය

කෙටි කාලීන හා මධ්‍ය කාලීන මුල්‍ය ආධාර සපයන ජාත්‍යන්තර ආයතනය IMF ය.  දිගු කාලීන ණය ලෝක බැංකුංකුවෙනි. නිසි කාර්ය සාධනයක් සිදු කරන්නේ නම් එමගින් ණය ආධාර ලබා ගත හැකිය. වෙළෙඳ ශේෂය පාලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත් කොන්දේසි වලට එකඟව ණය ලබා ආර්ථික අර්බුදයකින් බේරීමට සමාජික රාජ්‍යයන්ට හැකිය.

1950 දී ලංකාව IMF සංවිධානයේ 50 වන සාමාජිකයා ලෙස බැඳුණේ මුදල් ඇමති ජේ.ආර්.ජයවර්ධන ගේ මුලිකත්වයෙනි. එදා – මෙදා අවස්ථා 16 ක දී ලංකාවට ණය ලබා දී ඇත.  නමුත් එයින් සම්පූර්ණ ගිවිසුම් ගත මුදල රටට ලැබුණේ අවස්ථා 10 ක දී පමණී.  අවස්ථා 6 ක දී රජය ණය කොන්දේසි උල්ලංඝනය කළ බැවින් ගිවිසුම්ගත මුදල රටට ආවේ නැත.   

ආණ්ඩුව පැත්තේන් ‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය අර්බුදයට විසඳුම නොවේ’ යැයි කියන්නේ මේ කොන්දේසි ඉටු කිරීමේ දුෂ්කරතාව නිසාය.

වත්මන් ආණ්ඩුවට IMF ණය පහසු නොවන්නේ ඇයි දැයි අවබෝධ කර ගන්නට මේ ඉතිහාසය දැනගත යුතුය.  

1965 – 1970 ඩඩ්ලි – ජේ.ආර්. මධු සමය

1965 මාර්තු හිස් වූ භාණ්ඩාගාරයක් සමඟ ආණ්ඩු පිහිටවු එජාපයඅර්ථික අර්බුදයට විසඳුම් සොයන්න සති දෙකක් තුළ   IMF වෙත ගියේය.  න්‍යායාචාර්යවරයා ජේ.ආර්.ජයවර්ධන වුනත් මෙහෙයුම් සිදු කළේ කීර්තිමත් මුදල් ඇමති යූ.බී.වන්නිනායක හා රාජ්‍ය නිලධාරීන්ය.  රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කර මාස දෙකකින් (1965 ජූනි 15 ගිවිසුම අත්සන් කළා) ආණ්ඩුව ඇ.ඩො. මිලියන 30 ක IMF ණය ලබාගත්තේය.  එදා ධනපති යැයි හංවඩුව ගසා තිබූ හත් හවුල් ප්‍රතිපත්තිවලට රටේ තිබු විරෝධන නිසා IMF කොන්දේසි ඉටු කළ නොහැකි විය.  රටට ලැබුණේ ගිවිසුම් ගත මුදලින් 75% කි.

ඩඩ්ලි ගේ ආණ්ඩුව 1966 (ඇ.ඩො. මි. 25), 1968 (ඇ.ඩො.මි. 20) 1969 (ඇ.ඩො. මි. 20 )  එක් අවුරුදු ණය තුනක් ලබා ගෙන එය නිසි කලට  ගෙවා දැමීය. එදා රටට ආර්ථික වශයෙන් සවිමත් ස්ථාවරයකට පැමිණියේ ද, රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ නොවූවේ ද ඒ නිසාමය. 

සිරිමාගේ සමගි පෙරමුණු ආණ්ඩුවේ මුදල් ඇමති ඇන්.ඇම්. පෙරේරා (1971 මාර්තු) ඇ.ඩො.මි. 25 ක ණයක් ගත්තේය.  ප්‍රතිපත්ති රැකගෙන රටේ මුදල් අර්බුදයත් සමනය කරගත් IMF ණයක් ලෙස එය ඉතිහාස ගතවී ඇත.

71 කැරැල්ලෙන් පසුව සිරිමා ආණ්ඩුවේ ප්‍රබලම චරිතය වූ මුදල් ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ද 1974 අප්‍රේල් IMF පිහිට පැතීය.  ධනපති  ෆීලිස්ක් ඩයස් ට, සමාජවාදී ඇන්.ඇම්. තරම් හොඳට IMF ණය කලමනාකරණය කළ නොහැකි වූවේය.  ඩොලර් මිලියන 30 ක අනුමත ණය මුදලින් රටට ආවේ පළමු ණය වරිකය (29%) ක් පමණී.

IMF ණය සහ කොන්දේසි ආර්ථික විද්‍යා දැනුම හා කේවල් කිරීමේ ශක්තිය මත දොලනය වන බවත් බුද්ධිය හා බැඳුණු ගණුදෙනුවක් බව සිරිමා ආණ්ඩුව රටට පසක් කර දුන්නේය. අද පවතින ගෙවුම් ශේෂ අර්බුදයට IMF උත්තරයක් නොවන බව කියන්නේ මේ අතීතය දන්නා උදවිය යි. 

නිදහස් ආර්ථිකය හා ජේ.ආර්. පාලනයේ ඉරණම

1977 ජූලි බලයට පත් එජාප රජය මාස තුනක් තුල (1977 දෙසැම්බර්) ඩො. මි. 112 ක වසරක ණයක් ද, 1979 ජනවාරි මස ඩොලර් මිලියන 336 ක තවත් ණයක් ද ගත්තේය. විවෘත ආර්ථිකය වැලඳගත් ආසියාවේ මුල්ම රාජ්‍යයක් වූ අපට ජේ.ආර්.ජයවර්ධන ගේ දැවැන්ත සබඳතා ජාලය ද, බලපෑම ද මුදල් ඇමති රෝනී ද මෙල් ගේ වෘත්තීය භාවයට තිබුණි. (ජේ.ආර්. ගේ ඇමරිකානු සංචාරයේ රොනල්ඩ් රේගන් සමඟ භෝජන සංග්‍රහයේ විඩියෝ පටය නරඹන්න)

එවන් බලවත් ජේ.ආර්.ගේ ආණ්ඩුව 1983 සැප්. ගිවිසගත් ඩො. මිලියන 105 ක ණය මුදලින් රටට ආවේ  50% කි.  කොන්දේසි ඉටු නොකළ රජයට මුදල් දීම IMF ප්‍රතිකේෂ කළේය. ඉන් පසු ජේ.ආර්. බලයෙන් ඉවත් වන තුරුම එජාප රජයට IMF මුදල් ලැබුණේ නැත. කොන්දේසි ඉටු නොකරන කොයි බලවතාටත් ණය ලැබෙන්නේ නැත. IMF  මන්තරය ජප කරන බොහෝ දෙනා මේ ඉතිහාසය දන්නේ නැත. නැතිනම් අවබෝධයක් නැත.

ප්‍රේමදාස පාලනය සමයේ (1991 සැප්.)  IMF ලංකාවට වසර හතරක ඇ.ඩො. මිලියන 455ක ණයක් දුන්නේය. එදා මුදල් ඇමති (උපාධිධාරියෙකු වත් නොවූ සමූපකාර පරීක්ෂක)  ඩී.බී.විජේතුංග අගමැතිවරයා ය. රජයේ ආර්ථික ප්‍රතිපත්තිය පමණක් නොව කොන්දේසි සාකච්ඡා කළේ ආර්. පාස්කරලිංගම් ඇතුළු නිලධාරීන් ය. එක දිගට සිදු වූ නායකයින්ගේ ඝාතන හා 1994 ආණ්ඩු වෙනස නිසා (හෝ මම නොදන්නා වෙනත් හේතුවක් නිසා හෝ) එයින් අවසාන වාරිකය රටට ආවේ නැත.  මහ බැංකුවට ලැබුණේ ගිවිසුම්ගත මුදලින් 83% කි.

චන්ද්‍රිකා‌ගේ සෘණ ආර්ථිකය

1994 බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවට පළමු වරට IMF යන්නට වුණේ ආර්ථිකය සෘණ අගයට වැටී ජනතා විමුක්ති පෙරමුණ සමඟ පරිවාස ආණ්ඩුවක් හඳන්නට වූ කාලයේ ය.  2001 අප්‍රේල් 20 ඇ.ඩො.මි. 254 ක් චන්ද්‍රිකා ආණ්ඩුවට ලැබුණි. විශ්වාස භංගයෙන් බේරෙන්නට චන්ද්‍රිකා පරිවාස ආණ්ඩුව හැඳුවේ සැප්තෑම්බරයේ දී ය.  ඔක්තෝබර් ජී.ඒල්., එස්.බී., ඇතුළු පිරිස විපක්ෂයට එක්වී ආණ්ඩුව බින්දේය.  2001 දෙසැම්බර් 5 ඡන්දයෙන් එක්සත් ජාතික පෙරමුණ බලයට පත් වී රනිල් වික්‍රමසිංහ අගමැති විය.  මුදල් ඇමති වූවේ කේ.එන්.චොක්සි අර සල්ලි පිළිවෙලකට වියදම් කළේය. ආර්ථිකය යන්තම් ගොඩ ආවේය.  

චන්ද්‍රිකාට එදා මාස තුනෙන් ණය ලැබුණේ ප්‍රතිපත්ති එකඟතාව මත පමණක් ණය ගන්නට හැකිව තිබූ නිසාය.

චන්ද්‍රිකා – රනිල් හවුල් ආණ්ඩුව

2003 අප්‍රේල් 18 අගමැති රනිල් වික්‍රමසිංහ අණ්ඩුව ඇ.ඩො. මි. 198 ක හා ඩො.මි. 368 ක ණය ගිවිසුම්  දෙකක් IMF හා ලංකාව අතර ඇතිවිය.  ජනමාධ්‍ය, ආරක්ෂක අමාත්‍යාංශ ජනාධිපති යටතට පවරා ගැනීමෙන් ඒ ආණ්ඩුව වැටුණි. ගිවිසගත් මුදලින් රටට ලැබුනේ 14% ක සොච්චමකි.

IMF ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය ඩො.මි. 2,566 ලැබුණේ (2009 ජූලි) මහින්ද රාජපක්ෂ සමයේ දී ය. මුදල් ඇමති මහින්ද ගේ ආණ්ඩුව කොන්දේසි රැකි බැවින් රටට මුදල් සම්පූර්ණයෙන්ම ආවේය. ඩඩ්ලිට, සිරිමාට, ජේ.ආර්.ට, ප්‍රේමදාසට, චන්ද්‍රිකා හා රනිල්ට බැරි වූ දේ මහින්ද රාජපක්ෂ ජනපති/මුදල් ඇමතිට බයියෙකු, මානව හිමිකම් කඩන්නෙකු, ඒකාධිපතියෙකු යැයි ලේබල් ගැසූ මහින්ද රාජපක්ෂට හැකි විය.

2008 IMF ණය ගැනීමේ යෝජනාවට මුලින්ම විරුද්ධ වුනේ මහ බැංකු අධිපති අජිත් කබ්රාල් ය. වෙනත් මාවතක් නැති බව මහ බැංකු නිලධාරීන් කබ්රාල් ට තේරුම් කර දුන් විට ඔහු එය කළහැකි දෙයක් බව තේරුම් ගත්තේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙත ද, පසුව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා වෙත ද රැගෙන ගියේය.  (පැත්තකට කර සිටි) පී.බී.ජයසුන්දර එදා දැඩිව IMF ණයට  අද වාගේම විරුද්ධ විය. වසනාවකට සුමිත් අබේසිංහ සිටියේ IMF ණය ලබා ගත යුතුය යන ස්ථාවරයේ ය.  ආටිගල ට එදා අද තරම් බලයක් තිබුණේ නැත. ආර්ථික අර්බුදය විසඳාගෙන, රටක් විදිහට ගොඩ යන්නට එදා ලංකාවට හැකි විය.

යහපාලන අර්ථික ඔස්තාර්ලා

2015 බලයට ආ යහපාලනය රජය, බැදුම්කරයේ පැටලී ණය ගෙවා ගත නොහැකි අන්තිම මොහොතේ  IMF ගියේ 2016 ජූනි මාසයේ දී ය. මාගේ පුද්ගලික අදහස,  යහපාලනයේ ආර්ථික ව්‍යාපෘතිය කඩා වැටුණේ එදා වසර 3 කට ඇ.ඩො. මිලියන 1,507  ගන්නට වොෂින්ටන් ගමන ප්‍රමාද කළ නිසාය.

එම අදහසම හිටපු මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ.විජේවර්ධන ලියා ඇත. කියවන්න.   https://www.ft.lk/columns/IMF-or-not-What-other-options-are-available-for-Sri-Lanka/4-721142?fbclid=IwAR0zHBOIQqE_Le9T2U70H3RZ44CXdjGDI8flKwxxe4m874jyhhWcxM40BpU)

යහපාලන රජය 2015 දී භාණ්ඩාගාරය පුරවන්නට ‘කළු සල්ලි’ ගැන විශ්වාස කළේය. ‘ලෝකයේ කෙහේ හෝ තැනකින් අරගෙන එන කළු සල්ලිවලට බදු සහන දෙන හැටි’ මුදල් ඇමති රවී කරුණානායක විස්තර කළේ  “No Questions asked” න්‍යායෙනි.  බැදුම්කර වංචාවෙන් පළුදු වූ යහපාලන ආණ්ඩුවේ ආර්ථික පාරිශුද්ධභාවය දේශීයවත්, ජාත්‍යන්තරවත් තවදුරටත් විනාශ කරන්නට රවි කරුණානායක ගේ ඇ.ඩො. බිලියන 1.5 කළු සල්ලි සුදු කිරීමේ යෝජනාව හේතු විය.

ප්‍රමාදය එසේ නමුත්, යහපාලනය ‘ආර්ථිකයක මුලික දේ’ නිවැරදිව ඉටු කළේය.

2014 රු. බිලියන 1250 ක් වු රාජ්‍ය ආදායම 2015 දී රු.බිලියන 1561 දක්වා වැඩි කර ගනු ලැබීය. බදු ආදායම රු. බි. 1050 සිට රු. බි. 1356 දක්වා වැඩි කර ගන්තේය.  2015 ලක්ෂ 7 ක් වූ බදු ලිපිගොනු සංඛ්‍යාව 2017 වන විට ලක්ෂ 14 දක්වා දෙගුණයකින් වැඩි විය. 

මුදල් ඇමති රවී කරුණානායක හා මහ බැංකු නිලධාරීන් නිරන්තයෙන් ගැටුණේය. ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මේ ගැටුමට වෙහෙසකර ලෙස මැදිවිය. නමුත් ගැටුම  කලමනාකරණය කළේය. අවසානයේ මංගල සමරවීරට මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශයට අවශ්‍ය දිගු කාලීන වෙනස්කම් රැසක් කෙටුම්පත් කළේය.  ආණ්ඩු වෙනස් වූවේ ඒ අතරය. 

විපක්ෂය ආණ්ඩුවට ලණුවක් දෙමින් බොර දියේ මාළු බානවාද?

සමගි ජන බලවේගයේ ආර්ථික න්‍යායාචාර්ය හර්ෂ ද සිල්වා ද අයිලන්ඩ් පුවත්පතට කියන්නේ //Sri Lanka is left with no alternative but to seek immediate assistance of the IMF to tackle what he calls an unprecedented debt crisis// කියා ය. එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා ද පසුගිය සතියේ මේ IMF කතාවම කීවේය. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලංකාව අතර ගනුදෙනුවේ ඉතිහාසය හා ස්වරූපය අනුව නම් මේ ආණ්ඩුවට IMF ණය ගන්නට බැරිය.  හේතුව ලංකාවේ ණය ප්‍රමාණය යේ දළ දේශීය නිෂ්පාදන අතර අනුපාතය ලංකාවට අනුව 101% නමුත් සැබෑ ලෙසම 108% වන නිසාය.  (දෙපාර්තමේන්තු/ආයතන ණය රාජ්‍ය ණයට ඇතුලත් කර ඇත.) ඉතිහාසය පුරා අවස්ථා ගණනාවක මාස 2-3 න් ලංකාවට ණය ලැබී ඇත. නමුත්, ලංකාවේ සියලුම ණය කරනුවන් සමඟ ණය නැවත සමාලෝචණය කිරීමට ලංකා රජයට සිදු වන්නේය. සැම්බියාව ඇන්ගෝලාව ඇතුළු රාජ්‍යයන්ගේ අත්දැකීම චීනය මෙයට කැමති වන්නේ නැත. ඔවුන්ට ණය වෙනුවට ලංකා දේපලක් හුවමාරු කර ගැනීම අවශ්‍ය ය. චීන ණය නැවත ව්‍යුහගත නොකරන්නේ නම් සමස්ත ක්‍රියාදාමය අසාර්ථක වන්නේය. මේ සාකච්ඡා වටය අවම වශයෙන් මාස 6-8 ඉක්මවන්නේය. අනෙක් අතට එවන් කේවල් කිරීමට මානව සම්පත් අද මුදල් අමාත්‍යාංශයේ ද, මහා භාණ්ඩාගාරයේ ද නැත.

එක්කෝ විපක්ෂය ආණ්ඩුවේ තත්වය දැන දැනම රටේ ආර්ථිකය සමඟ රජය බොරුවලකට දමන්නට හදනවාය. නැතිනම්, කිසිදා ලගාවිය නොහැකි ඉලක්කයක් පෙන්වමින් සිය පණ්ඩිත්‍යය පෙන්වන්නට හදනවා ය.

අප යමින් සිටින්නේ සිම්බාබ්වේ මාවතේ ය. වරදවා වටහා නොගන්න. සිම්බාබ්වේ මාවත යනු ආණ්ඩුව ද, විපක්ෂය ද ඒක ලෙසම අසාර්ථක රාජ්‍ය මොඩලය යි. ආර්ථිකය වැටුණාට සිම්බාබ්වේ මිනිස්සු විපක්ෂයට රාජ්‍ය බලය දුන්නේ ද නැත.  

IMF ණය කොන්දේසි හා පදනම කුමක් ද?

ලංකාව හා IMF අතර අවසන් ණය වැඩසහනේ කළුණු  6 කි.   1. අය වැය පරතරය පටු කිරීම, 2.රුපියලේ අගය පාලනය කිරීම, 3. රජයේ ආදායම් වැඩි කර ගැනීම, 4. රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණය, 5. මහජන මුදල් කළමනාකරණය හා 6. වෙළෙදාම හා ආයෝජන ප්‍රවර්ධනය යි. ලිපිය දික් වන බැවින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුදල් සමඟ දැඩි පූර්ව හා සමගාමී කොන්දේසි විග්‍රහ නොකරමි.

මේ ආණ්ඩුව රටේ ධනවත්ම 87% ක ගේ බදු සහන කපා දමමින් රජයේ ආදායම රු. බි. 1900 සිට රු. බි. 1373 දක්වා පහත දමාගත් සෞභාග්‍යයේ ආණ්ඩුවට ඉහත IMF කොන්දේසි වෙත ලගාවිය නොහැකිය.

පාඩු ලබන ආයතන (ශ්‍රී ලංකන්) ප්‍රතිසංස්කරණය තබා මේ ආණ්ඩුව ලෝක මිලට අනුව ගෑස් මිල වැඩි කිරීමට හෝ සුදානම් නැත.  IMF  ණය ලැබෙන්නේ මුහුණ බලා නොව ප්‍රතිපත්ති රාමුවක් මතය.  කිරි දොවා, නැගී සිටින්නට මිස, බාබිකිව් දාන්නට කිරි හරක් ණයට දෙන ප්‍රතිපත්තියක් ලෝක බැංකුව හෝ IMF හි නැත.

2018 සහ 2019 රු.බි. 1950 හා 1900 වු බදු ආදායම 2020 දී රු.බි. 1374 දක්වා සුබසාධනය පෙරදැරි මුදල් නාස්තියක් සිදු කිරීමේ අවස්ථාවක් IMF මගින් ලැබෙන්නේ ද නැත.

අජිත් නිවාඩ් කබ්රාල්, පී.බී.ජයසුන්දර ඇතුළු පිරිස IMF ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් නොවේ යැයි කියන්නේ මේ නිසාය. විපක්ෂය IMF යන්න කියන්නේ ද ඒ නිසාම විය හැකිය.

චීනයට ඉඩම් හා ව්‍යාපාර පවරා දීම වෙනුවට IMF ණය කෙරෙහි විශ්වාස කර ආර්ථිකය බිඳවැටීම වලක්වා ගත යුතු බව මගේ පුද්ගලික විශ්වාසය යි.  නමුත් රජය එය නොකරන්නේ නම් විපක්ෂයට කළ හැකි දෙයක් වේද?

ආණ්ඩුවට ප්‍රයෝගික උත්තරයක් ඇත්තේම නැද්ද?

1966 මුදල් ඇමති වන්නිනායක (පක්ෂ ප්‍රතිපත්ති රාමුව තුල සිට) ලංකාවේ පළමු IMF ණය කොටසක් අතහැර දැම්මේය. 1952 එෆ්.ආර්.‌සේනානායකට ද, සමාජවාදී ඇන්.ඇම්. ට ද, 1975  ෆීලිස්ක් ඩයස් ට ද, 1983 ජේ.ආර්. ට ද, 1992 ප්‍රේමදාස + විජේතුංගට ද,  සුනාමි සමයේ චන්ද්‍රිකා කුමාරතුංගට ද,  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් පිට සරණක් සොයන්නට සිදු විය.

පුරවැසියන්ගේ කැමැත්ත – අකමැත්ත කුමක් වුවත් රජයේ හැසිරීමෙන් පෙනෙන්නේ ආණ්ඩුව IMF එකෙන් පිට විශ්වාසය තබන උත්තර දෙකක් ඇති බවය.

පළමුවැන්න, එදා යහපාලන මුදල් ඇමති රවී කරුණානායක විශ්වාස කළ සේම ‘ප්‍රශ්න අහන්නේ නැති’ නිත්‍යනුකුල නොවන මුදල් 1% බද්දකට යටත් කොට රටට ගෙන ඒමය. ඒ සඳහා පනත් නම්මත කර ගන්නට රජය උත්සහ කරයි.

දෙවැන්න, දැනටමත් ඇරඹී ඇති කොළඹ සහ රට පුරා වටිනා ඉඩම්, පෞරාණික ගොඩනැගිලි විකුණා දැමීමය.  කොළඹ අක්කර 500 – 700 ක් විකුණා දැමීමෙන් ලැබෙන මුදලින් ඩොලර් පමණක් නොව ඊලඟ මැතිවරණයක් වුව ගොඩ දැමිය හැකි බව රජය විශ්වාස කරන සෙයකි.

(රජයේ මේ ප්‍රවේශ දෙකටම රජිත් කීර්ති තෙන්නකෝන් වන මම එකඟ නොවන බව අවධාරණය කරමි.)  

ආර්ථික අර්බුදය ගැන බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා තවමත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගැන වචනයක්වත් කියා නැත.  සමහරවිට කබ්රාල්, ලක්ෂ්මන්, පී.බී. කුමක් කිව්වත් අවසාන විසඳුම ඇත්තේ එතන බව බැසිල් හොඳින්ම දන්නා නිසා විය යුතුය.

මුදල් අමත්‍යවරයාට තවදුරටත් කාලය ඉතිරිව නැත. ඉතිහාසයේ කිසිම දවසක ලංකාව ණය ගෙවීම අතපසු කර නැත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඉල්ලා ද නැත. (සුනාමි අවස්ථාවේ දී ජාත්‍යන්තර ප්‍රජාව එම අවස්ථාව ලංකාව කැමැත්තෙන් ප්‍රධානය කළේය.)  සෙමින් නමුත් ස්ථිර ලෙසම ණය ආපසු ගෙවිය නොහැකි මොහොත උදාවෙමින් ඇත.

ලංකාවට IMF යන්නම බැරිද?

ණය 16 ක් ගත් රටකට මෙවැනි වෙළෙඳ ශේෂ අර්බුදයක් සඳහා නිර්මාණය කළ ආයතනයකින් ණය ලබා ගැනීමේ හැකියාව තවමත් අපට ඇත. නමුත්, කාලය නම් ඉතිරිව නැත.

මේ ආණ්ඩුවට ප්‍රමාද වී හෝ IMF යන්නට සිතන්නේ නම්, මුලින්ම මුදල් අමාත්‍යාංශයත්, මහ බැංකුවත්  ප්‍රතිසංස්කරණය කරන්නට සිදුවන්නේය. 

ලිපියක් ලියා මාස 2 කින් ණය ලබා ගැනීමේ අවස්ථාව දැන් ලංකාව පසු කර ඇත. මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය ප්‍රතිව්‍යුහගත කිරීම පමණක් නොව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ද ශක්තිමත් හා විශ්වසනීය දේශපාලන අධිකාරියක් හා නිලධාරීන් අවශ්‍යය. දැන් ලංකාව මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය මෙවැනි ‘බේරුම්කරුවන්’ මුදල් අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාරයේ නොමැති යැයි කියන්නේ හේතු සහිතවය.

වත්මන් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයෙන් පිට ඩො.බි. 1.5  ක ණය කොන්දේසි වෙනස් කර ගන්නට චීන තානාපති කාර්යාලට ගිය වෘත්තීය භාවය පළුදු කර ගත් අයෙකි. එවැන්නෙකුට විශ්වසනීයව කේවල්කරුවන් කණ්ඩායමක් මෙහෙයවිය නොහැකිය.

පාර්ලිමේන්තුවේ මහ බැංකු වාර්තා විවාවාදයේ දී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කී පරිදි //අජිත් නිවාඩ් කබ්රාල් හොඳ තැරැව්කරුවෙකි, බ්‍රෝකර් කෙනෙකි. ඉඩම් විකුණන්නට ශෝක්// ය.   නමුත්, ග්‍රීක බඳුම්කර අජිත් නිවාඩ් කබ්රාල් IMF සමඟ ගණුදෙනුවකට දක්ෂ කේවල් කරන්නෙකු වන්නේ නැත. ඔහුට පාර්ලිමේන්තුවේ ඉංග්‍රීසියෙන් කතාකර විපක්ෂයේ කටවල් වැසිය හැකිය. පුවත්පත් සාකච්ඡා හා හිතවත් මාධ්‍යවේදියෙකු දමාගෙන සම්මුඛ සාකච්ඡා දී ‘බෝංචි වැලේ දිව්‍ය ලෝකේ යන හැටී’ විස්තර කළ හැකිය.  

භාණ්ඩාගාර ලේකම් ආටිගල ‘සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු නොවන බව’ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පුවත්පත් සාකච්ඡාවේ දී කියනු ඇසීමි.  අද භාණ්ඩාගාර ලේකම් ආටිගල යනු පී.බී.ජයසුන්දර ගේ නියෝග පිළිපදින්නා පමණී.

අනෙක් අතට, මහ බැංකුවටත්, මුදල් අමාත්‍යාංශයත් ව්‍යුහාත්මක ලෙස ප්‍රත්සංස්කරණය කළ යුතු බව IMF පූර්ව කොන්දේසියකි. මංගල රාජපක්ෂ මුදල් ඇමති සමයේ ‘නව මුදල් නීති පනත’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 2019 ආණ්ඩු වෙනස නිසා එය සම්මත වූවේ නැත.

මුදල් ලේකම්වරයා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් ඉවත් කිරීමත්, සල්ලි අච්චු ගැසීම සඳහා මහ බැංකුව සතු බලය නැති කිරීමත් IMF පූර්ව කොන්දේසි වේ. එමගින් ‘මුල්‍ය මණ්ඩලයට’ ස්වාධීන නියෝජිතයින් ව්‍යවස්ථා සභාවෙන් පත් කරන්නට යෝජිතය. මේ යෝජනාවට වැඩියෙන්ම විරුද්ධ වන පුද්ගලයා පී.බී.ජයසුන්දර ය. රටේ අගමැතිවරයාට, අමාත්‍යවරුන්ට වඩා වැඩි බලයක් ගොනු කරන ගෙන සිටින ජනාධිපති ලේකම්වරයා, 2009 දී ද රටේ ආර්ථික අර්බුදයට IMF ණය එපා ප්‍රමුඛයා ය.

රාජ්‍ය බැංකු ද රටේ ආර්ථිකය ද රැක ගැනීම ආණ්ඩුවේ වගකීමකි. ඒ සඳහා ආණ්ඩුව ප්‍රමුඛත්වය ගත යුතුය.  එදා රවී කරුණානායකට දුන් කළු සල්ලි ලනුව කිසිවෙකු විසින් මේ ආණ්ඩුවට ද කවමින් ඇත. කොළඹ ඉඩම් අක්කර 700 – 1000 ක් විකුණා කාලයක් අල්ලා ගෙන සිටිය හැකිය.

නමුත්, ලෝකය පුරා මෙවැනි අර්බුදයකට අවසානයේ ස්ථිර විසඳුමක් ලැබුනේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ම පමණී. සම සමාජ නායක ඇන්.ඇම්. එදා රට ගොඩ දාන්නට IMF ගියේ ඔහු මෙරට බිහි වූ ප්‍රමුඛතම අර්ථ ශ්‍රාස්ත්‍රඥයෙකු නිසාය.  2009 රට බංකොලොත් නොවී ආරක්ෂා වූ හැටි නැවති සිහිකර මුදල් ඇමතිවරයාට සිහිකර දීම අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය ඇමතිවරයාගේ වගකීම වන්නේ ඒ නිසාය.

රජිත් කිර්ති තෙන්නකෝන් හිටපු දකුණ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයෙකි.

Archive

Latest news

Related news